තූතන්කාමුන් යනු මිසරයේ එනම් ඊජිප්තුවේ පාරාවෝ (ෆේරෝ) රජ පරම්පරාවේ විසූ, ලාබාළ වයසේදීම රජවී, ටික කළකින් මියගිය ළමා රජෙකි (boy king). ක්‍රි.පූ 1341හි ඉපිද ක්‍රි.පූ 1323 දී වසර 18ක් තරම් ලාබාළ වයසේදී මියගිය තූතන්කාමුන් රජවූයේ ක්‍රි.පූ 1333 එනම් යාන්තම් වයස 9 වූ විටයි. ප්‍රතාපවත් අක්හෙනාටන් රජුට දාව නෙෆර්ටීටී රැජිණට උපන් පුත්‍රයෙකි.
අක්හෙනාටන් හා නෙෆර්ටීටී ලේ නෑයන් වූ අතර සමහර ඉතිහාසඥයින්ට අනුව ඔවුන් දෙදෙනා සොයුරු-සොයුරියන් වූවාය. සොයුරන් හා සොයුරියන් අතර විවාහය පාරාවෝ රජ පරම්පරාවේ ඉතා සුලභව දකින්නට ලැබේ. මේ ආසන්න ලේ ඥාතිත්වය නිසා ඔවුන් දෙදෙනාට දාව උපන් තූතන්කාමුන් උපතින්ම රෝගියෙකු විය.
ඔහුගේ කොඳුඇට පෙල මදක් ඇදවූ අතර ගෙලෙහි ඇට සියල්ලම එකට හාවී තිබූ නිසා උපතින්ම හිස හැරවිය නොහැකි විය. එමෙන්ම ඔහුගේ දකුණු පාදය වළලුකරින් ඇදවී තිබූ අතර ඒ නිසා සැරියටියක් නොමැතිව ඇවිදීම කල නොහැකි විය.
කෙසේ වෙතත් ජනප්‍රවාදයේ එන පරිදි තූතන්කාමුන් මියගියේ යුධ කරත්ත (war chariot) අණතුරකින් සිදුවූ අස්ථි බිඳීම් හා තුවාලවලිනි.
බී.බී.සී වාර්තා චිත්‍රපටයක්වූ "Tutankhamun: the Truth Uncovered"සඳහා තූතන්කාමුන් මමීකෘත දේහයේ කැට් ස්කෑන් 2000ක් ආධාරයෙන් නිර්මාණය කල ත්‍රිමාණ සජීවීකරණ රූපවලින්, තූතන්කාමුන්ගේ සැබෑ රුව ප්‍රථම වරට හෙලිවී ඇත. සී.ටී ස්කෑන් දත්ත වලින් කල තූතන්කාමුන් ත්‍රිමාන රුව අනුව ජනප්‍රවාදයේ එන යුධ කරත්ත අණතුර මරණයට හේතු විය නොහැකි බව තහවුරුවී තිබේ. විකෘති පාදයක් ඇති නිසා තූතන්කාමුන්ට වේගයෙන් යන යුධ කරත්තයක සිටගෙන අසුන් එළවීම සිදුකල නොහැකි බව දැන් සනාථවී ඇත.
ජාන විකෘති රෝගී තත්වයන් නිසා නිරන්තර වේදනාවෙන් හා දැඩි අපහසුතාවලින් පෙලෙමින් ජීවත්වූ තූතන්කාමුන් මියයන්නට පෙර දරුණු මැලේරියා රෝගයකින්ද පෙලෙමින් සිටි බව ඔහුගේ මමීකෘත දේහයේ ජාන විශ්ලේෂණයේදී හමුවූ මැලේරියා ප්ලැස්මෝඩියම් ප්‍රෝටෝසෝවා ජානවලින් තහවුරුවී තිබෙනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________