Quantcast
Channel: Exploring Our World | Science, Health, Tech & Business
Viewing all articles
Browse latest Browse all 1214

SCIENCE FICTION : ඇෆ්ඝන් මෙහෙයුම | Mission in Afghanistan

$
0
0








පූර්විකාව - 2019 අප්‍රේල්

අයිසිස්, අල් ක්වේඩා හා ඇෆ්ඝන් තලේබාන් කල්ලි සියල්ල එක ධජයක් යටතේ එකතුවීමේ අසම්භාවී ප්‍රස්තූතය සැබෑවක් බවට පත්වී අදට සය මසක් ඉකුත්වෙලා. මේ වනවිටත් ඇෆ්ඝනිස්තානය තුල ඇමරිකාව හා යුරෝපය විසින් අටවා පවත්වාගෙන ගිය අෂ්රාෆ් ඝානිගේ රූකඩ රජය බිඳවැටී තිබෙනවා. කාබුල් නගරයට එල්ලවූ දැවැන්ත මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අනූනවයෙන් දිවිගලවාගත් අෂ්රාෆ් ඝාණි ඇමරිකාවට පලාගියා. ඇෆ්ඝනිස්තානය පුරා මෙහෙයුම් සිදුකල නේටෝ- ඇමරිකන් International Security Assistance Force (ISAF) බළකායේ කඳවුරු වලට එකවර පහරදුන් අයිසිස්-අල් ක්වේඩා-තලිබාන් ප්‍රහාරකයින් ඇමරිකානු හා යුරෝපීය සෙබලුන් විශාල පිරිසක් මරාදැමීමට සමත්වූනා. අඩු පිරිස්බලයක් යටතේ ක්‍රියාත්මකවූ ISAF බළකායට, රටපුරා එකවර එල්ලවූ දැවැන්ත ප්‍රහාරවලට මුහුණදීමට  නොහැකිවීම නිසා ඇෆ්ඝනිස්ථානයේ විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබූ ඇමරිකන් කඳවුරු පුහුලන් තලන්නාක් මෙන් තලා දැමීමට සටන්කාමීන්ට හැකිවුනා.

ISAF බලකායේ කඳවුරු වැඩිවශයෙන් පිහිටි හෙල්මාන්ඩ්, කන්දහාර්, නිම්රොස්, හීරැට්, ෆාරා හා ඝෝර් පලාත්වල මේ වනවිට දරුණු සටන් ඇවිලී ඇති අතර ISAF බළඇණිවලට හමුදා කඳවුරු වලින් පිටතට පැමිණීමට නොහැකිව සිරවී සිටින අවස්ථා ඇෆ්ඝනිස්තානයේ හතරවටින්ම වාර්තා වෙනවා. 2020 ජනවාරි 20 වැනි දිනට පෙර ඇෆ්ඝනිස්තානය පමණක් නොව පාකිස්තානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය හා තුර්ක්මනිස්තානයද ඇතුලත් පෙරදිග ඉස්ලාමීය රාජ්‍යය (Islamic State of the Orient - ISO) තැනීමේ මුල් පියවර තැබීමට ජිහාඩ් සංග්‍රාමයක් අරඹා ඇතිබවට සටන් නායකත්වය ශපතකොට සිටීම නිසා ලොව සතර දිග්භාගයෙන්ම මුස්ලිම් සටන්කාමීන් ඇෆ්ඝනිස්ථානයට ගලා එන්නට පටන්ගත්තා. ඒකාබද්ධ අයිසිස්-තලේබාන්-අල් ක්වේඩා නායකත්වය 2020 ජනවාරි 20ට වනවිට ඇෆ්ඝනිස්තානයේ රැඳී සිටින සියලුම, ඇමරිකානු, බ්‍රිතාන්‍ය හා යුරෝපීය වැසියන් සමූළඝාතනය කරන බවට ප්‍රතිඥාවක් ප්‍රකාශකොට ඇති අතර මෙය ලොව පුරා මුස්ලිම් අන්තවාදීන් කුල්මත් කිරීමට සමත්වී තිබෙනවා. ඒ අනුව බොහෝ මුස්ලිම් රටවලින් ඇෆ්ඝනිස්තානයට සටන්කාමීන් හා මුදල් ගලා එන්නට පටන් අරගෙන. 2020 ජනවාරි 20වැනි දිනට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තියේ තුන්වැනි සංවස්තරය යෙදී තිබෙනවා.

2019 මැයි මාසය වනවිට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි රාජ්‍යතාන්ත්‍රික පීඩනය හමුවේ ක්ෂණික ප්‍රතිප්‍රහාර බලමුලුවක් ගොඩනැගුනු අතර එයට ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, දකුණු අප්‍රිකානු, ජපන්, ඔස්ට්‍රේලියානු, කොරියානු හා ඉන්දියානු සාම්ප්‍රදායික හමුදාවන් ඇතුලත්වුනා. මීට අමතරව තවත් රටවල් 32ක් මෙම හමුදාවන්වලට සහය වීමට සිය ගුවන් හා නාවික තොටුපොලවල් ලබාදීමට හා වෙනත් ද්‍රව්‍යමය හා සේවා සැපයිමටත් එකඟවී තිබුනා

ඩොනල්ඩ් ට්‍රම්ප් රජය, ලංකා රජය සමගද එකඟතාවයකට පැමිණි අතර, ලෝකයේ හොඳම විශේෂ බළකා අතරට පැමිණ තිබෙන ශ්‍රී ලංකා කොමාන්ඩෝ හා විශේෂ බළකා රෙජිමේන්තු සටනට ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම ලක් රජය පිලිගත්තා. ඒ වෙනුවෙන් ලංකාවට ඩොලර් මිලියන ගණනක ආර්ථික ආධාරද, හමුදා නවීකරණයට තාක්ෂණය හා උපකරණද ලබාදීමට පොරොන්දු වූ අතර ලක් රජය වඩාත් නම්‍යශීලී කලේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමෙන් යලි කිසිදිනක ලංකාවට එරෙහි යෝජනා ගෙන එන්නට ඉඩ නොදෙන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් දුන් ලිඛිත සහතිකයයි. මින් ඉදිරියට ලංකාවට විරුද්ධව ගෙන එන ඕනෑම මානව හිමිකම් යෝජනාවක් සිය නිෂේධ බලය යොදවා වලක්වන බව ජනාධිපති ට්‍රම්ප් ලංකාවට ලබාදුන් පොරොන්දුවෙන් සහතික වී තිබෙනවා.

මේ අනුව ලංකාවේ කොමාන්ඩෝ හා විශේෂ බළකායන් ඇෆ්ඝනිස්ථානයේ දරුණුම සටන් වල නිරතව සිටි ඇමරිකානු නේවි සීල් බළකාය (DevGRU/Navy SEALS), ඩෙල්ටා ෆෝස් විශේෂ බළකාය (US Army Delta Force), 75වැනි රේන්ජර් විශේෂ බළකාය (75th Airborne Ranger Special Forces) යන ඇමරිකන් විශේෂ බළකා සමගද, බ්‍රිතාන්‍යයේ SAS විශේෂ බළකාය (Special Air Service) හා SRR විශේෂ බළකාය (Special Reconnaissance Regiment) සමගද අනුයුක්ත කරනු ලැබුවා. රටවල් අතර ඇතිවුනු එකඟතාවය මත සියලු මෙහෙයුම් වල නායකත්වය ඇමරිකන් හෝ බ්‍රිතාන්‍ය නිළධාරීන් ගනු ඇති අතර, ජේෂ්ඨත්වයෙන් වැඩි ලාංකික විශේෂ බළකා නිළධාරීන් වුව තමන්ට වඩා අඩු නිළයක ඇමරිකන්/බ්‍රිතාන්‍ය නායකත්වයක් යටතේ වුව සටන් වැදිය යුතුවුනා.

ඇෆ්ඝනිස්තානය පුරා විහිදුනු විශේෂ මෙහෙයුම් සියල්ලම සී.අයි.ඒ සංවිධානයේ Special Operations Group ලෙසින් හැඳින්වෙන කළු මෙහෙයුම් අංශය මගින් මගින් සම්බන්ධීකරණය කල අතර විශේෂ මෙහෙයුම් සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු හා සැළසුම් සම්පාදනය කරනු ලැබුවේත් ඔවුන් විසින්මයි.

ශ්‍රී ලංකා කොමාන්ඩෝ රෙජිමේන්තුව මේවන විට බ්‍රිතාන්‍ය SAS හා SRR බළකා සමග හෙල්මාන්ඩ් හා හීරට් පලාත්වල ප්‍රහාරක මෙහෙයුම් වල නිරතව සිටින අතර විශේෂ බළකා රෙජිමේන්තුව ඇමරිකානු ඩෙල්ටා ෆෝස් හා රේන්ජර් බළකාවලට අනුයුක්තව කන්දහාර් හා ඝෝර් පලාත්වල මෙහෙයුම් සිදුකලා. විශේෂයෙන්ම අති දුෂ්කර කඳුකර ප්‍රදේශයක්වූ ඝෝර් පලාතේ සටන් දරුණුවූවා. පෙරදිග ඉස්ලාමීය රාජ්‍යය ලෙස හඳුන්වාගන්නා අයිසිස්-තලේබාන්-අල් ක්වේඩා ඒකාබද්ධයේ නායකත්වය මෙහි කඳුකර පෙදෙස් වල සැඟවී සිටීම නිසා එම පෙදෙස් වලින් විදෙස් හමුදා පලවා හැරීමට සටන්කාමීන් මහත් වෙඩි බලයක් යෙදූවා. සිරියාවේ අසාඩ් රජය හා වසර ගණනක් සටන් වැදී පන්නරය ලැබූ සටන්කාමීන් මෙම සටන් මෙහෙයවූ බව බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා. එසේම රුසියානු හමුදා සමග සටන් වැදුනු බෙදුම්වාදී චෙච්නියානු ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින්ද සිටින බව වාර්තාවෙනවා.


Dahan-e Falezak, Ghor Province, Central Afghanistan | දහන්-ඒ-ෆලෙසාක්, ඝෝර් පලාත, මධ්‍යම ඇෆ්ඝනිස්තානය - 2019 ඔක්තෝම්බර් 02

පෙරදිග ඉස්ලාමීය රාජ්‍යයේ ඉහල නායකයින් කිහිපදෙනෙකුගේ හමුවක් සූදානම් වෙමින් පවතින බවට ලැබුණු විශ්වාසවන්ත ඔත්තුවක් මත ඇමරිකන් 75වැනි රේන්ජර් කොමාන්ඩෝ බළකායේ දොලොස් දෙනෙකු හා ශ්‍රී ලංකා විශේෂ බළකායේ අට දෙනෙකු විශේෂ මෙහෙයුමකට පිටත්කර හරින ලද්දේ අද පාන්දර ජාමයේයි. නිරන්තරයෙන් සිදුවන සී.අයි.ඒ හා බ්‍රිතාන්‍ය එම්.අයි 5 ඔත්තු සේවාවල ඩ්‍රෝන ප්‍රහාර නිසා මෙවැනි හමු ගොඩනැගිලි තුල සිදුකිරීම ත්‍රස්තයින් විසින් නවතා දමා තිබෙනවා. කැලෑබද පෙදෙස්වල ගස් මුදුන්වලින් ආවරණය වූ ස්ථානවල හා ගල්ගුහා තුල මෙවැනි හමුවීම් හා සැලසුම් කිරීමේ රැස්වීම් පැවැත්වෙනවා. ඉලක්ක කරගැනීම අපහසු වීම සඳහා ඔවුන් එක තැනක නොරැඳී නිරන්තරයෙන්ම කුඩා කණ්ඩායම් ලෙස සංචරණය කරමින් සිය සටන් මෙහෙයවනවා.

පාන්දර දෙකට පමණ ඇමරිකන්-ශ්‍රී ලාංකික ප්‍රහාරක ඒකකය හෙලිකොප්ටර් මගින් ඔත්තුව ලබුන ස්ථානයට කිලෝමීටර් අටක් එපිටින් ගොඩබස්වන ලැබූවා. හමුව උදේ හයට සූදානම්ව තිබෙන බවට තොරතුරු ලැබී තිබූ අතර මෙහෙයුම හැකිතාක් නායකයින් පිරිසක් පණපිටින් අල්ලා ගැනීම සඳහා සූදානම් කල එකක්. සාමාන්‍යයෙන් පස් දෙනාගේ සිට සත්දෙනා දක්වා කුඩා කණ්ඩායම් ලෙසින් කොමාන්ඩෝ හන්ටර්-කිලර් ඒකක ක්‍රියාත්මක වනවා. එහෙත් ජීව ග්‍රහයෙන් අල්ලා ගැනීම මෙහෙයුම් ඉලක්කය වූ බැවින්, විසිදෙනෙකුගෙන් යුතු ශක්තිමත් කණ්ඩායමක් යවන්නට මෙහෙයුම් සැළසුම්කරුවන් තිරණය කොට තිබුණා.

පැය තුනක පමණ දුෂ්කර පාගමනිකින් පසු කණ්ඩායම සිතියමේ සළකුණු කොට තිබූ ස්ථානයට ලඟාවී ආරක්ෂිත ස්ථානවල වාඩිලා ගත්තා. කෙසේ වෙතත් පාන්දර පහමාර පසුවන විට යම්කිසි බරපතල වැරදීමක් සිදුවී ඇති බව මෙහෙයුමේ අණදෙන නිළධාරී ස්ටාෆ්-සාජන්ට් විල් බ්‍රැඩ්ලිට අවබෝධවුනා. ආවරණ ප්‍රහාර සඳහා උස්බිම් වල රැඳී සිටි ස්නයිපර් වෙඩික්කරුවන් දෙදෙනාම රේඩියෝ ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බව රේඩියෝ ක්‍රියාකරවන්නා සුළු මොහොතකට පෙර දැනුම් දී තිබුණා.

අන්ධකාරයෙන් හා මීදුමෙන් ඔවුන් වාඩිලා සිටි ප්‍රදේශය වැසී තිබුනා. අඳුරේ පෙනෙන අධෝරක්ත දුරදක්ණ ආධාරයෙන් අවට නිරීක්ෂණය කරමින් සිටි රැකවලුන්ට දැඩිලෙස සන්නද්ධවූ සටන්කාමින් පිරිසක් තමන් වාඩිලාගෙන සිටින ස්ථානය වේගයෙන් වටකරන බව පෙනීගියා. සතුරු බළමුළුව පනහකට අධික බවත්, මෝටාර්, ආර්.පී.ජී රොකට් විදින හා මිලිමීටර් 12.7×108 බර මැෂින් තුවක්කුවලින් සන්නද්ධ බවටත් නිරීක්ෂකයින් වාර්තාකලා.

උගුලකට හසුකිරීමට දෙපිටකාට්ටු චරපුරුෂයෙකු ලබාදුන් බොරු බුද්ධි තොරතුරක් තමන්ගේ මෙහෙයුමට නිමිත්තවූ බව සියල්ලන්ටම වැටහෙනවිට සතුරන් ඔවුන්ව වටලා අවසන්ව තිබුණා. මෙහෙයුමට පෙර ඩ්‍රෝන හා චන්ද්‍රිකා ඡායාරූප ආධාරයෙන් ප්‍රහාරක කණ්ඩායම ගොඩබැස්සවිය යුතු ස්ථානය, ගතයුතු ගමන්මග හා හදිසියකදී පසුබැසිය යුතු මාර්ග සැලසුම් කල සී.අයි.ඒ විශ්ලේෂකයින් හා මෙහෙයුම් සැලසුම්කරුවන්ට මෙම ස්ථානය කඳුගැට වලින් වටවුනු, එකම එක පසුබැසීමේ මාර්ගයක් පමණක් ඇති, ප්‍රහාරක ඇණියක් උගුලකට හසුකිරීමට ඉතාම සුදුසු තැනක් බව අවබෝධවී තිබුණේ නෑ.

පාන්දර හය පසුවනවාත් සමගම "අල්ලා හු අක්බර්...."නාදය රැව් දෙන්නට පටන් ගත් අතර මෝටාර්, රොකට් හා මැෂින් තුවක්කු ප්‍රහාරවලින් ප්‍රදේශය දෙවනත් වන්නට පටන් ගත්තා.

ප්‍රහාරය ආරම්භ වීමට පෙර තමන් උගුලකට හසුවී ඇති බවත් ගුවන් ප්‍රහාර සහය හා හදිසි ඉවත්කරගැනීමක් සඳහා හෙලිකොප්ටර් අවශ්‍ය බවත් මිෂන් කමාන්ඩර් ස්ටාෆ්-සාජන්ට් බ්‍රැඩ්ලි මෙහෙයුම් මූලස්ථානයට දැනුම්දී තිබුණා. නොකඩවා එල්ලවන ප්‍රහාර නිසා හිටි තැන්වලින් හෙලවෙන්නට හෝ ඉස්පාසුවක් නොලැබුණු සිය සගයින්ට ගුවන් සහය ලැබෙනතෙක් ආරක්ෂිතව සිටින ලෙසත්, සතුරා ලඟටම එනතෙක් වෙඩි නොතබා පතරොම් රැකගන්නා ලෙසත් බ්‍රැඩ්ලිගෙන් උපදෙස් ලැබුණා.

“This is JTAC blue_flame, we are under heavy fire……where is our air support?”

ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පවා නොහැකිව දැඩි ලෙස සිරවී සිටි කණ්ඩායම දෙසට නොකඩවා වෙඩිතබමින් සටන්කාමීන් ඉදිරියටම පැමිණෙනට වුනා. තවත් විනාඩි දහයක් ඇතුලට A10 ප්‍රහාරක යානයක් හෝ ඇපෑචි ප්‍රහාරක හෙලිකොප්ටරයක් ලඟා නොවුවහොත් සියලුදෙනාටම වෙඩිකා මැරෙන්නට හෝ ඊටත් වඩා දරුණු ඉරණමක් වූ සිරකරුවන් බවට පත්වන්නට සිදුවන බව දන්නා ජේ-ටැක්, ඉල්ලා සිටි ගුවන් ප්‍රහාර කොහිදැයි මූලස්ථාන කඳවුරේ ගුවන් ප්‍රහාර සම්බන්ධීකාරකගෙන් කෝපයෙන් විමසා සිටියා.

පාබල කණ්ඩායම් සමග මෙහෙයුමේ යෙදෙමින්, සහයක ගුවන් ප්‍රහාරවලට එන නියමුවන්ට මග පෙන්වීමේ හා ලේසර් වලින් ඉලක්ක සොයාගන්නා බෝම්බ හා මිසයිල ඉලක්කගැන්වීමේ රාජකාරිය ජේ-ටැක් (JTAC- Joint Terminal Attack Controller) වෙත පැවරී තිබුනා.

“JTAC blue_flame, this is Captain Bowman, 66th squadron …… call sign hell_cat …….. ETA two minutes………...light up my targets………….”

“Hell_cat… this is blue_flame……...first targets painted…………..….....drill the fucking bastards….”

“Copy that…blue_flame……...…...tell your boys to keep their heads down………....fire storm about to start”

A10 තන්ඩර්බෝල්ට් යානයේ කපිතාන් බෝමන් සිය ප්‍රහාරය අරඹන විට ජේ ටැක් හා තවත් සගයන් පිරිසක් සතුරන්ගේ බර අවි ක්‍රියාකරුවන් හා රොකට් විදින්නන් සැඟවී සිටින ස්ථානවලට තමන් ලඟ තිබූ කුඩා ලේසර් විදින වලින් ලේසර් කිරණ එල්ලකොට තිබුණා. යානයේ සංවේදක එම ලේසර් කිරණ මගින් ආලෝකමත් වූ ස්ථාන වලට මිසයිල ප්‍රහාර එල්ල කලා. තන්ඩර්බෝල්ට් යානය වැඩ පටන්ගෙන විනාඩි කිහිපයක් යනවිට, සතුරන්ගේ ප්‍රහාර අඩපණවන බව දැනුනු බැවින් ස්ටාෆ් සාර්ජන්ට් බ්‍රැඩ්ලි ප්‍රතිප්‍රහාර අරඹමින් කලින් සැලසුම්කර තිබූ තිබූ හෙලිකොප්ටර් ගොඩබැසිය හැකි ප්‍රදේශයට වෙත පසුබසින ලෙස කණ්ඩායමට අණකලා.

කපිතාන් බෝමන්ගේ A10 තන්ඩර්බෝල්ට් යානය ප්‍රහාරය අරඹයි

ඒ වන විට කිහිපදෙනෙකුට මෝටාර් හා රොකට් කැබලි වැදී තුවාලවී සිටි අතර තවත් කිහිපදෙනෙකු ලඟම පුපුරාගිය බෝම්බ නිසා කම්පණ තත්වයේ සිටියා. තුවාලවූ සගයින්ට රැගෙන කණ්ඩායම පසුබසිද්දී ඔවුන්ගේ ගමන් මග අවුරන්නට සතුරන් උත්සහ ගත් නමුත් තන්ඩර්බෝල්ට් යානයේ අධිබල ගැට්ලිං තුවක්කුව හා රොකට් වෙඩි එයට ඉඩ දුන්නේ නෑ. සතුරන් ඉදිරියට එන සෑම මොහොතකම ජේ ටැක් ඒ තොරතුරු කපිතාන් බෝමන්ට දන්වා සිටි නිසා විනාඩි කිහිපයකදී එල්ලවුනු බිහිසුණු උණ්ඩ හා රොකට් වෙඩි වරුසාවලින් ඔවුන්ට දැඩි හානි සිදුවුනා.

පෙරවරු හත පසුවී විනාඩි හතලිහ සටහන් වනවිට සතුරන්ට බරපතල හානි සිදුව තිබූ අතර ඔවුන්ගේ බර මැෂින් තුවක්කුද නිහඬව තිබුණා. බර අවි නිහඬවූ බව තහවුරුවූ වහාම ඈතින් රැඳී සිටි බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා දෙක හදිසි ඉවත්කර ගැනීමේ ස්ථානයට ලඟාවූවා. බ්ලැක් හෝක් යානා දෙක පියාසර උසට ඉහල නැගුනු පසු ආරක්ෂාව සැපයූ කපිතාන් බෝමන්ගේ A10 යානය වෙනත් ප්‍රහාරයක් සඳහා පිටත්ව ගියා.


8.10 Hours, 45 minutes to Chaghcharan Airbase, Ghore Province, Central Afghanistan | චාඝ්චරන් ගුවන් කඳවුරට විනාඩි 45ක් දුරින්, ඝෝර් පලාත, මධ්‍යම ඇෆ්ඝනිස්ථානය

තව විනාඩි 45කින් පමණ චාඝ්චරන් ගුවන් කඳවුරට ගොඩබසින බව නියමුවන් දැනුම් දුන්නා. ස්ටාෆ් සාර්ජන්ට් බ්‍රැඩ්ලි ඇතුලු 75වැනි රේන්ජර් විශේෂ බළකායත්, ඔවුන් හා බද්ධව මෙහෙයුම් කල ශ්‍රී ලංකා විශේෂ බළකායේ තුන්වන රෙජිමේන්තුවත් චාඝ්චරන් ගුවන් කඳවුරේ සිට ක්‍රියාත්මකවූවා.

එකිනෙකට සමීපව උපරිම වේගයෙන් පියාසර කරමින් සිටි බ්ලැක් හෝක් යානා දෙකෙහි, නියමුවන් සතර දෙනා හා ප්‍රථමාධාර දෙන මෙඩික් නිළධාරීන් දෙදෙනාද ඇතුලුව ඇතුලුව විසි හතර දෙනෙකු ගමන්කරමින් සිටියා. ප්‍රහාරක කණ්ඩායමේ මුලින්ම මිය ගිය වෙඩික්කරුවන් දෙදෙනා හැරෙන්නට ඉතුරු දහ අට දෙනාට එතරම් හානි සිදුවී තිබුණේ නෑ. තුවාල ලැබූවන්ට මෙඩික් නිළධාරීන් ප්‍රතිකාර කල අතර ඔවුන්ගේ තත්වය බරපතල වුනේ නෑ. ප්‍රහාරයට සහභාගීවූ ශ්‍රී ලංකා විශේෂ බළකායේ තිදෙනෙකුට සුළු තුවාල සිදුවී තිබුණා.

බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....

එක්වරම යානයේ ප්‍රධාන අණතුරු ඇඟවීමේ නලාව ශබ්ද වන්නට පටන් ගත් අතර යානය ඇතුලත විදුළි පහන් රතු පැහැයෙන් නිවි නිවී දැල්වෙන්නට වුනා.

“Missile alert!!........Missile alert!!........take evasive action…..”

යානයේ උප නියමුවා හඬනැගූ අතර ප්‍රධාන නියමුවා එක්වරම යානයේ දකුණට හැරවූවා. අනෙක් යානය වේගයෙන් වමට හරවන බව ප්‍රධාන දොරටුව අසලම සිටි විශේෂ බළකා මේජර් කැලුම් විතානගේ දුටුවා. ආරක්ෂිත පටි පැළඳ සිටි නිසා යානයෙන් ඉවතට විසිනොවූවත් ආරක්ෂිත නොතබා තිබූ දෑ ඒ මේ අත විසිවෙන්නට ගත්තා. නියමුවා වේගයෙන් යානය යලිත් හැරවූ අතර මිසයිලය තවමත් හඹා එන බව දිගටම නාදවූ අණතුරු ඇඟවීමෙන් තහවුරු වුනා. නියමුවන්, යානා ඒ මේ අතර හරවමින්, හැකිතාක් පහලට පියාසර කරමින් තමන් පසුපස ලුහුබඳින මිසයිල වලින් ගැලවීමට උත්සහ කලත් පලක්වූයේ නෑ. 

