Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

OPINION : මීඩියා චැනල් අයිතිකාරයින්ගේ ඇදහිලි මාකටිං හෙවත් බ්‍රෑන්ඩ් බිල්ඩිං විත් උපාසක අම්මලා

$
0
0

මේ ඔබ දකින්නේ ලංකාවේ හැදෙන අලුත්ම "මහා සෑයට"සම්මාදම් එකතුකරන සෝෂල් මාකටින් කැම්පේන් එකයි. තපස්සු හා භල්ලුක ලෝකේ පලමු චෛත්‍යය හදපු රටේ, ගැමුණු මහ රජු රුවන්වැලි සෑය හදවපු , ජේතවනාරාමය පමණක් නොව ලෝක ප්‍රකට අභයගිරියත් තියෙන රටේ, ස්කන්ධ කුමාරයා බුදුබණ ඇසූ කිහිරිවනයේ බුදුන් වැඩසිටි පූජනීය ස්ථානයේ හැදූ කිහිරිවෙහෙර තියෙන රටේ අලුතින් මහවැළි මහා සෑය විතරක් නොව සඳහිරු සෑයද හැදුනු රටේ තැන් තවත් සෑයක් හදන්නට ජාතියෙන්ම සම්මාදම් එකතු කරයි. මේ ව්‍යායාමයේ පෙරමුණේ සිටින්නේ චැනල් කාරයෙක්ය. 

මෙවැනිම චැනල් කාරයෙක් ස්පොන්සර් කරන රහතන්වහන්සේ නමක් යයි කියාගන්නා බහුභාණ්ඩික භික්ෂුවක් බුෆේ ක්‍රමයට දානමය පින්කම් කරවන හැටි රටම දැක්කේය. තවත් චැනල් කාරයෙක් රහතන් වහන්සේලාගේ ධාතූ යයි කියමින් කරඬුවක් අරගෙන රටවටා ගියේය. ඒ කරඬුවේ තියෙන්නේ මොනවාදැයි අසන්නට කොන්දක් තියෙන කෙනෙක් රටේම සිටියේ නැත.

මේ කතාවේ නායක චැනල් කාරයා හා ඔහු පිටුපසින් සිටින භික්ෂුව බක්කුල මහතෙරුන් වන්දනාවට සෑයක් හදයි. රහතන් වහන්සේලා වන්දනාවට චෛත්‍ය හදන්නට කිව්වේ කවුදැයි අහන්න කෙනෙක් නැත. බුදුන් වහන්සේටත් වඩා උන්වහන්සේගේ සසුනේ පැවිදිවූ බක්කුල ලොකුවුනේ කෙසේදැයි මේ චීවරධාරීන් පැහැදිලි කලයුතු නැද්ද?

බක්කුල මහරහතන් වහන්සේ යනු නිරෝගීබවින් අගතැම්පත් බවට බුදුන්වහන්සේ ප්‍රකාශකල, අසූවැනි වියෙදී පැවිදිවී බවුන්වඩා රහත්වූ තෙර නමකි. බක්කුල සූත්‍රය නමින් මජ්ජිම නිකායේ සූත්‍රයක්ද ඇත. 

සැරියුත්, මුගලන් මහ තෙරවරුන් සිටියදී, අනඳ තෙරුන් සිටියදී, අපේ හැම ගෙදරකම වගේ රූපයක් තබාගෙන සිටින සීවලී මහතෙරුන් සිටියදී, නාකි වෙනකම් කම් සැප විඳ, ඉක්බිති පෙර පින් ඇති නිසා පැවිදිවී රහත්වූ බක්කුල තෙරුන්ට සෑයක් තනා වන්දනා කරන්නට ඇති විශේෂත්වය කුමක්ද?

