නෙදර්ලන්තයේ (ඕලන්දය / ලන්දේසි ) අගමැති මාර්ක් රටර් (Mark Rutter) බයිසිකලෙන් වැඩට යන හැටි දැක්වෙන ෆේස්බුක්, ඉන්ස්ටා පෝස්ට් හැමෝම දැකලා තියෙනවා. ඒ වගේම විවිධ දේශපාලන පණිවුඩ ප්‍රචාරණය කරන පෝස්ට් වලටත් මාර්ක් රටර්ගේ බයිසිකල් පැදිල්ලේ චායාරූප යොදාගන්නවා.
ඇත්තටම නෙදර්ලන්ත අගමැති මාක් රටර් සයිකලෙන් වැඩට යනවද නැතිනම් ඒක ප්‍රචාරාත්මක ක්‍රියාදාමයක (publicity stunt) ප්‍රතිපලයක්ද?
2019 World Economic Forum සමුළුවේ වැඩමුළුවකදී, මාර්ක් රටර් සිය බයිසිකලෙන් වැඩට යෑම ගැන විස්තර කලා. අගමැති වෙන්න කලින් මම එච්චර බයිසිකල් පැද්දේ නෑ. ඒත් දැන් කාළගුණය ඉඩදෙන හැම වෙලාවකම මම බයිසිකලෙන් රාජකාරියට යනවා.
නෙදර්ලන්තයේ දේශගුණය හා කාළගුණය
අපි හැමෝම දන්න විධියට රටක දේශගුණය වගේම දිනපතා කාළගුණය, එරට ජනතාව බයිසිකල් භාවිතය වෙත යොමු කරන්න වගේම වලක්වන්නත් දායක වෙනවා.
පායන වෙලාවට ඩැඩි උණුසුමකින් වගේම පීඩාකාරී ආර්ද්‍රතාවයක් (humidity) තිබෙන ලංකාවේ දේශගුණය බයිසිකල් භාවිතයට හරස් වෙනවා.
ඒවගේම බස්නාහිර පලාත ගත්තම අවුරුද්දකට දවස් 140-150 අතර ප්‍රමාණයක් වැසි සහිත කාළගුණයක් තිබෙනවා. වහිනකොට බයිසිකල් පැදගෙන වැඩට යන එක මොනතරම් කරදරයක්දැයි ඔබ දන්නවා.
නෙදර්ලන්තය ගත්තම මාර්තුවේ උදාවෙන ස්ප්‍රිං හෙවත් වසන්තය, සෞම්‍ය දේශගුණයක් ගෙන එනවා. ජූලි අගෝස්තු වන විට දැඩි උෂ්ණත්වයක් සහිත ග්‍රීෂ්ම සෘතුවේ උපරිමයට එනවා. සැප්තැම්බරයෙන් පස්සේ සරත් සෘතුව (Autumn) උදාවෙනවිට ශීතල වගේම වැස්ස වැඩිවෙලා බයිසිකල් පැදීම අඩුකරනවා.
නෙදර්ලන්තයේ වැසි කාළගුණය තියෙන දවස් ගණන ලංකාවට සමාන වුනත් (වසරකට දින 140 පමණ ) ලංකාවට වඩා පැහැදිලි සෘතු බේධයක් තිබෙන නෙදර්ලන්තයේ වැසි කාලය සරත් හා සිසිර සෘතුවලට (Autumn and Winter) සීමාවෙන නිසා අවුරුද්දේ ඉතිරි කාලයේ බයිසිකල් පැදීම සැලසුම් සහගතව කරන්න පුලුවන්.
නෙදර්ලන්තයේ භූවිෂමතා
කාළගුණය වගේම බයිසිකල් පැදීමට තවත් උදව්වෙන හෝ හරස් වන දෙයක් තමයි රටේ හෝ තමන් ජීවත්වන ප්‍රදේශයේ භූවිෂමතාවය. ලංකාවට වඩා ප්‍රමාණයෙන් සෑහෙන්න කුඩාවෙන (41,543 km²) නෙදර්ලන්තය සම්පූර්ණයෙන්ම තැනිතලා රටක්.
මේ නිසා නෙදර්ලන්ත වැසියන්ට අමතර අපහසුතාවකින් තොරව බොහෝ නගර තුල බයිසිකලෙන් සිය වැඩකටයුතු කරගන්න පුලුවන්.
ආරක්ෂාකාරීව දරුවන් හෝ භාණ්ඩ රැසක් ගෙනයාම සඳහාම, බක්කියක් සහිතව නිර්මාණය කල බක්ෆියෙට් (bakfiet) නම් නෙදර්ලන්ත බයිසිකල් වර්ගය.