මේජර් කැලුම් ගමන්කල යානයේ වැදුනු මිසයිලය හෙන හඬ නගමින් පුපුරාගියා.



~~~


කැලුම් සෙමෙන් දෑස් විවර කලා.... එක් වරම ආ කැස්සත් සමග ගැහුනු කයේ වේදනාවෙන් ඔහුට කෙඳිරිගෑවුනා. වටපිට බලන්නට උත්සහ කලත් ගෙලෙහි මස්පිඩු තදවී ඇති බවක් දැනුනා. නැගිටින්නට උත්සහ කලත් වාරු ගැනීමට නොහැකිවුන අතර වේදනාව කය වෙලාගත්තා. යලිත් දෑස් විවර කල ඔහුට නිල් අහස පුරා ඝණ කළු දුම් රොටු පාවීයනු පෙනුනා. ටිකෙන් ටික ඔහුගේ සංවේදන ප්‍රකෘති තත්වයට පත්වෙන්නට පටන්ගත්තා. දුමාරයත් සමග ආ ප්ලාස්ටික් හා රබර් පිලිස්සෙන ගඳ මෙන්ම වරින් වර හමා ආ මිනී පිච්චෙන පුළුටු ගඳ ඔක්කාරය ගෙන දුන්නා. මුලු ඇඟම දැවෙන බවක් දැනෙන්නට වුනා. අමාරුවෙන් හිස හැරවූ ඔහුට මදක් ඈතින් දෙකඩවී ගිණිගෙන දැවෙන හෙලිකොප්ටරය දිස්වුනා.

"දෙයියනේ....මනෝජ්, ගිහාන්, විකුම්, නිරෝෂ්.......එකට ආපු කොල්ලෝ ටික... අනිත් උන් තුන්දෙනා අනෙක් හෙලිකොප්ටරේ........ඒකත් කඩා වැටුනද?"

කැලුම් නැගිටින්න උත්සහ කලා, ඒත් බැරිවුනා. අමාරුවෙන් දෑත් බිමට වාරුකර නැගිටින්නට වෙර දරනකොටම……. කැලුම් ඔහුව දුටුවා.......හොඳටම මහළු මනුස්සයෙක්.......තද කහපාටට හුරු දුඹුරු වර්ණැති සිවුරකින් ගත වැසී තිබුණා.... හිස මුඩුයි.... හාමුදුරුකෙනෙක්?........... අන්තවාදී මුස්ලිම් ඇෆ්ඝනිස්තානෙ? මට පිස්සු හැදිලද? නැතිනම් මම මැරිලද?

වයසක හාමුදුරු නම කැලුම් අසලටම පැමිණ ඇණතබාගෙන මුහුණට එබුනා. ඔහුගේ මුහුණ හොඳටම රැළිවැටී තිබුණා. සිරුර කෙසඟයි…මහත් දුෂ්කර ජීවිතයක් ගතකරන බවයි පෙනුනේ.....වයස අසූවකට වැඩියි කියලා කැලුම්ට හිතුනා. ඔහු කැලුම් දෙස බලා මදහස පෑවා.....දැඩි හිරු රෂ්මියෙන් දැවී පදම්වූ ඔහුගේ වියපත් සම දුඹුරු පැහැගැන්වී තිබුණා.

"උඹ තමයි එකම වාසනාවන්තයා.........."ඔහු සිංහලෙන් කිව්වා.

"සිංහලෙන්....???"කැලුම්ගේ හිස කැරකෙන්නට වුනා, හිස්කබළ තුල යමක් ගැහෙනවා මෙන් දැනුනා.

…….. ඇඩ්‍රිනලින්…......

ඔහු බියපත්ව සිටියා. බියෙන් ජනිතවූ ඇඩ්‍රිනලින් ඔහුව පලායාමකට සූදානම් කලා.

"බය වෙන්න එපා පුතා ....... කට අරින්න......"මහලු හාමුදුරුනමක් මෙන් දිස්වුනු මනුස්සයා කැලුම්ගේ තොල් ලඟට පොඩි දිය කොතලයක් ලංකලා.

"කට අරින්න...."මහල්ලා යලිත් කිව්වා. ඔහුගේ කටහඬ ගැඹුරු, ශාන්ත බවකින් යුතුවුනා. ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටි කැලුම්ට ඔහුගේ කටහඬ ඇසුනත් ඔහු කතාකල බවක් පෙනුනේ නෑ…

කැලුම් මුව විවරකලා. සිසිල් දිය මුවට ගලා එද්දී කැලුම් නොනවත්වා පානය කලා. ඔහු මෙතරම් පිපාසාවකින් සිටියාදැයි ඔහුටම මතක නෑ. සිසිල් දිය කැලුම්ගේ ගත ප්‍රබෝධවත් කලා. එහෙත් කැරකෙන හුලං පහර සමග එන මිනී පුළුටු ගඳ ඒ ප්‍රබෝධය නැතිකලා. හිඳගන්නට උත්සහ කරනවිට ඒ භික්ෂුව ඔහුට උදව්කලා. කැලුම් හිඳගත් පසු ඔහු අසලින් හිඳගත්තා.

නමක් නොදන්නා කඳු ගැටය පාමුල හිඳගෙන අවට බැලූ කැලුම්ට තවමත් බුර බුරා දැල්වෙන බ්ලැක් හෝක් හෙලිකොප්ටරය අලුත් ඇෆ්ඝන් යුද්ධයේ බියකරු බව කියා පෑවා. ඒ අවට මිනී කිහිපයක් විසිර තිබුණා. කැලුම් හතර දෙනෙකු ගැන්නා. නියමුවන් දෙදෙනාට අමතරව තවත් දස දෙනෙකු යානයේ සිටි බව කැලුම්ට මතක්වුනා.

"අර යකඩ කුරුල්ලා ඇතුලේ හත් දෙනෙක් පිච්චෙනවා........එලියට විසිවුනු අය මැරිලා...... මම නාඩි බැලුවා........ ජීවිතේ බේරුනේ නුඹගේ විතරයි....."

කැලුම්ට මහල්ලාගේ කටහඬ ඇසුනු නිසා ඔහු දෙස බැලුවා. ඔහු කටහඬ ඇසුනත් ඔහුගේ මුව චලනයවුනේ නෑ. ඒ වචන පිටවෙන්නේ මුවින් නෙවෙයි!

"ඔබ කවුද?"කැලුම් ඇසුවා

"අපි දැන් යන්න ඕනෑ........."පිලිතුරු ලැබුණා "සතුරෝ ලඟ ලඟ එනවා.....මම ඔබට නැගිටින්න උදව් කරන්නම්........ ඔබගේ ඇටකටු කැඩිලා නෑ....... මම බැලුවා......."

"බැලුවා?"

"ඔව්........ඔබ ටික වෙලාවක් සිහි නැතුව හිටියා....... ඒ අතරේ මම නුඹගේ අතපය, කොන්ද, හිස් කබල පරීක්ෂාකලා........ කැඩුම් බිඳුම් නෑ......."

සිවුරු පොරවාගත් මහලු භික්ෂුව කැලුම්ට නැගිටින්න උදව් කලා. එහෙත් ඔහුට හිටගෙන ඉන්න අපහසුයි. …..කකුල් වාරු නෑ.....හිරිවැටිලා වගේ දැනුනා.....

"කකුල්දෙක නෑ වගේ තේරෙනවද?"මදහස පාමින් ඔහු පිටුපසට විත් දෙවුරෙන් අල්ලා ගත්තා.

"කම්පණය........ඔබලා ගිය යකඩ කුරුල්ලා ගලක් වගේ පහලට වැටිලා කෑලි කැඩුනා........... ගිණිගන්න ඉස්සෙල්ලා මම ඔබව ඇදලා එලියට ගත්තා...........අනෙක් අය එච්චර වාසනාවන්ත වුනේ නෑ.......... මම එනකොටත් අනෙක් අය ඔක්කොම මැරිලා......... මෙතනින් පණපිටින් යන්න වාසනාව තිබිලා තියෙන්නේ ඔබට විතරයි...."

"අපේ අනෙක් හෙලිකොප්ටරේ දැක්කද?"

"ඔව්.... අර ඈතින් දුම දාන්නේ ඒක.........අර කන්දේ වැදිලා පිපුරුවා......."

කැලුම්ගේ දෙවුරෙන් අල්ලාගත් ඔහු, යමක් මුමුණමින් කපාල මූලයට මහපට ඇඟිලිතබා තදින් එබුවා. විදුලි සැරක් වැදුනාක් මෙන් කැලුම් ගැස්සුනා. ඔහුගේ දෙපාවල හිරි ගතිය නැතුව ගියා.

“දැන් යමු..... මිනී කන්නට එන ගිජුලිහිණියන් වගේ ඔවුන් ලඟ ලඟම....”

කට අරින්නේ නැතුව කතා කරන්නේ කොහොමද කියලා අහන්න කැලුම්ට ඕනෑ වුනත් හිත් දුන්නේ නෑ.......පස්සේ අහනවා......හිතාගෙන මහලු යතිවරයා පසුපසින් යන්න වුනා.

වයස අසූවකට වැඩි මහල්ලෙකු වුනත් ඔහුගේ ගමන කඩිසර මෙන්ම ජවසම්පන්න වුනා. ගල්කුළුවලින් ගහන කඳුබෑවුම් වල ඔහුගේ ගමන නිරුත්සාහී වුනා. කොමාන්ඩෝ පුහුණුව ලැබූ කැලුම් වුව කල්පනාවෙන් ගමන්කල යුතු ඒ කටුක මාර්ගයේ ගලින් ගලට පණිමින් කැලුමේගේ ගැලවුම්කාරයා ගමන්කලේ සිය වැක්කියේ සැරසරන දිවියෙකු ගේ විලාසයෙන්. විඩාපත් කැලුම්ට යතිවරයාගේ සීග්‍ර ගමන දැඩි වෙහෙසක් ගෙන දුන්නා.

ශීතල, වියළි හුළගින් ඔහුගේ නාස්පුඩු දැවෙන්නට වුනා. වළාකුළු රහිත ඇෆ්ඝන් අහසේ දීප්තිමත්ව පෑයූ හිරුතාපයෙන් කැලුම්ගේ සම දැවෙන්නට වුනා. වෙහෙස නිසාම දහදිය ගැලුවත්, ජලවාෂ්ප අවම වියලි වාතය දහදිය ඉක්මණින් වියලා දැමුවා. ඝර්මකලාපයේ දිවයිනක වැසියෙකුවූ කැලුම්ට ඇෆ්ඝන් දේශගුණය දරාගන්නට අපහසුයි. ඔහුට ශීතල දැනුනත් දැඩි හිරුතාපය සම දවන්නට වුනා. උස් කඳුකර පෙදෙසක්වූ ඝෝර් පලාතේ ඔක්සිජන් අඩු තුනී වාතය ඔහුගේ වෙහෙස දැඩි කලා.

එක්වරම අහසේ කන් බිහිරි කරවන ශබ්දයක් ඇසුනා. සැනින් පහත්වී ගල්කුළකට මුවාවූ මහල්ලා ඔහුටද එසේ කරන ලෙස සන්කලා. මුවාවූ කැලුම්ට පහතින් පියාසර කරන ප්‍රහාරක ජෙට් යානයක් දකින්නට ලැබුනා. යානයේ බඳෙහි සළකුණු කොට තිබූ කවාකාර ලාංඡනය ඔහු හඳුනාගත්තා. බ්‍රිතාන්‍ය ගුවන්හමුදාවේ ටයිෆූන් ප්‍රහාරක යානයක් පහතින් පියාසර කරමින් ඈතින් දුම් රොටු නැගෙන පෙදෙසේ කැරකෙන්නට වුනා.

"එයාලා අනෙක් හෙලිකොප්ටරේ කඩාවැටුනු තැන නිරීක්ෂණය කරනවා ඇති......"කැලුම් අනුමාන කලා.


10:45 Hours, 64 Kilometers East of Chaghcharan Airbase | චාඝ්චරන් ගුවන් කඳවුරට කිලෝමීටර් 64ක් නැගෙනහිරින්

“Hammer 2-1-1, this is Kabul Hotel what's the status? ”

“Kabul Hotel this is Hammer 211, rescue helo 1 and rescue helo 2 are down… repeat helo 1 and helo 2 are down…”

“Hammer 211, Can you confirm?”

“Affirmative, both wrecks on the ground …. Burnt out…”

“Do you see any survivors?”

“Thats a negative Kabul Hotel….no sign of life ….. Is there a drone around for zoom look?”

“We have a RQ 9 Reaper heading your way…. 6 miles out….. ETA 4 minutes…”

“Copy that Kabul Hotel…who were riding those birds?”

“Some 75th Ranger boys and some Special Forces boys from Colombo..getting an evac from a firefight”

“Aw shit!!!!…. Kabul Hotel, we've got multiple vehicles in advance at about 4 miles from the crashed birds…”

“Copy Hammer 211…….. I’m getting drone video feed now….. Give me a few minutes for friendly check …. I’ll send you target locks soon...”


කැලුම් දෑස් විවරකර වටපිට බැලුවා. ඔහු සිටියේ විශාල ගල්ගුහාවක් මෙන් පෙනෙන තැනක. ඔහු එතනට කොහොම ආවාදැයි මතකයක් තිබුණේ නෑ. ඔහුට මතක තිබූ අන්තිම දෙය ටයිෆූන් ජෙට්යානය දෙස සැඟවී බලා සිටි බව පමණයි. ඔහුට ගුහාවේ විවරයෙන් එලිය පෙනුනා. හොඳින් හිරුඑලිය වැටී තිබුණා. අතෙහි බැඳ තිබූ ඔරලෝසුවේ උදෑසන 10.45 සටහන්වී තිබුණා. ගුහාව ඇතුලේ දර ලිපක් දැල්වෙමින් තිබුණා. එය වටා ගල්ගෙඩි තුනක් තබා එය මත යම් බඳුනක් රත්වෙමින් තිබුණා. භාජනයේ යමක් ඉදෙන සුවඳින් ඔහුගේ ගත ප්‍රාණවත් වුනා.දැන් මොහොතකට කලින් ඇසුනු රේඩියෝ පණිවුඩ දෙබස කැලුම්ට කුතුහලය ගෙන ආවා. “හීනයක් වෙන්නැති....”

එකෙනෙහිම යලිත් ඔහුට රේඩියෝ ඇමතුමක් ඇසුනා. ලිප ලඟ හිඳගෙන සිටි ස්ථවිරයා හිස මදක් ඔසවා උඩ බලන හැටි ඔහුට පෙනුනා. "එයාටත් ඇහෙනවා!!.."කැලුම් වටපිට බැලුවේ ගුහාවේ රේඩියෝ රිසීවරයක් තියෙනවාදැයි සොයමින්. පරණ මුට්ටි කිහිපයකුත්, වැළක බැඳි සිවුරකුත්, පරණ හට්ටි මුට්ටි කිහිපයකුත් ඇරෙන්නට වෙන කිසිවක් එහි තිබුණේ නෑ. පරණ වෙඩි උණ්ඩ පෙට්ටි කිහිපයක් එකට තබා, ඒ මත වැරහැලිවූ රෙදි කිහිපයක් තබා භාවනාකරන්නට තනාගත් පේටිකාවක්ද පෙනෙන්නට තිබුණා.

“Hammer 211, targets painted, confirmed hostile, ….fire at will...”

“Roger that Kabul hotel….. Acquiring missile lock…Missile launch 1…. launch 2…”

හැමර් 2-1-1 ඇමතුම් කේතයේ ක්‍රියාත්මක වන්නේ ප්‍රහාරක ජෙට් යානයක නියමුවෙකු බව කැලුම්ට වැටහුනා. පැමිණෙමින් තිබූ වාහන සතුරු ඒවා බව තහවුරු කරගත් බවත්, ලේසර් කිරණ මගින් ඉලක්ක ලෙස සටහන් කොට ඇති බවත්, සුදුසු මොහොතක මිසයිල විදින ලෙසත් කාබුල් හොටෙල් කේතධාරියා ගුවන් නියමුවාට දන්වා සිටියා.

“කාබුල් හොටෙල්......අහලා පුරුදු කේතයක්.........ම්ම්........” චාග්චරන් ගුවන් කඳවුරේ ගුවන් ප්‍රහාර මෙහෙයුම් නිළධාරියා කාබුල් හොටෙල් ඇමතුම් කේතයෙන් ක්‍රියාත්මකවන බව කැලුම්ට සිහිවුනා. ඔවුන් සමග ප්‍රහාරක කණ්ඩායමේ ගමන්ගත් ජේ-ටැක් බ්ලූ ෆ්ලේම් චාග්චරන් කඳවුරෙන් සහයක ගුවන්ප්‍රහාර ඉල්ලීමේදී ඇමතුම් ගත්තේ කාබුල් හොටෙල් කේතයටයි.

ඒත් සමගම වූෂ් යන හඬින් මිසයිල දෙකක් නිකුත් වුනා. හැමර් 211 ගුවනේ සිට එල්ලකල මිසයිල දෙක තත්පර දෙක-තුනකින් ශබ්දයේ වේගය ඉක්මවමින් යන හඬ කැලුම්ට ඇසුනා. ඈතින් ඇසුනු වෙඩි හඬවල් දෙකක් මෙන් මිසයිල දෙක ශබ්ද භාදකය බිඳහෙලමින් ඉලක්ක සොයා යන්නට වුනා.

ඇෆ්ඝනිස්ථානයට පැමිණි මුල් දිනවල අලුත්ම ඇමරිකන් හා බ්‍රිතාන්‍ය අවිආයුධ, ගුවන්යානා හා මෙහෙයුම් ක්‍රම ගැන පුහුණු පංති පැවැත්වුනා. සිය සගයින් මේ පුහුණු සැසි කරදයක් ලෙස සැලකුවත් කැලුම් ඉතා ආශාවෙන් ඒවාට සහභාගිවෙලා පුලුවන් හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඒ පුහුණුවෙන් පස්සේ තමයි කැලුම් ඇමරිකන්, බ්‍රිතාන්‍ය ගුවන්යානා හා මිසයිල දැකීමෙන් පමණක් නෙමෙයි ශබ්දයෙන් පවා හඳුනාගන්න ඉගෙන ගත්තේ.

පුහුණුවෙන් ලැබුණු දැනුම මත හැමර් 211 ගුවනේ සිට එල්ලකල මිසයිල හෙල් ෆයර් මිසයිල බවට ඔහු අනුමාන කලා. හෙල් ෆයර් මිසයිලය නිකුත්වී තත්පර පහක් යන්නට පෙර ශබ්දයේ වේගය ඉක්මවනවා. මේ කාලය මිසයිලයේ "බූස්ටර් ෆේස්"හෙවත් තවරණය ලබාගන්නා කාළසීමාව ලෙස ඔවුන්ට පන්ති පැවැත්වූ මිසයිල විශේෂඥයා පැහැදිලි කලා. ඉන්පසු එලබෙන්නේ "මිඩ් කෝස්"හෙවත් ගමනේ මැද අවධියයි. මිසයිලය ඉලක්කයේ වදින්නට සූදානම් වන අවස්ථාව "ටර්මිනල් ෆේස්"ලෙස හඳුන්වනවා. කෙටි දුර ඉලක්ක වැනසීමට එල්ලකරන හෙල්ෆයර් මිසයිලයක් බූස්ටර් ෆේස් සිට ටර්මිනල් ෆේස් දක්වා යන්නට ගත කරන්නේ තත්පර 30ක් හෝ ඊට අඩු කාලයක්. කැලුම් සිතෙන් තත්පර 30ක් ගැන අවසන් වනවාත් සමගම මිසයිල දෙක පුපුරා යන හඬ ඇසුනා.

“නින්ද කැඩුනා නේද? සුදු මිනිස්සුන්ගෙ විදුලි කටහඬ හරිම වදයක්.....රැයක් දවාලක් නෑ කියවනවා......."මහළු ස්ථවිරයන් මදහස පාමින් ඔහු වෙත පැමිණියා.

“ඔබවහන්සේ කවුද? මාව මෙතෙනට ගෙනාවේ කොහොමද? මට මගදි මොකද වුනේ?"

"ඔබ ක්ලාන්තවුනා........ වෙහෙස වැඩියිනෙ.......අහසින් වැටුනා මදිවට ගොඩක්දුර පයින් යන්නත් වුනානෙ.......මම ඔබව ඔසවාගෙන ඉතුරුටික ආවා...."

"ඔබ වගේ වයස්ගත කෙනෙක් කොහොමද මේ ගිරි දුර්ග මැද මාව ඔසවාගෙන එන්නේ?"කැලුම් අවිශ්වාසයෙන් ඇසුවා.

“මට පුලුවන් ඔබ වගේ දෙදෙනෙකු වුනත් ඔසවාගෙන යන්නට........"

"ඇත්තටම ඔබ වහන්සේ කවුද? ඔබ කොහොමද මගේ භාශාව දන්නේ? ඔබ මුව විවර නොකර කතා කරන්නේ කොහොමද?"

මදහස පෑ ඔහු යලිත් ගින්නේ පැහෙන බුජම වෙත ගොස් එය කූරු ගන්නට පටන් ගත්තා. …..

“තේරුමක් නැති ප්‍රශ්ණ .......එහෙත් පිලිතුරු දෙන්නම්......... තරුණ කාලේ මමත් ඔහොම තමයි......... කෙලවරක් නැතිව ප්‍රශ්ණ ඇහුවා.......”

“මම උපතින් පෂ්ටුන් ගෝත්‍රිකයෙක්......මගේ නම ආරාංග්..........ඒක පෂ්ටුන් නමක්....... තේරුම ප්‍රඥාව කියන එක. ඒ නම මට තිබ්බේ මගේ ගෞරවනීය ගුරුහාමුදුරුවෝ............උන්වහන්සේගේ නම ධාර්වේෂ්.........ඒ කියන්නේ මුණිවරයා කියන තේරුම. උන්වහන්සේ දැන් නැහැ. මමත් මගේ ගුරුවරයාත් භගවත් ශාක්‍යමුණීන්ද්‍රයාණන්ගේ අනුගාමිකයින්.........අතීතයේ ශාක්‍යමුණින්ද්‍රයාණන්ගේ අනුගාමිකයින් දස-දහස් ගණනක් මේ රාජ්‍යයේ සිටියා......එකාලයේ මේ රට ඉතාමත් සමෘධිමත්..........”

“ඔබ කොහොමද මගේ මව් භාෂාව දන්නේ? ඔබ කතාකරන්නේ කෙලින්ම මගේ මනසටද?.........”

ආරාංග් යතිවරයා කැලුම්ගේ මුහුණදෙස මද වේලාවක් බලා සිටියා. කැලුම් ඔහුගේ දෑස් දෙස බලා බිම බලාගත්තා. ඔහුගේ තියුණු දෑස් සිය ආත්මය විනිවිද දකිනවා වගේ කැලුම්ට හැඟුනා.

"ඇයි ඔබ වැනි බුද්ධිමත් තරුණ දරුවන්.......මිනිසුන් මැරීම රැකියාවක් ලෙස තෝරා ගන්නේ?..........."

"මම හමුදාවට බැඳුනේ මගේ රට බේරා ගන්න සටන් කරන්න............ඒත් දැන්නම් මම අනුන්ගේ රටක, අනුන්ගේ යුද්ධෙක පව් ගෙවනවා තමයි......"

"හම්ම්...."වයෝවෘධ යතිවරයා දෑස් පියා ගත්තා.

"මගේ හිත කියවනවද මන්දා............මං කිව්වේ ඇත්තනෙ...."කැලුම්ට සිතුනා

"මට ඔබේ හිත කියවන්න බෑ.......මිනිස් සිතකට හිතු හිතු ලෙස ඇතුලු වන්නට බෑ........ ඒක හරියට බළකොටුවක් වාගේ..........බොහොම ආරක්ෂිතයි...........ඒත් මට පුලුවන් මදක් එබී බලන්නට.......... බළකොටුවේ තාප්පෙන් එබිලා බලනවා වාගේ.........."

"එහෙම ඇතුලුවෙන්න පුලුවන් අය නැද්ද?"

"ඉස්සර හිටියා.......... දැන් නැහැ.........අර්හත්භාවයට පත් මුණිවරුන්ට පුලුවන්..........එහෙත් ඔවුන් එහෙම කරන්නේ නෑ............ ශාක්‍යමුණීන්ද්‍රයාණන් එවැනිදෑ නොකරන ලෙස අවවාද කොට තිබෙනවා..........."

"ඇයි ඒ? ඇයි බුදුන්වහන්සේ එවැනිදෑ නොකරන ලෙස අවවාද කර තිබෙන්නේ?"

"එහෙම කරනකොට මුණිවරුන් ඉන්ද්‍රජාලිකයින් බවට පත්වෙනවා..........මිනිසුන් විශ්මයට පත්වෙනවා...........අදහන්න පටන් ගන්නවා.............අපේ දහමේ ඇදහීමක් නෑ............ඇදහීම නිෂ්ඵලයි............අවබෝධයයි වැදගත්........."

"ඔබ තවමත් කිව්වේ නෑ ඔබ කොහොමද මගේ මනසට කතා කරන්නේ කියා......."

"හම්ම්.........මම ඔබේ භාශාව දන්නේ නෑ..........දැන ගන්න ඕනැත් නෑ..........මම මගේ භාශාවෙන් ඔබගේ මනසට කතා කරනවා. ඔබේ මනස ඒවා ඔබේ භාශාවෙන් තේරුම් ගන්නවා...........භාවනාවෙන් සිත දියුණු කරගන්න.......එතකොට ඔබටත් පුලුවන් ඒ ශක්තිය ලබාගන්න..........

"එතකොට කොහොමද රේඩියෝ පණිවුඩ ඇහෙන්නේ?"

"රේඩියෝ?? සුදු මිනිහාගේ විදුලි කතාවද?"

"ඔව්"

"භාවනාවෙන් සිත දියුණුවනකොට මනස සියුම් වනවා.......... උද්දීපනය වනවා......... එතකොට සුළඟේ ගසාගෙන යන විදුලි කතා පමණක් නෙමෙයි......සතා සීපාවා........ගහකොල කියන්දේත් තේරුම් යනවා........."

"ඔබ රහතන් වහන්සේ නමක්ද?"

"නැහැ....නැහැ......ඒ වාසනාව ලබා ගන්න මට තව ආත්ම කිහිපයක් යන්නට වෙනවා.......මේ ආත්මයට තව වැඩි කලක් නෑ...."

"ඔබ මියයමින්ද ඉන්නේ?"

"උපන්දා සිටම සිදුවන්නේ ටිකෙන් ටික මිය යන එක නොවේද දරුවා?”

"ඒත් මේ රේඩියෝ පණිවුඩ මට ඇසෙන්නේ කොහොමද? ඔබට පමණයි එය ඇසිය යුත්තේ?"

"ඔබ මා අසල සිටින නිසා කියන එක උත්තරයක් විධියට ගන්න......."

"දැන් මේක බොන්න.........."යතිවරයා දුම් දමන බඳුන් දෙකක් ගෙනාවා. එකක් කැලුම්ට දී ඔහු අසලින් හිඳගත්තා.

"ම්ම්ම්.......සුවඳයි........"කැලුම්ගේ කුසගින්න අවධිවුනා

"බාර්ලියි, කැලෑ අලයි..........තව හතු වගයකුත් තිබිලා දැම්මා..........."

මදවේලාවක් රසවත් සූපය පාණය කල කැලුම්... "ඔබ වහන්සේට පුලුවන්ද මේ ලඟම තියෙන හමුදා අණුඛන්ඩයට යන පාර කියන්න.......සතුරන් මග ඇරලා යන විදියක් දන්නවද ඔබතුමා.....?"

"ඇයි? ආයෙත් මරණ රස්සාව පටන් ගන්නද?"

"මගේ අණදෙන නිළධාරීන්ට වාර්තාකරන්න ඕනෑ......මගෙ අම්මටත් කතාකරන්න ඕනෑ..........."

"හ්ම්ම්ම්...........එහෙමද?...............මමනම් බලාපොරොත්තු වුනේ ඔබ මෙහි නවතී කියලා....."

"මෙහෙ නැවතිලා මොනවා කරන්නද ස්වාමීනී?"

"ඔබ බුද්ධිමත් දරුවෙක්.........මා එක්ක භාවනා කරන්න......මම ශාක්‍යමුණීන්ද්‍රයාණන්වහන්සේ හෙලිකල උතුම් මග උගන්වන්නම්........මම දන්නවා ඔබත් ශාක්‍යමුණි අනුගාමිකයෙක් කියලා ඔබ සිතන බව........බෞද්ධ කියන නමින් ඔබ හඳුන්වාගන්නවා............ඒත් ඔබ මිනී මරණවා........ඔය දඩයක්කාර ජීවිතයෙන් මිදෙන්න කැමති නැද්ද?"

"මට සමාවෙන්න ස්වාමීනී.........ඔබ වහන්සේට මම මගේ ජීවිතයෙන්ම ණය ගැතියි.......මා ජීවත්වන්නේ ඔබ නිසා........ඒත් මට බැහැ ඔබේ ඉල්ලීමට එකඟ වෙන්න....."කැලුම් බැගෑපත්වුනා. වයෝවෘද්ධ යතිවරයා අතහැර දමා යන්නට ඔහුට සිතුනේ නෑ... ඒත්...

"පලමුවෙන්ම.........ඔබ මට ණයගැති නෑ........ඔබ ජීවත්වන්නේ ඔබට ආයුෂ තිබෙන නිසා.......ඔබ ගෙනා ආයුෂ අවසන්නම් ඔබව ජීවත්කල හැකි බලවේගයක් මේ ලෝකධාතුවේ කොතනකවත් නෑ........."

"දෙවැනිව.....මා දන්නවා ඔබට මා සමග භාවනායෝගීව සිටින්නට බැරිබව............ඔබට ඊට වඩා බැරෑරුම් රාජකාරියක් භාරගන්නට වෙනවා......... මහා අශෝක අධිරාජ්‍යා පැණවූ රාජාඥාවක් ඔබ ක්‍රියාත්මක කල යුතුයි!"

"මහා අශෝක අධිරාජ්‍යා පැණවූ රාජාඥාවක්?........මොකක්ද ස්වාමින්වහන්ස ඒ?"කැලුම් සිනාසෙමින් ඇසුවේ කුමක් හෝ චාරිත්‍රයක් සිදුකරන්නට වේ යයි සිතමින්.

"ඔබ මට යමක් ගෙනදිය යුතුයි..."

"ආ?"

"ඔබ මට යමක් ගෙනදිය යුතුයි..."යතිවරයා යලිත් පැවසුවා.

"ඔබ ලෞකික සියල්ල අතහැර දැමූවෙක් කියලයි මම සිතුවේ?"

"මම ලෞකික දෙයක් ඕනෑයයි කිවුවාද?"

"මට සමාවෙන්න.........ඔබතුමාට මා ගෙනදිය යුත්තේ කුමක්ද?"

යතිවරයා කැලුගේ මුහුණදෙස එක එල්ලේ බලා සිටියා. කැලුම් අපහසුවෙන් බිම බැලුවේ යතිවරයාගේ බැල්ම එතරම්ම තියුණුවූ නිසයි.

"මේ රටේ නැගෙනහිර පැත්තේ චාර්තිකාර් කියලා නගරයක් තියෙනවා....ඔබ ඒ නගරය ගැන අසා තිබෙනවාද?"

"චාර්තිකාර්!........ ඔව්....මම හොඳට දන්නවා...."චාර්තිකාර් නගරය කැලුම් හොඳින් දැන සිටියා. කැලුම් පමණක් නෙමෙයි ඇෆ්ඝනිස්තානයට එන ඕනෑම යුධභටයෙක් ඉස්සෙල්ලාම දැන ගන්න ඇෆ්ඝන් නගරය තමයි චාර්තිකාර්. ඇෆ්ඝනිස්තානයේ ලොකුම යුධ කඳවුර තියෙන්නේ චාර්තිකාර්වල. බැග්‍රෑම් ගුවන් කඳවුර ඇමරිකන් හමුදාවල ලොකුම කඳවුර මෙන්ම ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය හා ගුවන් තොටුපොලද වුනා.

ලංකාවෙ ඉඳන් ආපු හමුදා කණ්ඩායම් සියල්ලම මෙහෙ ගොඩබැස්සේ බැග්‍රැම් ගුවන් කඳවුරෙන්. තව මාස හතරක් ජීවත් විය හැකිනම්, කැලුම්ටත් සිය මාස දොලහක සේවා රාජකාරිය අවසන් කරලා බැග්‍රැම් කඳවුරෙන් හැමදෑම පිටත්වෙන යෝධ C5 ගැලැක්සි ප්‍රවාහන යානයක නැගලා, ඇෆ්ඝනිස්තානය කියන මේ මිහිපිට අපායෙන් ගැලවිලා යන්න පුලුවන් වෙනවා.

"චාර්තිකාර් නගරය අසලම මහා විශාල වාඩියක් තියෙනවා........ඔබ දන්නවාද?"

"වාඩියක්?......වාඩිය කියන්නේ කඳවුරට නේද?.......ඔබතුමා කියන්නේ බැග්‍රැම් කඳවුර ගැනද?"

"අහසේ යන යෝධ යකඩ කුරුල්ලන්........වේගෙන් යමින් ගිණි විදින පොඩි යකඩ කුරුල්ලන් ගොඩක් එහෙ තියෙනවා..........."

"මම දන්නවා......මම එහෙ ඉඳලා තියෙනවා..............ඔබ වහන්සේ මට ගේන්න කියන්නේ යකඩ කුරුල්ලෙක්ද?"කැලුම් විහිලුවක් කොට සිනාසුනා...

"මට මොකටද යකඩ කුරුල්ලෙක්…?"මහලු යතිවරයා ආකූල මුහුණකින් කැලුම් දෙස බැලුවා. ඔහු කැලුම්ගේ කවට කතාව තේරුම්ගත්තේ නෑ.

"බැග්‍රැම් වාඩියෙන් ඔබතුමාට මොනවාද ඕනෑ?"

"ඔය වාඩියේ ඇතුලේ බොහොම රහස් තැනක් තියෙනවා....... එතන  කිසිදාක ඔවුන් සතු නොවිය යුතු දෙයක් සඟවාගෙන ඉන්නවා............ඔබ එය ගෙන එන්න ඕනෑ........."

"ඔබ මට කියන්නේ..........මේ රටේ ලොකුම හමුදා කඳවුරේ.........වැඩිම ආරක්ෂාව දාලා තියෙන දෙයක් හොරකම් කරගෙන එන්න කියලද?"

“ඔව්.........හැබැයි හොරකමක් නෙමෙයි...........එය ඔවුන්ගේ නෙමෙයි............."

කැලුම් සිය මුහුණ දෑතේ ඔබා ගත්තා. "මේ මනුස්සයා කියන්නේ මොකක්ද කියලා එයාවත් දන්නවාද දන්නේ නෑ. බැග්‍රැම් කඳවුරට ඇතුලුවෙන්නත් බෑ කෙනෙකුට....මොනවද මට ගේන්න කියන දේ?"කැලුම් කල්පණාවට වැටුනා.

"ඔවුන් අත බියකරු දෙයක් තියෙනවා............. බියකරු ගුප්ත දැනුමක් ඔවුන් ලබාගන්නට යනවා........එය නැවැත්විය යුතුයි දරුවා.........."

"මට තේරෙන්නේ නෑ ස්වාමීනී........."


19:32 Hours, 90Km to Bagram Airbase on Bamiyan-Charikar Highway (A77), Parwan Province, Afghanistan - බැග්‍රැම් කඳවුරට කිලෝමීටර් 90ක් දුරින්, බාමියන්-චාරිකාර් මාර්ගය (A77), පාර්වාන් පලාත, ඇෆ්ඝනිස්තානය. 2019 ඔක්තෝම්බර් 11




පැයක් පමණ ඇවිදගෙන ගිය මහන්සිය හමාගිය සිසිල් සුලංධාරාවෙන් අඩුවුනා. කැලුම් හැඳ සිටි සාම්ප්‍රදායික ඇෆ්ඝන් ඇඳුම තුල සඟවාගෙන සිටි ජී.පී.එස් යන්ත්‍රය අතට ගත්තා. නිළ ඇඳුම හා රයිෆලය සමග ලැබුණු උපකරණ අතරින් ඔහුට ඉතුරුවෙලා තිබුණේ මිලිමීටර් 9යේ ග්ලොක් පිස්තෝලයත්, ජී.පී.එස් යන්ත්‍රයත්, බූට් සපත්තු දෙකත් පමණයි. හෙලිකොප්ටරය කඩාවැටුනු පසු රයිෆලය නැතිවී ගිය අතර ගමන පිටත්වීමට පෙර යුනිෆෝමය ගලවා දමා ඇෆ්ඝන් ඇඳුමක් ඇඳගත්තේ ඈතින් ඔත්තු බලන්නෙකුට ඇෆ්ඝන්කාරයෙක් මෙන් පෙනෙන්නට. ඒ වුනත් මේ ඇඳුම මේ රටේ ශුෂ්ක දේශගුණයට මොනතරම් ගැලපෙන්නේදැයි කැලුම්ට සිතෙන්නට වුනේ එය ඇඳගෙන ගමන් ආරම්භ කල දිනයේමයි.

ජී.පී.එස් යන්ත්‍රයේ දිනය ඔක්තෝම්බර් 11 ලෙසත්, වෙලාව හවස 7.32 ලෙසත් පෙන්වා දුන්නා. මෙහෙයුමට ගියේ ඔක්තෝම්බර් 2වැනිදා. ආරාංග් මුණිවරයාගෙන් සමු ගත්තේ ඔක්තෝම්බර් 4වැනිදා රාත්‍රියේ. එදා සිටම ජී.පී.එස් යන්ත්‍රයේ සිතියම්වල මග පෙන්වීමට අනුව බැග්‍රැම් බලා පයින්ම ගමන් ආරම්භ කලා. මුලින්ම සිතියම පරීක්ෂාකල දිනයේ ඔහු සිටි තැන සිට බැග්‍රැම් වලට කිලෝමීටර් 550ක් දුර ඇති බව පෙන්වූවා. පොදු ප්‍රවාහන සේවයක් හෝ වෙනත් ගමන් කිරීමේ ක්‍රම නැති, මග දිගට සතුරු බලමුලු හා මර උගුල් ඇති ඇෆ්ඝනිස්තානයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යන්නට උත්සහ කිරීම මරණයට අතවැනීමක්. සෝවියට් දේශය ඇෆ්ඝනිස්තානය අල්ලාගෙන සිටි සමයේ බිහිකල, රටපුරා විහිදුනු මාර්ග පද්ධතියක් ඇතත් ඒ මාර්ග භාවිතා කලේ දැඩි ආරක්ෂිත රැකවල් මැද ගමන්කල යුධ රථ කණ්ඩායම් පමණයි. ඒවාට වුවද නිරන්තරයෙන්ම ප්‍රහාර එල්ලවූවා.

කිලෝමීටර් 550 මහා දුරක් මෙන් පෙනුනත්, සුපිරි පුහුණුවක් ලබාසිටි කැලුම් වැනි තරුණයෙකුට දිනකට කිලෝමීටර් 50 ඇවිදීම අපහසු දෙයක් නොවේ. සතුරන්ගෙන් බේරී සැඟවී ගමන් කිරීමට උවමනා නිසාත් ශුෂ්ක ඇෆ්ඝන් දිවාකාලය මග හැරිය යුතුනිසාත් රාත්‍රී 7න් පසුව ගමන් අරඹා පාන්දර 6 වනවිට ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන සැඟව නිදා ගැනීමට කැලුම් තීරණය කලා. කෑම බීම ගැන එතරම් තැකීමක් නොකලේත් යුධ පුහුණුව නිසාමයි. කැලෑවක අතරමංවූ විට කැළෑකොල කමින් දිවිරැක ගැනීමේ පුහුණුව ඔහු ලබා සිටියා. මෙහෙයුමට එනවිට ගෙන ආ ඇමරිකන් හමුදාවන්ට නිකුත්කරන කල්තබාගත හැකි කෑම පැකට් කිහිපයකුත් ඔහුගේ සාක්කුවල ඉතුරුව තිබුනා. කැලුම් කරදරවුනු එකම දෙය බීමට පිරිසිදු වතුර ලබාගැනීම පමණයි. දින දහයකට අඩුකාලයකදී බ්‍රැග්‍රෑම් කඳවුර ආසන්නයට පැමිණීමට කැලුම් අදහස්කලා.

"දවස් දහයකින් විතර ඔබට ඒ වාඩියට යන්න පුලුවන් වෙයි එහෙනම්?"

"ඔව්......අතර මගදී ස්නයිපර් වෙඩිල්ලකින් හරි, බිම් බෝම්බෙකින් හරි, වෙනත් දේකින් හරි ගමන නැවතුනේ නැතිනම්..........."

'ඔබට එහෙම අණතුරු වෙන්නේ නෑ.........ඒත් මේ ගමන ඔබ හිතනවාට වඩා දුශ්කරයි......... හිතාගන්න බැරි දුක් වේදනා විඳින්නට ඔබට සිදුවෙයි.............."

ආරංග් යතිවරයාගේ අණතුරු ඇඟවීම කැලුම්ට සිහිපත්වුනා..

මද වේලාවක් වෙහෙස නිවාගෙන, දිය පොදක් පානය කල කැලුම් යලිත් ගමන ආරම්භකලා. බැලූ බැලූ අත අණතුරුවලට අතවනන ගල්කුලු වලින් පිරි තිබුණා. කැලුම් සැලසුම් කල පරිදි ඔහු ගමන් කලේ චාග්චරන් සිට සුප්‍රකට බාමියන් බුද්ධ ප්‍රතිමා ඇති බාමියන් හරහා චාරිකාර් නගරය වෙත දිවෙන බාමියන්-චාරිකාර් මාර්ගය හෙවත් ඇෆ්ඝන් A77 මාර්ගය ඇස් මානයේ තබාගෙනයි.

A77 මාර්ගයට කිලොමීටරයක් පමණ ඈතින් ගමන් කල කැලුම් නිතරම එය දෙස ඇසක් යොමාගෙන ගමන්කලේ එහි යන රථ බොහොමයක් දැන් මේ රටේ වැඩි කොටසක් අල්ලාගෙන ඉන්නා අයිසිස්-අල්ක්වේඩා-තලේබාන් සටන් ඒකක වලට අනුයුක්ත ඒවා බැවිනුයි. අසුවෙන සතුරන් දරුණු වද හිංසා කොට මරා දැමීම ඔවුන්ගේ එකම ප්‍රතිපත්තිය වුනා. ප්‍රවේසමෙන්, ඉදිරියට ගමන් කල කැලුම්ට ඔහුගේ දකුණු පසට වන්නට මාර්ගය අසල තිබූ විනාශවී ගිය යුධ ටැංකියක් දකින්නට ලැබුණා. එහි පැත්තක මැකීයමින් තිබූ රතු තරුවක සළකුණක් තිබුණා.

