පසුගිය වසරේ ලෝක වනජීවී දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වනජීවින් 7 දෙනකු සංරක්‍ෂණයට හා සංචාරක කර්මාන්තයේ අභිවෘධිය තකා නම් කරන ලදී. එම වන ජීවීන් නම් අලියා, නිල් තල්මසා, කිඹුලා, දාර කැස්‌බෑවා, අලිමානාවා, කොටියා සහ වළසා යන සතුන් 7දෙනායි. ලංකාවට වනජීවීන් නැරඹීම සඳහා එන සංචාරයකයින් වැඩි පිරිසක් එන්නේ මෙම සතුන් දැක ගැනීමටයි.
මේ වසරේ ලෝක වනජීවී දිනයේ තේමා වන්නේ "Listen to the Young Voices | Do one thing today to help the world's wildlife"යන්නයි. ලෝක ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් තරුණ තරුණියන් වන බැවින් ඔවුන්ගේ දායකත්වය හා ඔවුන්ගේ හඬට කන්දීම ඉතා වැදගත් බැවිනුත්, වනජීවී සංරක්ෂණය සඳහා සක්‍රීයව දායකත්වය ලබාගැනීම සඳහාත් මෙම තේමා උපයෝගීකර ගන්නවා.
ජිනීවාහිදී පැවැත් වූ එක්‌සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 ලෝක වනජීවී දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
තර්ජනයට ලක්‌වූ ජීවී විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය ආරම්භ වී වසර 40 ක් පිරීම නිමිත්තෙන් 2013 මාර්තු මස 03 පැවති සමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාව අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 03 ලෝක වනජීවී දිනය බවට නිත්‍ය වශයෙන් ප්‍රකාශයට පත් කලා.
එමගින් වන ජීවීන්ගේ සැබෑ වටිනාකම මෙන්ම මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරික, ජානමය සාමාජික, විද්‍යාත්මක, අධ්‍යාපනික, සංස්‌කෘතික, විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක දායකත්වයක් වනජීවී සංරක්‍ෂණය මගින් සිදුවන ධරණීය සංවර්ධනයෙහි වටිනාකමත් ඇගයීමට බන්ඳුන් කෙරුණා.
ලෝක වනජීවී දිනය ලෝකයේ පවත්නා වනජීවීන්ගේ පැවැත්ම පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීමට ලැබෙන මහඟු අවස්ඨ්Hආවක් වනවා.
ඒ අනුව වනසත්ව හා ශාකයන්ගේ සුන්දරත්වය මෙන්ම විවිධත්වය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කිරීමටත් වනසත්ව සහ ශාක ප්‍රජාව ආරක්‍ෂා කිරීම තුළින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් ලෝක වනජීවී දිනය ප්‍රකාශයට පත් කිරීම තුළින් බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාව හා වනජීවී සංරක්‍ෂණය
ශ්‍රී ලංකාවේ මුළු භූමි භාගයෙන් 14% ක් පමණ වනජීවී රක්‍ෂිත ලෙස වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. ජාතික උද්‍යාන, දැඩි ස්‌වභාව රක්‍ෂිත, වන පිවිසුම් හා අභය භූමි ලෙස ඉහත වනජීවී රක්‌ෂිත හැඳින්වේ. වනසත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනත ක්‍රියාත්මක කරමින් මෙරට වනජීවී රක්‌ෂිත තුළත් ඉන් පිටතදීත් වනජීවීන් සංරක්‍ෂණය කිරීමේ වගකීම වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ සිදුවන මහා පරිමාණ සංවර්ධන ක්‍රියාවලිය හමුවේ වනජීවී රක්‌ෂිතයන් සහ වනජීවීන් සංරක්‍ෂණය කරන්නේ කෙසේද? යන අභියෝගයට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මුහුණ දී තිබේ. එබැවින් ලෝක වනජීවී දිනය අපේ රටට ඉතාමත් වැදගත් වනවා.
ශ්‍රී ලංකාව ලෝකයේ අන් රටවල් සමඟ සංසන්දනාත්මකව බැලීමේදී කුඩා දූපතක් වුවද එහි භූගෝලීය පිහිටීම අනුව පරිසර පද්ධති රාශියකින්ද විශාල ජෛව විවිධත්වයකින්ද සමන්විතය. මෙවන් වූ ස්‌වභාවික සම්පත අනාගතය සඳහා උරුම කරදීම අද ජීවත් වන අප කාගේත් යුතුකම වේ.
__________________________________________________________________________
