රාවය - සිවුමංසළ කොළුගැටයා: නාලක ගුණවර්ධන
සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය ලෙස 2013-14 වකවානුවේ මා ලියූ ලිපි 44ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ නමින් ගිය මාසයේ නිකුත් වුණා.
එයට පෙරවදනක් ලිවීමට මා ඇරැයුම් කළේ රාවය හරහා මා හඳුනා ගත් මිතුරකුට. ඔහු ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. ස්වාධීන සමාජ විද්‍යා පර්යේෂකයෙක්. කලක් නෙදර්ලන්තයේ විසීම නිසා ලිබරල් සමාජයක හා නිර්ආගමික රාජ්‍යයක සෘජු අත්දැකීම් ඇති, බොහෝ දේ තුලනාත්මකව දැකිය හැකි අයෙක්.
පෙරවදනේ ඔහු මෙසේ කියනවා. “දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම කොස්මොපොලිටන ඌරුව නාලකගේ තීරු ලිපි තුළ නොමසුරුව සනිටුහන් වෙයි. එය ලිංමැඩියා මර්දන ව්‍යාපාරයට කෙරෙන මහගු දායකත්වයක් බවයි මගේ තක්සේරුව.”
මා කිසිදු දේශපාලන මතවාදයක් කරපින්නා ගත් අයකු නොවෙයි. එහෙත් අධිපතිවාදයන්ට නොකැමති, නිතර ප‍්‍රශ්න කරන හා බල සංකේන්ද්‍රණයට එරෙහි දැක්මක් නම් මට තිබෙනවා.
උදන් මෙය දකින්නේ මෙලෙසයි. “පසුගිය වසර පහ තුල ලාංකේය සමාජයට වැළදී ඇති බරපතල ම රෝගය විය හැක්කේ අතීතකාමයයි. මේ වන විට අතීතකාමය නිධන්ගත රෝගයක් බවට පත් වී ඇත. පෙර එක දවසක තිබුනා යැයි කියන ශ්‍රී විභූතියෙන් බඩගින්නේ හෝ සිට අපි සතුටු වෙමු. ඉතිහාසය හා ඉතිහාසිකරණය නාලක භාවිතා කරන්නේ නිර්මානාත්මක ආකාරයකටය. ඔහුගේ ප්‍රවේශය ඉතිහාසය යම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස සලකා බැලීමය. ඉන් ඉතිහාසය අනවශ්‍ය ලෙස රොමැන්තිකකරණය නොවේ. එලෙස ගත් කල ජාතික ව්‍යාධියක් සුව කරනු පිණිස නාලකගේ තීරු ලිපි පැසසුමට ලක් කළ යුතුය.”
ළිං මැඩියාව ඇති බොහෝ දෙනෙකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ.තවත් සමහරුන් එය ඕනෑ කමින් හුවා දක්වමින් ඒ ගැන උදම් අනනවා. ලෝකය ගැන වඩාත්දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.
මනෝ ලෝකවල සිට සිතැඟි දේ මවා ගන්නට අප කාටත් ඉඩක් තිබෙනවා. එය පෞද්ගලිකත්වය හා මානව නිදහසට අදාල කරුණක්. එහෙත් අප මෙහි කථා කරන්නේ පොදු අවකාශය (public space) හා පොදු උන්නතියට (public interest) අදාලවයි.
ළිං මැඩියන් සේ සිටීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇතත්, ළිං මැඩියන් ලෙස අන් සැම (විශේෂයෙන් ළමා හා තරුණ පරපුර) බලෙන් රඳවා තබා ගන්නට නම් කිසිවකුත් අයිතියක් නැහැ. එසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ප‍්‍රවණතා අරභයා ළිං මැඩියා මානසිකත්වය මතුවීම ඉතා අහිතකරයි.