"සෝවියට් යුධ හමුදාවේ T-72 යුධ ටැංකියක් වගේ...."කැලුම්ට කියවුනා. ඇමරිකානුවන් කැලුම් ඇතුලු විදෙස් හමුදාවලට ලබාදුන් එක් පුහුණු සැසියක, සෝවියට් දේශයේ ඇෆ්ඝන් ආක්‍රමණය ගැනත්, ඔවුන්ට ඇෆ්ඝන් මුජාහිඩීන් සටන්කාමීන් අතින් ලැබුණු පරාජයත් ගැන විස්තර මෙන්ම එයින් ඉගෙනිය හැකි පාඩම් ගැනත් කියවුනා. ඇෆ්ඝන් සටන්කාමීන් ඉතාමන් නිර්භීත, දැඩි හානි මැද ඉදිරියටම යන, පසුබැසීමට වඩා මරාගෙන මැරෙන්නට කැමති බිහිසුණු සටන්කරුවන්.

ඇමරිකාවත් සමග ටැංකි යුද්ධයකට නිර්මාණය කල යෝධ T-72 යුද ටැංකිය, ටොන් හතලිහක් බර, මිලිමීටර් 125 ප්‍රධාන තුවක්කුවෙන් විශාල විනාශයක් කල හැකි භයානක අවියක්. එවැනි භයානක අවි සමග ඇෆ්ඝන් මුජහිඩීන්වරුන් සටනට පිවිසියේ මැෂින් තුවක්කු හා ආර්.පී.ජී රොකට් වැනි සුලු අවි අතදරාගෙනයි. මේ යුධ ටැංකිය විනාශ කරන්නට මුජහිඩීන් සටන්කාමීන් කී දෙනෙකු දිවි පුදන්නට ඇතිදැයි කැලුම් මොහොතකට සිතුවා. ලෝකයේ විශාලම හමුදාව වුනු සොවියට් හමුදාවට පවා යටත්කර ගන්නට නොහැකිවුනු නිර්භීත මිනිසුන් වෙසෙන මේ කටුක රටේ, වියරු යුධබිම්වල ඇමරිකන් හා යුරෝපීය තරුණ කොල්ලන් පමණක් නොව ලංකාවේ කොල්ලනුත් මියයන්නේ ඇමරිකන් මෝඩකම් නිසාමයි. සැප්තැම්බර් 11 නිව් යෝර්ක් ප්‍රහාරයෙන් පසු එවක ජනාධිපති බුෂ් ඇෆ්ඝනිස්ථානයටත් ඉරාකයටත් පහර දුන්නා. දහස්ගණන් සෙබළුනුත්, ලක්ෂ ගණන් සිවිල් වැසියනුත්, කෝටි-ප්‍රකෝටි ගණන් වටින දේපොලත් විනාසවුනා. ඒකම ප්‍රතිපලය වුනේ අල් ඛයිඩාවට වඩා බොහෝ සෙයින් දරුණු, ISIS කල්ලිය බිහිවීමත්, ලොවපුරා අනුගාමිකයින් ලක්ෂ ගණනක් බිහිවීමත් පමණයි. තවවත් මැරිල්ලේ ඉවරයක් නෑ. ඉවර වෙන්නෙත් නෑ.

ඇමරිකානුවන් ඇතුලු බටහිරයන්ට තිබුණු එකම වාසිය වුනේ ප්‍රහාර සඳහා වැඩිපුරම එන්නේ සැබෑ රණකාමීන්වූ ස්වදේශීය ඇෆ්ඝන් ජාතිකයින් නොවීමයි. සිය රටට කඩාවැදුනු ISIS කාරයින් පිලිබඳව ස්වදේශීය ඇෆ්ඝන් ගෝත්‍රික නායකයින් සිටියේ දැඩි නොසතුටින්. ඒ නොසතුට එලිපිට නොපෙන්නුවේ ඇමරිකාවට කත් අදිනවා යන චෝදනාවෙන් ගැලවී සිටීමටයි. එහෙත් හැකි හැම අවස්ථාවකම ඇෆ්ඝන්වරුන් මේ සටන්වලට සහභාගීවීමෙන් මග හැරියා.

කැලුම්ලා සමග සටනට පැමිණි බොහෝ දෙනෙකු ඇමරිකන්කාරයන් මරා ස්වර්ගයට යන්නට හිතාගෙන ඇෆ්ඝනිස්ථානයට පැමිණි නිසි පුහුණුවක් හෝ නිසි විනයක් නොමැති අරාබිකාරයින්. එසේත් නැතිනම් වෙනත් මුස්ලිම් සුලුතර රටවල ඉපදී, යූ-ටියුබ් වීඩියෝ බලා අන්තවාදය වැළඳගෙන ශුද්ධවූ යුද්ධය නැමති මිත්‍යාවට මුළාවී එහි පැමිණි මං මුලාවූ තරුණයින්.

හෂීස් සුරුට්ටුවක් උරා "අල්ලා....හූ....අක්බර්...."යනුවෙන් කෑගැසූ පසු තමන් බුලට්-පෲෆ් වනවා යයි සිතූ මේ මෝඩයින් බහුතරය ඇෆ්ඝනිස්ථානයට පය ගසා මාස තුනක් ජීවත්වුනෙත් කළාතුරකින්. යුද්ධයේ බිහිසුණු බව ගැන අබැටක අවබෝධයක් නැති, සටන් බිම්වල දිවිගලවා ගැනීමට අවැසි මූලික සටන් විනය පවා නොතිබූ මොවුන් වැඩිදෙනෙක් අවි ගැටුමක් ආරම්භවී පලමු පැය තුලදීම මිය යාම සාමාන්‍ය දෙයක් වී තිබුණා. එහෙත් ඇෆ්ඝන් සටන්බිම් මෙවැනි අන්තවාදී මෝඩයින් ආකර්ෂණය කර ගත්තේ ගෑස් ලාම්පුවක් කළාමැදිරින් ඇදගන්නවා වගේ.

ලංකාවේ විශේෂ බලකා ඇෆ්ඝන් සටනට ගෙනයාම සම්බන්ධීකරණය කරන්නට ගනේමුල්ල කොමාණ්ඩෝ මූලස්ථානයට පැමිණි ඇමරිකන් ස්පෙෂල් ඔපරේෂනස් කමාන්ඩ් මධ්‍යස්ථානයේ (SOCOM) තරු තුනේ ඇමරිකන් ජෙනරාල්වරයෙකු එහි රාත්‍රී භෝජන සංග්‍රයකදී කියූ කතාවක් එකල පුවත්පත් වල වාර්තාවෙලා තිබුණා. ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිතුමන්ලාත්, ආරක්ෂක ලේකම්තුමාත් සහභාගීවූ ඒ උත්සවයේදී බ්ලූ ලේබල් විස්කි වීදුරු දෙක තුනකින් පදම්වී සිටි සිටි උද්දඡ්ච ඇමරිකන් ජෙනරාල් නැගිට වීදුරුව උස්සා "Thank you for sending your boys to help us screw them ……..……. God bless America!” කියමින් ඇමරිකාව වෙනුවෙන් මැරෙන්නට යන ලංකාවේ කොල්ලන් වෙනුවෙන් සව්දිය පිරුවා.


20.51 Hours, 79 Km to Bagram Airbase - බැග්‍රැම් කඳවුරට කිලෝමීටර් 79ක් දුරින්, ඔක්තෝම්බර් 11

එක්වරම වෙඩිශබ්දයක් ඇසුනා. කැලුම් සැනෙකින් බිම දිගාවුනා. අහස එලියකරමින් ෆ්ලෙයාර් වෙඩිල්ලක් ඈතින් පාවෙන්නට පටන්ගත්තා. ඒ සමගම වෙඩි හඬ ඇසෙන්නට පටන්ගත්තා. මුර සංචාරක ඛණ්ඩයක් හා ISIS ත්‍රස්තයින් අතර ගැටුමක් ඇතිවී ඇති බව පෙනෙන්නට තිබුණා. ගැටුම පවතින අතර ඉදිරියට යාම අණතුරුදායක බව කැලුම් තීරණය කලා. ඈතට පෙනුනු විධියට A-77 මාර්ගය දෙපසයි අවි ගැටුම ඇතිවී තිබුණේ.

රොකට් වෙඩි හා ට්‍රේසර් වෙඩි දෙපැත්තට හුවමාරු වන ආකාරය කැලුම්ට දකින්නට ලැබුණා. ට්‍රේසර් උණ්ඩ රතු පැහැයෙන් දිලිසෙමින් ගමන්කලා. උන්ඩයේ පාදමේ ඇති ස්ට්‍රොන්ටියම් පෙරොක්සයිඩ් සහිත කොපුවක්, වෙඩිල්ල පත්තුවීමේදී ගිණිගැනීම නිසා ට්‍රේසර් උණ්ඩ ගිණිගුලි මෙන් දිලිසෙමින් ගමන්කරනවා. වෙඩික්කරුවාට ඉලක්කය නිවැරදිකර ගැනීමට මෙන්ම අනෙක් වෙඩික්කරුවන්ට ඉලක්කය පෙන්වන්නටත් මැෂින් තුවක්කුවල සෑම උණ්ඩ සතරකටම එකක් බැගින් ට්‍රේසර් උණ්ඩ යොදා ගන්නවා.

ලොකු ගල් පර්වත දෙකක් අතර හොඳින් ආවරණවූ ස්ථානයක් ඉක්මණින් සොයාගත් කැලුම් ඒ තුලටවී ආරක්ෂිත වුනා. සටන අවසන්වී පැයක්වත් යනතෙක් එතැන ආරක්ෂිතව සිටීමට ඔහු සිතාගත්තා. ජී.පී.එස් යන්ත්‍රයේ වෙලාව රාත්‍රී 8.51 පෙන්වා සිටියා. චන්ද්‍රිකා ආධාරයෙන් සැකසෙන සිතියමේ බැග්‍රැම් කඳවුරට දුර කිලෝමීටර් 79ක් බව පෙන්වා දුන්නා. අවශ්‍ය තොරතුරු ලබාගත් වහාම බැටරි බලය ආරක්ෂාකර ගැනීමට ජී.පීල්.එස් යන්ත්‍රය නිවා දැම්මා.

ඔහු ආරංග් මුණිතුමා කියූ දෑ යලිත් සිහිපත්කලා. බැග්‍රැම් කඳවුරේ රහසිගත තැනක ක්‍රියාත්මකවන විද්‍යාගාරයක් යයි සිතිය හැකි තැනක් ගැන මහලු යතිවරයා තමන් දන්නා හැටියට විස්තරකලා. ඔහු ඒ තොරතුරු දන්නේ කෙසේදැයි ඇසූවිට ඔහු මුලදී මුනිවත රැක්කා. ඔහුට පැවරණු රාජකාරිය වුනේ කෙසේ හෝ බැග්‍රැම් කඳවුරට ඇතුලුවී, රහස් විද්‍යාගාරය සොයාගෙන එහි සඟවා ඇති කුඩා පෙට්ටියක් ලබාගැනීමයි. කෙසේ හෝ එය විනාශකල යුතුබව ඔහු අවධාණය කලා. අළු වත් ඉතුරුකරන්න එපා. ඔහු අවවාද කලා.

බැග්‍රෑම් කඳවුරට ඇතුලුවන්නේ කෙසේදැයි ඔහුට කිසිම අවබෝධයක් තිබුණේ නෑ. දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මකවූ බැග්‍රැම් කඳවුර කලාප ගණනාවකට බෙදා, අනෙක් කලාපවලට ඇතුලුවීම කඳවුරේ නිවැසියන්ට පවා සීමා කොට තිබුණ බව කැලුම්ට මතකයි.

"කොහොමද ඇතුලට යන්නේ? කොහොමද මම ඒ විද්‍යාගාරය හොයාගන්නේ?"යන පැනවලට මුණිතුමාගේ පිලිතුරු වුනේ "ජින් ඔබට මග පෙන්වයි!"යන ගුප්ත ප්‍රකාශය පමණයි.

ආරංග් හාමුදුරුවන් විස්තරකල ආකාරයට, නැතිනම් කැලුම්ට වැටහුනු ආකාරයට ජින් යනු අප වටා සැරිසරන විවිධ ආත්මික ප්‍රාණීන්. ජින් වර්ග දහස් ගණනක් සිටින බවත් ඔවුන් මේ මහපොලොවේ පමණක් නොව විශ්වයේ බොහෝ ලෝකවල වසන බවත් යතිවරයා පහැදිලි කලා. මහපොලොව වැනි සමහර ලෝකවල ශාරීරික ප්‍රාණීන් මෙන්ම ජින් වැනි ආත්ම ප්‍රාණීන් වෙසෙනවා. සමහර ලෝකවල සිටින්නේ ජින් පමණයි. මෙලොව වෙසෙන ජින් ප්‍රාණීන් බොහෝ දෙනෙකු මිනිසාට හිතවත් හෝ උපකාර කරන්නන් නොවේ. ඔවුන්ගෙන් උපකාර ලබාගැනීමටනම් ඔවුන් බන්ධනය කොට පොළඹවාගත යුතුයි.

එහෙත් මිනිසුන්ට උපකාර කරන ජින් ප්‍රාණීන්ද සිටිනවා. ඔවුන් මිනිසාට හිතවත් වුවත් බන්ධනය කරගත නොහැකි තරම් ශක්තිමත් කර්ම ශක්තීන් ඇති අයයි. ඔවුන් තමන් කැමතිනම්, කැමති අයට පමණක් උදව් කරනවා. පාප කර්මශක්තීන් ඇති පාපී ජින්වරුන් බන්ධනය කොට වැඩගත හැකියි. ඔවුන් පෙර කල පාපකර්ම නිසා බන්ධනය වී දුක්විඳිනවා. එහෙත් මෙවැනි ජින් ප්‍රාණීන් බොහෝ දුෂ්ඨයි. ඔවුන් කෝපවුවහොත් හෝ බන්ධනයෙන් මිදුනහොත් මහා කරදර ගෙන එන්නට හැකි පිරිසක්. දේව ගණයේ ජින් හා පාපී ජින් ආත්ම හැරෙන්නට තවත් කෝටි-ප්‍රකෝටි ගණනක් නානාප්‍රකාර වර්ගවල ජින් ආත්ම ප්‍රාණීන් මෙලොවත් විශ්වයේත් පවතිනවා. මුණිතුමා පැවසූ අන්දමට ඔහුගේ බලයට අවනත වන ජින් ආත්ම කිහිපයක් සිටිනවා. මට මග පෙන්වන ලෙස ඔවුන්ට අණකරන බවයි ස්වාමින්වහන්සේ පැවසූයේ.

ඔහු පැවසූ ගුප්ත මඤ්ජුසාව පිලිබඳව වැඩිදුර විස්තර ඇසූවිට මුණිතුමා පිලිතුරු දෙන්නට මැලිවුනත්, කැලුම් බලකර සිටියා.

"මුණිතුමනි ඔබ වහන්සේ කියනා දේ කරන්නට යන මට සිදුවන්නේ මේ ලෝකයේ බලසම්පන්නම රාජ්‍යයේ සතුරෙක් වන්නට. ඒ විතරක් නෙමෙයි මගේ රටත්, මගේම හමුදාවත් මා ද්‍රෝහියෙක් ලෙස සළකණවා නොඅනුමානයි. මගේ ජීවිතයේ ඉදිරිකාලයම ඔවුන් මාව දඩයම් කරාවි.හසුවුන විට මා මරාදමාවි. ඒ නිසා මා මේ මැරෙන්නට යන්නේ කුමක් සඳහාදැයි පැවසීම ඔබතුමාගේ යුතුකමක්..."

"හම්ම්....ඔබට දැනගන්නම ඕනෑනම්...."වයෝවෘද්ධ ස්ථවිරයා එරමිණියා ගොතාගෙන විස්තරය පටන් ගත්තා. ඈතින් ඇසෙන වෙඩි හඬ හා අහසේ මොරදීගෙන යන ජෙට්යානා ශබ්දය ඔහු ගණනකට ගත්තේ නෑ.

"අපගේ භගවත් ශාක්‍යමුණිතුමා වරක් වනාන්තරයක් අසලින් යද්දී ගහක කොළමිටක් කඩාගෙන මෙසේ වදාරා සිටියා.”

'.......මහණෙනි, මාගේ අතෙහි තිබෙන කොළ මිටිය මා ඔබට දේශණාකල ධර්මය හා සමානයි...ඒත් මා සර්වඥ ඥාණයෙන් අවබෝධකරගත් ධර්මය මේ මහා වනයේ සියලුම කොළ හා සමානයි....'

“ඒක තව විධියකට කිව්වොත් භගවත් ශාක්‍ය මුණිතුමා, මෙලොව දේශණාකල ධර්මය, ඒ කොළ පිඩ හා සමානයි.....ඒත් උන්වහන්සේ දහම් දෙසුවේ මෙලොව, මිනිසුන්ට හා වෙනත් ප්‍රාණීන්ට පමණක් නෙමෙයි.......උන් වහන්සේ සක්වල ඥාණාලෝක, එනම් දියුණු මනස් ඇති ප්‍රාණීන් වෙසෙන වෙනත් ලෝකවලට වැඩම කොට දහම් දෙසුවා......උන් වහන්සේ සමහර ලෝකවලට වැඩමකලේ ඒවායේ වසන දියුණු ජීවීන් දහම් දෙසන ලෙස උන්වහන්සේට ආරාධනාකල නිසයි.... භාග්‍යවතුන්වහන්සේ කෙනෙක් පහලවන්නේ මුලු විශ්වයටම එක් ලෝකයක පමණයි. ඉතා විරලවූ ඒ අසිරිමත් පහලවීමෙන් ප්‍රීතියට පත් සක්වල වැසි දියුණු ප්‍රාණීන් දහම් පවස නිවා ගන්නට…නිවන්මග අසාගන්නට….. උන්වහන්සේට දහම් දෙසෙන ලෙස ආරාධනා කලා....සමහර ලෝකවලට උන්වහන්සේ වැඩමකලේ ආරාධනාවකින් තොරවයි. සමහර අවස්ථාවල ලෝක අතර විනාශකාරී යුද්ධ නැවැත්වීමට උන්වහන්සේ වැඩමකලා. ඈත අතීතයේදී පිටසක්වල යුද්ධ මෙලොවටත් පැතිරී මෙහිත් මහා විනාශයන් ඇතිකොට තිබෙනවා. තවත් සමහර ලෝකවලට උන්වහන්සේ වැඩමකලේ ඒ ලෝකවල වෙසෙන අතිශයින්ම දියුණු ප්‍රාණීන් සිය සුපිරි ඥාණය යොදාගෙන විශ්වයම වැනසිය හැකි තාක්ෂණයන් හෝ අවි නිපදවීම වැලැක්වීමටයි...."

“මේ සමහර ලෝකවලට උන්වහන්සේ වැඩමකලේ තනිවමයි......සමහර ලෝකවලට වැඩම කරනවිට උන්වහන්සේ ආනන්ද තෙරුණ් සමග වැඩමකලා.තවත් සමහර ලෝකවලට සාරිපුත්ත හා මොග්ගල්ලාන රහතන් වහන්සේලා කැටුව ගියා....මේ ලෝකවලදී උන්වහන්සේ දේශනා කලේ මේ මහපොලොවේ දේශනාකල දහම් නෙමෙයි. ඒ ඒ ලෝකවලට ගැලපෙන ලෙස, ඔවුන්ගේ මනස්වල ඇති දියුණුව සලකාගෙන, ඔවුන් පවතින ආකාරය සලකාගෙනයි උන්වහන්සේ දහම් දෙසුවේ. මේ බොහෝ ලෝකවල වැසියන් මිනිසුන්ට වඩා අතිශයේම බුද්ධිමත් ජීවීන් වුනා…භගවත් ශාක්‍යමුණීන්ද්‍රයාණන් ඔවුන්ගේ දියුණු බුද්ධියට ගැලපෙන්න දහම් කරණු දේශනා කලා....."

“ශාක්‍යමුණිතුමන් ඒ වෙනත් ලෝකවල දෙසූ දහම් බොහොමයක් මේ මහපොලොවේ දෙසීම තහනම් කලා. ඒවා තහනම්කලේ මේ ලෝකයට නොගැලපෙන, මෙහි මහා ව්‍යසනයන් ඇතිකල හැකි දැනුම ඒ සමහර සූත්‍රදේශනාවල තිබෙන එසේ තහංචි පැණවූවා. උන්වහන්සේ එලෙස දේශනාකල සමහර සූත්‍ර, මන්ත්‍ර මෙන් වෙනත් ලෝකවලට දොරටු විවර කරන්න සමත්. එසේ විවරවුනු ලෝක අතර දොරටුවලින් අපට ඒ ලෝකවලට යන්නට පුලුවන් මෙන්ම ඒ ලෝකවල සිටින බියකරු ජීවීන්ට මෙලොවට පැන ගන්නත් පුලුවන්. සමහර ලෝකවලට දොරටු විවරකර ගැනීම මේ මහපොලොවේ ජීවයේ අවසානය වන්නට පුලුවන්……”

“බුදුවරයෙකුට පමණක් මෙල්ලවන මහා දරුණු ජීවීන් සමහර ලෝකවල වෙසෙනවා. ශාක්‍ය මුණීන්ද්‍රයාණන්ගේ පුරිස ධම්ම සාරථී ගුණය ගැන ඔබ අහලා ඇති. ඒ ගුණයෙන් කියැවෙන්නේ බුදුන් සතු පුරුෂයින් දමනය කිරීමේ හැකියාව. මේ කියන්නේ මේ ලෝකයේ දරුණු මිනිසුන් දමනය කිරීමේ හැකියාව ගැන විතරක් නෙමෙයි. මුලු මහත් විශ්වයේම ජීවත්වන මහා බළසම්පන්න චෛතිසික ශක්තීන් ඇති ඕනෑම ප්‍රාණියෙක් දමනය කිරීමේ හැකියාව ගැනයි. ඒ ශක්තිය ඇත්තේ බුදු කෙනෙකුටම පමණයි.”

“පිටසක්වල දෙසූ දහම් බොහොමයක් ඒ ලෝකවලින් පිටමන් වීම වැලැක්වීමට උන්වහන්සේ බොහෝ වෑයම් කලා. ඒවගේම ලෝක අතර දොරටු විවරකරන සූත්‍රදේශණා ලේඛණගත කරගැනීම, සටහන්කරගැනීම, මතකතබා ගැනීම පවා උන්වහන්සේ වැලැක්වූවා……..ඒත් භගවත් ශාක්‍ය මුණීන්ද්‍රයානන් වහන්සේටත් සියල්ල පාලනය කල නොහැකියිනේ.......”

"උන්වහන්සේගේ සසුනේ පැවැදිවූ, දුෂ්ඨ සිතුවිලි ඇති, විමුක්තිය නොසොයන සමහර මහණුන් කෙසේ හෝ මේ තහනම් දහම් සූත්‍ර සොයාගෙන පිටපත්කර ගන්නට පටන්ගත්තා. ඒ සඳහා ඔවුන් රහස් නිකායවල් පිහිටවා ගත්තා...ඒත් භාග්‍යවතුන්වහන්සේට හිතවත් රජදරුවෙන් මේ ලේඛණ හැකිතාක් සොයාගෙන විනාශකොට දැම්මා...ඒත් කිහිපයක් ඉතිරිවී තිබෙනවා.........දැන් ඇමරිකානුවන් අත තිබෙන්නේත් එවැනි දහම් කරුණු සටහන් කල මංජුසාවක්...."

“එය සොයාගත්තේ බාමියාන් ආරාමය හා ප්‍රතිමා විනාශකල තලේබාන් කල්ලිය විසින්. එහි සිටි තලේබාන් නායකයා එය වටිනා කෞතුකවස්තුවක් යයි සිතා සඟවාගෙන කෙසේ හෝ විශාල මුදලකට කෞතුක වස්තූන් මිළදීගන්නා කළුකඩකාරයෙකුට විකුණාදමා තිබෙනවා. එය ඇමරිකානුවන් අතට පත්වුනේ එලෙසයි...."

"එය තනි මංජුසාවක් නෙමෙයි, එකක් ඇතුලේ එකක් බහන්නට පුලුවන් සියුම්ව නිර්මාණයකල මංජුසා ගොඩක්....මංජුසා 32ක් එතන තිබෙනවා....ඒ හැම මංජුසාවකම ඇතුලතත් පිටතත් රහස් භාෂාවකින් ලියන ලද සූත්‍ර තිබෙනවා. එය නිර්මාණය කල මහණුන්, තමන්ට හැරෙන්නට වෙනත් කෙනෙකුට කියවිය නොහැකි ලෙසයි එය ලියා තිබෙන්නේ. ඒවාද හිතා මතාම පිලිවෙලකට ලියා නෑ. ඒ මංජුසාවේ පියන්වල ඇති කරුණු පෙලගස්වන රටාව දැන සිටියේ ඒ මහණුන් පමණයි....රහස් භාශාව තේරුම් ගත්තත් මුල මැද අග ගලපගන්න බෑ."

"ඉතින් ස්වාමීනී, එය සැකසූ මහණුන් පමණක් දන්නා රහස් භාශාවකින් ලියූ, පිලිවෙල පවා සොයාගත නොහැකි තරමට ව්‍යාකූලකොට ලියා ඇති එහි ඇති දැනුම හෙලිවේ යයි බිය වන්නට දෙයක් නෑ නේද?"

"මේ රහස් හෙලිකර ගන්නට පුලුවන් යන්ත්‍ර තිබෙන බව මා හිතවත් ජින් මට කියා සිටිනවා. ඒ යන්ත්‍ර මිනිස් මොලයට වඩා දක්ෂයිලු.....ඒ යකඩ මොළවල උපකාරයෙන් වැඩිකල් යන්නට පෙර වසර දහස් ගණනක් කියවාගන්නට බැරි නිසාම ආරක්ශිතවූ ඒ තහනම් දැනුම ලබාගනීවී........."

"මොනවද ඒ මහණුන් මේ දහම ඉගෙන ගෙන බලාපොරොත්තු වුනේ? වෙන ලෝකවලට යන්නද?"

"ලෞකික දේවල් නෙමෙයි..........භෞතික දේවලුත් නෙමෙයි........මෙ මහණුන් ශාක්‍යමුණීන්ද්‍රයාණන්ගෙන් ඉල්ලා සිටියා උන්වහන්සේ වෙනත් ලෝකවල දේශණාකරපු දහම් කරුණු ඔවුන්ටත් කියා දෙන්න කියා...... භාග්‍යවතුන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ, මනුෂ්‍ය ආත්මයක් ලැබූවන්ට නිවන් අවබෝධයට ඒ දහම් කරුණු අනවශ්‍යයි කියලා….”

"ඒ මහණුන් භාග්‍යවතුන් සමග අමනාපවුනා උන්වහන්සේ දේශණාකල ධර්මය සඟවනවා කියලා.....ඔවුන් ගෞතමයාණන්ගෙන් වෙන්වෙලා වෙනම සඟ ගණයක් පිහිටුවා ගත්තා ගෞතමයන් පිටසක්වල ලෝකවලදී දෙසූ දහම් සොයා ගන්නට.....ඔවුන් මේ සූත්‍ර බොහොමයක් සොයා ගත්තේ ගෞතමයන් මේ දහම් දෙසනවිට ඒවාට සවන්දීගෙන සිටි මෙලොව හා වෙනත් ලෝකවල ජින් ආත්මයන් බන්ධනය කරගෙනයි.....සමහර ජින් ආත්ම බුදුන් වහන්සේ වඩිනා සියලු තැන්වල උන්වහන්සේ පසුපසින් ගියා...... ඔවුන්ටත් දහම් පිපාසාව තිබෙනවා............සමහරුන් උන්වහන්සේ විවරකල දොරටුවලින් වෙනත් ලෝකවලට පවා පැන උන්වහන්සේ පසුපස ගොස් පිටසක්වල ලෝකවල බුදුන් දෙසූ දහම් අසාගෙන සිට තිබෙනවා.....ඒ වගේම ඒ ලෝකවල සමහර ජින් ආත්ම බුදුන් බිහිවූ ලෝකය දකින්නට ආශාවෙන් උන්වහන්සේ මෙලොවට වඩිනවිට ඒ සමගම මෙලොවට පැනගෙන තිබෙනවා...."

"මේ මහණුන්ගේ ආශාව වුනේ දැනුම, දැනුම් පිපාසයෙන් පෙලුන ඔවුන්, ඒ බලසම්පන්න ක්ලේෂයෙන් දැවෙමින් තව තවත් දැනුම එක් රැස් කලා......ඒ දැනුම ඔවුනට ගෙන දුන්නේ විනාශයක්....... සමහරුන්ගේ මනස් විකෘතිවුනා.......වියරු වැටුනා...අමු සොහොන්වල මළමිනී සමග වාසය කරන්නට පටන්ගත්තා.... සමහරු බියකරු ඝාතකයින් වුනා........සමහරු ඉන්ද්‍රජාලිකයින් මෙන් පෙනීසිටිමින් විකෘති හැසිරීම් පෙන්වන්නට පටන්ගත්තා ... බොහෝ දෙනෙක් සිය දිවි නසා ගත්තා..... මිනිස් මනසට බොහෝ සෙයින් වෙනස් මනස් වලට ගැලපෙන්නට දේශනාකල ඒ ඥාණය දරාගන්නට මේ මහණුන්ගේ මිනිස් මනස් වලට බැරිවුනා.......සමහරු බියකරු ලෝකවලින් මෙලොවට එබී බලන සුපිරි බුද්ධියක් ඇති පිටසක්වල අමනුෂ්‍යයින්ට බන්ධනය වුනා.......ඔවුන්ගේ වහලුන්වී මෙලොව ඔවුන්ගේ අණසකට යටත් කරගන්නට සක්වල දොරටු විවර කරන්නට උත්සහ ගත්තා......"

“ශාක්‍යමුණීන්ද්‍රයාණන් කෙරෙහි අචල භක්තියෙන් යුතු රාජවරුන්, කුමාරවරුන් මේ අකැප දහම් හැකිතාක් විනාශකලා, ඒවා රැස්කර තිබූ පුස්තකාල ගිණිතබා වැනසුවා...මනස් විකෘතිවූ මහණුන් සිරගත කොට ජනයාට ඔවුන්ගෙන් වන ගැහැට වැලැක්වූවා......පසුකාලවල මාර්ගඵල ලැබූ රහතන්වහන්සේලාත් මේ අකැප දහම් පැතිරීම වලක්වන්නට බොහෝ වෙහෙස වුනා....කොහොම වුනත් බොහෝ රහසින් මේ මහණ ගණයේ සමහරුන් ඈත රටවලට පැනගියා. එසේ පැනයන විට දහම් කරුණු පිටපත්කරගෙන ගියේ මේ අපි හොයන මඤ්ජුසාව වගේ දේවල් වල ලියාගෙනයි..."

“මේ මහණ ගණය සම්පූර්ණයෙන්ම විනාශකර දැමුවේ අශෝක අධිරාජ්‍යයායි. ඔහු සිය දුව හා පුතාද ශාසනයට ඇතුලත් කලේ ඒ අරමුණින්. තම දරුවන් පැවිදිවී දෙසන දහම නිවැරදි දහම බවට ලෝකයා පිලිගනු ඇතැයි එතුමා විශ්වාස කලා. ඔවුන් දෙදෙනාද ඇතුලුව ධර්මදූතයන් ලොව පුරාම පිටත්කලේ නිර්මල ශාක්‍යමුණි දේශණාව ප්‍රචලිත කරන්නටයි. ඒ අතරම ඔහු, සිය විශ්වාසවන්තම අමාත්‍යවරයාවූ රාධගුප්තට මේ අශුද්ධ මහණ ගණය වනසා දමන ලෙසට අණකලා. මහණුන් මරාදැමීම අපරාධයක් වුවත් මේ අකැප දහම පැතිරීමෙන් වෙන විනාශය ඊට වඩා වැඩි බව අශෝක අධිරාජ්‍යයා කළ්පණා කලා. ඔහු තීරණය කලා අශුද්ධ දහම සදහටම නවතන්නට නම් මේ මහණ ගණයේ සියල්ලන්ම ජීවිතක්ෂයට පත්කල යුතුයි කියලා. ඒ අණ ක්‍රියාත්මක කරමින් රාධගුප්තගේ හේවායන් එවක දැන සිටි ලෝකය පුරාම විසිර ගියේ සිය අධිරාජ්‍යයාගේ අණ ක්‍රියාත්මක කරන්නටයි. මේ මහණ ගණය විසින් අශුද්ධ ධර්මය ලියා තැබූ සියල්ල විනාශ කර දැමිය යුතුයයි අශෝක අධිරාජ්‍යයා රාජාඥාවක් පැණවූයේ ඉන්පසුවයි.”

"ඔබ මට පොරොන්දු විය යුතුයි, කෙසේ හෝ අශෝක අධිරාජ්‍යයාගේ රාජාඥාව ක්‍රියාත්මක කරනවා යයි කියා...."

පාර දෙපස ඇවිලී ගිය අවිගැටුම නිවී, නිසොල්මන්වූ විට කැලුම් යලිත් පිටත්වුනා. හැල්මේ ගොඩක් දුර ඇවිදපු නිසා තිබහක් දැනුනා.

වෙහෙසින් රත්වූ සිරුර රාත්‍රියේ දැඩි ශිතල කපාහැරියත්, ගිමන් හරින්නට පටන් ගත් වහාම ශීතල වියලි සුළඟ ඉක්මණින් දහදිය උරාගෙන ගත සිසිල්කිරීම නිසා ශීතල දැනෙන්නට පටන් ගන්නවා. ජල කොතලය සුරතින් ගත් කැලුම් උගුරු දෙක තුනක් පානය කලා. අවට නිරීක්ෂණය කරමින් පිපාසාව නිවාගත් කැලුම්ගේ දෑස් දිය කොතලය වෙත යලිත් යොමුවුනේ අහම්බෙන්. එහි බඳ මත වැටී තිබුණු රත්පැහැ ලපයක් දුටු කැලුම් ගල්ගැසුනා. කොහේ හෝ සැඟවී සිටින ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ ඉලක්කය සටහන් කරන ලේසර් කිරණය ඔහුගේ ජල කොතලය මත පතිතවී තිබුණා.

තව තත්පරයකින් හිස පුපුරා යන්නට වෙඩිල්ලක් වදින බව දන්නා කැලුම් බෝතලයද එලෙසම තියාගෙන දෑස් පියාගත්තා...

තත්පර පහක් ගතවුනා.

ඒ සමගම හිස් කබල පැලෙන්නාක් මෙන් මෙන් දරාගත නොහැකි වේදනාවක් දැනුනා. වාරු නැතුව ගිය කැලුම් මුනින් අතට ඇදවැටුනා. අමාරුවෙන් හුස්මගත් ඔහු කෙළ ගිලිද්දී කටේ ලේ රස දැනුනා. හිස පිටුපසින් දැනුනු ඉවසිය නොහැකි වේදනාව නිසා නිරායාසයෙන්ම කැලුම්ගේ සුරත හිස පිටුපසට ගිය අතර ඔහු අඩසිහියෙන් හිස අතගෑවේ ස්නයිපර් වෙඩිල්ලෙන් කැඩී ගිය හිස්කබල අතට දැනේවී යයි බියෙන්. එකෙනෙහිම ඇලපතට වැදුනු පා පහරෙන් ඔහුගේ දෑස් නිලංකාරවී ගිය නිසා මුහුණට වැදුනු කෙල පහර දැනුනේ නෑ.


18:19 Hours, 48 Km to Bagram Airbase - බැග්‍රැම් කඳවුරට කිලෝමීටර් 48ක් දුරින්. 2019 ඔක්තෝම්බර් 21

කළු රෙදි උරයකින් හිසවසාගත් තරබාරු අලුගෝසුවා සිය අසිපත කැලුම්ගේ බෙල්ලට තබා "අල්ලා හූ අක්බර්...සුභනා රබියල් අදීම්..."යාඥාව හඬනගා කියවූවා.

මිත්‍රත්වය, පරෝපකාරය, යහපත් හැසිරීම, අල්පේඡ්චතාවය, නිතර යාඥා කිරීම, තමන් දිවිගෙවන දේශයට ඇල්මෙන් ක්‍රියාකිරීම ආදී යහපත් දෑ දෙසන දහමක් අදහනවා, එය පෝෂණය කරනවා, එය දෙසූ ශ්‍රාස්තෲන්ගේ ගෞරවය රකිනවා යයි කියමින් බෙලිකපන්නට යන මේ මිනිස් කැනහිලුන් ඒ පව් සියල්ලම දෙවියන්වහන්සේගේ කරපිටින් යවන්නට පාවිච්චි කරන්නේ "අල්ලාහ් හූ අක්බර් - දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි...."යන ඉස්ලාම් යාඥා පාඨයයි.

දෑස් තදින් පියාගෙන දත්මිටි තදකරගත් කැලුම් අවසන් මොහොතට සූදානම් වුනා.

"ඇත්තටම මේ වෙන්ඩ යන්නේ හොඳක්...."කැලුම් හිතහදා ගත්තා.

පසුගිය දින ගණනාවකදීම දරුණු වධහිංසාවලට බඳුන්වූ කැලුම්ගේ ගතහි පණනල රැඳී තිබුනේ යාන්තමට මෙන්. මුළු ඇඟෙන්ම දරාගත නොහැකි වේදනාවක් දැනුනුනා. හුස්ම ගන්නා විට එන ගොර ගොර ශබ්දය නිසා සිය පෙනහලු රුධිරයෙන් හා සෙමවලින් පිරී යන බව ඔහුට දැනෙන්නට වුනා. දින ගණනක් විටින් විට හිසට, පපුවට හා ඉකිලි වලට වැදුනු පා පහරවල් ඔහුගේ වැදගත් ඉන්ද්‍රීයයන් වල අභ්‍යන්තර තුවාල ඇතිකොට තිබුණා. සෙම්-සොටු පමණක් නොව මූත්‍රාද ලේ පැහැයට හැරී තිබුණා. මූනට වැදුනු බූට් සපත්තු පහරවල් නිසා ඔහුගේ දත් කැඩී ගොස් මුහුණ ඉදිමී තිබුණා. තඩිස්සි වූ ඉදිමුම් වලින් ඔහුගේ වම් ඇස සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබුණා.

ඔවුන් කැලුම්ට වදහිංසා කලේ ඔහුගෙන් තොරතුරු දැන ගැනීමටයි. විශේෂයෙන්ම ඇමරිකන් හා බ්‍රිතාන්‍ය දිගුදුර විහිදුම් කොමාණ්ඩෝ බළකා සැරිසරන ප්‍රදේශ හා ඉලක්ක ඔවුන් විමසා සිටියා.

දරුණු වද හිංසා කරමින් තොරතුරු ලබාගන්නා "ටෝචර්"නම් ක්‍රියාවලියද ප්‍රවේසමෙන් කල යුතු, වසර දහස් ගණනක් තිස්සේම දියුණු කරමින් ආ “කලාවක්” බව ඔවුන් දැනසිටියේ නෑ. තොරතුරු සඳහා වද දීමේ කළාව උපන්නේ මිනිසා යුද්ධ කරන්නට පටන් ගත්දා සිටමයි. යුධ කරන විට සතුරන් අසුවන අතර ඒ සතුරන්ගේ ඔලුගෙඩි තුලවූ තොරතුරු කටින් එලියට ගැනීම "වදහිංසා කලාවේ"අරමුණ වුනා. ඒ සඳහා වදහිංසාවට බඳුන්වන්නාගේ කල්පණා ශක්තිය, හා සිහිය රඳවාගත යුතුවූ අතර, තොරතුරු ලබාදෙන තෙක් ජීවිතයද ආරක්ෂාකරමින්, එහෙත් ඉවසාසිටිය නොහැකි වේදනාවන් ලබාදිය යුතුවුනා. මේ නිසා ඔවුන් ඉක්මණින් මරණයට පත්වන පහරදීම් සිදුකරන්නේ නෑ. සියුම් ලෙස දරුණු වේදනා දිය හැකි උපක්‍රම ඔවුන් හදාරා තිබෙනවා. එහෙත් කැලුම්ගේ වධකයින් බූරුවන් මෙන් පයින් ගැසීමට හා තුවක්කු බඳෙන් ඇනීමට පමණක් දන්නා මෝඩයින් රැළක්වූ බැවින් සෑම පහරදීමකින්ම සිහිසුන්වූ ඔහුගෙන් කිසිදු තොරතුරක් ලබාගනීමට ඔවුනට නොහැකිවුනා.

තව මොහොතකින් මේ තරබාරු අලුගෝසුවා ඔහුගේ වේදනාව සදහටම අවසන් කරනු ඇති නිසා කැලුම් සැනසුනා. ඔහුට අම්මා මතක් වුනා. පනස් පස් වැනි උපන්දිනේට පිරිතක් කියවන්න ආසයි කියලා අම්මා කිව්වේ මාසෙකට විතර කලින් කතාකරන්න ලැබුනු වෙලේ.

"ජින්!! කෝ උඹලා???........මෙතන බලන් ඉන්නවානම් ගිහින් එතුමාට කියපල්ලා මං මළා, උඹලාට මට උදව්කරන්න බැරිවුනා කියලා.....".

කැලුම්ගේ දෑත් ඝණ යදම් වලින් බැඳ තිබුනා. ඔහුගේ පපුව ලී කොටයක් උඩ සිටින සේ ඔහුව බැඳ දමා තිබුනේ මුහුණ බිමට හැරී තිබෙන ලෙසයි. එක පහරින් හිස කඳින් වෙන්වී බිම වැටෙන ලෙස ඝාතන වේදිකාව සකස්කොට තිබුණා. සවස් යාමයේ මළහිරු එලියෙන් අළුගෝසුවාගේ සෙවනැල්ල කැලුම්ට පෙනුනා. ඔහුගේ කඩුව ඉහලටම එසවෙන බව දුටු කැලුම් යලිත් දෑස් පියා ගත්තා.

"තඩ්!!"බොල් ශබ්දයක් ඇසුනු අතර උණුසුම් යමක් ඇඟ මත ඉහිරෙනු කැලුම්ට දැනුනා. ඒ උණුසුමට ඉහිරුනේ තමන්ගේම රුහිරු වියයුතු යයි කැලුම්ට හිතුනා. එහෙත් වේදනාවක් තිබුනේ නෑ.

වේදනාව එන්නේ ටිකක් පහුවෙලා....

මොහොතකින් දඩාස්!! යන හඬින් අලුගෝසුවා උඩුබැලි අතට කැලුම් ඉදිරියේ ඇදගෙන වැටුනා. ඔහුගේ මුහුණ වෙනුවට රෝසපැහැ විශාල සිදුරක් දකින්නට තිබුනා. එම සිදුර රත් පැහැ රුධිරයෙන් පිරීයමින් තිබුනා. ගතින් දුර්වලවුනත් මනසින් තවමත් ප්‍රාණවත්ව සිටි කැලුම්ට සිදුවූයේ කුමක්දයි වැටහුනා. එහෙත් ඔහු වටා සිටි අයි.එස් ගොබිලන් සිදුවූ දෙය වටහා ගන්නට අසමත්වූ බව එක්වරම ඇසෙන්නට වූ කෑකෝ ගැසීමෙන් හා කැලුම් සිටි තැනට දුව එන ශබ්දයෙන් ඔහුට වැටහුනා.

ඈතින් එල්ලවුනු අධිබල ස්නයිපර් වෙඩිල්ලක් අලුගෝසුවාගේ හිස පිටුපසින් ඇතුලුවී මුහුණත් ගලවාගෙන පිටවී ඇතිබව කැලුම්ට වැටහුණා. එහෙත් මේ බව අයි.එස් රාජ්‍යයේ රණකාමීන්ගේ මොළවලට කාන්දුවන්නට ප්‍රමාදවූ අතර තවත් මොහොතකින් ඒ වෙඩික්කාරයා තමන්ද ඉලක්ක කරගනු ඇතැයි තවමත් ඔවුනට වැටහී තිබුණේ නෑ. ඔවුන් සියලුදෙනාම දුව විත් අලුගෝසුවාගේ මුහුණට එබෙන්නට වුනා.

"චග්... චග්.... චග්....හඬින් හතරවටින් ස්නයිපර් වෙඩි එල්ලවෙද්දී කැලුම්ට දසවද දුන් වධකයින් තැන තැන ඇද වැටෙන්නට පටන් ගත්තා. අඩුම ගණනේ වෙඩික්කරුවන් සතර දෙනෙකුවත් වෙඩි තබන බව ඇසුනු වෙඩි හඬවලින් අනුමාන කල හැකි වුනා.