මට පෙනෙන ආකාරයට මෙහිදී මේ චැනල් එක හා භික්ෂුව කලින් ගෙනගිය සාසනික කටයුත්තකට මෙම චෛත්‍ය සෑදීමේ පිස්සුව සමපාතකර ගැනීම සඳහා බක්කුල තෙරුන් ඈඳාගෙන ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක භික්ෂුව කලක සිට සතියකට සැරයක් මෙම චැනලයේ රාත්‍රී වැඩසටහනකින් තමන් පවත්වාගෙන යන ගිලන් භික්ෂු සාත්තුසේවා ආයතනයක් ගැන බොහෝ විස්තර කියමින් සම්මාදම් එකතුකරමින් සිටියා. ගිලන් භික්ෂූන්ට ලබාදෙන සාත්තු සප්පායම්, පහසුකම්, දානමාන ආදිය ගැන කියමින් සම්මාදම් එකතුකෙරුනු අතර අවශ්‍යදෑ පිලිබඳ විස්තරද සපයනු ලැබුවා. එහි කිසිදු වැරැද්දක් මා නොදකින අතර ගිලනුන්ට උපස්ථාන කරන්නා බුදුන්ට උපස්ථාන කිරීමෙන් ලබාගන්නා පුණ්‍යකර්මයට සමාන පින් රැස්කරගන්නා බව පැවසූයේ බුදුන් වහන්සේමයි.

එහෙත් දැන් සිදුවී ඇත්තේ ගිලනුන්ට උපස්ථාන ව්‍යාපෘතිය වෙනුවට නිරෝගී බවෙන් අගතැම්පත් බක්කුල තෙරුන්ට චෛත්‍ය හදන්නට පටන් ගැනීමයි. බක්කුල තෙරුන්ට සෑයක් තැනීමෙන් ගිලන් භික්ෂූන්ට හෝ වෙනත් රෝගීන්ට සෙතක් වේයයි කියන්නේනම් එය මහා මුසාවකි. එවැනි කතා බුද්ධ දේශනාවේ නැත. 

තෙරුවන් සරණ යාමෙන්, බෝධිපූජා කිරීමෙන්, පිරිත් ඇසීමෙන් ශාන්ත සුවයක් අත්පත්වේ, ලෙඩ සුවවීමටද පුලුවන. වෛද්‍ය විද්‍යාවේ මෙය "placebo effect"යයි විස්තර කරයි. ප්ලැසීබෝ යනු රෝග සුවකරන ඔඋෂධීය ගුණ නැති, එහෙත් ලෙඩ සුවකරන දේවල් වලටය. පිරිත් පැන් හොඳ දේශීය ප්ලැසීබෝ එකකි. මේ පිරිත් පැන් බීමෙන් මාගේ ලෙඩේ සුවවේ යයි දැඩි විශ්වාසයකින් පිරිත් පැන් බීමෙන් ලෙඩය සැබැවින්ම සුවවීමට ඉඩ ඇත. ප්ලැසීබෝ ප්‍රතිපලය බටහිර වෛද්‍ය පර්යේෂණවලින්ද සනාථවූ සංසිද්ධියකි. 

ප්ලැසීබෝ එෆෙක්ට් ලබා ගැනීමට බුදුන්, දහම්, සඟුන්, අෂ්ඨපල බෝධිරුක්ෂ තිබියදී බක්කුල සෑ තැනීම, භික්ෂුන්වහන්සේලා තුල ඇති මොකක් හෝ ගොඩනැගීමේ පිස්සුවේ ප්‍රතිපලයකි. ගිලනුන්ට උපස්ථාන කිරීම පැත්තක තබා මේ භික්ෂුව දැන් සිමෙන්ති ගොඩවල් තැනීමේ නිරතව සිටී.

මීඩියා චැනල් මුදලාලිලා මේවාට සෙට් වන්නේ ප්‍රචාරක වාසිය නිසාය. අවර් ස්පොන්සර් ඊස් අහවල් චැනල් කියලා හාමුදුරුවන්ගේ කටින් අනන්තවාරයක් කියවා ගන්නට, ලක්ෂ ගණන් සෙනග රැස්වෙන තැන්වල බැනර් දමාගෙන සන්නාමය ප්‍රවර්ධනය කරන්නට මෙවැනි ආගමික ව්‍යාපෘති වලට චැනල් මුදලාලිලාගේ දායකත්වය ලැබීමට ප්‍රධාන හේතුවයි. 

මේ කරන්නේ තවත් මිත්‍යාවන් වැපිරීම නොවේදැයි මේ චැනල් කාරයින්ට නොතේරෙනවා නොවේ. හිතා මතාම මිත්‍යාවන් වපුරමින්, අන්ධ භක්තික උපාසක අම්මලා ලව්වා ගෙදර රේඩියෝවේ තමන්ගේ චැනල් එක දම්මවා ගැනීමේ කපටි උපක්‍රමයකි මේ චැනල් මුදලාලිලා ගෙනියන්නේ.