දේශපාලකයෝ ළිං මැඩියන්ට හරි ආසයි. තමන් කියන ඕනෑම අභව්‍ය කථාවක්, තර්කයක් හෝ කුමන්ත‍්‍රණවාදයක් වැඳ ගෙන අසා සිට අන්තිමේදී හුරේ දමන මහජනතාවක් හැමදාමත් පවත්වා ගන්නට බහුතරයක් දේශපාලකයන්ට ඕනෑකම ඇති.
උදන්ගේ තර්කයට අනුව ලක් සමාජයේ ලිංමැඩියාවට එක් ප‍්‍රධාන හේතුවක් නම් තනි බසක් පමණක් කථා කරන, එබසින් පමණක් පොත් කියවන හා සන්නිවේදනය කරන බහුතරයක් සිටීමයි.
මෙය සිංහල හා දෙමළ ජන කොටස් දෙකටම පොදු වුවත් සුළු ජන කොට්ඨාශයක් ලෙස දෙමළ ජනයා සිංහලත්, එයට අමතරව ඉංගී‍්‍රසිත් ප‍්‍රගුණ කරන්නට වැඩි උනන්දුවක් ගන්නා බව මගේ නිරීක්‍ෂණයයි.
සන්නිවේදන තාක්‍ෂණ හරහා මින් පෙර නොතිබූ පරිදි ඉංග‍්‍රීසි උගන්නට නව අවස්ථා විවර වී තිබෙනවා. එහෙත් ආකල්පීය හේතු නිසා හෝ කුඩා වියේ ඇති කරනු ලැබූ ඉච්ඡාභංගත්වය නිසා හෝ ඕනෑකමින්ම ඉංග‍්‍රීසිය මග හරින හා එය තවමත් අධිරාජ්‍යවාදී කඩුවක් යයි සිතන අය තරුණ පරපුර අතර පවා සිටිනවා. මෙබඳු පිරිස් අතර ළිංමැඩියාව ප‍්‍රබලයි.
සිංහලට පමණක් සීමා වූ දැනුම් හා ආකල්ප ග‍්‍රහණයක් ඇති විට සිදු වන දෙය උදන් විග‍්‍රහ කරන්නේ මෙලෙසයි.
“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුනු දෙයකි. එහි ප්‍රතිපලයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් — විශේෂයෙන් පුවත්පත්වල — ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”
“අවාසනාවකට බොහෝ සිංහල ලියන්නන් ඇසුරු කරන්නේ සිංහල පොතපත පමණය. සිංහල පමණක් කතා කරන්නන් පමණය. මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි. උදේ පිසූ කිරිබත ම රත් කර දිවා ආහාරයට ගෙන ඉන් ඉතිරි වූ ටික රත් කර රාත්‍රී ආහාරයට ගන්නා විට පිළුණු රසය මතු වීම වැළැක්විය නොහැක. එහෙත් එක භාෂාවකට පමණක් විලංගු ලා ගත් බොහෝ දෙනා එම පිළුණු කිරිබත තලු මරමින් අනුභව කරයි.”
ද්විභාෂිකත්වයේ වැගත්කම පිළිගැනීම හරහා තනි බසක් පමණක් ප‍්‍රගුණ කළ කිසිවකු හෑල්ලූ කිරීමක් සිදු වන්නේ නැහැ. අප කැමති වුණත් නැතත් සමාජ යථාර්ථයන් ඇති සේ දැකීම අවශ්‍ය දෙයක්.
ද්විභාෂිකත්වයේ ද විවිධ මට්ටම් තිබෙනවා. සමහර ද්විභාෂිකයන් භාෂා දෙකක් ව්‍යක්ත ලෙස කථා කරන හා ඒ දෙකෙන්ම නිර්මාණශීලි හෝ විචාරශීලි කාර්යයන්හි නිරත විය හැකි අයයි. ඉංග‍්‍රීසි හා සිංහල දෙබසින්ම ලියූ තිස්ස අබේසේකර මෑත කාලීන හොඳ උදාහරණයක්.
