මෙන්න විද්‍යාගවේෂණ සයිකල් පදින්නට ඉගෙන ගත්ත ආර්.එම්.අයි බයිසිකලේ. මේක වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක තිබිලා හොයාගත්ත පිංතූරයක්. මේ කොම්පැණිය දැන් බංකොලොත් මම හිතන්නේ. |
ඒ කාලේ කියන්නේ විද්‍යා ගවේෂණ සයිකල් පදින්නට පුරුදුවුනු 1980 ගණන්වල සයිකල් ලෝකේ කිරුළු පැළඳි රජ්ජුරුවෝ වුනේ රැලේ බයිසිකලයයි (Raleigh). එන්ගලන්තෙන් ගෙනල්ලා හන්ටර් සමාගමෙන් ලංකාවේ විකුණපු රැලේ බයිසිකල් අවුරුදු 20-25 පදින්න පුලුවන්, රෙපයාර් කරන්න බොහොම ලේසි, ඒවගේම කොලිටියෙන් උපරිම බයිසිකලයක්. ඒත් රැලේ සයිකල් ගොඩක් ගණන් නිසා හුඟ දෙනෙකුට රැලේ බයිසිකලේ කියන්නේ තවත් ඉටු නොවන දෙයක් විතරයි. හැමෝම රැලේ බයිසිකලේ හොඳ කිය කිය අඩුවට තිබුණු ඉන්දියන්, චීන බයිසිකල් ගත්තා.
ඔය කියන කාලේ වැඩියෙන්ම ජනප්‍රිය වුනේ RMI, Hero වගේ ලාබ ඉන්දියන් බයිසිකල් වගේම ඊට වඩා ටිකක් කොලිටියෙන් වැඩි, ගාණෙනුත් වැඩි ෆ්ලයිං පිජන් කියලා චීන බයිසිකලයක්. ෆ්ලයින් පිජන් බයිසිකලේ බලන්න ලස්සනයි. දිලිසෙන ක්‍රෝමියම් ප්ලේට් කරපු හැඬල්, රිම් වගේම ලස්සන ක්‍රෝමියම් ප්ලේට් කරපු හෙඩ් ලයිට් එකකුත් ඒකේ තිබුණා. ලයිට් එක වැඩකරේ පිටිපස්සෙ රෝදෙ කරකැවෙන කොට වැඩකරන ඩයිනමෝ එකකින්. ඒ ලයිට් සෙට් එකේ පිටිපස්සට චූටි රතුපාට ටේල්-ලයිට් එකකුත් තිබුණා. හරිම ලස්සනයි. අතමිට තියෙන අය ගත්තෙම ෆ්ලයින් පිජන් බයිසිකල්. අපිට නම් ෆ්ලයිං පිජන් එකත් හීනයක් වුනා.
ඒකාලේ හරියට ජනප්‍රිය ෆ්ලයින් පිජන් බයිසිකලේ.
ඡායාරූප http://www.flying-pigeon.eu/index.htm අනුග්‍රහයෙන්.
මේ ඡායාරූපවල පෙනෙන PA-02 මොඩල් එක තමයි
1980 ගණන්වල ලංකාවේ ජනප්‍රියම ෆ්ලයිං පිජන් මොඩල් එක වුනේ.
අපි ඒකාලේ යාලුවොත් එක්ක ගම වටේම සයිකල් පැද්දා. රේස් ගියා. ගෙදර වැඩ කරන්නේ නෑ කියලා අම්මාගෙන් හැමදාම බැනුම්. ඒවගේම මම සයිකලේ අරගෙන හන්දියට ගිහින් පාරේ වාහනයක හැප්පෙයි කියලා අම්මා පුදුම බයකින් හිටියේ. ඔය බය නිසාම අම්මා හැමදෑම තාත්තා ආවහම, මගේ බයිසිකල් පැදිල්ල ගැන තාත්තාට පැමිණිලි කරනවා. අන්තිමට තාත්තා මට සයිකල් පදින එක තහනම් කලා. ඒකෙන්ම මට සයිකල් පැදිල්ල එපා වුනා. කොච්චර එපා වුනාද කියනවානම් ඒකාලේ හැමදෑම දූවිලි පිහිදලා, තෙල් දාලා පරිස්සම් කරන බයිසිකලේ මළකඩ කන්න පටන් ගත්තා. ආර්.එම්.අයි බාල කොලිටිය නිසා රිම් එක හැඬල් එක වගේ ක්‍රෝමියම් ප්ලේට් කරලා තියෙන ඒවත් මළකඩ කන්න පටන් ගහ්ත්තා.
