MH-17 යානය යුක්‍රේනයට ඉහල අහසේදී ප්‍රහාරයකට ලක්‍වීම ලොව පුරා මහත් ආන්‍දෝලනයකට තුඩුදී ඇත. අමෙරිකාව, යුරෝපය හා යුක්‍රේනය එක් පිලකද රුසියාව හා රුසියානු හිතවාදී බෙදුම්‍වාදී කැරලිකරුවන් තවත් පිලකටද බෙදී එකිනෙකාට චෝදනා කර ගනිති. යානයට මිසයිල ප්‍රහාරයක් එල්‍ලවූ බවට අමෙරිකාව චෝදනා කරන අතර එය යුක්‍රේනයේ සිටින රුසියානු සම්‍බ්‍හවයක් ඇති බෙදුම් වාදීන් විසින් රුසියාව විසින්‍ම ලබාදෙන ලද බක් ගුවන් යානා නාශක මිසයිලයකින් සිදුකරන ලද බවට අමෙරිකාව චෝදනා නගයි. එය යුක්‍රේන හමුදාව විසින් ජනාධිපති වැඩිමීර් පුටින් ගේ ගුවන් යානය ඉලක්‍ක කරගෙන එල්‍ලකල ප්‍රහාරයක් බව රුසියානු මාධ්‍ය ප්‍රචලිත කරන්‍නට උත්‍සහ කරයි.
මෙම ප්‍රහාරය හිතාමතා සිදුකල දෙයක්‍ද? වැරදීමක්‍ද? වැරදුනේ කාටද? යන්න පිලිබඳව නිශ්චිතව පැවසීමට තවමත් නොහැකිය. එහෙත් මේ තර්ක එකිනෙක ගෙන විමසා බැලීමෙන් අපට සිදුවූයේ කුමක්ද යන්න පිලිබඳව යම් අදහසක් ගත හැකිය.
මෙම ප්‍රහාරය හිතාමතා සිදුකල දෙයක්‍ද?
මෙම උපකල්පණය සත්‍ය නම් එම ප්‍රහාරය කලින් සැළසුම් කොට, මගී ගුවන් යානයක් බව දැන දැනම එයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැළසුම දියත්කලා විය යුතුය. එසේ නම් එය සිදුකලේ රුසියානු හිතවාදී යුක්‍රේන කැරළිකරුවන්ද? නැතහොත් යුක්‍රේන හමුදාවද?
රුසියානු හිතවාදී යුක්‍රේන කැරළිකරුවන් යයි උපකල්පණය කරන්නේ නම් මගින් තුන්සියයක් රැගත් යානයක් බිම දැමීමෙන් රුසියාවට හෝ රුසියානු හිතවාදී යුක්‍රේන බෙදුම්වාදීන්ට ඇති වාසිය කුමක්ද? යුක්‍රේන අවුල හා ක්‍රිමියානු අවුලට මැදිහත්වීම නිසා දැනටමත් රුසියාවට නිළ නොවන සම්බාධක වැටී ඇත. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ලඟම හිතවතුන්, නිළධාරීන් හා කෝටිපති ව්‍යාපාරිකයින්ගේ අමෙරිකානු බැංකු ගිණුම් තහනම් කොට ඇති අතර අමෙරිකානු බැංකු හරහා ගණුදෙනු කිරීම, මුදල් සම්ප්‍රේෂණය, ආනයනය අපනයනය වැනි කටයුතු තහනම් කොට ඇත. මෙය පුටින් වෙත පීඩනයක් එල්ල කිරීම සඳහා සිදුකල ඉලක්කගත සම්බාධක සමූහයකි.
මෙම සම්බාධක වලින් රුසියානු ආර්ථිකයට එතරම් කෙටිකාලීන් බලපෑමක් නැතත්, මගී ගුවන් යානයකට හිතා මතා පහරදීම හෝ සිය අතකොලු වන බෙදුම්වාදීන් මාර්ගයෙන් සිදුකරවීම රුසියාවට කිසිදු ආකාරයක දේශපාලන හෝ ආර්ථික වාසියක් නොමැති, ලොව රුසියානු හිතවාදී රාජ්‍ය පවා රුසියාව සමගම එකට සිටගැනීම වැලැක්විය හැකි අඥාණ ක්‍රියාවක් බව පෙනේ. රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් වලදී ඉතා පරිණත බවක් පෙන්වන, දක්ශ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් හා ඔවුනට නිවැරදි තොරතුරු කලට වේලාවට ලබාදෙන සූක්ෂ්ම රහස් ඔත්තු සේවාවලින් සපිරි රුසියාව කිසිවිටකත් මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික මඩ ගොහොරුවක හිතා මතා වැටෙනු ඇතැයි සිතිය නොහැකිය.
