Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

POLITICS : ගෝඨාභයට ඇමරිකාව බැරියර් දායිද?

$
0
0

ගෝඨාභයට විරුද්ධව අහිම්සා වික්‍රමතුංග හා තවත් ද්‍රවිඩ ජාතිකයින් ගණනාවක් ඇමරිකාවේ නඩු දැමූ බව වාර්තා වුනි. මේ නඩු නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසි භාවය අහෝසිකර ගැනීමට බාධාවක් වෙතැයි ගෝඨා විරෝධීන් මෙන්ම බෙදුම්වාදයට තවමත් උඩගෙඩි දෙන දෙමළ ඩයස්පෝරාව බොහෝ උද්දාමයට පත්ව සිටිබව පෙනෙන්නට තිබේ. එහෙත් ගෝඨාභය තමන් තව දුරටත් ඇමරිකානු පුරවැසියෙකු නොවන බවත් ඉමහත් විශ්වාසයෙන් පවසන අතර එම ලියකියවිලි ඇමරිකානු තානාපති කාර්යාලය හරහා තමන්ට ලැබුණු බව පවසයි.

එමෙන්ම එම ලියකියවිලි ආගමන-විගමන දෙපාර්තමේන්තුවට භාරදී තමන් අලුත් ගමන් බලපත්‍රයක් ලබාගත් බවත්, එහි ද්විත්ව පුරවැසියෙකුය යන සටහන් ඉවත්කරගෙන ඇති බවත් ගෝඨාභය මෑතකදී පවසා සිටියා.

කෙසේ වෙතත් මෑතකදී පලවුනු, ඇමරිකානු පුරවැසිභාවය අහිමිවූවන්ගේ නම් ලයිස්තුවේ ගෝඨාගේ නම නොතිබීම, යලිත් ගෝඨා විරෝධීන් උද්දාමයට පත්කල බව පෙනුනත්, එම බලාපොරොත්තු සුන් කරමින් ඇමරිකානු තානාපතිවරිය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ එම ලයිස්තුව පූර්ණලෙස යාවත්කාලීන වූ එකක් නොවන බවයි. ඒ බව, එම ලයිස්තුව අඩංගු වෙබ් පිටුවේද පැහැදිලිවම දක්වා තිබෙනවා.

ඇමරිකානු තානාපතිනියගේ භූමිකාව

වර්තමාන ඇමරිකානු තානාපතිනිය වන අලියානා ටිප්ලිට්ස් මහත්මිය, කලින් සිටි ඇමරිකානු තානාපතිවරුන් හා සසඳන කල වඩාත් ක්‍රියාශීලීව මෙන්ම මෙරට සිටින විවිධ ඇල්මැතිපාර්ෂව සමග නිරන්තරව අදහස් හුවමාරුකර ගනිමින්, ඇමරිකානු ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් අපහැදිලි තැන්වලදී නොපමාව පැහැදිලි කිරීම ලබාදෙමින් ඉතා සක්‍රියව සිටිනු පෙනේ. මෙය, ටිප්ලිට්ස් මහත්මියගේ සාමාන්‍ය ක්‍රියාකලාපයද, නැතහොත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාව අරභයා ගත් විශේෂ තීරණයක ප්‍රතිපලයක්දැයි තවම කිව නොහැකි වුනත්, විවිධ අවස්ථාවලදී තානාපතිවරිය ඉතාමත් ක්‍රියාශීලීව, රටතුල ඇමරිකාව පිලිබඳ සාධනීය මතයක් ඇති කිරීමට වෙහෙසෙන බව පෙනෙනවා.

මිලෙනියම් ඩෙවෙලොප්මන්ට් සමාගමේ අරමුණු පිලිබඳව සිදුකල පැහැදිලි කිරීම්, නුවර ඇසල පෙරහැරට ආසන්නව නිකුත්කල ආරක්ෂක තත්ව සිහිකැඳවීම පිලිබඳව සිදුකල අමතර පැහැදිලි කිරීම් මෙන්ම විශාල සංවාදයක් ඇතිකොට තිබූ, පුරවැසි අහිමිවූ ලයිස්තුවේ ගෝඨාගේ නම නොතිබීම පිලිබඳවද ටිප්ලිට්ස් නොපමාව මැදිහත් වුනා.

