ජර්මානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් ඉකුත් දිනයක ජර්මනියේ ලීප්සිග් නුවරට යාබද පුරාවිද්‍යා කැණීම් බිමක කැණීම් කටයුතු සිදුකරමින් සිටියහ. මඳින් මඳ පොළොව ඇතුළතට කැණීම් සිදුකළ විද්‍යාඥයන් පිරිසද මවිතයට පත් කරමින් මෙතෙක් ලොව හෙළි නොවූ අපූරු පුරාවිද්‍යා සාධකයක් මතුකර ගැනීමට ඔවුහු සමත් වූහ.
එම පුරාවිද්‍යාඥයන් පිරිස සොයා ගත් එම නවමු සොයාගැනීම වූයේ මෙයට වසර 7,000කට පෙර මිනිසා දැවයෙන් ඉදිකරන ලද ළිං සතරකි. මිනිසා වඩුවැඩ කිරීම් ආරම්භය මෑත කාලයේ යැයි බොහෝ දෙනකු නිගමනය කළ මතවාද ප්‍රතික්ෂේප කරමින් මෙම ඉපැරැණි දැව ළිං සතර මතු කරගත් පර්යේෂක පිරිස පවසන්නේ මෙම ළිං ක්‍රිස්තු පූර්ව 5,600ත් 4,900ත් අතර කාලය තුළ සකස් කළ ඒවා බවයි. කලින් පැවති මතය වූයේ දැව නිර්මාණ සිදුකිරීම සඳහා ඒවා නිසි පරිදි කැපීමට යකඩ කියත් වැනි සංකීර්ණ ආයුධ අවශ්‍ය බැවින්, එම ආයුධ සකසාගත හැකි කාළය වනතෙක් දැව කපා සකස්කොට භාවිතාකල වඩු කර්මාන්තයක් නොතිබූ බවයි.
ජර්මානු ජාතික විලී ටෙගල් හා ආචාර්ය ඩීට්රිච් හේකල්බර්ග් යන පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නවමු සොයාගැනීම සිදුකළ අතර ඔවුහු පවසන්නේ ප්‍රථම මධ්‍යම යුරෝපීය කෘෂි ශිෂ්ටාචාරයට අයත් මිනිසුන් විසින් මෙම දැව ළිං සතර නිර්මාණය කරන්නට ඇති බවයි. වර්තමානයේ ළිං සෑදීම සඳහා එනම් ළිඳේ බැම්ම බැඳීම සඳහා යොදා ගන්නේ සිමෙන්ති බදාමයයි. එහෙත් මෙයට වසර 7,000කට පෙර වඩුවන් විසින් එවන් ළිං බැමි අලංකාරවත් ලෙස දැවයෙන් නිම කර ඇති බව මෙමඟින් තහවුරු වී තිබේ.
ජර්මනියේ ලීප්සිග් ප්‍රදේශයේ දිය පිරි වගුරු භූමි භාගයක් ඇතුළත මෙම කැණීම් කටයුතු සිදුකළ පර්යේෂකයන්ට ඕක් ලීයෙන් නිම කරන ලද මෙම දැව ළිං හමුවී තිබේ. නව ශිලා යුගයට අයත් යැයි සැලැකෙන පැරැණි ඕක් ලීයෙන් නිම කරන ලද මෙම ළිං හතර වසර 7,000ක් සුරක්ෂිතව පැවැතීමට හේතුව එම ප්‍රදේශයේ පැවැති ගොහොරු පරිසර වටපිටාව බව පර්යේෂකයෝ පවසති.
ගොහොරු පරිසරයේ යට විනාශ නොවී සුරක්‍ෂිතව පැවැති දැව ළිං බැමි සතරට අමතරව, දැවයෙන් නිම කරන ලද රූප නිර්මාණ, ගස්වල පොතුවලින් තැනූ බඳුන් සහ දැවයෙන් නිර්මාණය කරන ලද විවිධ නිර්මාණ කිහිපයක්ද ඔවුහු සොයා ගත්හ. විද්‍යාඥයන් පවසන්නේ ගොහොරු බිමේ උඩින් ජලය සහ මඩ තැන්පත්වී පැවැතීම නිසා මෙම වසර 7,000කට පෙර ඉදිකරන ලද දැව ළිංවලට වාතාශ්‍රය නොයෑම හේතුවෙන් ඒවා විනාශ වී නොමැති බවයි.