ඊට පස්සෙ තාත්තා මට සයිකලේ පැදපන්කෝ කියන තරමට පාවිච්චි නොකර තිබිලම බයිසිකලේ අබලන්වුනා. ඒත් අම්මාගෙන් බැනුම් අහලා අහලා මට සයිකල් කියන එක තිත්ත වෙලා. තාත්තා කිව්වත් මම පැද්දේ නෑ. අන්තිමට හොඳටම මළකඩ වලින් වැහුණ අපේ ආර්.එම්.අයි එක පරණ යකඩ ගාණට මනුස්සයෙක් අරගෙන ගියා.
මේ ෆොටෝ දකිනකොට මට හිතෙන්නේ මගේ පරණ ආර්.එම්.අයි එක ආපහු ඇවිල්ලා කියලයි. බලන්න සීට් එක දිහා. සීට් එක උස් පහත් කරන්න බෑ. හරි තදයි. ස්ප්‍රිං තිබුණට ඕක ගල්ගෙඩියක් වගේ හයියයි. පැයක් විතර පදිනකොට පස්ස උඩින් ගල් රෝලක් ගියා වගේ හරි අමාරුයි.
ඒ වගේම ආර්.එම්.අයි එකේ ගොඩක් ඇණ, මුරිච්චි වානේ නෙමෙයි, මහ බාල යකඩ ජාතියක්. ඒ නිසා අඬුවෙන් හරි යතුරකින් හරි කරකවනකොට මුරිච්චියේ ඔළුවේ හැඩය වෙනස් වෙලා රවුම් වෙනවා, ඊට පස්සේ තද කරන්නත් බෑ බුරුල් කරන්නත් බෑ. ඒ විතරක් නොවෙයි කොච්චර තෙල් දැම්මත්, රේසර් බෝල අළුතින් දැම්මත් පිටිපස්සේ ෆ්ලයිවීල් එකෙන් එන කරස් කරස් සද්දේ නවතින්නේම නෑ.
ඒ කොහොම වුනත්, මට දැන් හිතෙනවා ඒ ආර්.එම්.අයි එක තිබුණානම් කියලා. කබල් වුනත්, හදන්න බැරි වුනත්, ඒක පරිස්සම් කරලා තියාගන්න තිබුණා. ඒත් දැන් මොනවා කරන්නද?
විද්‍යා ගවේෂණගේ ජීවිතේට සයිකල් ආයෙත් එකතුවුනේ ආර්.එම්.අයි එක තිබුණු අසූ ගණන්වලින් අවුරුදු 30කට විතර පස්සේ මේ මෑතකදී. හරියටම කියනවා නම් 2014දී.
1980 ගණන්වල අවුරුදු 13-14 කොළු ගැටයෙක් විදියට ගම වටේ යාලුවන් එක්ක සයිකල් පැදපු විද්‍යා ගවේෂණට දැන් ඒ වයසෙම දූලා දෙන්නෙකුත් ඉන්නවා. අවුරුදු 30කට පස්සේ විද්‍යා ගවේෂණ ආයෙත් ආසාවෙන් සයිකල් පැද්දේ 2014 අප්‍රේල් මාසේ දුවලත් එක්ක නුවර එළි ගිහිල්ලා ග්‍රෙගරි වැවේ සයිකල් පදින්න හදලා තියෙන සයිකල් ට්‍රැක් එකේදී. ඊට කලින් හදිස්සියකට කාගෙන් හරි ඉල්ල ගත්ත සයිකල් පැදලා තිබුණත්, පොඩි කාලේ වගේ ආසාවෙන් විනෝදෙන් පැද්දේ ඔන්න එදා තමයි. දුවලා දෙන්නත් එක්ක විනෝදෙන් සයිකල් පැදපු විද්‍යා ගවේෂණට අවුරුදු 30කට පස්සේ ආයෙත් සයිකල් පිස්සුව හැදුනා.
