ඔබ සුරතල් බලුපැටියෙකු ඇති කරනවානම්, ඔබගේ නිවසේ ආදරයට හෝ ආරක්ශාවට බල්ලන් ඇතිදැඩි වනවානම් මේ කියන්නට යන දේ ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.
ජපානයේ ක්යෝටෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කසුවෝ ෆුජිටා විසින් මෙහෙයවන ලද පර්යේෂණයකට අනුව නිවෙස්වල ඇතිකරන සුනඛයින්ට මිනිසුන් අතර ඇති අන්තර් පුද්ගල සබඳතා පිලිබඳව හැඟීමක් ඇතිබව හෙලිවී තිබෙනවා. මෙම පර්යේෂණයට අනුව, සුනඛයෙකු, සිය ස්වාමියාට අගෞරව වන ලෙස හැසිරෙන හෝ ස්වාමියා දෙස අවඥාවෙන් සලකන පුද්ගලයින් සිතාමතාම මගහරින්නටත්, ඔවුන් උත්සහ කලද ඔවුන් සමග කුළුපග නොවී හැසිරෙන බවට දත්ත ලැබී තිබෙනවා.
මෙම පර්යේෂණයේදී පර්යේශණයට බඳුන්වූ සුනඛයන් ගේ අයිතිකරුවන් හා අනෙක් පුද්ගලයන් අතර දැඩි වචන හුවමාරු හෝ වෙනත් ආකාරයක ගැටුමක් සිදුවී නොමැතිවන ලෙස පරියේෂණය නිර්මාණය කොට තිබෙන අතර, ස්වාමියා හා අනෙක් පුද්ගලයා අතර ඇති නොහොඳ නෝක්කඩුව මුහුණේ, ඉරියව් හා අංගලක්ශණ (body langugage) මගින් පමණක් පෙනෙන්නට තිබුණා. සාමාන්‍යයෙන් සිත් අමනාපකම් ඇති දෙදෙනෙකු හැසිරෙන ආකාරය දුටු පමණින් ඔවුන් අතර විරසකයක් ඇති බව මිනිසුන්ට තේරුම් ගියද, එම හැකියාව සුනඛයින්ටද ඇති බව පර්යේෂණාත්මකව හෙලිවූයේ මෙමගින්.
Social eavesdropping ලෙස සමාජවිද්‍යාඥයින් හඳුන්වන හැකියාව, මානවයින්ට ඇති සුවිශේෂ සමාජමය හැකියාවන්ගෙන් එකක්. වෙනත් මිනිසුන් දෙදෙනෙකු අතර සිදුවන අන්තර්පුද්ගල ක්‍රියාකාරකමකට ඝෘජුවම සම්බන්ධ නොවෙමින්, ඈතකින් සිටිමින්, අර පුද්ගලයින් දදෙනා අතර ඇති සමාජ සබඳතාවයන් පිලිබඳව නිගමනට එළඹීමේ හැකියාව ඇත්තේ වසර මිලියන ගණනාවක් තිස්සේ සමාජ හැකියාවන් දියුණු කරගනිමින් පරිණාමයවූ හෝමෝ සැපියන්වරුන්ට පමනයි. වෙනත් වානරයින්ට (උදා: චිම්පන්සීන්) හා දියුණු ක්ශීරපායි සතුන්ට (අලි ඇතුන්, ඩොල්ෆින්, තල්මසුන්) මෙවැනි අන්තර් සම්බන්ධතා තිබුණද, තම වර්ගයේ නොවන වෙනත් වර්ගයක සතෙකුගේ ඉරියව් අධ්‍යයනයකරමින් ඔවුන්ගේ සිතැඟි හා හැසිරීම් තේරුම් ගැනීමේ අපූර්ව හැකියාව සුන්ඛයින්ට ලැබෙන්නට ඇත්තේ ඔවුන්ද මිනිසා හා සමාන්තරව පරිණාමය වෙමින්, මිනිසාට ඉතාම කිට්ටුවෙන් ජීවත් වන නිසා වන්නට ඇතැයි විද්‍යාඥයින් අනුමාන කරනවා.
පර්යේෂණ නිගමන කෙසේවෙතත්, නිවසේ ඇති කරන බල්ලා නුරුස්සන, නිතරම බුරන කඩා පනින මිනිසුන් පිලිබඳව අවධානයෙන් ඉන්නා ලෙසත්, ඔවුන් වැඩිය විශ්වාස නොකරන ලෙසත්, වැඩිහිටියන් නොමැති අවස්ථාවල ඔවුන් නිවසර වැද්ද නොගන්නා ලෙසත් අපේ ගෙවල්වල ආච්චිලා සීයලා නිතරම අවවාද කරන්නේ ගෙදර ඇතිකරන බල්ලාට පවුලේ සැබෑ හිතවතුන් හා හිත යටින් ඉරිසියා කරන, නපුරක් කරන්නට ඉටාගෙන සිටින අය තෝරා බේරා ගන්නට හැකියාව ඇති බව පැරැණ්නන් දැනගෙන සිටි නිසා වන්නට ඇති. අපේ වැඩිහිටියන් මේ හැකියාව විස්තරකලේ කලේ බල්ලාගේ ඉව කියලයි.
විද්‍යාත්මකව ඉව කියන්නේ ගඳසුවඳ දැනගැනීමේ හැකියාව වුනත් මේ පර්යේෂණ ප්‍රථිපලවලින්, බල්ලාගේ ඉව, ඊට වඩා ගොඩාක් ගැඹුරු, සංකීර්ණ හැකියාවක් බවට අනුමාන කරන්න පුලුවන්.