එහෙත් මෙයට පෙර රුසියාව, සෝවියට් දේශය ලෙසින් සමාජවාදී රාජ්‍යක් වූ කාලයක හිතා මතා මගී ගුවන්යානයකට ප්‍රහාරයක් එල්ල කලේය. ඒ 1983 වසරේ වැරදීමකින් සෝවියට් ගුවන් සීමාවට ඇතුලුවූ කොරියානු ගුවන් සේවයට අයත් පියාසර අංක KAL 007 බෝයිං 747 ජම්බෝ ජෙට් යානයට සෝවියට් ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් මගින් මිසයිල ප්‍රහාරයක් එල්ලකලේය. මෙහිදී සෝවියට් ගුවන් නියමුවාට එය මගී ගුවන් යානයක් බව හොඳා කාරවම පෙනුනු අතර ඔහු එය සිය අණදෙන නිළධාරීන් හට වාර්තා කලේය. එහෙත් පහරදීමට අණ ලැබුණි. මගීන් 246කගේ හා කාර්ය මණ්ඩළය 23දෙනෙකුගේ ජීවිත අහිමිවිය.
මේ ප්‍රහාරය පිලිබඳව කල්පිත ඉදිරිපත් කරන බටහර පර්යේෂකයින් පිරිසක් පවසන්නේ එම කොරියානු යානය සෝවියට් ගුවන් කලාපයට ඇතුලුවීම අත්වැරදීමක් නොවන බවත් එය අමෙරිකානු සී.අයි.ඒ හා එන්.එස්.ඒ ඔත්තු සේවා මගින් එම රුසියානු භූමී ප්‍රදේශයේ පිහිටුව ඇති අධිආරක්ශිත සෝවියට් යුධ මධ්‍යස්ථාන වල තොරතුරු එකතුකිරීම සඳහා ඔත්තු බැලීමේ උපකරණ සවිකොට ඔත්තුසේවා ඒජන්තයින්ද සහිතව සෝවියට් ගුවන් සීමාවට වැරදීමක් සේ පෙනෙන ආකාරයට හිතා මතා ඇතුලුකල පියාසැරියක් බව පවසනවා. ඔවුන් සිය ඔත්තු සෙල්ලම සඳහා සිය ගණනක් අහිංසක මගී ජීවිත බිලිදුන් බවට මෙම පර්යේෂකයින් චෝදනා කරනවා.
වැරදීමක්‍ද? වැරදුනේ කාටද?
රුසියාවට චෝදනා කරන බටහිර ජාතීන් පවා මෙය රුසියානු හිතවාදී කැරලිකරුවන් වැරදීමකින් එල්ල කල ප්‍රහාරයක් බව පවසනවා. සත්‍යය එය වීමට බොහෝවිට ඉඩ තිබෙනවා. එහෙත් කාටද සැබැවින්ම වැරදීම සිදුවුනේ යන්න ගැටලුවක්.
කැරළිකරුවන්ට වැරදුනානම් ඔවුන් සිය මිසයිල පද්ධතියේ ඉලක්ක හඳුනාගන්නා රේඩාර් තිරයේ සටහන් වුනු විශාල යානය තවත් යුක්‍රේනයට අයත් ඇන්ටනොෆ් යානාවක් බව සිතන්නට ඇති. එහෙත් ගැටලුව නම් සියලුම ගුවන් යානා IFF [Identification Friend or Foe] ලෙස හැඳින්වෙන අන්තර්ජාතික වශයෙන් පිලිගත් හඳුනා ගැනීමේ ගුවන් විදුලි සංඥා නිකුත් කරන බවත් අතීතයේ සිටම නිර්මාණය කල ගුවන්යානා නාශක මිසයිල පද්ධති මෙම සංඥා හඳුනාගෙන ඒ පිලිබඳව මිසයිල පද්ධතිය ක්‍රියාත්මක කරවන්නන්ට අණතුරු අඟවන බවයි.
IFF සංඥා යුධමය සංඥා [military codes] හා සිවිල් සංඥා [civil codes] ලෙස පැහැදිලිවම සංඥා වර්ග දෙකකට බෙදා ඇත්තේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුවයි. ඒ අනුව එම යානා හසුකරගන්නා රේඩාර් යන්ත්‍රවලට එම යානය යුධ ගුවන්යානයක්ද සිවිල් ගුවන් යානයක්ද යන්න පැහැදිලි කරගත හැකියි. මෙම හැකියාව සියලුම ගුවන්යානා නාශක මිසයිල පද්ධතිවලටද ඇතුලු කොට ඇත්තේ අත්වැරදීමකින් සිවිල් යානාවලට ප්‍රහාර එල්ලවීම වැලැක්වීම සඳහායි. ගුවන්යානා නාශක මිසයිල පද්ධතියක රේඩාර් තිරයේ සිවිල් ගුවන් යානයක් දිස්වන්නේ නම් එය සිවිල් යානයක් බව පැහැදිලිවම දක්වා සිටිනවා. පුහුණු මෙහෙයුම් කරුවන් එවිට එම යානා පිලිබඳ ගත යුතු පියවර කුමක්දැයි සිය මූලස්ථානයෙන් විමසා සිටිනවා.