නෙදර්ලන්තයේ බයිසිකල් ඉතිහාසය
මුලින්ම ධනවතුන්ගේ විනෝදාංශයක් වුනු බයිසිකල් පැදිල්ල 1900 ගණන් වෙනකොට සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වුනා. කාර්මික විප්ලවය සමග ඇතිවූ මහා පරිමාණ නිෂ්පාදන තාක්ෂණයේ දියුණුව නිසා අඩුමිල බයිසිකල් යුරෝපයේ බොහෝ රටවල් වල ජනප්‍රිය වුනා.
මහා පරිමාණ බයිසිකල් නිෂ්පාදනය 1900
කිසිදු වියදමක් නොමැතිව ගමන් කල හැකි වීම ඒවායේ ජනප්‍රියතාවයට හේතුවුනා. 1900 ගණන්වල යුරෝපය, අද අප දන්නා සමෘධිමත් යුරෝපයට වඩා වෙනස්.
කර්මික විප්ලවය නිසා මහා ධනකුවේරයින් හා දැවැන්ත සමාගම් බිහිවී තිබුණත්, සාමාන්‍ය යුරෝපීය වැසියා (ordinary European) අඩු ආදායම් ලැබූ, සකසුරුවමෙන් ජීවත්වූ පුද්ගලයෙක්. බොහෝ විට ඔවුන් රජයේ රැකියා, කර්මාණ්තශාලාවල රැකියා කල, ප්‍රවාහන, වරාය, දුම්රිය සේවාවල රැකියා කිරීමෙන් හෝ ගොවිතැන් වල නිරතවුනු සරල ජීවිත ගත කරන්නන් වුනා.
වෙනත් යුරෝපීය බලවතුන් මෙන්ම නෙදර්ලන්තය ලංකාව ඇතුලු යටත් විජිත පාලනය කරමින් මහා ධනස්කන්ධයක් යුරෝපය වෙතට ගෙන ගියද, එම ධනය යුරෝපා රජපවුල් හා ධනවත් පවුල් අතර රැඳුනු අතර සාමාන්‍ය ජනයාවෙත කාන්දු වුනේ බොහෝ අඩුවෙන්.
ඒ නිසා බයිසිකලය 1900-1950 අතර ජීවත්වූ සාමාන්‍ය යුරෝපා වැසියාගේ ප්‍රියතම පෞද්ගලික ප්‍රවාහණ මාධ්‍යය වුනා. ඒ අනුව නෙදර්ලන්තයේද ලක්ෂ ගණන් බයිසිකල් භාවිතා වුනා. ඔය කාලවකවාණුවේ පලමුවන ලෝක යුද්ධය ඇතිවීම (1914-1918) මෙන්ම 1930 ගණන්වල ඇතිවූ දරුණු ආර්ථික කඩාවැටීම (1929-1939) නිසා, යුරෝපයේ සාමාන්‍ය මිනිසුන් තව තවත් දුප්පත් වීමද බයිසිකල් භාවිතය වඩාත් ඉහල යාමට හේතුවුනා.
1939-1945 දෙවෙනි ලෝක යුද්ධ සමයේ ඉන්ධන ඉතා දුර්ලභවීමෙන් බයිසිකල් තවත් ප්‍රචලිත වුනා.
මුලු යුරෝපයේම සියලු සම්පත් යුද්ධයට යෙදවුනු අතර සිවිල් ජනය සඳහා නිෂ්පාදන නැවතුනා. ඒ අනුව කාර් නිෂ්පාදනය සිදු නොවුනු අතර සියලු සිවිල් වාහන කර්මාණ්තශාලා යුද්ධයට අවශ්‍ය වාහන හා යුද්ධ ටැංකි නිෂ්පාදනයට අනුවර්තනය කර තිබුණා. මහජනතාව සතුව තිබූ පෞද්ගලික වාහන බොහොමයක් හමුදා හා සිවිල් ආරක්ෂක සේවාවල භාවිතයට පවරාගෙන තිබුණා. ඒ නිසා නෙදර්ලන්තයේ මෙන්ම අනෙක් සියලු යුරෝපා රටවල් වලද බයිසිකල් භාවිතය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වැඩිවී තිබුනා.
යුද්ධයෙන් විනාශවුනු යුරෝපය යලි ගොඩනැගීමේ මාෂල් සැලැස්මෙන් යුරෝපය සමෘධිමත් වෙයි.