තවත් සමහරුන් භාෂා දෙකක් මනාව දැන එම සංස්කෘතින්ට සමීප වුණත් ඔවුන් ලියන්නේ එයින් එක් බසකින් පමණයි. කලක් මගේ ජේ්‍යෂ්ඨ සගයකු වූ ඉංග‍්‍රීසි පුවත්පත් කතු අජිත් සමරනායකත් ඉංග‍්‍රීසි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනත් දෙදෙනාම සිංහල, සාහිත්‍ය නාට්‍ය හා සිනමා ක්‍ෂෙත‍්‍රයන්ට සමීපව සිටියා. ඔවුන් ඒවායේ නව ප‍්‍රවණතා මනා සේ හඳුනා ගත්තා. එහෙත් ඔවුන් බොහෝ කොටම ලිිව්වේ ඉංග‍්‍රීසියෙන්. (එයත් වැදගත් හා අවශ්‍යයි. මෙරට ඇතැම් මධ්‍යම පංතිකයන්ට දේශීය කලා නිර්මාණ ඉංග‍්‍රීසි පුවත්වත් හරහා හඳුන්වා දුන්නේ මේ දෙපල හා තවත් ඔවුන් වැනි ටික දෙනෙක්.)
දෙමළ, සිංහල, ඉංග‍්‍රීසි භාෂා තුනෙහිම කලා ක්‍ෂෙත‍්‍ර හැකි පමණින් නිරික්සා ඇගැයීමක් කරන මගේ තවත් ජ්‍යෙෂ්ඨ මිත‍්‍රයෙක් සිටිනවා. ඔහු නිදහසේ මාධ්‍යවේදී හා විචාරකකේ. එස්. සිවකුමාරන්. මෙරට ඉංග‍්‍රීසි පුවත්පත් හැමෙකටම පාහේ ලිපි සපයන ඔහුගේ කුතුහලය හා දැනුම ඉතා පුළුල්.
ළිං මැඩියාව අපේ රටට පමණක් සීමා වූවක් නොවෙයි. හැම රටකම එයින් පෙළෙන අය සිටිනවා. සමහර රටවල එයට තුඩු දෙන සාධක වෙනස්. හොඳ උදාහරණයන් නම් අමෙරිකා එක්සත් ජනපදයයි. දැනුම් මූලාශ‍්‍රයන් ලෙහෙසියෙන් සොයා ගත හැකි වූත් අධ්‍යාපන හා සාක්‍ෂරතා මට්ටම් ඉහල වූත් එරට බොහෝ දෙනා තම රටින් බාහිර ලෝකය ගැන ඇත්තේ සීමිත හා බොහෝ සෙයින් විකෘති වූ වැටහීමක්.
වඩාම ආසන්න අසල්වැසි රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවෙන් ඔබ්බට නොගිය අමෙරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමහර අමෙරිකානුවන් සිතන්නේ යුරෝපය ද තුන්වන ලෝකයේ ම කොටසක් කියා බවයි!
අමෙරිකාව ආන්තික උදාහරණයක්. බටහිර යුරෝපයේ නැතිනම් ඉන්දියාවේ වැසියන් බොහෝ දෙනෙකුට නම් තම රට හා ලෝකය ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ජාතිකාභිමානය ඔස්සේ තම රට ගැන අධිතක්සේරුවකට යන්නේ නැහැ. එසේම කුමන්ත‍්‍රණවාදී තර්ක අවිචාරශීලී ව පිළි ගන්නේ ද නැහැ. (එයට අති සමතුන් වන්නේ පාකිස්ථානය හා බංග්ලාදේශ් රටවල වැසියන්. එරටවල බොහෝ උගතුන් පවා තමන්ගේ රටට වින කරන්නට මුලූ ලොවම කැස කවන බව විශ්වාස කරනවා.)