ඒ වනවිට ඝාතන සංදර්ශණය බලන්නට රොක්ව සිටි අයි.එස් භටයින් දොලහක් පමණ තැන තැන වැටී සිටියා. ඔවුන්ගේ අණදෙන්නන් සිය අනුගාමිකයින් අතහැර දමා සනයිපර් ප්‍රහාරවලින් බේරෙන්න ඔහුව මෙතෙක් කල් රඳවාගෙන සිටි ගරාවැටුනු නිවසතුලට පැන සැඟවුනු බව වැටහුනා. නායකයින් අණදෙන බවක් ඔහුට ඇසුනේ නෑ. ඒ වෙනුවට මහා කළබලයක් ඇතිවී තිබුණා. ඉතුරු සටන්කාමීන් තැන් තැන්වල සැඟවී එකිනෙකාට කෑ ගසමින් තමන්ට නොපෙනෙනා වෙඩික්කරුවන් වෙත රයිෆල් ප්‍රහාර එල්ල කලා. රයිෆල් ප්‍රහාරයක් එල්ලකරන සෑම මොහොතකම තමන් සැඟවී සිටින තැන වෙඩික්කරුවන්ට හෙලිවෙන බව කිසිවෙකුත් මොවුනට කියාදී තිබුනේ නැති බවයි පෙනුනේ.

"මුං වගේ හරක් රැළක්....."කැඩුණු දත් විලිස්සා හඬනගා කැලුම් සිනාසුනා.

ඒ සමගම බෙලෙක් හඬින් යමක් ඇසුනා.

Silverfish, target painted… should be on your fire control scanner now…. Iceman over…”

Roger that Iceman…. target on scanner…. missile lock confirmed…..finger on the trigger…

Scout Team 4, this is JTAC Iceman, I have a hellfire missile locked….. ready to fire on your call…… can you see the package? Is he clear of the blast radius?

Affirmative Iceman…….. package is out of the blast radius…….

Roger Scout Team 4 stand by to move in……… Silverfish, you have a “GO” on Hellfire launch….

ස්කවුට් ටීම් 4 සනයිපර් කණ්ඩායමත්, අයිස්මෑන් කේතයෙන් ගුවන් ප්‍රහාර මෙහෙයවන ජේටැක් නිළධාරියාත්, හෙල්ෆයර් මිසයිලය සූදානම් කරගෙන සිටින, සිල්වර්ෆිෂ් කේතයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානයේ නියමුවාත් අතර රේඩියෝ පණිවුඩ හුවමාරුව කැලුම්ට ඇසුනා. පැකේජ් යනුවෙන් හැඳුන්වූයේ තමා බවත්, මිසයිලය ඉලක්කයේ වැදී පුපුරා ගියවිට එයින් හානි වන බ්ලාස්ට් රේඩියස් කලාපයට එපිටින් ඔහු සිටින බව තහවුරු කරගත් ජේටැක් ඩ්‍රෝන නියමුවාට මිසයිලය විදීමට අවසර දුන්බව ඔහුට අවබෝධ වුනා.

බර යදම් වලින් බැඳ තිබූ දෑත් සිය දෙසවන් වෙත යොමුකරවා ගන්නට කැලුම් වෙහෙසෙන්නට වුනා. පිපිරුම් කළාපයෙන් ඈතින් සිටියත් තව මොහොතකින් ඇතිවන මහ පිපුරුමෙන් කන්බෙර සිදුරුවන බව දත් ඔහු ආයාසයෙන් දෙසවන් තද කරගන්නවාත් සමගම පොලොව දෙදරුම්කා ඈතින් පිහිටි නිවස සුනුවිසුනු වුනා. කිලෝ ග්‍රෑම් 9ක අධිබල පිපිරුම් ද්‍රව්‍ය ඇතිකල කම්පණයට බැඳ සිටි කොටයද සමග ඔහු පෙරලී ගිය අතර, පිපුරුමේ කම්පණ තරංගයත් සමග ගසාගෙන ආ දූවිලි ගල්වැලි කුණාටුවක් හාත්පස පැතිරුණා. බොහෝ සෙයින් දුර්වලව තිබූ ඔහුගේ සිරුරට බිහිසුණු විකම්පය (concussion) දරාගැනීමට අපහසුවුනා. බිම වැටුනු කැලුම් මීමැස්මොර රෝගියෙකුගේ මෙන් ගැහෙන්නට වුනා.

Are u okey mate?

What is your name?

Do u hear me mate?

State your name, rank and unit….?

ක්ලාන්තයෙන් අවදිවූ කැලුම්ට යමෙක් සිය මුහුණට තටුකරමින් කතා කරන හඬ ඇසුනා. පෙනෙන ඇස අපසුවෙන් විවරකල කැලුම්ට කළු හා කොළ කැමොෆ්ලෑජ් තීන්ත ආලේපකර ගත් තරුණ සෙබළ මුහුණක් පෙණුනා.

“Welcome back mate…...tell me your name, rank and unit?”

ඉංග්‍රීසියෙන් කතාකලත් ඒ කැලුම්ට හුරු බ්‍රිතාන්‍ය හෝ ඇමරිකන් විලාශය නොවේ.

“Kelum Vithanage, Major …… Sri Lanka Army, Special Forces Regiment, embedded with US Army 75th Rangers…………unit ID….. Wild geese eight…..”

කැලුම් සිය නම, නිළය හා මෙහෙයුම් විස්තර ලබාදුන්නා. ඉදිරිපස දත් කැඩී, තොල් පුපුරා ඉදිමී තිබූ නිසා ඔහු කතාකලේ අපහසුවෙන්.

“Good to meet you major….Lance Corporal Max Cooper……..Scout Team 4, Tactical Assault Group…. Australian Special Forces…..”

ආචාර කල ඔස්ට්‍රේලියානුවා කැලුම්ගේ නිය ගළවාදැමූ දුර්වල සුරත දෑතින් ගෙන සෙලවූවා.


Heathe N. Craig Joint Theater Hospital, Bagram Airbase, Charikar, Afghanistan  | හීත් එන් ක්‍රැයිග් ඒකබද්ධ මෙහෙයුම් රෝහල, බැග්‍රැම් ගුවන් කඳවුර, ඇෆ්ඝනිස්තානය.



බරපතල පහරදීම් තුවාල සහිත මේජර් කැලුම් විතානගේ බ්‍රැග්‍රැම් කඳවුරේ විශාලම හමුදා රෝහල වන හීත් එන් ක්‍රැයිග් රෝහල වෙත ඇතුලත් කෙරුනා. වේදනාව සමනය වීම සඳහාත්, නිතර සිදුකෙරුනු අභ්‍යන්තරයේ එක් රැස් වුනු ලේ ඉවත්කිරීම් ආදිය සඳහාත් ඔහුව මද නිර්වින්දන තත්වයේ තබන්නට වෛද්‍යවරුන් කටයුතුකලා. අක්මාවට, වකුගඩු හා පෙනහැලි වලට හානි සිදුවී තිබුණු නිසාත් හිසට වැදුනු පා පහරවල් නිසා මොළයට සිදුවී තිබුණු කම්ණයන් නිසාත් කැලුම් සම්පූර්ණයෙන් සුව අතට පත් නොවනු ඇතැයි විශේෂඥ වෛද්‍ය වාර්තා වල සඳහන් වුනා.

කෙසේ වෙතත් දෙවන සතිය අවසන් වනවිට ඔහුගේ අභ්‍යන්තර ලේ ගැලීම් නැවතී, ඉන්ද්‍රීයන් ඉක්මණින් සුවපත් වන බවක් පෙනෙන්නට වුනා. තුන්වන සතිය අවසන් වන විට කැලුම්ගේ පරිවර්තනය කොතරම්ද යත් ඔහු පරීක්ෂාකල විශේෂඥයින් ඔවුන්ගේ කලින් රෝග විනිශ්චයන් වෙනස් කොට, ඔහු සම්පූර්ණ සුවය ලබනු ඇතැයි වාර්තා කලා. ඔහුගේ මොළයේ සිදුකල සී.ටී ස්කෑන් වාර්තා දරුණු හානි නැතිබව තහවුරු කලා.

කෙසේ වෙතත් ඔහුගේ අස්ථි ගණනාවක් පහරදීම් නිසා පිපිරී තිබූ අතර ඇඟ පුරාම කැපුම් හා පහරදීම් වලින් සිදුවූ තුවාල තවමත් බලවත් වේදනාවක් ගෙන දුන්නා. මුහුණේ ඉදිමුම සම්පූර්ණයෙන්ම බැසගොස් තිබූ නිසා ඔහුගේ වම් ඇස යලිත් පෙනීම ගෙන දුන්නා. මුලින් බටයක් තුලින්ද පසුව දත් කැඩී ඇති නිසා දියර ආහාර මුඛයෙන්ද ගත්තා. දන්ත වෛද්‍යවරුන් ඔහුගේ කැඩී ගිය දත් සියල්ල නවීන දන්ත තාක්ෂණයෙන් පිලිසකර කල නිසා යලිත් ඔහුට ඝණ ආහාර ගන්නට පුලුවන් වුනා..

සී.අයි.ඒ පරීක්ෂකයින් මෙන්ම ආරක්ෂක දෙපාර්තමේන්තු ඔත්තුසේවය (Defense Intelligenece Agency - DIA) කැලුම්ගෙන් ප්‍රශ්ණ කරන්නට නොයිවසිල්ලෙන් සිටියත්, තුන්වන සතිය අවසන් වනතෙක්ම ඔහු අසලට යන්නට ඔත්තුසේවා නිළධාරීන්ට අවසර ලැබුණේ නෑ.

සී.අයි.ඒ හා ඩී.අයි.ඒ විමර්ෂණ නිළධාරීන්ට ඔහුගෙන් අසන්නට ප්‍රශ්ණ සිය ගණනක් තිබුණා. මුලින්ම ඇසුවේ ඔහුව පැහැරගත් ISIS කල්ලිය ගැනයි. ඔවුන්ගේ ගණන, පුහුණුව පිලිබඳව ඔහුගේ ඇස්තමේන්තුව, ඔවුන් සතු අවිආයුධ, ඔවුන් භාවිතාකල සන්නිවේදන උපකරණ වර්ග, ඔවුන් භාවිතාකල වාහන,ඔහුට මතක තිබූ/ඇසුනු නම් ආදී බොහෝ තොරතුරු ඇසූ ඔවුන් ඒ සියල්ල සටහන් කර ගත්තා. දින දෙකක් පමණ මේ ප්‍රශ්ණ කිරීම සිදුවූ අතර ඉන් පසුවයි ගැටලු සහගත මානයට ප්‍රශ්ණකිරීම් යොමුවුනේ.


CIA Station, Bagram Airbase, 20th November | සී.අයි.ඒ බැග්‍රැම් මෙහෙයුම් කාර්යාලය

සෑම ප්‍රශ්ණ කිරීමකටම සී.අයි.ඒ විමර්ෂකයින් දෙදෙනෙකුත්, ඩී.අයි.ඒ බුද්ධි අංශයේ දෙදෙනෙකුත්, සටහන් ගැනීම සඳහා ලඝුලේඛිකාවකුත් සහභාගී වුනා.

“මේජර් කැලුම් ඔබ කොහොමද හෙලිකොප්ටර් අණතුරින් දිවි ගලවා ගත්තේ?.....”

ඔහු මිය යා යුතුව තිබුණා... ඒ ඇත්ත....ගිණි ගනිමින් කඩා වැටුනු හෙලිකොප්ටරයක අසුන් පටිවලට තදවී සිටි ඔහු යානය තුලම පිලිස්සී මිය යායුතුව තිබුණා. ඔහු කුමක් කියන්නද? පිලිස්සෙමින් තිබූ යානයට ඇතුලුවූ අසූවක් පමණ වන පෂ්ටුන් ගෝත්‍රික බෞද්ධ භික්ෂුවක් සිහිසුන්ව සිටි ඔහුව අසුන් පටිවලින් නිදහස් කොට එලියට ගත්තා කියන්නද?

මේ භික්ෂුව මුව විවර නොකර මගේ මව් භාශාවෙන් කතාකරන බව, ඔහු අසල සිටින විට පමණක් නොව වෙනත් අවස්ථාවලදීද ගුවන්විදුලි පණිවුඩ හුවමාරු ඇසෙන්නට සලස්වන බව, මේ කඳවුරේ අධි ආරක්ෂිත කළාපයක ඇති රහස් විද්‍යාගාරයක් ගැන ඔහු දන්නා බව. එසේ ඔහු දන්නේ ඔහුගේ අණසකට යටත් ජින් නම් භූතාත්ම වලින් ලැබෙන තොරතුරුවලින් බව, ඒ භික්ෂුව මේ විද්‍යාගාරයෙන් යමක් සොරාගන්නා ලෙස ඉල්ලා තිබෙන බව…

මේ විස්තර පැවසීමේ අවසානය මානසික රෝගී වාට්ටුව බව හෝ බොරු මවා කියන බවට චෝදනා සහිතව සිරගතවීම බව කැලුම් දන්නවා.

“මේජර් කැලුම්, මේ ඡායාරූපය හොඳට බලන්න....... මේ පෙනෙන්නේ ඔබගේ කඩා වැටුනු හෙලිකොප්ටරය. එය වටා සිරුරු කීයක් තිබෙනවා වැටී දැයි කියන්න?

හතරයි...

“පස් වැනියා විය යුත්තේ ඔබ...ඒත් ඔබ මෙතන නෑ......මේ ඡායාරූපය හෙලිකොප්ටරය කඩා වැටී විනාඩි දහයකට අඩු කාලයකින් ඒ ඉහලින් වෙනත් මෙහෙයුමකට ගිය F15 යානයක තුවක්කු කැමරාව (gun camera) මගින් එහි නියමුවා ගත් ඡායාරූපයක්...කෝ ඔබ?"

“මං දන්නේ නෑ....මට මතක නෑ......බඩ ගාගෙන ඈතට යන්න ඇති….”

“කොහොමද වතුර නැතුව මෙච්චර දුරක් ආවේ....සැතපුම් ගණනාවකට විලක් හෝ ඇළක් දොළක් නෑ....?”

“වලවල්වල තිබුණු වතුර බිව්වා.....”

“කැලුම් ඔහුගෙන් ප්‍රශ්ණ කල සියලුම දෙනාට එකම කතාව කිව්වා.....මම හෙලිකොප්ටරයෙන් එලියට ආවේ කොහොමද දන්නේ නෑ....... බඩ ගාගෙන ඈතට යන්න ඇති.......තෝන්තුවෙන් වගේ හිටියේ........හමුදා ඛණ්ඩයක් හමුවෙනකම් ඇවිදගෙන ගියා........ISIS කාරයින්ට අහුවුනා....”

“ඇයි යානය කඩාවැටුනු තැන හිටියේ නැත්තේ......හැකිතාක් ඉක්මණට නිරීක්ෂණ හා ගැලවුම් කණ්ඩායම් එන බව ඔබ දන්නවා..."

"ඒ පැත්ත කැරලි කරුවන් අල්ලාගෙන සිටින පෙදෙසක්.......මිසයිල එල්ලවුනේ ඒ පැත්තෙන්...කඩා වැටුනු හෙලිකොප්ටර් පරීක්ෂාකරන්න ඔවුන් නිසැකවම එන බව මම විශ්වාස කලා.....මට බය හිතුනා මා එතන හිටියොත් ඔවුන්ට අහුවෙයි කියලා...."

"ඒ නිසා ඔබ ඇවිදින්න ගියා........??"

"ඇවිදින්න ගියා කියන එක අපහාසාත්මක කතාවක්නේ.....මම පණබේරා ගන්නයි ක්‍රියාත්මක වුනේ..... මම ගමන් කලේ රෑට....දවල්ට සැඟවිලා හිටියා... ඈත ISAF කඳවුරක විදුලි ආලෝකය මම දැක්කා මම ගියේ ඒ පැත්තට....."

"මේජර්......අප ඔබගේ කතාව දින තුනක් අසාගෙන සිටියා..කියන්න කණගාටුයි අපට ඔබ කියනදේ විශ්වාස කල නොහැකියි.....ඔබගේ කතාන්තරයේ නොගැලපෙන තැන් බොහොමයි...."

ඔවුන් සියලු දෙනා දෙසම බැලූ කැලුම් සිය දෑත් මේසය මත තැබුවා. ඇඟිලි දහයේම නියපොතු ගලවා දමා තිබු නිසා අලුත් නිය එනතෙක් බැන්ඩේජ් වලින් හැම ඇඟිල්ලක්ම වෙළා තිබුනා.

"මා දිහා හොඳින් බලන්න.....ඔබ සී.අයි.ඒ එකයි ඩී.අයි.ඒ එකයි හිතනවා නම් මම Islamic State මිතුරෙක් කියලා...ඔබට කැමැත්තක් කරන්න.......මට මතක, මම දන්න හැමදේම මම කිව්වා....වෙන කියන්න දෙයක් නෑ...."

"ඔවුන් ඔබට දින කීයක් පහර දුන්නාද?.........."

"දන්නේ නෑ.....අසුවුනු මොහොතේම ඔවුන් මට සිහිනැති වෙන්න ගැහුවා.......මම හිතන්නේ තුවක්කු බඳකින් ඔලුවට ගැහුවා....බිම වැටුනහම ඇලපතට පයින් ගැහුවා............ සිහිය එන විට අඳුරු කාමරයක..........ඔවුන් මට ගහ ගහ ප්‍රශ්න ඇහුවේ එතනදි......ඒ නිසා දවස් ගාණ දන්නේ නෑ.............."

"ඔවුන් ඇසුවේ මොනවා ගැනද?"

"දිගු දුර මෙහෙයුම් කණ්ඩායම් ගැන නිතරම ඇසුවා.......සී.අයි.ඒ එකට ඔත්තු දෙන ඇෆ්ඝන් කාරයෝ ගැන ඇහුවා......කමාන්ඩර්ලා හා වෙනත් අණදෙන නිළධාරීන් ගැන ඇහුවා........මම දන්නේ නැහැ කිව්වා..........."

"මෙතරම් දවස් ගාණක් ගහලත්, ඔබ වැදගත් තොරතුරක් කිව්වේ නෑ....?"

"නැහැ..."

"ඔබ කියන්නේ අපට එය විශ්වාස කරන්න කියලාද?"

"ඔවුන් පුහුණු සෙබළුන් නොවෙයි.......තුවක්කු ගත් මැරයින්........කිසිම යුධ පුහුණුවක් තිබුනේ නෑ......ස්කවුට් ටීම් 4 එකේ ස්නයිපර් ප්‍රහාරය පටන් අරගෙන විනාඩි දෙක තුනක් යනකොට 12ක් විතර මැරි වැටුනා....අලුගෝසුවා බිම වැටුනු ගමන් ඔවුන් එතනට දුවගෙන ආවා.......යුද්ධ කිරීම ගැන පොඩි දැනුමක් හරි තියෙනවා නම් එහෙම කරන්නේ නෑ....එහෙම ආපු ඔක්කොම විනාඩි පහකට අඩු කාලෙකදී ස්නයිපර් වෙඩි වලින් මැරී වැටුනා...........මගේ හිස ගසා දමනවා බලන්න ඔවුන්ගේ නායකයෝ කියන දෙතුන් දෙනා ආවා.......වෙඩි තියන්න පටන් ගත්ත ගමන් මම හිතන්නේ ඔවුන් ගෙට පැනලා හැංගුනා........ඔවුන් සිය සෙබලුන්ට අණදෙනවා මට ඇහුනේ නෑ......."

“ඔවුන් ඇෆ්ඝන් ගෝත්‍රිකයින්ද?

“නෑ...මම හිතන්නේ අරාබිකාරයෝ…”

“කොහොමද හරියටම කියන්නේ? ඔබ අරාබි භාශාව දන්නවාද?”

“නෑ.....ඒත් මම ඇෆ්ඝන්වරුන් සටන් කරන හැටි දැකලා තියෙනවා...ඔවුන්ගේ ප්‍රහාර වලට මුහුණදීලා තියෙනවා....ඔවුන් බිහිසුණුයි.......සටන් කරද්දී අණ පිලිපදිනවා....සටන් විනය තිබෙනවා.......ඒ වගේම ඔවුන් සතුරන්ටත් ගරු කරනවා කියලා මම අහලා තියෙනවා......මාව අල්ලගෙන හිටියේ ඇෆ්ඝන්වරුන් නෙමෙයි.......මී හරක් වගේ අරාබිකාරයෝ ටිකක්........"

"ඒත් ඔවුන් ඔබට දරුණු ලෙස වද දුන්නා.......ඔබ ඒවා ඉවසුවා......වැදගත් තොරතුරක් දුන්නේ නෑ.......ඒකද ඇත්තටම වුනේ?"

"මම කිව්වා වගේ ඔවුන් පුහුණුවක් නොතිබූ අය........සතුරෙකුගෙන් ප්‍රශ්ණ කරන හැටි ඔවුන් දන්නේ නෑ........ඔවුන් හිටියේ දැඩි කෝපයකින්.......ඇමරිකන් අසූචි කන ඌරා.....කියමින් බැන බැන පහරදුන්නා........ඒ හැම පහරදීමක්ම දැඩියි.........දෙතුන් දෙනෙක් ගැහුවා............වැඩියෙන් ගැහුවේ පයින්........ඒ පහර වදිනකොට මට සිහිය නැතිවුනා, ක්ලාන්තවුනා.............මට කතාකරන්න නෙමෙයි හරියට කට අරින්නවත් බැරුවයි හිටියේ..........මගෙන් උත්තර නැති වෙනකොට ඔවුන් තව තවත් ගැහුවා........"

"ඔබ වද හිංසාවලට මුහුණු දෙන්නට පුහුණු කරන "ටෝචර් සර්වයිවල් ට්‍රේනින්"පාඨමාලාව හදාරා තිබෙනවාද?"

“ඔව්"

"කොහෙදීද?"

"රුසියානු සයිබීරියාවේ, ට්‍රාන්ස්-බයිකාල් දිස්ත්‍රික්කයේ ස්පෙට්ස්නාස් පුහුණු පාසැලක.....මාස තුනක පුහුණුවක් ලැබුවා.....රුසියන් ස්පෙට්ස්නාස් එකෙන් ට්‍රේනින් එක කරේ......"

"ඒ පුහුණුවෙන් ඉගෙන ගත්ත වැදගත්ම දේ කියන්න පුලුවන්ද?"

"දක්ෂ වධකයෙකුට ඕනෑම කෙනෙක්ව බිඳවට්ටලා තොරතුරු ගන්න පුලුවන් කියන එක.......එය කාළය පිලිබඳ ප්‍රශ්ණයක් විතරයි...."

"එතකොට විසඳුම??"

"තමන්ගේ රට, හමුදාව පාවා දෙන්න ඉස්සෙල්ලා ගැලවෙන්න ඕනෑ……....නැතිනම් මැරෙන්න ඕනෑ………..එච්චරයි...."

දින තුනකට පස්සේ ප්‍රශ්ණ කිරීම නැවතුනා.

ඔවුන් තමන්ගේ කතාව විශ්වාස නොකරන බව විතරක් කැලුම්ට පැහැදිලි වුනා. එහෙත් කැලුම් ඔවුන්ට වෛරකලේ නෑ...ඔවුන් කලේ ඔවුන්ගේ රාජකාරිය....කැලුම්ල්ගේ වයිල්ඩ් ගීස් එයිට් යුනිට් එකේ දැන් ඉතිරි වෙලා ඉන්නේ ඔහු විතරයි....දෙපිටිකාට්ටු ඔත්තුකාරයෙකු ඇටවූ උගුලක් නිසා අනෙක් සියලු දෙනා මැරිලා. ඔවුන් අතිනුත් දරුණු අතපසුවීමක් සිදුවෙලා තියෙන නිසා ඔවුන් ප්‍රශ්ණකිරීම් වලදී ප්‍රවේසම් වුනා කියලා කැලුම්ට හිතුනා. මෙහෙයුම සූදානම් කල සී.අයි.ඒ විශ්ලේෂකයින්ට Islamic State නායක හමුව තිබෙනවා යයි කියූ තැන නොසිතූ ප්‍රහාරයකට සුදුසුම තැනක් බව අවබෝධවී තිබුණේ නෑ.

අතිවිශාල මෙහෙයුම් ගණනක් සිදුවෙන නිසා සී.අයි.ඒ විශ්ලේෂකයින්ට සෑම තොරතුරක්ම හොඳින් සළකාබලන්න වෙලාව නොතිබෙන්න ඇති. නැතිනම් ආධුනික විශ්ලේෂකයින් ප්‍රහාරය සැලසුම් කරන්න ඇති....කොහොම වුනත් විශේෂ බළකා සෙබලුන් 19ක්, ගුවන් නියමුවන් 4ක්, මෙඩික් නිළධාරීන් 2ක් හා කෝටි ගණනක් වටිනා හෙලිකොප්ටර් දෙකක් අහිමිවෙලා...වගකීම සී.අයි.ඒ ඒජන්සියේ මිසක් කැලුම්ගේ නෙමෙයි.....ඔහු කල එකම අමුතු දෙය අසම්භාවී ලෙස කෙසේ හෝ දිවිගලවා ගැනීම පමණයි.

ඔත්තුසේවා ඒජන්තයින් කැලුම් දෙස සැකයෙන් බැලුවත් හමුදාවල නිළධාරීන් හා සෙබලුන් ඔහු දෙස බැලුවේ ගෞරවාන්විත ලෙසින්. ඇමරිකන්, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු හා බැග්‍රෑම් වල සිටි වෙනත් රටවල හමුදා නිළධාරීන් කැලුම් දුටුවිට ආචාර කලා, සුවදුක් විමසුවා...ඉක්මණ් සුවය පැතුවා....මියගිය ලංකාවේ සගයින් ගැන ශෝකය පලකලා. එය ඔහුට ලොකු අස්වැසිල්ලක් වුනා.

ලංකාවේ කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබලුන් 200ක් පමණ මේවන විට ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුම් වලට දායක වෙමින් සිටියා. නිර්භීත සටන්කාමීන් හා පසු නොබැස ඉදිරියටම යන කොල්ලන් ලෙසින් ඔවුන් අනෙක් රටවල සෙබලුන් අතර ගෞරවයක් දිනාගෙන සිටියා. සුපිරි පුහුණුව හා ඊලාම් යුද්ධවලින් ලැබූ පන්නරය ඊට හේතු වුනා.

“Hang-in there soldier-boy…. Just a few more minutes….”

තුවාල වලට බෙහෙත් දමනවිට වේදනාවෙන් මිරිකෙමින් කෙඳිරිගෑ කැලුම් දෙස බැලූ ඇමරිකන් හමුදා හෙදිය සිනහමුසු මුහුණින් කියා සිටියා.

“Does your wife know…?” හෙදිය නිල්පැහැ දෑස් ඔහුවෙත යොමාගෙන ඇසුවා.

"ආ??"

"ඔයාගෙ බිරිඳ...එයා දන්නවද ඔයාට වුන දේ? කතාකරන්න හම්බුවනාද?"

"මගෙ බිරිඳ වෙන්න කැමති කෙනෙක් හම්බුනාම කියන්නම්..."කැලුම් වේදනාව සඟවාගෙන මදහස පෑවා.

"අහ්...සමාවෙන්න....ඔයා බැඳලා නෑ....."ඇයගේ දෙකොපුල් ලැජ්ජාවෙන් රතුවෙන හැටි කැලුම් දැක්කා.

"හරි මගෙ වැඩ ඉවරයි.......හොඳින් නිදාගන්න කැල්-ලොම්..."ඇය ඔහුගේ නම අපහසුවෙන් උච්චාරණය කලා.

පසුදා දවල් විශේෂ බළකායේ බ්‍රිගේඩියර් උදය වෛද්‍යරත්න ඔහු හමුවෙන්නට ආවා. බ්‍රිගේඩියර් වෛද්‍යරත්න ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා විශේෂ බළකා/කොමාන්ඩෝ අණදෙන නිළධාරීවරයා ලෙස පත්කොට තිබුණා.

"ඔය තුවාල හොඳට වේලෙනකන් ඉන්න වෙයි....ඊට පස්සෙ මම ඔයාව ගෙදර යවන්නම්....මම අපේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියට ඔයාව සේවයෙන් නිදහස් කරන කියලා රෙකමදාරුවක් යැවුවා…එහෙන් ඇමරිකන් ජොයින්ට් ඔපරේෂන්ස් කමාන්ඩ් එකට ඉල්ලීම යවන්න ඔනෑ...ඒක හරියයි......ඔයා මේ අපායේ විඳෙව්වා ඇතිනේ...මම රිපෝට් කරන ඇමරිකන් කමාන්ඩර්ලත් හිතනවා ඔයා විඳපු දුක් ඇති කියලා…..එක කොස්සකට තියෙන්නේ සී.අයි.ඒ / ඩී.අයි.ඒ කාරයෝ තවමත් ඔයා ගැන ටිකක් සැකෙන් ඉන්නේ..."

"මම මොනව කරන්නද සර් එයාලගෙ මිෂන් ප්ලෑනර්ලානෙ වැඩේ අල කරේ.....උන් අපිව යැව්වේ සෙට් කරපු උගුලකටනේ සර්......."

“ඒක උනුත් දන්නවා පුතා...ඒකනෙ වැඩිය දඟලන්නේ නැත්තේ...."

“කොහොම හරි ඔයාගෙ රිපෝට් එකේ "honourably discharged from the tour of duty"කියලා ලියව ගන්න ඕනෑ. එතකොට ඔයාට සර්විස් බෝන්ස් කියලා දෙන ඩොලර් 15000හේ චෙක් එකයි ලුතිනන් ජෙනරල් සටයිනර්ගෙන් නිර්භීතකමට දෙන පදක්කමයි ලැබෙයි. පාස්-පෝට් එකේ අවුරුදු 10ක ඇමරිකන් වර්ක් වීසා එකකුත් වදිනවා. ඒකෙන් ඕනෑනම් අවුරුදු 10ක් ඇමරිකාවේ ඕනෑම රස්සාවක් කරන්න පුලුවන්...ඇමරිකන් ආමි එකෙන් කිසි අවුලක් නෑ…අපේ කොල්ලෝ මෙහෙ හොඳ තැනක් තියාගෙන ඉන්නේ....සී.අයි.ඒ කාරයෝ ප්‍රෙෂර්කරලා ඔයාගෙ පිටත්වීම ප්‍රමාද කෙරුවොත් තමයි..."

"ඔව් සර්..."

"හරි පුතා...මම දැන් මීටිමකට යන්න ඕනෑ....පුතා හොඳට කාලා බීලා රෙස්ට් එකේ ඉන්න...හොඳට සනීපවුනාම මෙඩල් එකයි සල්ලියි අරන් යන්න ලෑස්ති වෙන්න....මම ඉතුරුටික කරන්නම්..."

"තැන්ක් යූ සර්..."

ඔහු ගිය පසු කැලුම් නින්දට වැටුනා.....බේත් විදින්න....තුවාල චෙක් කරන්න නර්ස්ලා ඇවිල්ලා ඇහැරෙව්වා....එත් නිල් ඇස් තියෙන නර්ස් නම් ආවේ නෑ….ලස්සන කලු-අප්‍රිකානු නර්ස් කෙල්ලෙක් නම් ආවා...ස්ටුඩන්ට් නර්ස් කෙනෙක්.........ලස්සන වුනාට තුවාල රිද්දුවා....මෝඩි.........කැලුම් ආයෙත් නිදා ගත්තා......හොඳටම නින්ද ගියා........ඇහැරිලා වෙලාව බලනකොට පාන්දර දෙකහමාරයි….ඔහුට දීලා තිබුනේ වෙනම පොඩි කාමරයක්...කාමරේම කරුවලයි.....බඩගින්නකුත් දැනුනා.....කන්න ආස ඕන දෙයක් පුලුවන් තරම් කන්න කියලා ඩයටීෂියන් නෝනා කියලා ගියෙ පෙරේදා....කනකොට තවම හක්කයි දතුයි රිදෙනවා.......කඩපු දත් ආයෙත් හැදුවත් වේදනාව තවම තියෙනවා....කැලුම් ඉස්පිරිතාලේ හිටියත් ඕනෑ වෙලාවක එලියට බැහැලා ඇවිදින්න දැන් අවසර තිබුණා.

"පුලුවන් තරම් ඇවිදින්න....රිදෙනවා කියලා ඇඳේ ඉන්න එපා...ඇවිදින තරමට හොඳයි..."වෛද්‍යවරු උපදෙස්දී තිබුණා.

හැම පියවරක්ම වේදනාකාරී වුනා....පහරදිම් වලින් අස්ථිවල සියුම් ඉරිතැලීම් තිබුණත්, බිඳී තිබුනේ ඉළඇට කිහිපයක් විතරයි.....හුස්ම ගන්න හැම මොහොතකම ඒවා වේදනා දුන්නා...ඒත් වේදනාව කැලුම්ට එතරම් ප්‍රශ්ණයක් වුනේ නෑ.......අයි.සිස් වධකාගාරෙ විඳපු වේදනා මතක් වෙනකොට මේවා ගාණක් නෑ....කොහොමත් වේදනාව අමතක කරන්න පුහුණුව ඔහුට තිබුණා...වේදනාවට වඩා වදයක් වුනේ අවුරංග් මුණිතුමා පැවැරූ රාජකාරිය.

“තව ටික දවසකින් ඩොලර් 15,000කුයි, පදක්කමකුයි, අවුරුදු 10ක ඇමරිකන් ජොබ් වීසා එකකුයි අරගෙන ගෙදර යන්න පුලුවන්. හමුදාවෙන් අස්වෙලා ඇමරිකා ගියානම් හොඳට හම්බකර ගන්න පුලුවන් වෙයි...ඒත්...අවුරංග් හාමුදුරුවෝ නැතිනම් මම දැන් හෙලිකොප්ටරේ ඇතුලේ අඟුරු ගොඩක්....මම එතුමාට ණය ගැතියි....එයා මාව බේර ගත්තේ මේ වැඩේ ගන්නද? අනෙක් අය බේරගන්න ඉඩක් තිබුණේ නැද්ද?”

“නෑ නෑ වෙන්න බෑ...පුලුවන් නම් ඔහු ඔවුන්වත් බේර ගන්නවා....ගිණි ගන්න හෙලිකොප්ටරේ ඇතුලට ගිහිල්ලා මාව බේර ගත්තානම් අනෙක් අය පණ පිටින් පිච්චෙන්න ඇරලා නිකන් ඉන්නවද සිල්වත් හාමුදුරුනමක්?”

“සල්ලි අරන් ගෙදර යනවද? ගෞතම බුදුන්වහන්සේ විනාශකාරී කියලා තහනම් කරලා තියෙන, අශෝක අධිරාජ්‍යයා විනාශකල යුතු යයි රාජාඥාවක් පනවා තියෙන දැනුම ඇමරිකන් කාරයන්ට ලැබෙන එක නවත්වනවද? නැතිනම් උත්සහකරලා මැරෙනවද?”

කිහිලිකරු දෙකේ වාරුවෙන් පියමන් කල කැලුම් ගමන්කලේ ඉස්පිරිතාලයට මදක් ඈතින් තිබූ ස්ටාර්බක්ස් කොෆී අවන්හලට. ඇමරිකන්කාරයින් යන යන තැන ඔවුන්ගේ ජනප්‍රිය සන්නාමයන් අරගෙන යනවා. කඳවුරේ හැම තැනම කොකාකෝලා / පෙප්සි කෝලා මැෂින් හයිකරලා තිබුණා. බැග්‍රැම් කඳවුරේ ස්ටාර්බක්ස් කොෆී අවන්හල් දෙකකුත්, කුඩා මැක්ඩොනල්ස් අවන්හල් දෙකකුත් සබ්වේ සැන්විච් විකුණන තැන් දෙකකුත් තිබුණා...ලඟදී ඩන්කින් ඩෝනට්ස් කියන අවන්හලකුත් විවෘතකලා කියලා ආරංචියි. මෙස් එකේ කෑම එපාවුනු බොහෝ දෙනා මේවායින් තුන්වේලම කෑවා…

අවන්හලට යන අතරමග එලි මහනේ සවිකර තිබූ දිශා ස්ථම්භය පහුකලා. උස කණුවක ඇමරිකාවේ ලොකුම නගර තිබෙන දිශාවන් ඊතල වලින් පෙන්වා ඒවාට ඇති දුර සටහන් කොට තිබුණා. ලන්ඩන්, සිඩ්නි, බර්ලින් නගරවලටද දුර දක්වා තිබුණා. ලඟම නගරයක් විධියට තිබුණේ නව දිල්ලිය. ඉන්දියන් විශේෂ බළකා සෙබලුන් රැසක් ඇෆ්ඝනිස්තානෙ හිටියා. එත් ආරංචියේ විධියට ඔවුන් යුධ මෙහෙයුම්වලට යොදාගෙන නෑ.... සටන් අත්දැකීම් නැති නිසා සටන් නැති පැතිවල මුර සංචාරවලට දාලාලු…

“ඉන්දියන් පඬියන්ට හොඳ වැඩේ.... ගම්වල ගෑනු පරිස්සම් කරන ජොබ් එක තමයි උන්ට හොඳ…කැලුම්ට ඉන්දියන් කාරයෝ පෙන්නන්න බෑ.... කැලුම් මෙහෙ ආපු ෆලයිට් එකේ ඉන්දියන් ස්පෙෂල් ෆෝසස් කියාගත්ත කට්ටියක් හිටියා. ලැන්ඩ් කරනකන්ම කන් කරච්චලේ....ඉවරයක් නැති කයිවාරුව..ඒ මදිවට උන් බුළත්කාලා කෙළ ගහලා ප්ලේන් එකේ ටොයිලට් එකත් වණකරලා තිබුණේ..”

“මේ කණුවේ කොළඹ නගරෙට යන පැත්තයි දුරයි කියන බෝඩ් එකක් ඕනේ...මෙහෙ මැරෙන අපේ කොල්ලන්ගෙ ආත්මවලට ගෙදර යන පාර බලාගන්න බෝඩ් එකක් තියෙන එක හොඳයි... “

අවන්හලේ ඉදිරිපස සවිකරලා තිබුණු ඩිජිටල් බිත්ති ඔරලෝසුවක වෙලාව 2.55AM කියලා සටහන් වෙලා තිබුණා. පාන්දර නිසා තදබදය නොතිබුණත් සෑහෙන සෙනගක් හිටියා බොහෝ දෙනෙක් නිළ ඇඳුම්වලින්. එක්කෝ ශිෆ්ට් එක ඉවරවෙලා බැරැක්කෙට යන ගමන් මොනවාහරි කාලා යන්න ආපු අය. නැතිනම් ශිෆ්ට් එක පටන් ගන්න ඉස්සෙල්ලා ආපු අය. අවන්හලේ සිටි වැඩි දෙනෙක් රාත්‍රී ප්‍රවාහණ පියාසැරිවල යෙදෙන ගුවන් නියමුවන් හෝ පැය විසිහතරේම ක්‍රියාත්මකවන තාක්ෂණික අංශවල නිළධාරීන් බව පෙනුනා.

කැලුම් පෝලිමට එකතුවුනා. ඔහුව දුටු වහාම පෝලිමේ සිටි අය ඔහුට ඉදිරියට යන්න ඉඩ දුන්නා. බැග්‍රැම් කඳවුර හරියට එක්සත් ජාතීන්ගේ රැස්වීම් භූමියක් වගේ බොහෝ ජාතින් මෙහෙ විවිධ යුධ මෙහෙයුම් හරි සැපයුම් මෙහෙයුම්වල හරි නිරතවුනා. අමරිකාව එන්න කියූ විට එන්නේ නැතුව සිටින රටවල් බොහොම ටිකයි ලෝකේ තියෙන්නේ. කවුරු මොනවා කිව්වත් තවමත් ලෝකේ බලවත්ම රට ඇමරිකාව. චීනෙටවත්, රුසියාවටවත් ඒවගේ රටවල් නම්මා ගැනීමේ ශක්තියක් තවම නෑ. බැග්‍රැම් කඳවුරේ සුදු, කලු, දුඹුරු බේධයක් තිබුනේ නෑ. හැමෝම එකම යුද්ධයක සටන් වැදෙන්නන්, කාටත් තුවාල වෙනවා, මැරෙනවා, වේදනා විඳින්න වෙනවා. දේශපාලකයින්ට නැති ඒ අවබෝධය මේ කඳවුරේ එකට දිවිගෙවන, එකට සටන්වදින විවිධ ජාතීන්වලට අයත් තරුණ කොල්ලන්ට කෙල්ලන්ට තිබුණා.

ඉඩදුන් අයට ස්තූතිකල කැලුම් එස්ප්‍රෙසෝ කෝපි එකකුයි, ටූනා මාළු සැන්ඩ්විච් එකකුයි ඇණවුම් කොට ඇමරිකන් මිලිටරි පේ කාඩ් එකෙන් ගෙවුවා. ඩෙබිට් කාඩ් පතක් මෙන්වූ එය නිකුත්කලේ සේවය කල හමුදාවෙන්. මිලිටරි පේ කාඩ් එකකින් ගෙවනකොට ගොඩක් ඩිස්කවුන්ට් ලැබෙනවා කියලා කැලුම්ගේ ඇමරිකන් මිතුරන් කියා තිබුණා. ඇමරිකන් ත්‍රිවිද හමුදා නිළධාරීන්ට විවිධ ආයතනවලින් දෙන ඕනෑම විශේෂ වට්ටමක් මිලිටරි පේ කාඩ් එකෙන් ගෙවනවිට ලැබෙනවා.

කෑම ට්‍රේ එක දැතට ගත් කැලුම්ට ඇවිදින්න කිහිලිකරු දෙක උවමනා බව මතක්වුනා.

"Let me help you…."කියා කැලුම්ගෙන් ට්‍රේ එක ඉල්ලා ගත්තේ අඩි හයක් පමණ උසැති කලු ඇමරිකන් මැරීන් හමුදා සෙබලෙක්. ඔහුගේ සුදු ඇමරිකන් මිතුරා "Where do you like to sit?"කියා කැලුම්ගෙන් ඇසුවා. කැලුම්ගේ ඉල්ලීම පරිදි එලියේ මේසයකට කෑම බන්දේසිය ගෙනැවිත් දුන් ඔවුන් කැලුම්ට ඉඳගන්නටත් උදව්කර "Enjoy your food bro..."කියා සුබපතා ඉවත්ව ගියා.

එලියේ සවිකර තිබූ LED තිරයක බැග්‍රැම් කඳවුර අවට උෂ්ණත්වය 56F / 15C බවත්, අහස වළාකුලෙන් තොර පැහැදිලි එකක් බවත් පෙන්වූවා. ලංකාවේ 15C දැඩි ශීත කාළගුණයක් වුවත්, රාත්‍රියේ උෂ්ණත්වය -10C දක්වා පහත වැටෙන ඇෆ්ඝනිස්තානයට 15C කියන්නේ සෞම්‍ය රාත්‍රියක්.