යුද්ධයෙන් පසු යුරෝපය ගොඩනැගීමට ඇතිකල මාෂල් සැලැස්මෙන් (Marshall Plan) යුරෝපයේ කාර් නිෂ්පාදනය වේගවත් වෙනවා. ප්‍රංශ, බ්‍රිතාන්‍ය හා ඉතාලි කාර් දැවැන්තයින් යලි කාර් නිෂ්පාදනය මහා පරිමාණයෙන් පටන් ගැනීමද නිසා කාර් ලාභ හා පහසු ප්‍රවාහණ මාධ්‍යයක් වුනා. ජර්මනිය, ප්‍රංශය, ඉතාලි, බ්‍රිතාන්‍ය මෙන්ම ඉතා කාර්යක්ෂම මෙන්ම මිලෙන් අඩුවූ ජපන් කාර්ද යුරෝපයේ ප්‍රචලිත වීම නිසා යුරෝපා ජනයා 1950-1960 දශකවලදී කාර් භාවිතයට ඇබ්බැහි වෙනවා. ඉන්ධන ලාභවීම මෙන්ම යුරෝපය පුරා අධිවේගී මාවත් ඉදිවීමද කාර් භාවිතය ඉහල යාමට හේතුවෙනවා.
නෙදර්ලන්තයද මේකාලය වන විට බයිසිකල් භාවිතය අත් හරිමින් කාර් භාවිතයට හුරුවෙමින් සිටියා.
1970 ලෝක තෙල් අර්බුධය - යුරෝපය නැවතත් බයිසිකල් වලට යොමුවේ
1973දී මැදපෙරදිග යුධ ගැටුම් ඇතිවීමෙන් ඔපෙක් සංවිධානය තෙල් සැපයුම් සීමා කිරීම හා මිල ඉහල දැමීම මෙන්ම, ලොව විශාලම තෙල් නිෂ්පාදකයෙකු වූ ඉරාණයේ 1979දී සිදුවූ විප්ලවය නිසා බටහිර තෙල් සමාගම් ඉරාණයෙන් පන්නා දැමීමද නිසා බටහිර යුරෝපයේ තෙල් මිල අති විශාල ලෙස ඉහල ගිය අතර දැඩි ඉන්ධන හිඟයක් ඇතිවුනා.
1985 වන විට තෙල් යලි සුලභවී, යුරෝපය නැවතත් කාර් වැළඳගත්තා
1980 මැද භාගය වෙනකොට තෙල් මිල ස්ථාවරවීම මෙන්ම වෙනත් තෙල් ප්‍රභව සොයා ගැනීම නිසා තෙල් මිල යලි පහල බැස්සා.
මැද පෙරදික තෙල් ඒකාධිකාරිය කඩා දැමීමට මෙක්සිකෝව, වෙනියුසුවේලාව, නයිජීරියාව, මැලේසියාව බ්‍රිතාන්‍යයේ උතුරු මුහුදේ මහා තෙල් ආකාර සොයාගැනීම, ඇමරිකාවේ හා කැනඩාවේ තෙල් කැණීම් සීග්‍රවීම හේතුවුනා.
නෙදර්ලන්තය බයිසිකල් භාවිත කිරීම දිරිමත් කිරීමේ ජාතික ප්‍රතිපත්තිය දිගටම ගෙන ගියා.
යුරෝපය යලි කාර් වලට යොමුවුනත්, නෙදර්ලන්තය, බයිසිකල් භාවිතය ප්‍රචලිත කිරීමේ ජාතික ප්‍රතිපත්තියේ දිගටම සිටියා. සෑම නිවැසියෙකුටම බයිසිකලයකින් වැඩට යාමට හෝ, බයිසිකලය පැදගෙන බස් නැවතුමට, දුම්රිය පොලට ගොස් බයිසිකලය එහි දමා පොදු ප්‍රවාහණ සේවයෙන් නගරයට යාමේ සැලසුම් නිසි ලෙස සකස් කලා.
මෙම සැලසුම් අදටත් ක්‍රියාත්මකයි. වසර 40ක් පමණ ක්‍රියාත්මකවූ ජාතික බයිසිකල් ප්‍රවර්ධන ප්‍රතිපත්තිය නිසා අද වනවිට
1) මිලියන 17ක් නෙදර්ලන්ත වැසියන්ට බයිසිකල් මිලියන 22ක් තිබෙනවා. බොහෝ නිවෙස් වල වැඩට යන්නට බයිසිකල්, බඩු ගේන්න බක්කි සහිත බයිසිකල්, විනෝදයට පදින්නට බයිසිකල් ආදී වශයෙන් බයිසිකල් වර්ග දෙක තුනක් තිබෙනවා.
2) කිලෝමීටර් 32,000ක ලොව වැඩිම බයිසිකල් මාවත් ඇති රට බවට නෙදර්ලන්තය පත්වෙලා
3) කාර් භාවිතය අවම නිසා වසරකට රිය අණතුරු වලින් ජීවිත 5000ක් පමණ බේරෙනවා.
4) ස්ථුල භාවය අඩු, නිරෝගීම ජනතාවක් වෙසෙන රට බවට නෙදර්ලන්තය පත්ව තිබෙනවා.
5) නෙදර්ලන්ත වැසියන් වසරකට කිලෝමීටර් බිලියන 13ක් බයිසිකල් පදින බව 2018 සිදුකල සමීක්ෂණයකදී හෙලිවුනා