1933දී බලයට පත් හිට්ලර් ලොවට පෙන්වා සිටියේ ඔහු (හා ඔහුගේ නට්සි නායකයින්) ඉතා විනය සම්පන්න, දුම්වැටි මත්පැන් පවා ප්‍රතික්ෂේප කරන, දැඩි ප්‍රතිපත්ති ඇති ඉතා හික්මුණු පුදගලයින් ලෙසයි. හිට්ලර් මස්මාළු කෑම පවා බොහෝ කලකට පෙර නවතාදැමූ බව පැවසුන අතර ඔහු කෝපි පාණයද ප්‍රතික්ශේපකල අතර තරුණවියේදීම සිගරට් පානයද නවතාදැමූ බව නට්සි ප්‍රචාරක යන්ත්‍රය මගින් ප්‍රචලිත කලා.
එමෙන්ම එකල නට්සීන්ගේ පරම සතුරාවූ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ අගමැති සර් වින්ස්ටන් චර්චිල්ට නට්සීන් නිග්‍රහකලේ ඔහු නිතරම විස්කිවලින් මත්වී සිටින බේබද්දෙකු ලෙසයි. දැඩි විනයකින් ජීවත්වන බව ලොවට පෙන්වූ හිට්ලර් හා ඔහුගේ ඉහලම නිළධාරීන් විවිධ මත්ද්‍රව්‍ය භාවිතාකල, අධිකලෙස දුම්පානය කල, පරදාර සේවනය වැනි දුශ්චරිතවල නිරතවුනු පුද්ගලයින් බව යුද්ධයෙන් පසුව නට්සි ජර්මන් ලිපිගොනු, වෛද්‍යවාර්තා හා වෙනත් සාක්ශි අධ්‍යයනය කල පර්යේෂකයින් විටින්විට හෙලිකරගත්තා.
දෙවනලෝක යුධ සමයේ ජර්මනියේ මහජනතාව මෙන්ම ඔවුන්ගේ අසහාය නායකයාවූ හිට්ලර්ගේ මත් ඇබ්බැහිය පිලිබඳව අලුත්ම තොරතුරු හෙලිවන්නේ ජර්මනියේ පර්යේෂකයෙකු වන නෝර්මන් ඔහ්ලර් විසින් ලියූ "Blitzed: Drugs In Nazi Germany"නැමත පොත මගිනි. නට්සි ජර්මනියේ ත්‍රිවිධහමුදාව මෙන්ම, කම්කරුවන්, ගොවීන්, රියැදුරන් ගුරුවරුන් පමණක් නොව, ගෘහණියන් පවා පර්විටින් ලෙස වෙළඳපොලට හඳුන්වාදුන් මෙතැම්ෆෙටමින් නැමති ප්‍රභල මත්පෙත්ත නිතර භාවිතාකල බව ඔහ්ලර් පවසනවා.
එමෙන්ම ජර්මනියේ අසහාය නායක ඇඩෝල්ෆ් හිට්ලර් විවිධ මත්ද්‍රව්‍ය හා බෙහෙත් අතිවිශාල ප්‍රමාණයක් නිතර ලබාගත්, මත්ද්‍රව්‍ය මගින්ම ජවය ලබාගත් පුද්ගලයෙකු ලෙස හෙලිකරගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය ඔහුට, කුඩාකල සිට තිබූ රෝග නිසා දැනෙන වේදනාව සමනය කරගැනීමට, නිතර පීනසය හැදීම වලක්වාගැනීමට, දිවාරෑ නිදිවරමින් යුධ සැළසුම් සකස්කිරීමට මෙන්ම සිය පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් නිදියහනේදී තෘප්තිමත් කිරීමටද හිට්ලර්ට උපකාරීවුනත්, ඔහුගේ පරාජයටද මෙම මත්ද්‍රව්‍ය නිසා පියවි සිහියෙන් වියුක්තව ගත් උමතු තීන්දු හේතුවුන බව පැවසෙනවා.
ග්ලූකෝස්, විටමින් හා මෙතැම්ෆෙටමින්වලින් සවිබලය ගත් චතුර කථිකයා
1933දී ජර්මනියේ බලය අල්ලාගත් හිට්ලර් 1936වන විට තදබලව අසනීප වී සිටි අතර ඔහුගේ දෙපා චර්මරෝගයක් නිසා වනවී තිබූ අතර ගැස්ට්‍රයිටිස් රෝගයෙන් දැඩිලෙස පීඩාවින්දා. මෙහිදී ඔහුගේ පිහිටට ආවේ දක්ශ වෛද්‍යවරයෙකුවූ තියඩෝර් මොරෙල්. මොරෙල්ගේ ප්‍රතිකාර නිසා සුවය ලැබූ හිට්ලර් ඔහුව සිය පෞද්ගලික වෛද්‍යවරයා ලෙස පත්කරගත්තා.
පොදුජනයා ඉදිරියේ ඉතා ජවසම්පන්න බව පෙන්වීමටත්, මහජනයා ඇමතීමේදී ඉතා වේගවත්, භාවාත්මක (emotional) කතා පවත්වා මහජනයා කුළුගැන්වීමේ හැකියාව තිබූ චතුර කථිකයෙකු වූ හිට්ලර්, පැයකිහිපයක් නොකඩවා ඉතා ජවසම්පන්නව කථාපැවැත්වීමට සවිබලය (stamina) ලබාගත්තේ වෛද්‍ය මොරෙල් ලබාදුන් මෙතැම්ෆෙටමින්, විටමින්, හා ග්ලූකෝස් එන්නත් මගින් බව වෛද්‍ය මොරෙල්ගේ සටහන් ඇසුරෙන් හෙලිවී තිබෙනවා.