~~~



එක්ස්කියුස් මී කැලුම් අයියා නේද මේ?

හිස ඔසවා බැලූ කැලුම්ට වයස විසිගාණක් වගේ පෙණුනු, තරමක් පුෂ්ඨිමත් කොළුවෙක් තමන් අසල සිටින බව පෙනුනා. සිංහල කතාකල නිසා ලංකාවේ බවට සැක නැතත් ඔහු කෙරෙන් විශේෂ බළකා භටයෙකුගේ පෙනුම තිබුණේ නෑ. බැගී පන්නයේ කාකි කළිසමකුත්, කළු අත් දිග ටී ෂර්ටයක් හැඳ ඊට උඩින් හිස්වැස්මක්ද සහිත සීතලට අඳින කළු ජැකට්ටුවක්ද හැඳ සිටියා. ඔහු අත දුම් දමන කෝපි කෝප්පයක් තිබුණා. කොණ්ඩය අපිලිවෙලට අවුල්වී, ඉදිරිපස කෙස් නළලට වැටී තිබුණා. දෑස් මදක් ඉදිමී තිබුණේ දින ගණනක් නිදිමරාගෙන පාඩම් කලා වගේ.

“ඔව් මම කැලුම්……මල්ලි ලංකාවෙ නේද?.....ඉඳගන්න…”

“තෑන්ක්ස් අයියේ...මම යසිත්...අයියා ගැන බේස් එකේ කතාවෙනවා.....මාර බේරිල්ල නේද?…කොහොමද අයියට දැන්?”

“දැන් ගොඩක් හොඳයි.

ඔස්ට්‍රේලියන් කොල්ලෝ ටික වෙලාවට ඇවිල්ලා බෙල්ල බේරුවා.......තුවාල තාම රිදෙනවා...තව ටිකක් කල් යනකොට හරියයි…...මල්ලි මොන රෙජිමන්ට් එකේද?”

“අයියෙ මම මෙහෙ ආවෙ ලංකාවෙ ඉඳන් නෙමෙයි.....ඇමරිකාවෙ ඉඳන්.....මම එහෙ MIT කියන විශ්වවිද්‍යාලෙ පී.එච්.ඩී එක කරලා ඉවරවුනා විතරයි......”

“ඉතින් මෙහෙ?........මොකක් හරි ඩිෆෙන්ස්ස් රීසර්ච් ප්‍රොජෙක්ට් එකක්ද?”

“ඩිෆෙන්ස්මත් නෙමෙයි..........”

වටපිට බැලූ යසිත් මදක් ඉදිරියට නැඹුරුවී

“අයියට කිව්වට කමක් නෑනෙ...අපේ කෙනෙක්නෙ.....බොහොම රහසිගත ප්‍රොජෙක්ට් එකක් මේ බේස් එකේ යනවා.......මම ඒකෙ කොම්පියුටර් ඉන්ජිනියර් කෙනෙක්.........”

"මොන විධියෙ ප්‍රොජෙක්ට් එකක්ද?............කියලා අමාරුවෙ වැටෙයිනම් කියන්න එපා මල්ලි...මෙහෙ සිකියුරිටි ගැන මම දන්නවා..."

"අයියයි මායි විතරනෙ......අයියා කාටවත් කිව්වේ නැතිනම් මම අමාරුවේ වැටෙන්නේ නෑ........"

“මම කාට කියන්නද මල්ලි....මම මේ සනීපවුනු ගමන් ගෙදර යන්න ඉන්නේ…”

“මගේ පී.එච්.ඩී රිසර්ච් එක ක්වන්ටම් පරිගණක තාක්ෂණය ගැන.....ඒක අලුත්ම අලුත් සුපිරි පරිගණක තාක්ෂණයක්, ලෝකෙ රටවල් කීපයක විතරයි වැඩකරන ක්වන්ටම් කොම්පියුටර් තියෙන්නේ, බොහොම අමාරු තාක්ෂණයක්, හරිම සංකීර්ණයි. මගේ රිසර්ච් එක ඉවරවෙලා ටික දවසකින් මාව හම්බුවෙන්න ආපු ටීම් එකක් මට ප්‍රොජෙක්ට් එකකට ආරාධනා කලා. ඇමරිකන් ආණ්ඩුවෙ ප්‍රොජෙක්ට් එකක් නිසාත් හොඳට ගෙවන නිසාත් මම බාරගත්තා…...පස්සෙයි දන්නේ ප්‍රොජෙක්ට් එක යන්නේ ඇෆ්ඝනිස්තානෙ කියලා….අපේ ටීම් එක මෙහෙ ආවේ බොහොම බලසම්පන්න ක්වන්ටම් කොම්පියුටරයක් මෙහෙ හදන්න….”

"ඇයි මෙහෙ? වෙන තැනක් තිබුණෙම නැද්ද?"

