දිරිය මවකගේ දක්ෂ දියණිය - කමලා හැරිස්
කමලා හැරිස් දකුණු ඉන්දියානු මවකගේ හා ජැමෙයිකන් නීග්‍රෝ සම්භවයක් ඇති පියෙකුගේ දියණියකි. එහෙත් ඇය උපන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේය. මව දකුණු ඉන්දියාවේ සිට ශිෂ්‍යත්වයක් ලබා ඇමරිකාවට පැමිණ ආචාර්ය උපාධියක් දිනාගත් පර්යේෂිකාවකි.
පියාද ආර්ථික විද්‍යාව පිලිබඳව ආචාර්ය උපාධියක් ඇති, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි. ඇයට වයස 7දී දෙමව්පියන් දික්කසාද වීම නිසා ඇය හා නැගෙනිය මව සමග තනිවිය. කෙසේ වෙතත් කමලා හැරිස් දුප්පත් සංක්‍රමණික දරුවෙක් නොවුනේ ඇයගේ මවට ඉතා හොඳ රැකියාවක් තිබුණු බැවිනි.
කමලා ඉතා උගත් අධිෂ්ඨානශීලී මවකගේ දක්ෂ දියණියක් වූවාය. නීති උපාධිය දිනාගත් ඇය 1990දී කැලිෆෝනියාවේ නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නාය.2011දී කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපති තනතුරට පත්වූ ඇය 2017දී සෙනේට් මණ්ඩලයට තේරිපත්විය.
කමලා හැරිස් ගේ ජයග්‍රහණ කාගේ ජයග්‍රහණද?
කමලා හැරිස් ඇත්තටම නියෝජනය කරන්නේ ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානුවන්ටත් වඩා කළු ඇමරිකානුවන්ය. ඇමරිකන් රජයේ ඉහල තනතුරු හොබවන ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානුවන් සිටී.
ට්‍රම්ප් රජයේ ෆෙඩරල් සන්නිවේදන කොමිසමට (FCC) නායකත්වය දුන් අජිත් පායි එක් උදාහරණයකි. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත්කල නිකී හේලි හෙවත් නිම්රතා නිකී හේලී (රන්ධවා) ඉන්දියානු සීක් සම්භවයක් ඇති කාන්තාවකි.
ඇමරිකන් ව්‍යාපාරික ලෝකයේද ඉන්දියානුවන් දැවැන්ත භූමිකාවක් රඟදෙයි. ගූගල් ප්‍රධානී සුන්දර් පිචායි, මයික්‍රොසොෆ්ට් ප්‍රධානී සත්‍යා නඩෙලා, ඇඩෝබි (ෆොටෝෂොප් සමාගම ) ප්‍රධානී ශන්තනූ නාරායන්, නොකියා ප්‍රධානී රජීව් සූරී සුප්‍රකට ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකන් ව්‍යාපාර ප්‍රධානීන්ගෙන් අතලොස්සකි.
මහා බ්‍රිතාන්‍යයේද මුදල් ඇමති රිෂී සුනාක් ඉන්දියානු සම්භවයක් ඇති පුදගලයෙකු වන අතර ස්වදේශ කටයුතු ඇමතිනී ප්රිති පටෙල්ද ඉන්දියානු සම්භවයක් ඇති කාන්තාවකි.
ඒ නිසා ඇමරිකන් ඉන්දියානුවන්ට කමලා හැරිස් මහා ලොකු ජයග්‍රණයක් නොවන්නේ ඇමරිකාවේ ජීවත්වන සංක්‍රමණිකයින්ගෙන් වඩාත්ම ධනවත්, බලවත් මෙන්ම රටට වින නොකර, ගෞරවයක් ගෙනෙන සංක්‍රමණිකයින් අතර ඉන්දියානුවන් ඉහලින්ම සිටින නිසාය.
කමලා ඇමරිකාවේ Black Lives Matter ව්‍යාපාරයේ ජයග්‍රහණයකි
ඇමරිකාවට සංක්‍රමණය වන දුඹුරු පාට ඉන්දියානුවන් ගූගල්, මයික්‍රොසොෆ්ට් සමාගම් වල ලොකු පුටුවලට යද්දී, චීනුන් කොරියානුවන් ටෙක් සමාගම් පටන් ගනිද්දී, ලංකාවෙන් ගිය උන් හොඳට ඉගෙනගෙන ලොකු පඩි ගණිද්දී, සිස්ටීමික් රේසිසම් වල ප්‍රතිපලයක් යයි කියමින් ලක්ෂ ගණන් කළු තරුණයින් සිරගෙවල්වල ගාල්වෙයි, කුඩු ගසමින් ජීවිතය විනාශකර ගනියි.
තවමත් බර-සාර ඉන්දියානු උච්චාරණයෙන් ඉංග්‍රීසි කතාකරන සුන්දර් පිචායිට ගූගල් බාරදුන් ඇමරිකන් සුද්දන්, ඒ රටේම උපන් කළු කොල්ලන්ව හිරගෙවල්වලට යන්නට සිස්ටම් එක හදලා තියෙන බව පිලිගන්නට පුලුවන් තර්කයක්ද?
ඔය තර්කය කරේ තියාගෙන, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය දඩමීමා කරගනිමින්, ඇමරිකාවේ නගරවල කඩසාප්පු කොල්ලකමින්, විනාශකරපු, පොලීසිය විසුරුවා හරින්නට කතාකල, ට්‍රම්ප් සමග ඇති වෛරයට ඇමරිකාවම ලෝකය ඉස්සරහා හැල්ලුකල BLM කණ්ඩායමට කමලාගේ උප-ජනාධිපති පදවිය අති විශාල ජයග්‍රහණයක් මෙන්ම වීදුරු සිවිලිම් කඩාගෙන උඩට නැගීමක් මෙන් පෙනෙනවා වෙන්නට පුලුවන.
ඇමරිකාවේ නොවුනාට ලෝකේ අනෙක් රටවල් කාන්තාවන්ට රටේ අනාගතය බාර දුන්නේ අද ඊයේ නෙවෙයි බව BLM ඇමරිකානුවන් දන්නේ නැති වෙන්නට පුලුවන්.
ලංකාවේ මිනිස්සු 1970 තරම් ඈතදී රට සිරිමාවෝට බාරදුන් අතර එන්ගලන්තයේ තැචර් නෝනා අගමැති වුනේද සිරිමාවෝ මෙන්ම මහජන චන්දෙනි. තැචර්ට අවුරුදු 21ක්ම එන්ගලන්තේ ජනතාව චන්දය දී රට බාර දුන්නේ ගෑණුන්ට පුලුවන් නිසාමය.
නවසීලන්තය දෙවෙනි සැරේටත් ජසින්ඩාට රට බාරදී ඇති යුරෝපයේ බලවත්ම ආර්ථිකය හිමි ජර්මනියේ ජනයා දැන් අවුරුදු 15ක සිට ඇන්ගෙලා මාකල් ගැන විශ්වාසය තබාගෙන සිටී.
ස්විට්සර්ලන්තය, නෝර්වේ, තායිවානය, එස්තෝනියාව, සර්බියාව, අයිස්ලන්තය, ස්ලෝවැකියාව, ඩෙන්මාර්කය, බෙල්ජියම, ෆින්ලන්තය වැනි ඉතා ධනවත්, ස්ථාවර, සංවර්ධිත රටවල් වල වර්තමාන නායකයින්ද කාන්තාවන්ය.
එබැවින් කමලා හැරිස් ඇමරිකාවට මැජික් වුනාට ලෝකයට මැජික් නොවන බව අවසාන වශයෙන් කිවයුතුය.