දැන් විද්‍යා ගවේෂණ පුලුවන් හැම වෙලාවෙම සයිකල් පදිනවා... තනියම නෙමෙයි දුවලත් එක්ක. එයලාත් සයිකල් පදින්න කැමතියි.
අපි තුන්දෙනාට සයිකල් තුනක් තියෙනවා. ගොඩක් ගණන් ඒවා නෙමෙයි. මම බයිසිකල් වලට ගොඩක් වියදම් කරන්න කැමති නෑ. මොකද අද කාලේ ගොඩක් සයිකල් බ්‍රෑන්ඩ් සාමාන්‍යයෙන් හොඳ කොලිටියකින් එනවා. ලුමාලා, ඩී.එස්.අයි වගේ ලංකාවෙ බ්‍රෑන්ඩ් සෑහෙන්න හොඳ තත්වයෙන් තියෙනවා. මගේ දුවලා ලුමාලා BMX මාදිලියේ සයිකල් දෙකක් පදිනවා. මම ඩී.එස්.අයි සයිකලයක් ගත්තා. උපරිම කොලිටි නැතිවුනත්, ඕනෑම වෙලාවක පදින්න පුලුවන් තත්වයක තියෙනවා. ඒ ඇතිනෙ ඉතින්.
සයිකල් තුන අරගෙන තැන් තැන් වලට යන්න අපි ආස නිසා, කාර් එකේ පිටිපස්සේ සයිකල් තුනක් එල්ලගෙන යන්න පුලුවන් සයිකල් රැක් (cycle rack) එකක් ගත්තා. ඒකත් ටිකක් අඩුව ඔන්ලයින් ශොප් එකකින් හමුවුනු එකක්. ඒකේ ආපු ස්ට්‍රැප් (straps) හයිය මදි කියලා හිතුනු නිසා ආමර් වීදියේ හාඩ්වෙයාර් කඩයකින් කාගෝ-බෙල්ට් කියලා කියන නයිලෝන් බෙල්ට් අරගෙන කපලා හොඳ හයිය ස්ට්‍රැප් හදා ගත්තා. දැන් සයිකල් තුනක් දාගෙන බය නැතුව කොහෙ හරි යන්න පුලුවන්. ඒකෙ ෆොටෝ ඉදිරියෙදි දාන්නම්.
සයිකල් පදින කොට ආරක්ශාවට දාන්න ඕනෙ හෙල්මටුත් ගත්තා. මේ ඔක්කොම එක පාර නෙමෙයි. ටික ටික කලේ. විනෝදාංශයක් දියුණු කරගන්න ඕනෑ එහෙම තම්යි. බොරුවට එක පාරට ගොඩක් වියදම් කරලා පටන් ගන්න දේවල් වැඩිකල් යන්නේ නෑ....ඒ මට හිතෙන හැටි.
මගේ සයිකල් තුනම ගෙනියන සයිකල් රැක් එක
මේ ඡායාරූපය Colombo Cycle Fun Rideර් එකට සයිකල් තුන අරගෙන විහාරමහාදේවී උද්‍යානයට ආපු 2016 මාර්තු 20 වැනිදා ගත්ත එකක්. හැබැයි මේ කාර් එක නම් දැන් මගේ ලඟ නෑ. ගිය සතියේ ඒක විකුණුවා.
මමයි දුවලා දෙන්නයි සහභාගීවුනු විනෝදජනක සයිකල් සවාරිය. මේ සවාරිය හැම අවුරුද්දකම තියෙනවා. කිලෝ මීටර් 25ක දුරක් කොළඹ වටේ පදිනවා. රේස් එකක් නෙමෙයි. තමන්ට පුලුවන් වේගයෙන්, තමන්ගේ හිතවතුන්, යහලුයෙහෙලියන් සමග සයිකල් පැදලා විනෝදය වගේම ව්‍යායාමයක් ලබාගන්න තමයි මේ සවාරිය සංවිධානය කරලා තියෙන්නේ.
__________________________________________________________________________.
.
POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR .
.
CONTACT : terence.arachchi@gmail.com.
.
GOOGLE + : About Me .
.
FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
----------------------------------------------------------------------------------------------------------