දැව කාලනිර්ණ විද්‍යාව හරහා මෙම දැව ළිං නිර්මාණය කළ කාලවකවානුව නිශ්චිත ලෙස හඳුනාගත් විද්‍යාඥයෝ එම ගස් කැපූ කාල වකවානුව, ගස් වර්ගය ආදී තවත් බොහෝ දැව පර්යේෂණයත් හරහා සොයා ගත්හ. ඒ අනුව මෙම පැරැණි ඕක් ගස් ඉතා විශාල යෝධ ගස් ලෙස පිහිටා තිබූ බවත් නව ශිලා යුගයේ මුල් කාලයේදී එවකට විසූ වඩුවන් විසින් ශිලාමය වෑයන් භාවිත කරමින් ඒවා පෙරළා දැව කොටස් වෙන්කර ඇති බවත් හෙළි කරගෙන තිබේ.
පෙරළා ගත් සුවිසල් වෘක්ෂයන්හි කඳන් පැළීමට ගල් මෙවලම් භාවිත කළ ලක්ෂණද විද්‍යාඥයන් සොයාගත්හ. කැබලි ලෙස සකස් කරගත් එම ලෑලි ගෙන සමචතුරස්‍ර හැඩයට තබා ගින්දරෙන් පුච්චා අවශ්‍ය පමණට කැබලි කරගැනීමට ඔවුහු සමත්වී තිබේ. විද්‍යාඥයන් පවසන්නේ අද පවතින වෑල්ඩින් ක්‍රමයට හා සමාන දැව පෑස්සුම් ක්‍රමයක් මෙයට වසර 7,000කට පෙර නව ශිලා යුගයේ වඩුවන් සතුව පැවැති බවයි.
ඉතා සූක්ෂ්ම ලෙස ළිදක වටප්‍රමාණයට සරිලන පරිදි දැවමය ළිං බැමි නිමැවීමට තරම් දියුණු තාක්‍ෂණයක් එවකට පැවැතීමෙන් එසමයෙහි මානවයා කෙරෙහි පැවැති වඩුවැඩ ශිල්පීයභාවයද මැනවින් පසක් වේ. මෙම දැවමය ළිං හතර වසර 7,000ක් පමණ ඉපැරැණි වඩු නිර්මාණ බවට කාල නිර්ණය සිදුකර ගැනීමත් සමඟ පුරාවිද්‍යාඥ විලී ටෙගල් මහතා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ මෙබන්දකි.
"නව ශිලා යුගයේ විප්ලවය කියන්නේ මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ සිදුවූ පෙරළියයි. (neolithic revolution) එතෙක් මිනිසා එක් තැනක වාසය නොකොට දඩයම් ක්‍රමය සිදුකරමින් විවිධ තැන්වලට සංක්‍රමණය වුණා. නමුත් ඔවුන් නව ශිලා යුගයට ආ පසුව එක් තැනක වාසයට සීමා වුණා. එහි ප්‍රතිඵලයක් වුණේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මිනිසුන් එක් වීමයි. කෘෂිකර්මය සඳහා ජලය අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නව ශිලා යුගයේ මානවයා අති විශිෂ්ට තාක්ෂණික අංග නිරූපණය කරමින් දැවමය ළිං සාදන්න පටන් ගත්තා. දැවයට දැවයක් ඇලවීමේ ඇතැම් ක්‍රමවේදයන් සඳහා අදට වඩා එදා වඩුවන් සතුව දියුණු තාක්ෂණයක් පැවැතුනා කියලා මේ පර්යේෂණයෙන් අපි තහවුරු කරගත්තා."
Sources;
http://www.mawbima.lk/95-65293-news-detail.html
http://www.dailymail.co.uk/sciencetech/article-2255383/The-carpenters-7-000-year-old-German-water-wells-reveal-earliest-known-use-wood-construction.html