සිය වාසියට පමණක් ක්‍රියාත්මක වන ඇමරිකානු ප්‍රතිපත්ති

ඇමරිකාව සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙහෙයවන ආකාරය විශ්ලේෂණය කල විට පෙනීයන ප්‍රධාන කරුණ වන්නේ ප්‍රජාතාන්ත්‍රවාදය, විනිවිධ භාවය, ලිබරල්වාදය, විවෘත ආර්ථික ප්‍රතිපත්ති, මානව හිමිකම් ආදී සංකල්ප ලොව පුරා ව්‍යාප්ත කිරීමට මෙන්ම එම ප්‍රතිපත්ති වැලඳ ගැනීමට ලොව පුරා රටවල් වලට බලපෑම් කරන බවට පෙන්නුම් කලද, ඇමරිකාව සෑම විටම ක්‍රියාත්මක වන්නේ ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික වාසිය හා යුධමය වාසිය තකා පමණක් බවයි.

ආර්ථික, දේශපාලනික හා යුධමය වශයෙන් ඇමරිකාවට වාසියක් ඇති ඕනෑම අවස්ථාවකදී, එම වාසිය සඳහා ඉහත ප්‍රතිපත්ති දෙවරක් නොසිතාම අමතක කර දැමීමට ඇමරිකාව එදා මෙන්ම අදත් ක්‍රියාත්මක වුනා.

උදාහරණ ලෙස;

1. ඉතාමත් දරුණු මර්ධනයන් ක්‍රියාත්මක කරන, දැඩි මූලධර්මවාදී ඉස්ලාමීය පාලනයක් ගෙනයන සෞදි රජපවුලට ලබාදෙන දැඩි සහය, අවිආයුධ හා කඳවුරු පවත්වාගෙන යාම. සෞදියේ මානව හිමිකම් රපෝර්තුව මේ සඳහා බාධාවක් කරගැනීමට ඇමරිකාව සූදානම් නොවීම.

2. ඊශ්‍රායලය සමග ඇති සුවිශේෂී බැඳීම. ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ සිදුකරන දෑ, ලෙබනනයේ සිදුකල දෑ ආදිය කොන්දේසි විරහිත ඇමරිකන් සහය ලැබීමට කිසිදු බාධාවක් වී නොමැතිය.

3. කටාරය, කුවේටය වැනි ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් සපයන ඉස්ලාමීය රාජ්‍යයන්ගේ නිළ ආරක්ෂකයා ලෙස ක්‍රියා කිරීම. ත්‍රස්තවාදයට සහය දෙන රටවල් ලෙස ඇමරිකාව පවත්වාගෙන යන රටවල් ලයිස්තුවේ, මේ ත්‍රස්ත පෝෂක රටවල නම් සඳහන් නොවීම.

පෙන්වා දිය හැකියි. මෙහිදී ඇමරිකාව, තෙල් සම්පත පාලනය කිරීම, ඉරාණය, සිරියාව, යේමනය ආදී ඇමරිකන් විරෝධී රටවල් කලමණාකරණය කර ගැනීමට බලය ප්‍රක්ෂේපනය කිරීම සඳහා මැදපෙරදිග කඳවූරු පවත්වාගෙන යාම ආදී ඇමරිකාවට වැදගත් දේශපාලනික හා ආර්ථික අරමුණු ගැන සිතනවා මිස, විනිවිධ භාවය, ලිබරල්වාදය, විවෘත ආර්ථික ප්‍රතිපත්ති, මානව හිමිකම් වැනිදෑ තුට්ටුවකට මායිම් නොකරයි.

ඇමරිකාව දැනටමත් ගෝඨාව බිලිබාගෙනද?