"මෙහෙ තමයි මේ වගේ වැඩවලට හොඳම තැන අයියේ.....හොයන්න බලන්න කවුරුත් නෑ....පත්තර කාරයෝ, ටීවී කාරයෝ නෑ.......සෙනෙට් සභිකයෝ නෑ...ප්‍රශ්ණ කරන්න කෙනෙක් නෑ........ඇමරිකාවේ අතිශය රහසිගත පර්යේෂණ, ෆීල්ඩ් ටෙස්ටිං ගොඩක් මෙහෙ වෙනවා....තහනම් වැඩ ඕනෑ එකක් මෙහෙ කරගන්න පුලුවන්...යුද්දෙට වඩා බිස්නස් වැඩ"

"ඉතින් මොකටද ඔය කොම්පියුටරය මෙහෙ හදන්නේ? "

යලිත් සැකයෙන් මෙන් වටපිට බැලූ යසිත්...

"අපිටත් ගොඩක් දේවල් කියලා නෑ...අපි අහන්නේත් නෑ....මේ වගේ ප්‍රොජෙක්ට්වල හැටි එහෙම තමයි....කියනදේ කරනවා.......දැනට දන්න විධියට බොහෝම පැරණි රහස් කේත භාෂාවක් තේරුම් ගන්න පුලුවන් කොම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් දුවවන්න තමයි අපි ඒක හදන්නේ......බොහොම සංකීර්ණ ගණිතකර්ම වලින් තමයි ඒ පැරණි භාශාව තේරුම් ගන්න පුලුවන් මාර්ගයක් හොයාගන්න තියෙන්නේ.......ඒකට තවත් දත්ත ගොඩක් කවන්න ඕනෑ.......මේ දවස්වල අපේ ටීම් එක මාර ප්‍රෙෂර් එකෙන් ඉන්නේ....දැන් දවස් හතරක් ඔෆිස් එකේ මයි නිදා ගත්තේ...."

“ෂහ්...ලංකාවෙ කොල්ලෙක් ඔයවගේ තැන්ක ඉන්න එක ගැන ආඩම්බරයි…”

"තෑන්ක්ස් අයියෙ.... මට යන්න වෙලාව හරි.....තව පරක්කු වුනොත් සෙකියුරිටි සිස්ටම් එකෙන්, සෙකියුරිටි සුපර්වයිසර්ට ඇලර්ට් එකක් යනවා මම එලියට ගිහින් ඇවිල්ල නෑ කියලා......"යසිත් ඔරලෝසුව දෙස බලමින් කිව්වා.

“අයියත් ආපහු කාමරේට යන්න, නයිට් ඩියුටි නර්ස් අයියා නෑ කියලා දැක්කම කලබලවෙයි....දැන් පාන්දර ජාමෙනෙ.......මම කියපුවා කාටවත්ම කියන්න එපා......අයියා ගැන මටත් ආඩම්බරයි.....ඒකයි විස්තර කිව්වේ....”

"බය වෙන්න එපා මල්ලි...මට මෙහෙ යාලුවෝ නෑ....හිටපු යාලුවෝ ඔක්කොම දැන් මැරිලා....."කැළුම් මදහස පාමින් කිව්වත් ඔහුගේ මනස සිතුවිලි දාමයක ගිලී තිබුණා.

"එහෙනම් මම යනවා අයියා..."

"හරි මල්ලි...ආයෙත් මාව දැක්කොත් ඇවිත් කතා කරන්න...."

"ශුවර් අයියා.... මම හැමදෑම මේ වෙලාවට මෙතනට එනවාමයි මගේ කැෆීන් ශොට් එක ගන්න......"යසිත් කෝපි කෝප්පය පෙන්වමින් සිනාසුනා.

කැලුම් කාමරයට ගිහින් ටිකවෙලාවකින් නර්ස් නෝනා කෙනෙක් ඇවිත් ඔහුගේ ඇඳ ඉහපත පරීක්ෂාකරලා ගියා. කැලුම් නිදිවගේ හිටියත් නින්ද අහලකවත් තිබුණේ නෑ.

"දැන් මොකද කරන්නේ....?"උභතෝකෝටිකය ඔහු සිත දවමින් තිබුණා. වයෝවෘද්ධ භික්ෂුව පවසා සිටිදෑ සියල්ලම ඇත්ත බව ඔහුට දැන් තහවුරුයි. මේ රෑ බොහොම අහම්බෙන් හමුවූ ලංකාවෙම කොල්ලෙක් ඒ ලැබ් එක ඇතුලේ වැඩ කරනකොට, කිසිම සඳහනක්, ඉඟියක් නැතුවම, ආරංග් මුණිතුමා කියූ සියල්ල එලෙසින්ම තහවුරුවන තොරතුරු දෙනකොට තවත් මේ කතාව අවිස්වාස කරන්න හේතුවක් නෑනෙ...

"අද මේ පාන්දර තුනට යසිත් හමුවීම අහම්බයක්ද?
මම කෝපි බොන්න නොගියානම් යසිත් හමුවීම සිදුවන්නේ නෑ නේද?
හමුවෙලා භික්ෂූන්වහන්සේගේ කතාවේ ඇත්ත තහවුරු වෙන්නේ නෑ නේද?
මම අයි.සිස් කාරයින්ට අහුවුන එකත් අහම්බයක් වෙන්න පුලුවන්ද?
ඔවුනට හසුවී වද බන්ධනයට ලක් නොවුනානම් මේ කඳවුර ඇතුලේ සිටින්නට අවස්ථාවක් ලැබෙනවාද? ලෙහෙසියෙන් හොරෙන් ඇතුලු වෙන්න පුලුවන් තැනක්ද මේක?
එතකොට මා මරාදමන්න කලින් බේරාගත් ඔස්ට්‍රේලියන් මෙහෙයුම...ඒක හොඳින් සැළසුම් කරපු එකක්....කොහොමද මම එතන ඉන්නවා කියලා ඔත්තුව ගියේ?
මේ සිදුවීම් දාමය පිටිපස්සේ ඉන්නේ එතුමාද?
නැතිනම් එතුමාගේ සිතැඟි ඉටුකරනවා කියන අත්බූත ජින් භූතාත්මද?
මම පිටත්වෙන්න ඉස්සෙල්ලා....ඔබට මහා දුක් ගැහැට විඳින්නවෙයි කියලා තුන්පාරක්ම කිව්වේ මට මේ වෙනදේ කලින් දැකපු නිසාද?
මේ කොල්ලා....යසිත්ව විශ්වාස කරන්න පුලුවන්ද? සී.අයි.ඒ උගුලක්ද?
යසිත් ඕනෑකමින් මාව පටලවාගන්න මට ඒ ටොප් සීක්‍රට් තොරතුරු කිව්වාද?
නැතිනම් රටේ මිනිහෙක් නිසා හිතවත්කමට කිව්වද?
යසිත්ට සැක නොහිතෙන්න තව තොරතුරු අහගන්න පුලුවන්ද?
ඒත් ඌව රවට්ටන්න පුලුවන් වෙයිද?
විසිපහක්වත් නෑ වගේ..ඔය පොඩි වසයට පී.එච්.ඩී එකකුත් කරලා ඇමරිකන් ආණ්ඩුවේ රහස් ප්‍රොජෙක්ට් එකකට ගත්තා කියන්නේ හොඳම මීටරයක් වෙන්න ඕනෑ."

කැලුම්ට නින්දගියේ එලිය වැටුනටත් පස්සේ. දවල් එක වෙනකන් විතර නිදාගත්තා. හවස තුනට විතර නර්ස් ඇවිල්ලා ඇඟ ස්පොන්ජ් කලා. ඊයේ රෑ ඇවිදින්න ගියා නේද කියල ඇහුවා.

“මිස්ද ඊයේ නයිට් ඩියුටි ෂිෆ්ට් එක කලේ?”

“ඊයේ මම රිකවරි යුනිට් එකේ නයිට් ඩියුටි... පාන්දර හතරට ෂිෆ්ට් එක ඉවරවෙලා යනකොට දැක්කා ඔයා ස්ටාර් බක්ස් එක පැත්තේ ඉඳලා එනවා....”

“කෝපි වැඩිය බොන්න එපා...කැෆීන් හොඳ නෑ...ස්ටාර්බක්ස්ලගෙ ෆ්‍රැපුචිනෝ හොඳයි…ෆ්‍රැපුචිනෝ ජාති ගොඩක් තියෙනවා....ඊලඟ සැරේ ඒ පැත්තේ ගියහම කෝපි දාපු නැති ෆ්‍රැපුචිනෝ ජාතියක් බීලා බලන්න...හරි රසයි....”

සිහින් සිරුරැති නර්ස් නෝනා ඊලඟ සැරේ ස්ටාර්බක්ස් ගියහම ඇනවුම් කරලා බලන්න හොඳ බීමක් ගැන කිව්වා. හතරට විතර කැලුම් පුස්තකාලේ පැත්තේ ගියා...පුස්තකාලේ කිව්වට ඒක පොඩි කාමරයක්....ඇමරිකාවේ සඟරා ගොඩක් තිබුණා.....ඉන්ටර්නෙට් පහසුකම තියෙන කොම්පියුටර් දෙකතුනකුත් තිබුණා. කොම්පියුටර් එකක් ක්‍රියාත්මක කරගත් කැලුම් ගූගල් සෙවුම් යන්ත්‍රයේ "MIT quantum computing research"ගැන සොයන්න අණකලා.

එම්.අයි.ටී විශ්වවිද්‍යාලයේ ක්වන්ටම් පරිගණක පර්යේෂණ ගැන විස්තර ලින්ක් ගොඩක් තිබුණා. ඒත් යසිත් ගැන තොරතුරක් තිබුණේ නෑ. ඊට පස්සෙ කැලුම් "quantum computing PhD research"ගැන සොයන්න අණකලා. සෙවුම් යන්ත්‍රය පර්යේෂණ පත්‍රිකා ගණනාවක ලින්ක් පෙන්වූවා. යසිත්ගේ නම ඇතුලුකරලා සොයන්න හිතුවත් ඒක නොකලේ මේ පරිගණකවල සෙවුම් නිරීක්ෂණය වෙනවාදැයි නොදන්න නිසා. පර්යේෂණ පත්‍රිකා එකින් එක විවරකරලා ඒවායේ පර්යේෂකයින් සෙවුවා. ‍Seneviratne Y G කියලා කෙනෙක් 2018 ජනවාරියේ ඉදිරිපත්කරපු පී.එච්.ඩී නිබන්ධනයක් හමුවුනා.

“මේ යසිත් වෙන්න ඕනෑ....” ‍Seneviratne Y G කියලා සර්ච් කලවිට පර්යේෂණ පත්‍රිකා තුනක විතර ඒ නම තිබුණා. එකක නම සඳහන් වුනේ Seneviratne Yasith Gihan කියලා. ඒවායේ තවත් මහාචාර්යවරුන් කිහිපදෙනෙකුගේ නම් සටහන් වෙලා තිබුණා. ඒ පර්යේෂණ පත්‍රිකා ඔක්කොම ක්වන්ටම් පරිගණක තාක්ෂණය ගැන ලියැවුනු විද්‍යාත්මක පත්‍රිකා. ලාබාල තරුණයෙක් වුනාට යසිත්, ක්වන්ටම් පරිගණක තාක්ෂණ පර්යේෂකයෙකු බවත්, ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනයත් ක්වන්ටම් පරිගණක තාක්ෂණය ගැන ලියැවුනු එකක් බවත් කැලුම්ට තහවුරු වුනා.

"යසිත්ට ඇත්ත කියනවද? නැතිනම් එයාව රවටලා, එයාගෙ උදව්වෙන් ලැබ් එකට පැනගන්න ක්‍රමයක් හොයා ගන්නවද?"

කැලුම් තවමත් ශාරීරිකව බොහෝ දුර්වලයි. තබන සෑම පියවරකදීම උල් කටු ඇනෙනවා වගේ වේදනාවක් දැනුනා. හුස්ම ගන්නවිට ඉල ඇටකූඩුව රිදෙනවා. හිටගෙන හිටියත්, ඇවිද්දත්, ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත් ඔහුගේ සිරුරේ කොහෙන් හෝ වේදනාවක් ආවා. එහෙත් වෛද්‍යවරු උපදෙස් දුන් විධියටම ඔහු බොහෝම හෙමින් එහෙ මෙහෙ ඇවිද්දා. ඇවිදිනකොට කල්පනා කරන්නත් ලේසියි. ගත දුර්වලවුනත් මනස තියුණුව ක්‍රියාත්මක වුනා. ඔහු ආරංග් හාමුදුරුවෝ පැවරූ රාජකාරිය ගැන අලුත් විධියට හිතන්න පටන්ගත්තා. මේක යුධ මෙහෙයුමක්......සතුරු බළකොටුවක් ඇතුලට රහසින් රිංගන මෙහෙයුමක්...අසුවුනොත් මරණයෙන් කෙලවර වන මෙහෙයුමක්.......මම මුළු ජිවිතේම කලේ ජීවිතයත් මරණයත් අතර යුධ මෙහෙයුම්...මේකත් එහෙම එකක්.....

පුහුණුව
දැනුම
බුද්ධි තොරතුරු
අවස්ථායික ප්‍රවේශය
ස්ථානෝචිත ප්‍රඥාව

කැලුම් අධිෂ්ඨානයකට ආවා. වෙන දෙයක් වුනාවේ. මෙය සිදුකල යුතුමයි. මගේ ජීවිතය බේරුනේ මේ මෙහෙයුම කිරීමට විය යුතුයි. කුමන හෝ කැප කිරීමක් කොට ඉලක්කය ජය ගත යුතුයි....මෙහෙයුම පලමුව...අන් සියල්ල දෙවනුව.

කැලුම් ඊලඟ දවස් දෙක තුන සම්පූර්ණයෙන්ම ගතකලේ මෙහෙයුමේ සියලුම පැති සලකා බලන්න. ඔහු තමාගෙන්ම ප්‍රශ්ණ අසා ඒවාට පිලිතුරු සැපයූවා. ඉන්පසු යලිත් මුලසිටම ඒ ප්‍රශ්ණත්, ඒවාට ඔහු සතු පිලිතුරුත් සලකා බැලුවා. ඒවා කොතරම් ප්‍රායෝගිකදැයි සිතුවා. ඒවාවල දුර්වල තැන්, වැරදිය හැකිතැන්, අතපසුවුනු කරුණු ගැන සිතුවා.

ඔහු නිතර නිතර වැසිකිලියට ගියා...රෝහල් සේවකයින් එය සාමාන්‍ය දෙයක් ලෙස නොසලා හැරියේ ඔහු දැඩි පාපහරවල් නිසා මුත්‍රාශය හානිවූ රෝගියෙක් නිසා. සතියක් පමණ කැලුම් මුත්‍රා සමග රුධිරය පහකලා. ඔහුගේ ගමනාන්තය වුනේ වැසිකිලි කාමර පෙලෙහි කෙලවර තිබූ එක් වැසිකිලියක්. එහි ජනේලයෙන් බැලූවිට කතාබහෙන් පසු යසිත් ඇවිදගෙන ගිය දිසාව නිරීක්ෂණය කරන්න පුලුවන් වුනා. කාගේවත් සැකයකට බඳුන් නොවී නිරීක්ෂණයන් සිදුකල හැකි එකම තැන ඒ වැසිකිලිය ලෙස යසිත් හඳුනාගෙන තිබුණා.

කැලුම්ට බැග්‍රැම් කඳවුරේ සිතියම් අධ්‍යයනය කරන්න ඕනෑ වුනා. පහසුම විධිය වුනේ පුස්තකාලෙ පරිගණකයකින් ගූගල් සිතියම් සොයා බැලීම. ඒත් බැග්‍රැම් කඳවුරේ අන්තර්ජාල සර්වර් වල ක්‍රියාකාරිත්වය ගැන සී.අයි.ඒ විශ්ලේෂකයින් කොතරම් දුරට ඇසගසාගෙන සිටිනවාද යන්න ගැන කැලුම්ට සැකයක් තිබුණා. පුස්තකාලේ තිබුණු "A brief guide to Bagram"කියන පොත් පිංච ඔහුට උදව්වුනා. එය සකස්කොට තිබුණේ බැග්‍රැම් කඳවුරට අනුයුක්තවන නිළධාරීන්ට කඳවුරේ විවිධ ස්ථාන පිලිබඳ තොරතුරු ලබා දෙන්න. එකෙ සිතියම්, කටුසටහන්, ඡායාරූප ගණනාවක් තිබුණා.

කැලුම් එහි තොරතුරු සිය මතකයේ ධාරණය කරගත්තා. කොළකෑලිවල ඒ සිතියම් මතකයෙන් ඇන්දා. කඳවුරේ නිරිතදිග අන්තයේ බොහෝ වැදගත් ගොඩනැගිලි හා පිවිසුම් මාර්ග හැකිතාක් නිවැරදිව සළකුණු කලා. ඒවා ඇඳපු කොළ වැසිකිළියට දමා ෆ්ලෂ් කරන්න පරිස්සම් වුනා.

ඒ වනවිට යසිත් වැඩකරපු රහසිගත් ලැබ් එක තියෙන තැන අනුමානෙට හිතාගන්න පුලුවන් වුනා. ඒක ස්ටෝරේජ් ෆැසිලිට්ය් 17 කියලා සිතියම්වල සළකුණු කරලා තිබුණු ගබඩා සංකීර්ණයක්. කැලුම්ගේ වැසිකිලි ජනේලයෙන් 17වැනි ගබඩා සංකීර්ණය කෙලින්ම නොපෙනුනත්, ඒ වටා තිබූ පෙරසවි කොන්ක්‍රීට් බාධක වලට ඇතුලෙන් සවිකර තිබූ යකඩවැට පෙනුනා. ඒක යකඩ වැටකට වඩා කරන්ට් දැමූ විදුලි වැටක් බවයි කැලුම්ට පෙනුනේ. බැග්‍රැම් කඳවුයේ සියළුම ගොඩනැගිලි සංකීර්ණ වටා අඩි 10ක් පමණ උස පෙරසවි කොන්ක්‍රීට් තාප්ප හදා තිබුණා. මේ තාප්ප නිසා එක් ස්ථානයකට ඇතුලුවූ ත්‍රස්තවාදී කණ්ඩායමකට වෙනත් පැතිවලට විහිදී යාම අපහසු වුනා. එහෙත් වෙනත් වැදගත් ගොඩනැගිලි වටා විදුලි වැටවල් තිබුණේ නෑ. ඒ නිසා යසිත්ගේ ලැබ් එක 17 වැනි ගබඩා සංකීර්ණයේ තිබිය යුතුයයි ඔහු අනුමාන කලා.

BAGRAM AIRFIELD - MAP.jpg
රාත්‍රී තුනට පමණ කැලුම් එලියට බැස්සේ ස්ටාර්බක්ස් අවන්හල වෙත යන්නයි. යසිත් හමුවෙලා තව තොරතුරු ටිකක් දැන ගැනීම කැලුම්ගේ අදහස වුනා. හදිසියේම සුපුරුදු කටහඬක් ඇසුනා.

“Hey Kel-Lom!!! What are you doing outside so late???”

“අද රෑ හරි සීතලයිනෙ...නයිට් නර්ස් දන්නවද ඔයා එලියට ආවා කියලා?”

“ම ...මම එයාට කිව්වෙ නෑ..... නින්ද යන්නේ නෑ. ...ස්ටාර්බක්ස් …ඒ ඒ ..පැත්තේ යන්න හිතුනා..” බයාදු සිනහවක් පා කිව්වා. ඇය දුටු වහාම වචනත් පැටලුනා.

“හරි හරි මමත් නොකියා ඉන්නම්..........ස්ටාර්බක්ස් යන්නේ කෝපි බොන්නද? කැෆීන් හොඳ නෑ ඔයාට…….මේක හරියට දාගන්නකො..... සීතල ඇල්ලුවොත් උණ හැදිලා නියුමෝනියාවට එයි...."

සැලී කැලුම් හැඳ සිටි පාර්කා ජැකට්ටුවේ ඇරී තිබුණු බොත්තම් දැම්මා… ඔහුගේ පපුව මත සුරත තැබූ ඇය…

"කැලොම්, ඔයාගේ හිත හයියයි ඒත් ඔයා තවම ගොඩක් දුර්වලයි......පරිස්සම් වෙන්න....වැඩිවෙලා ඉන්න එපා..."

ඇය ලස්සන සිනහවක් පා යන්න ගියා. ටිකක් දුර ගිය ඇය ආයෙත් හැරී ඔහු දෙස බලා සිනහ සී ඉක්මන් ගමණින් ගියා. "එයා මට කැමතිද?"කැලුම්ට සිතුනා. එයා ජැකට් එකේ බොත්තම් දාපු විදිය...මා දිහා බලන විදිය...හිනා වෙන විදිය....ඒවායේ තිබුණේ බොහොම උණුසුම් බවක්.

"නර්ස්ලා, තමන්ගේ රෝගීන් ගැන එහෙමම උනන්දු වෙනවද?"

ස්ටාර්බක්ස් එකට ලංවෙනකොට යසිත් ඇවිත් ඉන්න බව පෙනුනා. ඔහු සිටියේ ටිකක් අපහසුවෙන් වගෙ කැලුම්ට පෙනුනා. සිනහසීගෙන යසිත් ලඟට ගියත් ඔහුගේ ප්‍රතිචාරය එතරම් උණුසුම් වුනේ නෑ.

“මොකත යසිත් කරදරෙන් වගේ? මූණ අප්සෙට් නෙ?"කැලුම් ඉඳගන්න ගමන් ඇසුවා.

"කව්ද අර අයියත් එක්ක කතාකරපු කෙනා?.........ඔයාගෙ යාලුවෙක්ද නැතිනම් ලව් ඉන්ටරස්ට් එකක්ද?"

"කැලුම්! මොනවද ඔයා මේ අහන්නේ? එයා මගෙ වාට්ටුවේ නර්ස් කෙනෙක්...ඇයි ඔහොම කතාකරන්නේ?"

ඉදිරියට නැඹුරුවූ යසිත්..."එයා සී.අයි.ඒ"

"මොනවා!! යසිත් කොළොප්පම් කරනවා නේද? ඔයාගෙත් ට්‍රයි එකක්ද එයා?"

"අපෝ නෑ.....ඒකි සී.අයි.ඒ....මාව විශ්වාස කරන්න..."

"බොරු කියන්න එපා බන්..."කැලුම් මදක් අමනාපයෙන් කිව්වා.

"එයා සී.අයි.ඒ කේස් ඔෆිසර් කෙනෙක්.......කේස් ඔෆිසර් කියන්නේ සීනියර් තනතුරක්....දක්ෂයින්ට තමයි කේස් ඔෆිසර්ලා වෙන්න පුලුවන්....කේස් ඔෆිසර්ලාට තමන් මෙහෙයවන ඔත්තුකාරයෝ ගණනාවක් ඉන්නවා. කේස් ඔෆිසර්ගෙන් පස්සේ ඊළඟ නිලය ස්ටේෂන් චීෆ්….....ඒ කියන්නේ රටක හරි නගරයක හරි සී.අයි.ඒ මෙහෙයුම් වල ප්‍රධානියා..."

"මල්ලී එයා නර්ස් කෙනෙක්......මම ආපු දවස්වල මගේ තුවාල සුද්දකරලා බෙහෙත් දැම්මේ එයා...."

"වෙන්න ඇති...සී.අයි.ඒ ෆීල්ඩ් එකේ වැඩ කරන හැමෝටම මොකක් හරි ප්‍රොෆෙෂන් එකක් තියෙනවා...නර්ස්ලා, ඩොක්ටර්ලා, ටෙක්නීශියන්ලා, ඉන්ජිනියර්ලා, පයිලට්ලා, ගුවන්සේවිකාවෝ,ගුරුවරු, විතරක් නෙමෙයි හයි-ක්ලාස් ගණිකාවොත් ඉන්නවා පූර්ණකාලීන සී.අයි.ඒ ඒජන්ට්ලා විදියට....ඒ රස්සාව තමයි ඒ ගොල්ලන්ගේ ආවරණය....ඒකට මුවා වෙලා තමයි ඔත්තු බලන්නේ නැතිනම් ඔත්තුකාරයන් මෙහෙයවන්නේ...."

“ඔය කෙල්ලගෙ නම සැලී හෝකින්ස්....එයා අපේ ලැබ් එකේ තිබුණු ආරක්ෂක රැස්වීම් දෙක තුනකටම ආවා...එයා විතරක් නෙමෙයි තව සී.අයි.ඒ ඔෆිසර්ලත් ආවා....හබැයි එයත් හිටපු බව මම හොඳටම දන්නවා..."

"හරි එහෙමයි කියමු....ඒත් ඇයි අපි කරදර වෙන්නේ..?"කැලුම් සිතට දැනුනු කම්පණය හා කුතුහලය සඟවාගෙන ඇසුවා.

"අයියා...ඔයා ලොකු කරදරයක වැටෙන්නයි යන්නේ.....ඔය ගෑණි ඔයත් එක්ක කුළුපග වෙලා තියෙන්නේ නිකමට නෙමෙයි......."

"‍යසිත්...ඔයා දන්න දෙයක් තියෙනවානම් කියන්න...මට ඔය වැල්වටාරම් තේරෙන්නේ නෑ....මොකද දැන් වෙලා තියෙන්නේ?"

"මෙන්න මේකයි අයියේ වෙලා තියෙන්නේ............මම මේක පෙන්වනවා කියන්නෙත් ගස් යන වැඩක්...ඒත් අයියා අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බෑ..."

“සී.අයි.ඒ එක ඔයාට ඉව අල්ලන හේතුව මෙතන තියෙනවා..."යසිත් සාක්කුවෙන් සිය ෆෝන් එක අරගෙන වටපිට බලලා යමක් ක්‍රියාත්මක කලා.

“මේ වීඩියෝ ෆුටේජ් එක ඩ්‍රෝන් එකකින් ගත්ත එකක්...ගොඩක් උඩින් යන ගමන් අරගෙන තියෙන්නේ.....මේ පේන්නේ ඔයා ගිය කඩා වැටුනු හෙලිකොප්ටරය. ඒක ගිණිගන්නවා....සෑහෙන්න සූම් කරලා බැලුවම...අපහැදිලි ඡායාවක් වගේ පේනවා. ඒත් එක්කම ෆුටේජ් එක නැවතුනා....කැමරාවේ වරදක් වගේ.....සී.අයි.ඒ එකෙන් ඔය වීඩියෝ එක අපේ ලැබ් එකට එවලා තිබුණා...අපේ ලැබ් එකේ තමයි බැග්‍රැම් වල බලසම්පන්නම කොම්පියුටර් තියෙන්නේ...එයාලා මේ වීඩියෝ එකේ ප්‍රොසෙස් කරලා පැහැදිලිව පේන විධියට හදලා එවන්න කියලා අපට එවලා තිබුණා...එවලා තිබුණේ මගේ සුපර්වයිසර්ට...එයා දවස් දෙක තුනක් උණ හැදිලා හිටියා. ඒ නිසා ඔය වීඩියෝ එක තිබුණු පැකට් එකයි, තව පැකට් දෙක තුනකුයි එයාගේ මේසේ උඩ තිබුණා. ඒ මේසෙ උඩ තියෙන සොෆ්ට්වෙයාර් ඩිස්ක් එකක් හොයනකොට තමයි මම ඒ පැකට් එක දැක්කේ...ඕක ආපු පැකට් එකේ “Incident #202-2 Predator Drone footage” කියලා ගහලා තිබුණා. අයියලාගෙ හෙලිකොප්ටර් ක්‍රෑෂ් එකට දීලා තියෙන කේතය Incident #202-2 නිසා මම නිකමට අරගෙන බැලුවා.."

“මේක තමයි වීඩියෝ එක ප්‍රොසෙස් කරහම පෙනුන දේ...බලන්න මේ හැට ගුණයක් වේගේ අඩු කරලා තියෙන්නේ.”

ඒ වීඩියෝවේ සටහන් වෙලා තිබුණේ අව්රංග් භික්ෂූන්වහන්සේ කැලුම්ව හෙලි කොප්ටරයෙන් එලිය ගන්න අවස්ථාව.

"මේක හැට ගුණයක් වේගය අඩුකරලා කිව්වා නේද? ඒ කියන්නේ…..?"

"ඒ කියන්නේ අයියා ඔයාව ගිණිගන්න හෙලිකොප්ටර් එකෙන් එලියට ගන්න මනුස්සයා සාමාන්‍ය මනුස්සයෙකුට වඩා හැටගුණයක් වේගෙන් හෙලිකොප්ටර් එක ඇතුලට ගිහිල්ලා ඔයාව එලියට ගත්තා කියන එක....එයා සුපිරි බලයක් තියෙන කෙනෙක්....කවුද ඒ? කොහොමද මේ මනුස්සයා සුපර් මෑන් කෙනෙක් වගේ වේගෙන් ගිණි ගන්න හෙලිකොප්ටරය ඇතුලට ගිහින් එලියට ආවේ?”

කැලුම් මුණිවත රැක්කා

"අයියා...සී.අයි.ඒ එකට කලින් ඉඳන්ම ඔයා ගැන ලොකු සැකයක් ඇතිවෙලා තිබිලා තියෙනවා........ඒකයි ඔය සී.අයි.ඒ කේස් ඔෆිසර්ව ඔයාගෙ ලඟට දැම්මේ...ඔයාව හිතවත් කරගන්න......ඒකිගෙ ඔය පැණි රඟපෑම ඔයාව දැපනෙ දාගන්න...කොහොම හරි එයාලා මේක දැන ගන්නවා........ඊට පස්සේ ඔයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඔය මනුස්සයා ගැන ඔයාගෙන තොරතුරු ගන්නවා.....මේ වගේ සුපිරි බලයක් තියෙන මනුස්සයෙක් සී.අයි.ඒ එකට කොච්චර වටිනවද? හිතන්න ඔයවගේ බලයක් තියෙන කෙනෙකුගේ යුධමය වටිනාකම..."

කැලුම් දෑස් පියාගෙන කල්පණා කලා. ඔහුගේ සිත හොඳටම ව්‍යාකූලවෙලා. සී.අයි.ඒ එකට තමන් ගැන මෙතරම් ලොකු සැකයක් තියෙන බව ඔහු හීනෙකින්වත් හිතූවේ නෑ. ඔහු හිතුවේ ප්‍රශ්ණ කිරීම් නැවතිලා ඇෆ්ඝනිස්ථානෙන් පිටවෙන්න අවසර ලැබෙන්න ඔන්න මෙන්න තියෙනකොට ගැටලුවක් නෑ කියලයි. බ්‍රිගේඩියර් වෛද්‍යරත්න කියපු විධියට කැලුගේ පෞද්ගලික ලිපිගොණුවේ "Honorably discharged from service - ගෞරවාන්විතව සේවයෙන් නිදහස් කරන ලදී"කියන සටහන දාලත් ඉවරයි. හැම දේම අවුල් වෙන්නයි යන්නේ... ඒ වගේම සැලී ගැනත් ඔහුට හිතා ගන්න බෑ. යසිත් කියනදේ ඇත්තනම් එයා හැබෑ දක්ෂ ඔත්තුකාරියක්...

"මට ඔයාව සීයට සීයක් විස්වාස කරන්න පුලුවන්ද යසිත්??"

"මේ දැන් මම කෙරුවෙත් හිරේ යන වැඩක්....මම සී.අයි.ඒ රහස් පිටට දුන්නා කියලා දැන ගත්තම කෙලින්ම යුධ අධිකරණයට....සාධාරණ නඩු ඇහිල්ලක් නෑ...චෝදනාව සඳහන් කලා, සාක්කි පෙන්නුවා...හිරේ දැම්මා.... දාන්නේ සී.අයි.ඒ හිර ගෙදරකට....රස්සාවත් ඉවරයි.....නිදහසත් ඉවරයි......මම දැන් ඉන්නෙත් ඔයත් එක්ක....ඔයා ගැන ඔත්තු බලන්න සී.අයි.ඒ ඔත්තු කාරයෙක් දාලා ඉන්නවා.......හිතාගන්න ඔයා හින්දා අරගෙන තියෙන අවදානම...."

“මල්ලිට ඉන්න පුලුවන්ද? දිග කතාවක් තියෙනවා කියන්න.”

"දැන් බැහැ අයියේ...ඩියුටි රිපෝට් කරන්න ඕනෑ...අද රෑ වැඩ....ඒත් හෙට මම ඔෆ් එකක් ඉල්ලගත්තා....ටිකක් නිදාගන්න ඕනා...ප්‍රයිවට් වැඩ වගයකුත් තියෙනවා..... හෙට ලන්ච් වලට හම්බුවෙමුද....දවල් එකට විතර?"


