සයිබර් වංචා හා ක්‍රෙඩිට් කාඩ් වංචා බහුල වෙමින් යන මේ යුගයේ ඔබගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් පතේ ආරක්ෂාව හා එය ඔබට පමණක් භාවිතාකල හැකි බවට වගබලා ගැනීම භාරදූර කාර්යයක්. ක්‍රෙඩිට් කාඩ් පතක් නැතිවූවිට එය ලබාගන්නා තැනැත්තාට අපහසුවකින් තොරව එය භාවිතාකල හැකියි. මෙයට එක් විසඳුමක් වූයේ කාඩ්පතෙහි ගණුදෙණුව සම්පූර්ණවීමට රහස් අංකයක් (PIN Code) ඇතුලු කිරීමයි. මෙයද කරදරකාරී වන අතර ඔබගේ PIN අංකය ඔබ ගණුදෙනු කරන ස්ථානයේ සිටින වංචාකාරී සේවකයෙකුට ලබාගැනීමද එතරම් අපහසු නෑ. PIN අංකය අමතකවීමද බොහෝ දෙනෙක් මුහුණපාන ප්‍රායෝගික ගැටලුවක්.
මේ කරදරයෙන් ඔබ මුදවා ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතේ ආරක්ෂාව හා ගණුදෙනුවල සුරක්ෂිත භාවය සුරැකීමට ලොව ප්‍රමුඛ ක්‍රෙඩිට් කාඩ්පත් සමාගමක් වන මාස්ටර්-කාඩ් සමාගම උපක්‍රමයක් නිර්මාණය කරලා. ඒ තමයි ඔබගේ ඇඟිලි සළකුණ තබා, කාඩ්පතේ ගණුදෙනුව කරන්නේ එහි අයිතිකරු වන ඔබම යැයි තහවුරු කිරීමට හැකි සෙන්සරයක් ක්‍රෙඩිට්කාඩ් පතට එකතු කිරීම.
ඝණකමින් සාමාන්‍ය කාඩ්පතක් තරම් වන මෙම ඇඟිලි සළකුණු සෙන්සරය ඇති ක්‍රෙඩිට් කාඩ් පතෙහි ඇති කුඩා මයික්‍රෝචිපයට (මෙවැනි මයික්‍රෝචිප් අද බොහෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්වල තිබෙනවා) ඔබ කාඩ්පත ලබාගන්නා විට ඔබගේ ඇඟිලි සළකුණු ඇතුලු කරනවා. ඔබ ගණුදෙනුවක් සඳහා කාඩ්පත කාඩ් රීඩර් මැෂිමට ඇතුලුකල විට එය ඔබගේ ඇඟිලි සළකුණ ඉල්ලා සිටින අතර ඔබ ඇඟිලි සළකුණ තැබූපසු එය කාඩ්පතෙහි චිපයේ ඇති සාම්පල ඇඟිලි සළකුණ හා සැසඳුන හොත් පමණයි ගණුදෙනුවට අවසර ලැබී ඔබගේ කාඩ්පතට එම ගණුදෙනුව බැරවන්නේ.
මේ අනුව ඔබගේ වොලට්ටුව හෝ හෑන්ඩ් බෑගය සොරාගන්නා අයෙකුට ඔබගේ කාඩ්පතෙන් ගණුදෙනු කරගැනීමට නොහැකි වනවා පමණක් නොව ඇඟිලි සළකුණු නොගැලපෙන අයෙකු ගණුදෙනු කරන්නට උත්සහ කරන විට වෙළඳසැලේ ආරක්ෂක සේවය දැනුවත් කරන්නටද මුදල් අයකැමිට හැකිවනවා.
මෙම කාඩ්පතෙහි අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේ සිදුකොට ඇති අතර ඒවා සාර්ථකවීම නිසා නිළවශයෙන් දකුණු අප්‍රිකාවේ මෙම බයෝ-මෙට්‍රික් කාඩ්පත් හඳුන්වාදීම සිදුවන අතර ඉතා ඉක්මණින් යුරෝපය,ආසියාව හා ඇමරිකානු වෙළඳපොලවල් වලටද මෙම කාඩ්පත හඳුන්වාදෙනු ඇති.
Sources:
https://www.engadget.com/2017/04/20/mastercard-biometric-fingerprint-card/?sr_source=Twitter
http://www.telegraph.co.uk/technology/2017/04/20/mastercard-creates-credit-card-fingerprint-scanner/