එය එසේ නොවුව හොත් පුදුමයකි. අනුමාන හේතු;

1. මිලෙනියම් ඩිවෙලොප්මන්ට් කෝපරේෂන් ගිවිසුම, සෝෆා ගිවිසුම ආදිය කිසිම විටක එජාපය හරහා ලබාගත නොහැකි බව අවබෝධ වීම. හේතුව එජාපය ඒවා දීමට අකමැතිවීම නොව, එජාපය කෙරෙහි සියලු ජනකොටස්වල ඇති අවිස්වාසය හා එජාපය රට විකුණනවා, පාවාදෙනවා යන විශ්වාසයයි. රාජපක්ෂලාට එවැනි ගැටලු නැත. දැඩි ඇමරිකානු විරෝධියෙකු බව පෙන්වාගෙන සිටින විමල් වීරවංශ ලවා වුව සෝෆා ගිවිසුම සාධාරණීකරණය කරගන්නට රාජපක්ෂලාට හැකිබව ඇමරිකාව දැන සිටීම.

2. මහින්ද රාජපක්ෂගේ දැඩි චීන ලැදිභාවය, ගෝඨා ලවා කළමණාකරණය කරගෙන, ලංකාවේ ඇමරිකානු හිතවාදී පාලනයක් ඇතිකර ගැනීමට ඇමරිකාව ගෝඨාට අනුග්‍රහය දැක්වීමෙන් සිදුකල හැකි වීම. යම් ආකාරයකින් ඇමරිකාව ගෝඨාට බාධක දමා තිබියදීත් ඔහු රටේ ජනාධිපතිවරයා වූවහොත් ඔහු නිතැතින්ම දැඩි ඇමරිකානු විරෝධී, චීන හිතවාදියෙකු වන බව දැන සිටීම.

3. ඇමරිකානු භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා ලංකාව මෙහෙයවා ගැනීමේදී, රාජපක්ෂලාට බෞද්ධ භික්ෂූන්ගේ හා වෙනත් සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධයන් කළමණාකරණය කර ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබීම.

4. රනිල් වික්‍රමසිංහ යනු, ඇමරිකානු හිතවාදී, එහෙත් ඇමරිකාවට වාසිදායක කිසිදු තීන්දුවක් ගත නොහැකි, දේශපාලන කෂේරුකාවක් නොමැති, බිම් මට්ටමේ ජනතා සහයක්ද නොමැති, නිෂ්ඵල ලිබරල් වාදියෙකු බව වටහා ගැනීම. එමෙන්ම එජාපයේ දෙවන පෙල නායකත්වය ඉතාමත් දුර්වලවීම.

5. අවසන් ඊලාම් යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු බුද්ධි අංශ හා ආරක්ෂක අංශ සමග ඉතා සමීපව කටයුතු කිරීම හා ඒ අනුව ඔහුගේ හැකියාවන්, පක්ෂපාතිත්වය න් මෙන්ම දුර්වලතාද හොඳින් වටහාගැනීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙන්ම ධවල මන්දිරයටද හැකිවීම හා එමගින් ගොඩනැගී ඇති විශ්වාසය.

6. ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි නිකායයන් වල නායක පූජකවරුන්, තම ආගමිකයින් ඉස්ලාමීය ත්‍රස්තවාදයෙන් ආරක්ෂාකරගත හැකි එකම පුද්ගලයා ගෝඨාභය බවට විශ්වාස කිරීම.

7. ජනාධිපතිවරයා වූ පසු ගෝඨාභයගේ හැසිරීම කළමණාකරණය කරගැනීමට අවශ්‍යවූ විට, ඔහුට විරුද්ධව ඇති ඇමරිකාවේ දමා ඇති නඩු ඉතා ඉක්මණින් කරලියට ගෙනැවිත්, ඔහුව පීඩනයකට බඳුන්කොට ජාත්‍යන්තර තලයේදී ඔහුව කොන් කොට පහසුවෙන් රාජ්‍යතාන්ත්‍රික ගෙලසිර කිරීමකට බඳුන්කල හැකි බව ඇමරිකාව දැන සිටීම.

මේ ආදී කරණු රාශියක් ඇමරිකාවට වාසි සහගත ආකාරයට පවතින බැවින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තරඟයෙන් ජයගැනීමට හැකිවන පරිදි තිරය පිටුපස කලහැකි සියල්ල සිදුකිරීමට ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් උත්සහ ගනු ඇතැයි සිතිය හැකිය.

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>