මෙවැනි බෞද්ධ-මිත්‍යා ඒජන්තවරු කලින් කලට පහල වෙන අතර ඔවුන්ට චැනල් කාරයින්ගේ නොමද පිම්බීම ලැබේ. කලක් බොහෝ බලවත්ව සිටි මදාවි චීවරධාරියෙක්, තම මදාවිකම, කට හැකරකම සාධනීකරණය කලේ තමන් සැරියුත් තෙරුන්ගේ ජොබ් එක කරනවා යයි කියමිනි.

ඒ සොර ගණයාට අනුව බුදුන් වහන්සේගේ ආරක්ෂකයා ලෙස, එනම් බොඩි ගාඩ් ලෙස චන්ඩින්ට මුහුණදුන් සඟ සසුනේ චන්ඩියා සැරියුත් මහ තෙරුන්ය. එතකොට බුදුරජාණන් වහන්සේගේ පුරිසධම්ම සාර්ථී ගුණයට සිදුවුනේ කුමක්දැයි චීවරධාරියා පැහැදිලි කලේ නැත. දමනයට අපහසු පුද්ගලයින් දමනය කිරීමේ සුවිශේෂී ගුණය බුදුන්වහන්සේට තිබුණි. ආලවකයා දමනයට වැඩමකලේ සැරියුත් චන්ඩියා ඉස්සරහට දාගෙන නොව තනිවමය. අංගුලිමාල දමනයට වැඩියේද තනිවමය. නාලාගිරි හස්තියා ඉදිරියට ගියේද තනිවමය. දෙව්දත්ගේ කුමණ්ත්‍රණවලට මුහුණ දුන්නේද තනිවමය. එහෙත් ලංකාවේ එකල ප්‍රචලිතවූ බෞද්ධ ධර්මයට අනුව බුදුන්වහන්සේට සැරියුත්ගේ ආරක්ෂාව ලැබුණි. සැරියුත් නැත්නම් බුදුන්ට අකල්හි පිරිණිවන් පාන්නට සිදුවන්නටද ඉඩ තිබුණි. මේ තක්කඩි, අබෞද්ධ කතා චැනල් කාරයෝ පුම්බ පුම්බා උඩ දැමුවේ කිසිදු හිරිකිතයක් නැතුවය.

බෞද්ධයන් යයි කියාගන්නා අප තව කොතෙක් කල් මෙවැනි දෑ බලාගෙන ඉන්නද? සුද්දියෙක් බුදුපිලිමයක් ඉස්සරහා ෆෝටෝ එකක් ගත්විට මරාගෙන මැරෙන්න හැදුවත්, දළදා මාළිගාවට සරම් අන්දා ඇතුලට යැව්වත් මේ භික්ෂූන් හා චැනල් කාරයන් එක්ව කරන විනාසය කාටවත් පෙනෙන්නේ නැද්ද?

උන්වහන්සේ මේ චැනලයේ ප්‍රචාරක වැඩසටහනෙන් කියා සිටියේ රුවන්වැලි සෑය හැදූ නැකතට මෙම සෑයේ වැඩ පටන්ගන්නා බවයි. රුවන්වැලිසෑයේ නැකත සාදා ඇත්තේ සර්වඥ ධාතු නිධන්කොට මහා පුන්‍යභූමියක රහතන්වහන්සේලාගේ උපදෙස් මත නිමවන මහා චෛත්‍ය රාජයෙකු සඳහා වන අතර එය හොරණ සාදන එකකට ගැලපෙන්නේ කෙසේදැයි උන්වහන්සේ විස්තර කරන්නේ නැත. රුවන්වැලි සෑය ගාවගන්නේ එයින් අන්ධ භක්තිය තවත් වැඩිවී ගොඩ ලොකුවන නිසා විය යුතුය.

මේ සෑයන් හදන්නට කෝටි ගණන් මුදල් නාස්ති නොකර රැකියා නැති, අධ්‍යාපනය අඩාල කරගත්, හන්දි ගානේ ත්‍රීවීලර් ඇතුලේ මහලුවෙන තරුණ කොල්ලන්ට යම් වෘත්තියක් ඉගෙන ගන්නට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පටන්ගත්තානම් නරකද?





__________________________________________________________________________

Creative Commons LicenseVIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com.GOOGLE +   : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi .   __________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>