MH15 යානයේ IFF ට්‍රාන්ස්පොන්ඩරය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් සිවිල් ගුවන් යානා සංඥාව නිකුත් කරමින් සිටි බව එම යානයේ ගමන් මග නිරීක්ශණය කල රේඩාර් මධ්‍යස්ථානවල සටහන් වී තිබෙනවා. ඒ අනුව යානය සිවිල් ගුවන්සේවා නීතිරීති වලට අනුකූලව, ගමනට පෙර ඉදිරිපත් කල පියාඅසර සැළසුමට අනුව, ගුවන් පාළන මධ්‍යස්ථානවලින් ලැබුණු උපදෙස් පිලිපදිමින් පියාසර කොට තිබෙනවා.
එසේනම් වැරදුනේ කෙසේද? කාටද?
යුක්‍රේන හමුදාව මෙම ප්‍රහාරය එල්ල කල බව රුසියාව පවසනවා. ඔවුන්ගේ ඉලක්කය වන්නට ඇත්තේ ජනපති පුටින්ගේ නිළ ගුවන්යානය බව රුසියානු රජය කෙලින්ම නොපැවසුවත් සිය පාලනය යටතේ තිබෙන පුවත්පත් හා රූපවාහිණී නාලිකා හරහා එවැනි මතයක් ගොඩනගනවා.
යුක්‍රේනයේ ඉලක්කය සැබවින්ම පුටින්ගේ යානය වූවානම්, එයයි වරදවා සිවිල් ගුවන් යානයකට පහරදීම වැනි අත්වැරැද්දක් සිදුවිය හැකිද?
යුක්‍රේනය යනු පැරණි සෝවියට් දේශයේ රාජ්‍යයකි. සෝවියට් දේශය බිඳවැටෙනවිට එම රාජ්‍යය මගින් යුක්‍රේනයේ ස්ථාපනය කොට තිබූ දියුණු යුධමය යටිතල පහසුකම් මෙන්ම ඒවා නිවැරදිව භාවිතා කිරීමට පුහුණු නිළධාරීන් මෙන්ම අණදෙන හා පාළන ව්‍යහයක් [command and control structure] යුක්‍රේනයට උරුම වුනා. අද රුසියාවට පවා මුහුණ දෙන්නට යුක්‍රේනයට ශක්තියක් වී ඇත්තේ සෝවියට් දේශයෙන් උරුම වුනු යුධමය හැකියාවන්.
එවැනි පුහුණු නිළධාරීන්, තාක්ශණය හා උපකරණ උරුමවූ යුක්‍රේනය ඉතා ආධුනික ලෙස හොඳින් සොයා නොබලා සිවිල් ජෙට් යානයක් බිම හෙලයිද? රුසියාවත් සමග අරගලයක පැටලී රට දෙකඩ වන්නට යන මොහොතක බටහිර සහය සහමුලින්ම නැතිවන ආකාරයේ මෝඩ ක්‍රියාවකට යුක්‍රේන මිලිටරි හෝ සිවිල් නායකත්වය යොමුවෙයිද?
එපමණක් නොව ලොව තෙවෙනි බලවත්ම පුද්ගලයා වන ව්ලැඩිමීර් පුටින් යන ගුවන් යානයේ ගමන් මාර්ග යුක්‍රේනය වැනි එතරම් බලසම්පන්න නොවන, ලොව පුරා විහිදීගිය රහස් ඔත්තු ජාලයක් නොමැති, චන්ද්‍රිකා හා වෙනත් අධිතාක්ශණික උපකරණ නොමැති රටක් කෙසේ කලින් දැන ගත්තාද? එය සැබැවින්ම සිදුවූවා නම් රුසියානු රහස් ඔත්තු හා ආරක්ශක අංශවල දැවැන්ත පරාජයක් හා අසමත්වීමක් මෙන්ම කුඩා, දුර්වල යුක්‍රේනයට මහත්වු ජයග්‍රහණයක් නොවේද? එසේනම් තවමත් රුසියානු ආරක්ශක හා බුද්ධි අංශ ප්‍රධානීන් සිය ධූරවල වැජබෙන්නේ කෙසේද?