1940දී බ්‍රිතාන්‍ය මහා සටන (Battle of Britain) පරාජයවීමෙන් හා 1943දී සෝවියට් රුසියා ආක්‍රමණයේදී නට්සි හමුදා දැඩිලෙස පසුබසින්නට වීම නිසා හිට්ලර්ගේ මත් ඇබැහිය භයානක ලෙස ඉහලයාමට මෙම පරාජයන්ගේ වේදනාව හේතුවූ බව පැවසෙනවා.
පරාජිත හැඟුමන් සමනයට හෙරොයින් වෙලට වඩා බලසම්පන්න ඉයුකොඩෝල් හා පීනස් අමාරුවට කොකේන්
මුලින් මෝෆීන් එන්නත් ලබාගත් හිට්ලර්ට, නිතර භාවිතය මෝෆීන්වල සඑලත්වය (efficacy) අඩුවනවිට ඔහුගේ වෛද්‍යවරුන් තවතවත් බලසම්පන්න මත් එන්නත් ලබාදෙන්නට පටන්ගත්තා. කෙසේ හෝ හිට්ලර් දුර්වල සිරුර හා මනස, යුද්ධය මෙහෙයවිය හැකි මට්ටමට ගෙන එන්නටයි වෛද්‍යවරුන් මේ එන්නත් ලබාදුන්නේ. පරාජයන්වල වේදනාවෙන් හා චිත්ත පීඩාවෙන් අකර්මන්‍ය වන හිට්ලර් නැවත ජවසම්පන්න කිරීමට මොරෙල් ඉයුකොඩාල් (eukodal) නම් මත්ද්‍රව්‍යයක් ඔහුට එන්නත් කිරීම ඇරඹූ අතර ඉයුකොඩාල් යනු මෝෆීන් මෙන් දෙගුණයක වේදනානාශක බලයක් ඇති ඔපියොයිඩ් ලෙස හැඳින්වෙන ස්නායු පද්ධතියට කෙලින්ම බලපාන නිර්වින්දකයක්.
ඉයුකොඩෝල් මගින්, කෂණයකින් සියලු වේදනා නසා, උල්ලාසාත්වය (euphoria) ලෙස හැඳින්වෙන මානසික ප්‍රබෝධයක් හා ශාරීරික ජවයක් ලබාදෙනවා. මෙම ප්‍රබෝධය හෙරොයින් වලින් ලැබෙන ප්‍රබෝධයටත් වඩා දැඩි ප්‍රබෝධයක් බවයි පැවසෙන්නේ. 1944වන විට ඉයුකොඩෝල් වලට අමතරව හිට්ලර් කොකේන් එන්නත්ද ලබාගත්තා. කොකේන් එන්නත ලබාගත්තේ ඒවන විට ඔහු දැඩි හිසේකැක්කුම් හා පීනස් ගතියකින් පෙලෙමින් සිටින බැවින්. හිට්ලර්ගේ තවත් වෛද්‍යවරයෙකු වූ අර්වින් ගීසිංග්, ඔහුට කොකේන් නිර්දේශකල අතර, කොකේන්වලින් ලැබෙන ඉක්මන් සහනය හිට්ලර් ඉතා ප්‍රියකල බව පැවසෙනවා.
එපමණක් නොව 1941 වසරේ සිටම හිට්ලර්ට ඔහුගේ වෛද්‍යවරුන් ඇඩ්‍රිනලීන් හා වෙනත් හෝමෝන හා ස්ටීරොයිඩ එන්නත් නිතර ලබාදුන්නේ ඔහුගේ එඩිය හා ජවය දිනපතා රඳවා ගැනීමටයි. දවසේ පැය ගණනාවක් මහජන හමු, කැබිනට් සාකච්ඡා, යුධමය සැළසුම් සාකච්චා හා වෙනත් හමු සඳහා හිට්ලර්ගේ ජවය රඳවාගැනීමටත්, ඔහුව වෙහසවී ඇතිබව පෙනීම සඟවා මුලුදවස පුරාම ප්‍රබෝධයෙන් හා ශක්තිසම්පන්නව සිටින බව පෙන්වීමට මෙම එන්නත් හේතුවුනා.
1944 වසරෙන් පසු හිට්ලර් සෑම මොහොතකම කුමක් හෝ බළසම්පන්න මත්ද්‍රව්‍යයක් එන්නත් කරගෙන සිටි බව පැවසුන අතර ඔහු නින්දට ගියේත් ප්‍රභල නිදි ඖෂධ එන්නත් කරගෙනයි. මේනිසා ඔහුගේ යුධමය සැළසුම් හා තීන්දු යතාර්ථවාදී නොවූ බවත්, යුධබිමේ බොහෝ පසුබෑම් ඔහුගෙන් සැඟවීමට ඉහලම නිළධාරීන් කටයුතුකල අතර එනිසාම ඔහු තව තවත් දුර්වල තීන්තුගෙන නට්සි ජර්මනියේ පරාජය ස්ථිර කරගත් බවත් පැවසෙනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________