Starbucks Cafe, Bagram Airbase 13:38 Hours | ස්ටාබක්ස් අවන්හල, බැග්‍රැම් ගුවන් කඳවුර

කැලුම් සියල්ල විස්තර කලා.

“හිතාගන්නත් බෑ...අවුරුදු අවුරුදු අසූවක් වයස භික්ෂූන්වහන්සේ කෙනෙකුට ඔයවගේ බලයක් තියෙනවා කියලා. එතුමා රහතන්වහන්සේ කෙනෙක්ද?”

"මම ඇහුවා...නෑ කිව්වා.....භාවනායෝගීව අවුරුදු ගාණක් ඉන්න ඇති...."

"ඒත්....."කියනකොට කැලුම් හදිසියේම දෑස් පියාගත් නිසා යසිත් කළබල වුනා.

"ඇයි අයියේ? අමාරුවක්ද?"

"ඔයාගෙ ෆෝන් එක ගන්න...ඒකට ෆේස්බුක් මැසේජ් එකක් ආවා.....Hiruni likes your new profile pic…"

නළල රැළි කරගත් යසිත් ඔහුගේ ෆෝන් එක එලියට අරගෙන දෙතුන් පාරක් ස්වයිප් කරා...ඔහුගේ දෑස් පොල්ගෙඩි තරම් විශාල වුනා....

“How the fuck did you do that??? …. මම දැන් මැසේජ් එකක් යවනවා...පුලුවන් නම් කියන්න මොකක්ද කියලා….” යසිත් අභියෝගකලා

යසිත් පණිවුඩය ටයිප් කරද්දී කැලුම් යලිත් දෑස් පියාගත්තා. “Thanks nanga…. How are u….? මම හරිද?”

"කොහොමද ඔයා ඒක කියෙව්වේ?....මේ ෆෝන් එක NSA ඒජන්සියෙන් නිකුත් කරපු 128bit encryption තියෙන ෆෝන් එකක්. මේවා ඇමරිකන් ඔත්තු සේවාවල අයටයි ටොප් සීක්‍රට් ඇමරිකන් ප්‍රොජෙක්ට් වල වැඩ කරන අයටයි දෙන ඒවා.....".

"වෙන්න ඇති......."

“ඔයාට මේ කැෆේ එකේ ඉන්න ඕනෑම කෙනෙකුගේ ෆෝන් කියවන්න පුලුවන්ද?”

"බෑ....මට හිතෙන ඕනෑ වෙලාවක බෑ......සමහර වෙලාවට පුලුවන්...."

"කොහොමද ඔයාට දැනෙන්නේ....රේඩියෝ මැසේජ් ඇහෙනවා වගේ ඇහෙනවද ෆෝන් මැසේජ් එනකොටත්?"

"නෑ...රේඩියෝ මැසේජ් ඇහෙනවා........මේ මැසේජ් එක මම ඇස්පියා ගත්තම මට පෙනුනා..."

"කොහොමද අප්පා එහෙම වෙන්නේ.......මිනිස් මොළය රේඩියෝ තරංග වලට සංවේදී නෑනේ..."

"හැම දේම විද්‍යාවෙන් තාක්ෂණයෙන් තේරුම් කරන්න බෑ.....ඊට බාහිර දේවලුත් තියෙනවා...අපේ ස්වාමීන්වහන්සේ ගේ බලය තාක්ෂණයෙන් විස්තර කරන්න හිතන්න එපා...."

'හරි....එයාගෙ බලය ගැන සැකයක් නෑ කියමු...ඒත් එහෙනම් ඇයි එයාටම ඇවිල්ලා ඕක ගන්න බැරි...ඇයි ඒකට අයියාව යවන්නේ?"

"ඒක මම දන්නේ නෑ මල්ලී....මට එයා අණක් දුන්නා...මම ඒක ක්‍රියාත්මක කරනවා.....සමහරවිට එයාට බැරුව ඇති මෙතනට ඇවිල්ලා ඒක ගන්න......එයාගෙ බලයටත් සීමාවල් ඇති.....එයාම කිව්වානේ එයා රහත්වෙලා නෑ කියලා..."

"ඒත් ඉතින් ඇයි අයියා මේ වැඩේට මැරෙන්න යන්නේ? මෙඩල් එකයි සල්ලියි අරගෙන ගෙදර යන්න අයියේ....."

"බෑ මල්ලි, ඔයා දැක්කනේ මම හරිනම් දැන් පිච්චිලා අඟුරුවෙලා ඉන්න ඕනේ කියලා.......ඒ උත්තමයා ගිණිගන්න හෙලිකොප්ටරයකට රිංගලා මාව බේර ගත්තේ මේ වැඩේ මට කරන්න උරුමවෙලා ඇති....දෛවය වෙන්න ඇති....එක්කෝ මේ වැඩේ මම කරනවා, නැතිනම් පුලුවන් තරම් උත්සහ කරලා මැරෙනවා...."

"මැරෙන්න පුලුවන් වුනොත් වාසනාවයි.....ගොඩක් වෙලාවට ඔයා සී.අයි.ඒ රහස් හිරගෙදරකට යවයි....මැරෙනකන් කුණුවෙවී ඉන්න...."

“කමක් නෑ....එහෙම වුනදෙන්....මම උත්සහ කලානේ.."

“අයියේ..මම මේ වීඩියෝ ප්‍රශ්නෙ විසඳුවා......මම වීඩියෝ එක එඩිට් කලා.....දැන් මුකුත් නෑ....එයාලා පරීක්ෂාකරලා කියයි වීඩියෝවෙ මුකුත් නෑ කියලා...."

“මට කියන්න ලැබ් එක ඇතුලට පැන ගන්නේ කොහොමද කියලා....මම තනියෙන් කරන්නම්....ඔයා පැටලෙන්න ඕනෑ නෑ.."

“ඇතුලේ උදව් නැතුව ඔයාට ලැබ් එක ලඟටවත් යන්න වෙන්නේ නෑ අයියේ......අනික ඔයා තනියම කලත් මට ගැලවිල්ලක් නෑ....අපි දෙන්නා මෙතන දැන් කී සැරයක් හම්බුවුනාද? ඔයා තනියම කලත් එයාලා හිතන්නේ මම උදව් කලා කියලා....ඒ නිසා මට අමුතුවෙන් පැටලෙන්න දෙයක් නෑ....මමත් පැටලිලා ඉන්නේ...."

"සමාවෙන්න මල්ලී ඔයාව අමාරුවේ දැම්මට........ඔයා කැමතිනම් මාව රිපෝට් කරන්න....මම පුලුවන් නම් බේරෙන්නම්...."

“නෑ එහෙම කරලා රටේ එකෙක් පාවා දෙන්න මට බෑ...මම උදව් කරන්නම්"

“මල්ලී ඇයි ඔයා මට උදව් කරන්න යන්නේ?.......මාව රිපෝට් කරන්න.......මම කොහොම හරි පැන ගන්නම්........බැරිනම් අහුවෙන්නම්.....සමහරවිට එහෙම අහුවෙලා මට පොටක් පාදගන්නත් පුලුවන් වෙයි......හිරුණි ගැන හිතන්න....ඔයා එයාවයි....මේ හැමදේමයි නැති කර ගන්න එපා.....මම විශේෂ බළකා සෙබලෙක්.....අමාරු මෙහෙයුම් කරන්නමයි ඉපදිලා ඉන්නේ.,,,,,,,...මම අහුවෙලා හිරබත් කන ගමන් හරි මොකක් හරි පොටක් පාද ගන්නම්.....ජින් මට උදව් කරයි...."

“හිරුණි මගේ කෙල්ල නෙමෙයි අයියේ...පරණ පෙම්වතිය...එයා බැඳලා...අපි දැන් යාලුවෝ විතරයි..."

“හරි කෙල්ල නෑ කියමු......ඒත් මේ අනෙක් දේවල්......ඔයාට හොඳ අනාගතයක් තියෙනවා නේද?”

“අයියා මට ඔයාගෙ විස්තරේ කිව්වනෙ...මම කියන්නම් මගේ විස්තරේ.....මම හරි දුප්පත්...අපේ තාත්තා හමුදාවේ කෝප්‍රල් කෙනෙක්, මම පොඩි කාලේ බිම් බෝම්බෙකින් එයා මැරුනා...අම්මා ඉගෙන ගෙන නෑ...එයා මාව ලොකු කරේ ගොඩක් දුක් විඳලා.....අමාරුවෙන් හම්බ කරලා...මම මහන්සිවෙලා ශිෂ්‍යත්වෙ පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගියා...හොඳට ඒලෙවල් කරලා මොරටුව කැම්පස් එකේ කොම්පියුටර් සයන්ස් කරන්න තේරුනා...අම්මා හරියට සතුටු වුනා...මමත් හිතුවේ ඩිග්‍රිය ඉවරවෙලා හොඳ රස්සාවක් කරලා අම්මව හොඳට බලාගන්නවා කියලා…”

“කැම්පස් එකේ තිබුණ රොබෝ කොම්පෙටිෂන් එකකට SLIIT එකෙන් ආපු ටීම් එකක තමයි හිරුණි හිටියේ...මම කැම්පස් එකේදි කෙල්ලෝ ගැන උනන්දුවක් දැක්වුවේ නෑ...මට ඕනෑ උනේ අම්මා විඳින දහදුක්වලින් මුදවලා එයාව බලාගන්න...ඒත් හිරුණි මාත් එක්ක යාලුවුනා...එයා හොඳයි කරුණාවන්තයි...එයාගෙ තාත්තා මිනිස්ට්‍රියක සෙකට්‍රි කෙනෙක්, ඒ නිසා එයාට හොඳට සැපසම්පත් තිබුණා....මගේ දුප්පත් කම එයාට ප්‍රශ්ණයක් වුනේ නෑ..උපාධිය ඉවරවෙලා හොඳ ජොබ් එකක් ගත්තම ඔයාටත් හොඳ ලයිෆ් එකක් හදාගන්න පුලුවන්..එතකොට අපි බඳිමු....මට හදිස්සියක් නෑ...හිරුණි කිව්වේ එහෙමයි..."
"ඒත් එහෙම වුනේ නෑ...හිරුණිගෙ තාත්තා එයාට කසාදයක් ලෑස්ති කරා...උපාධිය ඉවරකරන්නත් ඉස්සෙල්ලා බඳින්න කියලා බල කලා.....එයා මාව තෝර ගන්න කැමති වුනත් මට එයාව බාරගන්න වත්කමක් තිබුණේ නෑ...අපි හිටියේ පොඩි කුළී ගේක...එතනට හිරුණි වගේ කෙනෙක් ගේන්න පුලුවන් කමක් තිබුණේ නෑ....මට රස්සාවක් ගන්න පුලුවන් කමක් තිබුණෙත් නෑ....එතකොට උපාධිය අතහරින්න වෙනවා...ඒ කියන්නේ සදහටම හිරුණිටයි, මටයි අපේ අම්මටයි දුප්පත්කමේ හිරවෙන්න වෙනවා....ඒ නිසා මම හිරුණිට බලකලා දෙමව්පියෝ ගෙනා යෝජනාවට කැමතිවෙන්න කියලා..."

"හිරුණි අහිමිවෙලා මාසෙකින් මට අම්මා නැතිවුනා...කහ ඉරෙන් පාර පනිනකොට වෑන් කාරයෙක් හප්පලාදාලා...අම්මත් නැතිවුනා.....මට පිස්සු හැදෙන්න ආවා....අම්මගෙ මිනිය උස්සලා හත්දවසේ යන්න ඉස්සෙල්ලා ගෙදරට ඇමරිකාවෙන් ලියුමක් ආවා......මම මාස හයකට විතර කලින් ඇප්ලයි කරපු ශිෂ්‍යත්වෙකට මාව තෝරගෙන...උපාධියේ ඉතුරු ටික ඇමරිකාවේ කරන්න වාසනාව ලැබිලා....මාසෙකට කලින් ඒ ලියුම ආවානම් මට හිරුණිවත් අරගෙන ඇමරිකා යන්න තිබුණා....එහෙනම් මට එයා හරි ඉන්නවා..."

"ඔන්න මගේ දෛවය, එක පැත්තකින් දෙනකොට අනෙක් පැත්තෙන් දෙතුන් ගුණයක් ආපහු ගන්නවා......හොඳ මොළයක් දුන්නා...තාත්තව ගත්තා....ඇමරිකාවට ශිෂ්‍යත්වයක් දුන්නා.....කෙල්ලවයි...අම්මවයි දෙන්නම ගත්තා.....මට ලැබුණ කිසිම දෙයක් සතුටින් විඳින්න බැරිවෙන්න තමයි මගේ කාළකණ්නි දෛවය මට හැමදේම දුන්නේ"

"මම ඇමරිකාවට ඇවිල්ලා අවුරුදු 6ක් විතර නවත්වන්නේ නැතුවම ඉගෙන ගත්තේ, රීසර්ච් කරේ ජීවිතේ ගොඩ දාගන්න නෙමෙයි......මට නැතිවුනු දේවල්වල වේදනාව අමතක කරගන්න.....මේවා වල ගිලිලා කිමිදිලා ඉන්නකොට මට හැමදේම අමතක වෙනවා....මම ඇෆ්ඝනිස්තානෙට ආවෙත් ඒකයි...මෙහෙ එන්න ඉස්සෙල්ලා ඇමරිකාවෙ ලොකු කොම්පැණි දෙකතුනකින් මට ජොබ් ඔෆර් තිබුණා... MIT එකේ උගන්වන්න පටන් අරගෙන ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නත් හොඳ අවස්ථාවක් තිබුණා...ඒත් මම මේ අපායට ආවේ මේ අමුතු පරිසරය නිසා මට හැමදේම මතක කරන්න ලේසියි කියලා හිතාගෙන....”