ඉලක්කය පුටින්ම වූවානම්, යුක්‍රේනය එය සැළසුම් කලානම්, ඔවුන් එසේ කලේ හොඳ සිහියෙන් යයි සිතිය හැකිද?
රුසියාව යනු දැවැන්ත යුධ යන්ත්‍රයකි. මිලියනයකට අධික හමුදාවක්, දහස්ගණන් යුධ ගුවන්යානා, බැලිස්ටික් මිසයිල, න්‍යශ්ඨික බෝම්බ, කෲස් මිසයිල, න්‍යශ්ඨික සබ්මැරීන වලින් සන්නා සන්නද්ධ, යුධ ශක්තිය අතින් චීනයට වඩා ඉදිරියෙන් සිටින සුපිරි බලවතෙකි. එවැනි රටක නායකයා හට අණතුරක් කරන්නට යුක්‍රේනය සිතුවානම් ඔවුන්ගේ යුධ හා සිවිල් නායකත්වයේ සියළුදෙන මානසික වෛද්‍යවරුන් වෙත යොමුකල යුතුය.
යුක්‍රේනය සිය ජනාධිපතිවරයා ගමන්ගත් යානය ඉලක්ක කලබවට රුසියාවට අබැටක හෝ සාක්ශියක් තිබේනම්, මේ වනවිටත් යුක්‍රේනයේ අගනුවර වන කීයෙව් නුවර රුසියානු බෝම්බ ප්‍රහාරක යානා මගින් බිමට සමතලා කොට අවසන් බව ලේඛකයාගේ හැඟීමයි. එසේ නම් දැන් කියෙව් නුවර ලෙල දෙන්නේ රුසියානු ධජය මිස යුක්‍රේන ධජය නොවේ.
වැරදුනේ රුසියානු හිතවාදි බෙදුම්වාදී කැරලිකරුවන් හටද?
වැරදුනේ රුසියානු හිතවාදි බෙදුම්වාදී කැරලිකරුවන් හටනම්, සැබැවින්ම වැරදී ඇත්තේ රුසියාවට බව සිතිය හැකිය. රුසියාව දැන් පැටලී සිටින රාජ්‍යතාන්ත්‍රික පඹගාල ඊට නිදසුන්ය.
රුසියානු මිලිටරි නායකත්වය හෝ බුද්ධි අංශ දුරදිග නොබලා විනාශකාරී අවියක් නුපුහුණු මෙන්ම සික්ෂණයකින් තොර කැරළිකරුවන් රැළකට ලබාදීමින් සිදුකර ගෙන ඇත්තේ මහත් විනාශයකි. මෙවැනි බලසම්පන්න අවියක් පරිහරණය කරන්නවුන් හට එම අවියේ බලය සමග එන, එය භාවිතා කිරීමේදී තිබිය යුතු හික්මීම ඉතා වැදගත්ය. නැතහොත් සිදුවන්නේ දැළි පිහිය අතැති වඳුරා සිදුකර ගත් දෙයමැයි.
හික්මීමක්, සංයමයක්, වැඩිදුර සොයාබැලීමේ, වගකීම් ගැනීමේ පුරුද්දක් නොමැති මොවුන් සිය රේඩාර් තිරයේ දිස්වන ඕනෑම ගුවන් යානයකට පහරදීමේ බොත්තම ඔබන්නට ඇති බව ලේඛකයාගේ විශ්වාසයයි. මිසයිල පද්ධතියේ රේඩාර් යන්ත්‍රය එය සිවිල් ගුවන්යානයක් බව හඳුනාගෙන ඒ පිලිබඳව තොරතුරු මෙහෙයවන්නන් හට දක්වන්නට ඇති බව ලේඛකයා විශ්වාස කරන අතර ප්‍රහාරයට අණ ලැබුනේ එම මිසයිල පද්ධතිය මෙහෙයවන්නන් හට එම පද්ධතියෙන් සිවිල් යානා පිලිබඳව ලැබෙන අණතුරු ඇඟවීම් තේරුම් ගන්නට තරම් පුහුණුවක් නොතිබුණු නිසා යන්න ලේඛකයාගේ විශ්වාසයයි. කෙසේ හෝ ඉලක්කයක් ලබාගන්නටත්, පහර එල්ල කරන්නට එබිය යුතු බොත්තම ඔබන්නටත් හැරෙන්නට වෙන කිසිදු පුහුණුවක් මොවුන් හට තිබෙන්නට නැතිවාට සැක නැත. එම වැරැද්දට අහිංසක ජීවිත 300කට ආසන්න ගණනකට වන්දි ගෙවන්නට සිදුවිය.
සබැඳි ලිපි :