“දැන් මම මොනවා කරන්නද කැමති දන්නවද?. මම කැමතියි මගේ දෛවයට screw you කියලා, ජීවිතේ පලමුවෙනි වතාවට අවදානමක් ගන්න....දෛවයට ගන්න තියෙන්නේ මගේ ජීවිතය විතරයි....ඕනෙනම් ගත්තදෙන්.....මම කැමතියි ඔයාව ගිණිගත්ත හොලිකොප්ටරෙන් එලියට ගත්ත පූජනීය මනුස්සයා ඔයාට දීපු රාජකාරියට එකතු වෙන්න....දෛවයට මාව නටවන්න දුන්නා ඇති....අයියා හිතනවානම් ඔයාට නැති වෙන්න දෙයක් නෑ කියලා......ඇත්තටම මටත් නැති වෙන්න දෙයක් නෑ......”



~~~


බැග්‍රෑම් වලට ඇවිල්ලා සති හතරක් පහුවෙනකොට කැලුම් බොහෝ සුවය ලබා තිබුණා. කිහිළිකරු නැතිව ඇවිදින්න පුලුවන් වුනා. මුල් වතාවට එයා රෝහලේ තිබුණු ජිම් එකට ගියා. ඒක භෞතික චිකිත්සා කරන්න හදපු ජිම් එකක්. එතන උපදේශකයා කැලුම්ට භෞතික චිකිත්සා ව්‍යායාම ගණනාවක් දුන්නා. ඒවා හොඳටම කල නිසා එයා කැලුම් කැමති විධියට ව්‍යායාම කරන්න ඉඩ දුන්නා. ඔහුව වාට්ටුවෙන් අයින් කරලා රෝහලේ උඩ තට්ටුවේ තිබුණ හිස් කාමරයක් ලබලා දෙන්න රෝහල් බළධාරීන් කටයුතු කලා. ඒ කාමර ඇමරිකාවේ ඉඳන් එන විශේෂඥ වෛද්‍යවරුන් ආවාම නවතින්න දෙන කාමර.

එදා ස්ටාර්බක්ස් එකේ දවල් කෑමෙන් පස්සේ යසිත්ව හමුවුනේ නෑ. ඒ සැලසුමකට අනුව. හමුවෙනවා වෙනුවට යසිත් රහස් කේතවලින්, ෆේස් බුක් මැසේජ් හරහා පණිවුඩ යවන ක්‍රමයක් නිර්මාණය කරගත්තා. ගණිතය ගැන සුපිරි දැනුමක් තිබූ යසිත් සිය දැනුම පාවිච්චි කරලා ඉගෙන ගන්න ලේසි, ඒත් විකේතය නොදැන කාටවත් තේරුම් ගන්න බැරි අපූරු රහස් ක්‍රමයක් හැදුවා. abcd අකුරු 26ත් 0-9 දක්වා ඉලක්කම් අරගෙන හදපු මේ පණිවුඩ ක්‍රමයේ වැදගත්ම අංගය වුනේ, හැම දවසකම පණිවුඩ විකේතනය කරගන්න විකේත වෙනස්වීමයි.

යසිත් එවන පණිවුඩ විකේතනය කරන්නත්, කැලුම් යවන ඒවා කේතගත කරන්නත් පාවිච්චි කලේ කවුරුත් නොහිතන සරල ක්‍රමයක්. ඒ කාබුල් ටයිම්ස් ඉංග්‍රීසි පත්තරේ පලමු පිටුවේ ශීර්ෂපාඨය විකේතන උපක්‍රමය විධියට පාවිච්චි කරලා. යසිත් ෆේස්බුක් පණිවුඩයක් එව්වාම කැලුම්ට තිබුණේ, එදා කාබුල් ටයිම්ස් පත්තරේ මුල් පිටුව බලාගෙන පණිවුඩේ විකේතනය කරගන්න. යසිත් එවපු පණිවුඩ අතර ලැබ් එකේ මුර සංචාර සිදුවන කාලාන්තර, මුරකරුවන් මාරුවන වෙලාවල්, සිකියුරිටි කැමරා තියෙන තැන් හඳුනාගන්න සළකුණු වගේ කැලුම්ගේ සැළසුම්වලට වැදගත් තොරතුරු.

ඒ විතරක් නෙමෙයි, ඇමරිකන් ආරක්ෂක දේපාර්තමේන්තුවේ රහස් ව්‍යාපෘතියක ඉන්න නිසා, සී.අයි.ඒ වගේ ඔත්තු සේවාවල ක්‍රියාකාරිත්වය ගැන කැලුම් නොදන්න තොරතුරු ගොඩක් ඔහු දැන සිටියා. යසිත්ගේ උපදෙස වුනේ, සල්ලීයි පදක්කමයි ලැබිලා, පිටත්වෙන ෆ්ලයිට් එකේ මගී ලයිස්තුවට නම වැටෙන තෙක් බලා ඉන්න කියලා. ඒ අවස්ථාව උදාවෙන තෙක් ගෙදර යන්න ලෑස්තිවෙන විධියට සියල්ලම කරන්න කියලා උපදෙස් ලැබුණා. කැලුම්ව නිරීක්ෂණය කරන ඔත්තුකාරයින්ට එයා තමන්ගේ රටට යන්න ලෑස්තිවෙනවා කියන පණිවුඩය ලැබෙන්න හැම දේම කරන්න කියලා යසිත් උපදෙස් දුන්නා.

“චෙක් එක හම්බුවුනාම ඒක ලඟ තියාගන්න එපා...ඒ සල්ලි ඔයා විඳපු දුක්වලට ලැබුන දේවල්...චෙක් එක ලඟ තියාගත්තොත් ඒක කැන්සල් වෙයි ඔයා මිසින් වෙලා පැය කීපයකින්...ඒ වගේම ඔක්කොම සල්ලි අම්මට යවන්න එපා. ඒවගේ දේවල් සී.අයි.ඒ වගේ ඔත්තු සේවාවල රතු එළි පත්තු කරනවා. ඔයා සල්ලි ඔක්කොම අම්මට යැව්වොත්, ඒ කියන්නේ ඔයාට සල්ලි වැඩක් නෑ කියන එක.....සී.අයි.ඒ විශ්ලේෂකයින් ඕක තේරුම් ගන්නේ ඔයාට ඇත්තටම ගෙදර යන්න සැලැස්මක් නෑ කියලයි. ඒ නිසා සල්ලි වලින් බාගයක් අම්මට යවන්න, බාගයක් ඔයාගෙ ගිණුමට යවන්න...ඩොලර් පන්සීයක් විතර අතට සල්ලි ගන්න මග වියදම් වගේ පේන්න.....මතක තියා ගන්න ඔය හැම දෙයක්ම එයලා බලාගෙන ඉන්නේ.....ඒ අනුව ඔයාගේ ඊලඟ පියවර අනුමාණ කරන එක තමයි සී.අයි.ඒ විශ්ලේෂකයින්ගේ රාජකාරිය. අපි එයාලා හිතන විධියටම හිතලා අඩියක් ඉස්සරහින් ඉන්න ඕනෑ..”

"ඒ වගේම ඇමරිකන් ආමි එකේ, එයාෆෝස් එකේ සුවනියර් ෂොප් වලට ගිහිල්ලා සිහිවටන දෙක තුනක් ගන්න.....සල්ලි වලින් ගෙවන්න එපා....ආමි පේ කාඩ් එකෙන් ගෙවන්න.....ඒක පාවිච්චි කරන හැම වෙලාවෙම ඔයාගෙ ප්‍රොෆයිල් එකට ඒ දත්ත එකතුවෙනවා. ඒවා විශ්ලේෂකයින් බලනවා..ඔයා ගෙදර යන්න ලෑස්ති වෙනවා කියලා තහවුරු වෙන්න හැම දේම කරන්න"

කැලුම්ගේ පරණ සැලසුම් වල මේ කිසිම දෙයක් තිබුණේ නෑ. ඒවා ඔහුට හිතිලා තිබුණෙත් නෑ. ඒත් රහස් ව්‍යාපෘතියක හිටපු යසිත් ඔත්තුසේවා වැඩකරන හැටි, ඔවුන් සැක සහිත අයගේ හැසිරීම් විශ්ලේෂණය කරලා නිගමන වලට එන හැටි හොඳට නිරීක්ෂණය කරලා තිබුණ බව පෙනුනා.

ඔහුට දූෂාන්බේ නගරයට යන්නත්, එතනින් ඉන්දියාවේ දිල්ලියට යන්නත් ගුවන් පහසුකම් ඇමරිකන් ගුවන් හමුදාවෙන් නොමිළයේ ලැබුණා. ඒ පහසුකම නිවෙස්බලා යන හැම සෙබලෙකුටම තිබුණා. දිල්ලියේ ඉඳන් කොළඹට ෆ්ලයිට් එක ඔහුම වෙන්කරගත යුතුව තිබුණා. ඔහු ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් වෙබ් අඩවියට ගිහිල්ලා ආමි කාඩ් එකෙන් ගෙවලා දිල්ලියේ ඉඳන් කොළඹට ටිකට් එකක් වෙන් කර ගත්තා. බෑග් පැක් කරලා සියල්ල ලෑස්ති කරලා තියාගත්තා.

“Hey soldier boy!!……. So you are planning to leave without saying goodbye to me…??” කැලුම් එලියෙ ඇවිදලා එනකොට හදිසියේම සැලී හමුවුනා. ඇය කතාකලේ බොහොම ලෙන්ගතුව.

"ඔ ඔයාව හොයාගන්න විධියක් දැනගෙන හිටිය නෑ….....මම කිව්වෙ ඉන්න තැන දැනගෙන හිටියේ නෑ කියලා.."ඇය ඇලෙන්න වගේ ලඟටම ඇවිත් කතාකරන කොට කැලුම් අපහසුවෙන් උත්තර දුන්නා.

“ඔය පේනවනෙ...බොරු කියනකොට පැටලෙන හැටි…”

"සමාවෙන්න සැලී, මගේ ඔලුවෙ ගොඩක් දේවල් තියෙනවා...මම එච්චර හිතුවේ නෑ...ඔයා ඇමරිකාවට නිවාඩුවකට එහෙම යන්නෙ නැද්ද? යනවානම් යන ගමන් කොළඹට ඇවිත් යන්න...."

"ආවොත් ඔයා මාව බලාගන්නවද?"ඇය ඔහුගේ අතින් අල්ලමින් ඇසුවා. යසිත් සැලී ගැන අණතුරු අඟවලා තිබුණේ නැතිනම් ඇයව තුරුල්ලට ගන්න කැලුම් පෙළබෙනවා. ඒත් යසිත් ඇයගේ නියම ස්වරූපය හෙලිකල නිසා කැලුම්ට ඇතිවුනේ ආදරයක් නෙමෙයි අප්‍රසන්න බවක්. ඔහු දෑත් සාක්කුවේ දාගෙන ඇය ගැන කිසිම හැඟීමක් නැති බව පෙනෙන්න හැසිරුණා. පිටත්වෙන වෙලාවට සැලී ගුවන් පර්යන්තයට එන්න උත්සහකරයි කියලා බයක් කැලුම්ට තිබුණා.

"ෆ්ලයිට් එක වෙලාවට මේකි ප්ලග් වුනොත් ඔක්කොම හබක්...."

ආලවන්තකම් පෙන්වන මේ හැඩකාර කෙල්ල තමන් ගැන ඔත්තු බලන්න හිතවත් වුනු සී.අයි.ඒ කේස් ඔෆිසර් කෙනෙක් නොවී ඇත්තටම ඇමරිකන් ආමි නර්ස් කෙනෙක් වුනානම් කොච්චර හොඳදැයි කැලුම්ට හිතුනා. එහෙම වුනානම් මේ මෙහෙයුම අතහැරලා දාලා ඇයත් එක්ක අනාගතයක් ගැන හිතන්න කැලුම් පෙළබෙන්න තිබුණා.

"ඔව් මම ඔයාව බලාගන්නම්.....ලංකාවට ඇවිල්ලා එයාපෝට් එකෙන් මට කතාකරන්න...මම එන්නම්..."

"ම්ම්ම්....බලමුකො.....මට නොම්මරේ දෙන්න...."

කැලුම් ඔහුගේ ලංකාවේ මොබයිල් නොම්බරේ ඇයට දුන්නා.

"හරි...එහෙනම් මම යන්නම්......දැන් ඉතින් වරද්දන්නේ නැතුව ෆ්ලයිට් එකට නගින්න........හොඳද...?"ඇය සුරත ඔහුගේ ලය මත තබා ඔහු දෑස් දෙස බලාගෙන මොහොතක් හිඳ යන්න ගියා.

ඇය අන්තිමට කියපු.... “Be on that flight tonight..” කැලුම්ට කම්පණයක් ගෙන දුන්නා.

"මොකක්ද ඒ කිව්වේ? මට අණතුරු ඇඟෙව්වාද? මම මොකක් හරි සැළසුම් කරන බව ඉව වැටිලද? නැතිනම් මගේ හිත බලන්න...මගේ ප්‍රත්‍රික්‍රියාව දැන ගන්න ඇමක් ගිල්ලන්න හැදුවද..?"

“CIA හැතිරි..."කැලුම් තරහින් කිව්වා. ඒ තරහ ඇය ගැන හිතේ තියෙන ඇල්මයි, ඇයගේ නියම අරමුණ ගැන තියෙන පිළිකුළයි දෙකම එකතුවුනාම ඇතිවන අප්‍රසන්න හැඟීම පිටවුනු හැටි……..තමන් ඇත්තටම කැමති කෙල්ලෙක්, මේ විධියට වෙන සටකපට අරමුණකින් ලංවෙනවා කියලා දැන ගත්තම මොනතරම් දුකක්, ජුගුප්සාවක් ඇතිවෙනවද?


20:50 Hours Passenger Departure Terminal, Bragram Airbase

කැලුම් ඔරලෝසුව බැලුවා. රාත්‍රී 8.50යි. ෆ්ලයිට් එක පිටත්වෙන්නේ රෑ 10.00ට වුනත් උපදෙස් දීලා තිබුණ විධියට ඔහු නමයට ඉස්සෙල්ලා බැග්‍රැම් මගී පර්යන්තයට ආවා. දහයට පිටත්වෙන ෆලයිට් එක තජිකිස්ථානයේ, දූෂාන්බේ නුවර ඇමරිකන් ගුවන් කඳවුරට ගොඩබසින්න නියමිත වුනේ පාන්දර 12.30ට. කැලුම් පර්යන්තයට ඇතුලුවන විටත් ගම් රටවල් බලා යන්නට එහි පෝලිම් ගැසී සිටි සියයකට අධික විවිධ රටවල සෙබලුන් හා නිළධාරීන් සිටියා. එමෙන්ම දූෂාන්බේ පිහිටි ඇමරිකන් ගුවන් කඳවුර වෙත යන ඇමරිකන් සෙබලුන් පනහක් පමණද, පූර්ණ නිළඇඳුම හා රාජකාරි ගිණි අවිද රැගෙන වෙනත් පෝලිමක සිටියා.

බැග්‍රැම් ඉඳලා ඇමරිකාවට එක සැරයකුත්, ලංකාවට තව සැරයකුත් ගිහින් පලපුරුදු යසිත්, කැලුම්ට ගුවන්තොටේ සියලුම විස්තර හා බලාපොරොත්තු විය යුතුදේවල් කියලා දුන්නා. යසිත් පැවසූ අන්දමටම ගුවන්යානයට ගොඩවීමේ අවසරය ලබාගැනීම (checking in) වාණිජ ගුවන්තොටුපලවල් සිදුවන ක්‍රියාදාමයට වඩා බොහෝ සරල වුනා. කවුන්ටරයේ සිටි ගුවන්හමුදා නිළධාරිනිය කැලුම්ගේ ගමන් බළපත්‍රය හා පිටවීමේ අවසරපත්‍රය (exit pass) පරීක්ෂාකොට, පරිගණකයෙන් කැලුම්ට යානයේ ඉඩ වෙන්කොට ඇතිදැයි සොයා බැලුවා.

“You have a confirmed boarding permission….. flight call sign is Dasher 306….. Waiting area for your flight is Section 5 which is to your left…..follow the blue line on the floor till you get to 5…….boarding call will be at 2115hours and wheels up at 2200 hours……. Have a good flight……………………………...…..next please….!!”

[ඔබට යානයේ නැගීමට අවසර තිබෙනවා, ඔබගේ පියාසැරියේ කේතය ඩෑෂර් 306....පියාසැරියට රැඳීසිටීම සඳහා සෙක්ෂන් 5 වෙත යන්න.....ඔය පේන නිල්පාට ඉර දිගේ වම්පැත්තට 5 හමුවෙන තෙක් යන්න....යානයට ගොඩවීමේ නිවේදනය පැය 2115........පිටත්වීම පැය 2200...... සුභ ගමන්.....…………………………...….........ඊළඟ එක්කෙනා එන්න.......!!]

ඉන් පසු මගීන්ගේ බෑග් ඇමරිකන් ගුවන්හමුදා පොලීසිය මගින් පරික්ෂාකල අතර අනවසර දෑ රැගෙන යනවාදැයි බැලීමට බෑග් මෙටල් ඩිටෙක්ටර් හා එක්ස් රේ යන්ත්‍රවලින් ස්කෑන් කලා. මේ පරීක්ෂාව බොහෝ විට සිදුකලේ යුධ බිම්වලදී සතුරන්ගෙන් අත්පත් කරගත් විවිධ ආයුධ, පිස්තෝල, පතොරොම් ආදිය සිහිවටන ලෙස හොරෙන් සිය රටට ගෙනයාමට උත්සහ කරන හමුදා සෙබළුන් හඳුනාගැනීමටයි.

“ආරක්ෂක පරීක්ෂාවෙන් පස්සේ කිසිම ප්‍රශ්ණයක් නෑ...වෙන කවුරුවත් කරදර කරන්නේ, ප්‍රශ්ණ අහන්නේ නෑ. රැඳීසිටින්න කියපු සෙක්ෂන් එකේ ඉන්න. ගේට්ටු පාළකවරුන්, ඔයාට යන්න තියෙන C-5 යානයට ගෙනයන බස් එක ආවහම ෆ්ලයිට් එකේ පියාසැරි කේතය නිවේදනය කරයි. ප්ලේන් එකේ කිසිම පරීක්ෂාවක් නෑ, වෙන්කරපු ආසන නෑ...කැමති තැනක ඉඳගන්නවා...එච්චරයි....”

යසිත් උපදෙස් දීපු විධියට පැනගන්න හොඳම වෙලාව හැමෝම බස් එකට නගින්න පෝලිමට එක්වෙන වෙලාව. ඒ වෙලාවට බෑග් මලු උස්සගෙන ගෙවල්වලට යන වෙන රටවල සෙබලුයි. ෆුල් යුනිෆෝම් එක ඇඳගෙන, රාජකාරි ගිණිඅවියත් රැගෙන දූෂාන්බේ එයාබේස් එකට යන ඇමරිකන් සෙබලුනුයි ඔක්කොම නැගිටගෙන බස් වලට නගින්න ලෑස්ති වෙන කළබල සහිත වෙලාව…

කැලුම්ගේ එක් බෑගයක ඇමරිකන් ගුවන් හමුදාවේ මාස්ටර් සාජන්ට් නිළ ඇඳුමකුත්, ඇමරිකන් යුධ හමුදා දෙවන ලුතිනන් නිළ ඇඳුමකුත් තිබුණා. ප්‍රශ්ණ කිරීමක් වුනොත් මේවා සිහිවටන ලෙස සිය රටට ගෙනියන බව කියන්න ඔහු සූදානම් වෙලා හිටියා.

ඔහු ඒ නිළ ඇඳුම් දෙක ලබාගත්තේ ලොන්ඩරියෙන්. පලමු වරට සෝදපු ඇඳුම් ලොන්ඩරියෙන් ගන්න ගමන් කැලුම් එහි වැඩකරපු ඇමරිකන් සීයා එක්ක හිතවත් වුනා. ඇවිදින්න යනකොට නිතරම ලොන්ඩරිය පැත්තේත් යන ඔහු සීයාගේ සුවදුක් විමසන්න පුරුදුවුනා.නමින් සැන්ඩර් ජෙෆර්සන් වුනු ඔහු විශ්‍රාම ගිය ඇමරිකන් මැරීන් හමුදාවේ නිළධාරියෙක්. දහඅට හැවිරිදි තරුණයෙක් විධියට 1968දී වියට්නාම් යුද්ධයට යවනු ලැබූ ඔහු 1975 සටන් විරාමය එනතෙක්ම වියට්නාමයේ වියෙට්-කොන්ග් ගරිල්ලන් සමග යුධ වැදී තිබෙනවා. ඔහුගේ බිරිඳ ටික කලකට පෙර මිය ගිහින්, දුව හා පුතා දෙන්නාම තාත්තා වගේම ඇමරිකන් මැරීන් හමුදාවට බැඳිලා. දැන් විශ්‍රාම ගොස් සිටින ඔහු විශ්‍රාම ගිය හමුදා නිළධාරීන්ගේ සුභසාධක සංගමයේ ක්‍රියාශීලී සාමාජිකයෙක්. ලොන්ඩරිය පවත්වාගෙන ගියේ මේ සංගමය මගින්.

සිහිවටන ලෙස ලංකාවට ගෙනයා හැකි තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන නිළ ඇඳුම් නැතිදැ‍යි සැන්ඩර් ගෙන් ඇසූ විට, ඔහු කැලුම්ට මියගිය ගුවන්හමුදා නිළධාරියෙක් හා යුධ හමුදා නිළධාරීයෙක්, ක්‍රියාන්විත රාජකාරිවලට පිටත්වීමට පෙර සේදීම සඳහා භාරදුන් නිළ ඇඳුම් දෙකක් ලබාදුන්නා.

"මෙයාලා මේවා ගන්න එන්නේ නෑ.......යුද්ධෙ හැටි...."

"ස්තූතියි ඔබතුමාට.........මේවා වෙනුවට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ....?"

"මුකුත්ම නෑ පුතා......ඔබට සුබ ගමන්.........ගෙදර යන්න……… සතුටින් ඉන්න.....හොඳ ගෑණු ළමයෙකුව කසාද බැඳලා පවුලක් වෙන්න........ මතක තියාගන්න පවුල කියන එක රටකට ගොඩක් වැදගත්.....රට ගොඩ නගන්න......යුද්ධයක් ආවොත් සටනට යන්න රටකට දරුවෝ ඉන්න ඕනේ.....ඒකට තරුණ පරම්පරාව කසාද බැඳලා පවුල් වෙන්න ඕනෑ...........දැන් තරුණ කොල්ලෝ කෙල්ලෝ බඳින්නෙත් නෑ ළමයි හදන්නෙත් නෑ........."කියා උපදේශයක්ද දුන් සැන්ඩර්, කැලුම්ට සුබපතා සමුදුන්නා...


Section 5 Boarding Area...Bagram Airbase, 30th November 2018, 21:15, Kabul Time

“Attention Please!!! Attention Please!!! Shuttle buses for Dasher 306 have arrived…. Please take your belongings and be ready…wheels up at 2200 hours….”

[සවන්දෙන්න!! සවන්දෙන්න!! ඩෑෂර් 306 පියාසැරිය වෙත මගීන් ගෙනයාම සඳහා බස් රථ පැමිණ ඇත. කරුණාකර ඔබගේ බඩුබාහිරාදිය රැගෙන සූදානම් වන්න……………...පියාසැරිය පිටත්වීම පැය 2200.]

නිවේදනය ඇසුනු විට පියාසැරීයේ ගමන්කිරීම සඳහා සූදානම්ව සිටි 200ක පමණ පිරිස අසුන්වලින් නැගිට සිය ගමන් මළු සූදානම් කරගෙන බස් රථයට ගොඩවෙන්නට දොරටුව වෙත රැස්වෙන්නට පටන්ගත්තා. මේ අතර මොහොතක් සිය අසුනේම සිටි කැලුම් සෙමින් නැගිට සිය ගමන් මළු දෙකද රැගෙන වැසිකිලි වෙත ගියා. ඉක්මණින් ගුවන්හමුදා යුනිෆෝමය හැඳගත් කැලුම් හැඳ සිටි ඇඳුම් බෑගය වෙත දමාගෙන පිටවුනා. ඔහුගේ ගමනාන්තය වුනේ බස් රථයට ගොඩවන දොරටුව නොව යසිත් විසින් කැලුම්ට ලබාදුන් ගමන් මාර්ගයක්. පාර වරද්ද නොගැනීම සඳහා මග සලකුණු සියල්ලම මතකයේ ධාරණය කරගත යුතුයයි යසිත් කියා තිබුණා. එම මගසළකුනු ඔස්සේ ගමන්කල කැලුම් පිවිසියේ රථගාලකටයි.

එහි ගාල්කොට තිබූ හම්වී ජීප් රියක් වෙත ගිය ඔහු එයට ගොඩවී පණගන්වන්න්නට සූදානම් වුනා. මේම විශාල ජීප් රථවලට පණගැන්වීමේ යතුරු තිබුණේ නෑ. හමුදා මෙහෙයුම සඳහා භාවිතාකරන නිසා ඒවා පණගැන්වීම සඳහා ස්විචයක් යොදා තිබුණා. පලමුවෙන් ප්‍රධාන විදුලි සම්බන්ධතා ස්විචය (මාස්ටර් ස්විචය) දමා තත්පර පහක් සිටි විට කොළ පැහැති බල්බයක් දැල්වෙන අතර එවිට ස්ටාටර් බොත්තම එබීමෙන් රථය පණගැන්වුනා.

මාස්ටර් ස්විචය සොයාගත් කැලුම් එය ක්‍රියාත්මක කොට ඩෑෂ්බෝඩ් එක දෙස නොයිවසිල්ලෙන් බලා සිටියා. තත්පර පහකින් කොළ බල්බය දැල්වූ අතර ඒ වනවිට ස්ටාටර් බොත්තම මත දබර ඇඟිල්ල තබාගෙන සූදානම්ව සිටි කැලුම් බල්බය දැල්වෙනු දුටු වහාම එය එබුවා. තත්පර දෙකතුනක් ස්ටාටර් මෝටරය හැඬීමෙන් පසු ගොරහැඩි හඬකින් විශාල ජීප් රිය පණගැන්වුනා. එන්ජිම ස්ථාවර වන තෙක් තත්පර දහයක් පමණ බලාසිට කැලුම් ඒ අතර වටපිටින් කෑගැසීම්, විසිල් හඬවල්, සයිරන් හඬවල් ආදිය ඇසේදැයි කන් යොමාගෙන සිටියේ තමන් අනවසරයෙන් වාහනයක් පණගන්වාගත් බව මුරකරුවෙකු හෝ රැකවලෙකු දුටුවාදැයි සැකයෙන්.

ප්‍රධාන ලාම්පු දල්වා, එන්ජිම සැරදැමූ ඔහු ගියරය ක්‍රියාත්මක කොට වාහනය ඉදිරියට ගත්තා. නැවතත් යසිත් කටපාඩමින් මතක තබාගන්නට යයි කියූ මගසළකුණු ඇති මාවතක් ඔස්සේ සෙමින් ධාවනය කල කැලුම් ....යසිත් හමු නොවුනා නම් මේ මෙහෙයුම කොහොමටවත් කරගන්නට ලැබෙන්නේ නෑ නේදැයි…. සිතන්නට වුනා.

ගුවන් මගී පර්යන්තයෙන් පිටවූ මොහොතේ සිට ගමන්කල යුතු මාර්ගය, රථ ගාල ඇති ස්ථානය, ඉන් පිටව ගමන්කල යුතු මාර්ග, මග සළකුණු ආදී සියල්ලම ලැබුණේ යසිත් ගෙන. යසිත් කියූ පරිදි ඔහු ඒ තොරතුරු ලබාගත්තේ ඇමරිකානු රජයේ "National Geospatial-Intelligence Agency"නම් සිතියම් හා චන්ද්‍රිකා ඡායාරූප දත්ත ගබඩාවෙන් ලබාගත් බැග්‍රැම් කඳවුරේ සිතියම් හා අධිවිබේධන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේයි. මෙම දත්තගබඩාව සඳහා ඇතුලුවීමට ඇමරිකානු රජයේ ව්‍යාපෘතිවලට ලබාදී ඇති අවසරය අනුවයි යසිත් එයට ඇතුලුවී ඡායාරූප හා සිතියම් ලබාගත්තේ.

රථගාලෙන් පිටව මද දුරක් යද්දී රැකවල් යෙදුනු මුර කපොල්ලක්වූ අතර ඒ ඉදිරිපිට නැවැත්වූ කැලුම් රැකවලේ සිටි සෙබලා වාහනය වෙත එනතෙක් නිසොල්මන්ව සිටියා. පැති වීදුරුවෙන් විදුලි පන්දම යොමුකල ඔහු කැලුම්ගේ නිළ ඇඳුම දුටුවහාම ආපසු ගොස් බැරියරය විවෘතකලා. ගුවන්යානා නවත්වන හැඟර, රථවාන අලුත්වැඩියා ගරාජ, විවිධ වැඩපොලවල් ආදිය පහුකරගෙන ඔහු යසිත්ගේ ලැබ් එක තිබූ Storage Facility 17 පෙනෙන මානයට ආවා.ඒ අසල තිබූ වායුසමනය සඳහා භාවිතාකරන විශාල චිලර් යන්ත්‍රය කිහිපයක් තිබූ අතර ඒ අසලම තිබූ බෝම්බ හා වෙඩි ප්‍රහාරවලින් විනාශවූ වාහන අත්හැර දමා තිබෙන යාර්ඩ් එකකට සිය හම්-වී රථය ඇතුලු කලා. එම ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ඈතිනුයි 17වැනි ගබඩා ගොඩනැගිල්ල තිබුණේ. එන්ජිම නිවා දැමූ කැලුම් වාහනයෙන් බැස, වඩාත් පහැදිලිව ගොඩනැගිල්ල පෙනෙන ස්ථානයකට ගියා. පිටත් වෙන්නට දිනකට පමණ පෙර දෙදෙනා අතර සියලු පණිවුඩ හුවමාරු නවත්වා දැමුවා.

යමෙකු නිරීක්ෂණය කරගෙන සිටිනවා නම් සැක නොසිතෙන ලෙස කැලුම් හා යසිත් අන්තිම වතාවට ස්ටාර්බක්ස් හිදී හමුවුනේ අද සවසයි. බොහෝ කුළුපගව ආශ්‍රය කල මිතුරන් දෙදෙනෙකු, පිටත්ව යන අන්තිම දිනයේ මුන නොගැසී යාම සී.අයි.ඒ නිරීක්ෂකයින්ට කුතුහලයක් වන නිසායි එලෙස හමුවුනේ. මිතුරන් දෙදෙනෙකු වෙන්ව යන මොහොත ලෙස රඟ දැක්වුනු එහිදී යසිත්, කැලුම්ට පොඩි තෑග්ගකුත් දුන්නා.

"යාඩ් එකට වාහනේ දාලා ජනෙල් දිහා බලාගෙන ඉන්න. මම දහය වෙනකොට සිග්නල් එකක් දෙන්නම්. මම සිග්නල් එක දෙනකම් මට මැසේජ් එවන්න එපා. මාව අහුවෙලානම් එයාලා මං ලව්වා ඔයාට මැසේජ් එවලා ඔයා ඉන්න තැන දැනගෙන ඔයාවත් අල්ලාගනියි...."

ඒ හමුවෙන් පස්සේ ආපසු එනවිටයි සැලී මුණගැසුනේ.

කැලුම්ට යසිත් එවන සංඥාව විදුලි පහන් නිවා ඇති කාමරයක විදුලි පහන් දැල්වීම මගින් එවනු ලැබුණා.

විදුලි පහන දෙවරක් පත්තුවී නිවුනහොත් "....ප්‍රමාද වෙනවා.....තව වෙලා යයි සූදානමින් ඉන්න......"

විදුලි පහන තෙවරක් පත්තුවී නිවුනහොත් "....සියල්ල සූදානම්....මෙහෙයුම ක්‍රියාත්මකයි......"

දහය පසුවී විනාඩි 10ක් ගතවන විටත් සංඥාවක් නැතිනම්, යසිත් බරපතල ගැටලුවකට මැදිවෙලා...නැතිනම් අහුවෙලා......වහාම පලාගොස් සැඟවෙන්න.

යසිත්ට ලැබී තිබුණු තොරතුරු අනුව ඔය කියන පෞරාණික මංජුසාව තිබුණේ ලැබ් එකේ වෙනත් පැත්තක. ඒ පැත්තට යන්න යසිත්ට අවසර තිබුණේ නෑ. ඒත් ලැබ් එකේ කතාවෙන විධියට ඒක බොහෝ ආරක්ෂිත විධිවිධාන ඇති CHUBB සේප්පුවක ආරක්ෂිතව තබලා තියෙනවා. සේප්පුව අරින්නට කී-කාඩ් නැමති ක්‍රෙඩිට් කාඩ් පතක් වගේ පේන කාඩ් දෙකක් එකවර ඇතුලුකල යුතුයි. ඒත් ඒ කාඩ් වලටත් සේප්පුව විවර වෙන්නේ අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයේ ඇති පරිගණකයෙන් සේප්පුවට විධානයක් යැවුන හොත් විතරයි. මේ කී කාඩ් දෙක ජ්‍යේෂ්ඨ නිළධාරීන් දෙදෙනෙකු සතුව තිබුණ බවයි යසිත් දැන සිටියේ. ඒ අනුව සේප්පුව විවර කිරීමට මේ කී කාඩ් දෙක ලබාගෙන, අධ්‍යක්ෂකවරයාගේ පරිගණකය හැක් කොට, සේප්පුවට විධානය යැවිය යුතු වනවා.

යසිත් කියපු විධියට මෙතරම් දැඩි ආරක්ෂක විධිවිධාන තිබුණත් ඒවා බොහෝ විට ක්‍රියාත්මක වුනේ නැත්තේ යුධ පිටියක් වූ ඇෆ්ඝනිස්ථානයේ තිබෙන, විශාලතම හා ආරක්ෂිතම කඳවුරෙහි මෙය පිහිටා තිබීම නිසයි. යසිත්ද ඇතුලුව සේවක සේව්කාවන් 18ක් පමණක් සිටි අතර නාදුනන කිසිවෙකුටත් අසලට හෝ පැමිණිය නොහැකි තරමට හමුදා ආරක්ෂාව ඇති කඳවුරේ ඇති නිසා ලැබ් එක තුල බොහෝ ආරක්ෂක විධිවිධාන හරි හැටි ක්‍රියාත්මක වුනේ නෑ. ඒ නිසා අගුල් විවර කරන කී කාඩ් බොහෝ විට නිළධාරීන්ගේ මේස මත දමා ගොස් තිබෙනු දකින්නට තිබූ අතර බොහෝ විට කාර්යාල අගුලුදමා තිබුනේ නෑ.

මව් රට බලා යන්නට සූදානම් වන බව පෙන්වමින් මෙහෙයුමට සූදානම් වූ කැලුම් යායුතු ගමන්මාර්ග හා මග සළකුණු, ආරක්ෂක අංශ හෝ රැකවලුන් ඇසූ විට දිය යුතු පිලිතුරු හා මුර කපොලු වල නැවැත්වූ විට දිය යුතු පිලිතුරු කටපාඩම් කරගත්තා. ලොව රටවල් විශාල සංඛ්‍යාවක සෙබළුන් හා නිළධාරීන් වාසය කලත් බැග්‍රැම් සාමාන්‍ය ඇමරිකානු ගුවන්කඳවුරක් ලෙසයි ක්‍රියාත්මක වුනේ. ඒ අනුව කඳවුරේ සාමාන්‍ය කටයුතු සිදුවන ආකාරය, මාර්ග බාධක වලදී, හදිසි සෝදිසි කිරීම් වලදී, මුර කපොලු වලදී නිතර ඇසෙන පැන, හා දිය යුතු පිලිතුරු ආදිය මෙහි වසරකට වඩා ගතකල, ඊටත් වඩා කල් ඇමරිකාවේ ගතකල යසිත් දැන සිටියත්, කැලුම්ට ඒවා පුරුදුවිය යුතු නුහුරු දේවල් වුනා.

යසිත්ගේ මුල් සැලැස්ම වුනේ රාත්‍රියේදී කී කාර්ඩ් ආරක්ෂිතව තබා තිබෙන, ඒවා සතු ජ්‍යේෂ්ඨ නිළධාරීන් දෙදෙනාගේ කාර්යාලවල ඇති පෞද්ගලික සේප්පු දෙක විවරකොට කාඩ් ලබා ගැනීමයි. අවසාන මොහොත වනතෙක් කී කාඩ් වැනි ඉතා වැදගත් දෙයක් ලබා ගැනීමට බලා සිටීම අණතුරුදායක බව කැලුම් යසිත්ට පෙන්වා දුන්නා. සේප්පු දෙකක් විවර කිරීම බොහෝ කල් ගත වියහැකි ක්‍රියාවක් බව පෙන්වා දුන් කැලුම්, සේප්පු කඩමින් සිටිනා අතරතුර හදිසි සෝදිසියක් හෝ වෙනත් යමක් සිදුවී අසුවෙන්නට ඉඩ තිබෙන බව අවබෝධ කරදුන්නා. මෙහෙයුම පටන් ගන්නා විට, කී කාඩ් සන්තකයේ තිබුය යුතු බවයි කැලුම්ගේ නියමය වුනේ.

"මේ වගේ මිෂන් වලදි වේගය ඉතාමත් වැදගත් යසිත්....... කල් ගත වෙන්න කල් ගතවෙන්න වැඩේ අවුල් වෙන්න තියෙන අවස්ථා වැඩියි......"

ඊලාම් යුද්ධ කාලයේ දැඩි රැකවල් තිබුණු, බිම් බෝම්බ වැපිරූ පෙදෙස් හරහා, ත්‍රස්ත නායකත්වයේ හදවත් වන පෙදෙස් වලට රහසේ රිංගා කොටි නායකයින් ඝාතනය, ආයුධ ගබඩා, තෙල් ගබඩා පුපුරුවා හැරීම, ආදී විශේෂ මෙහෙයුම් සිය ගණනකට සහභාගීවූ කැලුම් සිය අත්දැකීම් සිහිපත් කලා. යසිත්, කැලුම්ගේ උපදෙස් පිලිගත්තා.

"මිෂන් එක අයියා ප්ලෑන් කරන්න......ඔයා තමයි ඒ වැඩේට විශේෂඥයා....මම ටෙක්නිකල් ප්ලෑන් එක හදන්නම්...."

මේ කතාබහෙන් පසුව, මෙහෙයුම් දිනට පෙර කී-කාඩ් වල පිටපත් සකසා ගත යුතුයැයි යසිත් යෝජනා කලා.

"ඔයාට පුලුවන්ද ඒවා අරගෙන කොපි කරලා, අහු නොවෙන්න ආයෙ තියන්න?.....වැඩේ රිස්කි නැද්ද?"

"කොපි කරගන්න කී කාඩ් එක අතට ගන්නම අවශ්‍ය නෑ.......මේ කාඩ් වැඩ කරන්නේ, කාඩ් එක ස්ලොට් එකට ඇතුලු කරහම, ඒකේ තියෙන මයික්‍රෝ චිප් එක ඇක්ටිවේට් වෙලා. ඒ මයික්‍රෝ චිප් එකෙන් ලොක් එකට යන සිග්නල් එකෙන් තමයි ඒක ඇරෙන්නේ........ඉතින් දුර ඉඳන් චිප් එක ඇක්ටිවේට් කරන ක්‍රමයක් හොයාගත්තානම්, ඊලඟට චිප් එකෙන් ලොක් එකට යන සිග්නල් එක කොපි කර ගන්න පුලුවන්........"

"කොහොමද දුර ඉඳන් චිප් එක ඇක්ටිවේට් කරන්නේ....?"

"රිමෝට් ඇක්ටිවේෂන් ඩිවයිස් කියලා ජාතියක් හැකර්ලා ලඟ තියෙනවා........."

"ඔයා ලඟ එකක් තියෙනවාද?"

"නෑ.........එකක් හදා ගන්න වෙනවා......හදන හැටි හොයාගන්න පුලුවන් රහස් හැකර් ඩිස්කෂන් ෆෝරම් තියෙනවා........සමහර හැකර් ෆෝරම් වල මට සාමාජිකත්වය තියෙනවා........හොයලා බැලුවොත් රිමෝට් ඇක්ටිවේෂන් ඩිවයිස් එකක ස්කීමැටික්ස් (පරිපථ සැලසුම්) හොයාගන්න අමාරු වෙන එකක් නෑ..."

"හැකර් ෆෝරම් එකක කී කාර්ඩ් රිමෝට් ඇක්ටිවේෂන් ඩිවයිස් වල තොරතුරු ඉල්ලුවොත් ඒකෙන් අපිව සැක වෙන්නේ නැද්ද?"

"මම කෙලින්ම ඉල්ලන්න යන්නේ නෑ........හැකර් ෆෝරම්වල සර්ච් කරලා බැලුවම කලින් වෙන අය මේ තොරතුරුම ඉල්ලලා, ඒවට ලැබුණු ප්‍රතිචාර වලින් හොයා ගන්න පුලුවන්.......බැරිවුනොත්, ෆෝරම් එකේ දාන්නේ නැතුව, මම උදව් කරලා තියෙන එක්කෙනෙක් දෙන්නෙකුට ප්‍රයිවට් මැසේජ් යවලා අහලා බලන්නම්......හැකර්ලා කියන්නේ බොහොම තදින් බැඳුනු කණ්ඩායම්....පාවා දෙන අය ඇත්තෙම නෑ..."

යසිත් හමුවෙන්න ඉස්සෙල්ලා කැලුම්ගේ සැලැස්ම වුනේ හොරෙන් ලැබ් එකට පැන ගන්න ක්‍රමයක් හොයාගෙන ඇතුලට ගිහිල්ලා කාව හරි ප්‍රාණ ඇපයට අරගෙන කෞතුකවස්තුව තියෙන සේප්පුව ඇරව ගන්න. ඒත් යසිත් දීපු තොරතුරු අනුව, ඒ සැලැස්ම අනිවාර්යයෙන් අසාර්ථක වෙන එකක් බව පැහැදිලියි. සේප්පුව තනි කෙනෙකුට අරින්න බෑ. යතුරු කාඩ් දෙක තියෙන්නේ දෙන්නෙක් ලඟ. යතුරු කාඩ් තිබුණත් අධ්‍යක්ෂකගේ කොම්පියුටරයෙන් පණිවිඩිය ගියේ නැතිනම් ඇරෙන්නේ නෑ..


5mins for Dasher 306 flight departure, 21.55,  Kabul Time

කැලුම් ඔරලෝසුව බැලුවා. 9.55යි. තව විනාඩි පහකින් ඩෑෂර් 306 දූෂාන්බේ බලා පිටත්වෙනවා. ඒ කියන්නේ පැය දෙකහමාරකින් පස්සේ කැලුම් ෆ්ලයිට් එකේ නැග්ගේ නෑ කියන එක දූෂාන්බේ සී.අයි.ඒ ස්ටේෂන් එක හරහා බැග්‍රෑම් සි.අයි.ඒ ස්ටේෂන් එකට වාර්තා වෙනවා.

හරියටම රාත්‍රී 10ට යෝධ C-5 ප්‍රවාහණ යානය ඈතින් පෙනෙන්නට තිබූ ධාවනපථයේ දිව යන ආකාරය කැලුම්ට පෙනුනා. තවමත් යසිත්ගේ සංඥාව නෑ.

"කොල්ලව අහු වුනාද දන්නේ නෑ..........තව පැය දෙකහමාරකින් මගේ නමත් CIA, DIA, FBI, Department of Homeland Security (DHS) ඒජන්සිවල වහාම අල්ලාගත යුතු "Most Wanted"ලයිතුවේ ඉහලින්ම වැටෙයි...."

C-5 යානය අඳුරු ඇෆ්ඝන් අහසේ ඉහලටම නැගෙනු පෙනුනා.

වෙලාව 10.05 සටහන් වුනා. තවමත් යසිත්ගේ සංඥාව නෑ. සංඥාව නැතිනම් බලා නොහිඳ පැන ගන්නා ලෙස යසිත් කිහිප වතාවක්ම කැලුම්ට කියා තිබුණා.

"මාව හොයන්න හදන්න එපා...මම කලින් කියපු එස්කේප් රූට් එකේ ගිහිල්ලා පැන ගන්න…….මාව අහුවුනොත් ඩෑෂර් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න කලින් ඔයාවත් අල්ලන්න කියලා මැසෙජ් ඇලට් එකක් යයි.."යසිත් දැඩි ලෙස අවධාරණය කලා.

ඔහුව දුටු තැන අල්ලන්න කියලා යන ඇලට් එකේ පණිවුඩය කැලුම් දැන සිටියා

“Arrest on sight order for Major Kelum Vithanage, South Asian male, 5 foot 8 inches tall, light brown complexion. Highly skilled black missions operative with advanced special forces training.. Approach with extreme caution…. use of deadly force authorized”

[දුටු තැන අල්ලනු! මේජර් කැලුම් විතානගේ, තලඑළලු වර්ණ දකුණු ආසියාතකයෙකි. උස අඩි 5යි අඟල් 8යි. කළු මෙහෙයුම් විශේෂඥයෙකු වන මොහු ඉහල තලයේ විශේෂ බළකා පුහුණුව ලබා ඇත. අණතුරු දායක පුද්ගලයෙකි. ඉතාම ප්‍රවේශම්ව කටයුතු කරන්න. යටත් නොවන්නේනම් වෙඩි තබා මරණීය තුවාල සිදුකිරීමට අවසර ඇත]
කැලුම්ගේ ඡායාරූපයද සහිත මේ පණිවුඩය සෑම මුර කපොල්ලක් වෙතම හා සෑම ආරක්ෂක නිළධාරියෙකුගේ ස්මාර්ට්ෆෝනය වෙත යැවෙනු ඇත. ඉන්ස්ටන්ට් මැසේජින් එහෙත් ක්ෂණික පණිවුඩ ආකාරයට යැවෙන මෙවැනි පණිවුඩ හා වැදගත් තොරතුරු ලබාදීම සඳහා සියලුම ඇමරිකානු ආරක්ෂක සේවා නිළධාරීන් සම්බන්ධවන "Defense Message System (DMS)"නැමති ආරක්ෂක තොරතුරු ජාලයක් ඇති අතර, එය ක්‍රියාත්මක වන්නේ WhatsApp ක්ෂණික පණිවුඩ හුවමාරු ඇප් එක ක්‍රියාත්මක වන ආකාරයටමයි. ඇමරිකන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට නිකුත් කොට ඇති ස්මාර්ට්ෆෝන, ටැබ්ලට්, ලැප්ටොප් හා ඩෙස්ක්ටොප් පරිගණක සියල්ලම මේ ජාලයට සම්බන්ධකොට ඇති නිසා, මුලු බැග්‍රැම් කඳවුරම කැලුම්ගේ "වික්‍රමය"පිලිබඳව කෙටිකාලයකදී දැනගන්නා බව සහතිකයි.

10.10යි!

"යසිත් කොටු වෙන්න ඇති...."කැලුම් සුසුමක් හෙලා සිය ගැළවීමේ උපායමාර්ගයට සිත යොමුකලා. කොහොම වුනත් DMS එක හරහා ඇලට් එක ගිහිල්ලානම් මටත් වැඩි දුර යන්න ලැබෙන්නේ නෑ. එක්කෝ යටත් වෙන්න වෙනවා. නැතිනම් වෙඩි කන්න වෙනවා. ඒත් සමගම යමක් ඔහුගේ නෙත ගැටුනා. 17 ගබඩා සංකීර්ණයේ කාමරයක ලයිට් එකක් පත්තුවුනා. එය තෙවරක් නිවි නිවී පත්තුවුනා.

"යසිත්ද?"කැලුම් ඇසි පිය නොහෙලා බලා සිටියා. කැලුම් යසිත්ට ලබාදී දුන් උපදෙස් අනුව ඔහු තව තත්පර 60කින් යලිත් ඒ සංඥාවම කල යුතුයි. වෙනත් කවුරුන්හෝ කාමරයක විදුලි පහනක් දැල්වීමෙන් වැරදි පණිවුඩයක් කැලුම් වෙත ලැබීම වැලැක්විය යුතු වුනා. මෙවැනි අහඹු දේවල් සංඥා ලෙස තේරුම් ගැනීම නිසා ඉතා සැළකිල්ලෙන් සකස්කල විශේෂ බුද්ධි මෙහෙයුම් අවුල්වී, ක්‍රියාන්විතයට සහභාගීවූවන් සතුරාට කොටුවූ හෝ මියගිය අවස්ථා කැලුම්ට මතකයි. ජීවිතයේ ගතකල දීර්ඝතම තත්පර 60න් පසුව එම කාමරයේම විදුලි පහන යලිත් තුන්වරක් නිවිනිවී දැල්වුනා. කැලුම් සැනසුම් සුසුමක් හෙලුවා.

කලින් සැළසුම් කල පරිදි විදුලි පහන් සංඥාවෙන් පසු කැලුම් කෙටි පණිවුඩයක් යැවුවා. මේ පණිවුඩය තවත් එක් ආරක්ෂක පියවරක් වුනා.

“Hi Yasith! what’s the time?”

යසිත් සී.අයි.ඒ හෝ ආරක්ෂක අංශවල ග්‍රහණයට හසුව, ඔහුව විදුලි පහන් සංඥා පණිවුඩය එවන්නට බලහත්කාරයෙන් පොළඹවා ගත්තානම්, කැලුම්ට රහසින් ඒ බව ඇඟවීම මේ පණිවුඩ හුවමාරුවේ සිදුවිය යුතු වුනා. යසිත් යම් ග්‍රහණයකට හසුවී ඇතිනම් ඔහු එවිය යුතුවූයේ කොළඹ නගරයේ වෙලාවයි. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයින් නිසා, යසිත්ට තමන් ග්‍රහණයේ සිටින්නන්ට කොළඹ වෙලාව යැවිය යුතු බවට ඒත්තු ගන්වන්න පුලුවන් විය හැකි බව කැලුම් අනුමාන කලා. මෙහෙයුම ක්‍රියාත්මක කල හැකි නම් යසිත් බැග්‍රැම් වෙලාව එවිය යුතු වුනා. මේ මොහොතේ කොළඹ වෙලාව රාත්‍රී 11.14 වූ අතර ඊට හරියටම පැයක් පසුපසින් සිටි බැග්‍රැම් වෙලාව රාත්‍රී 10.14 වුනා. යසිත් අසුවෙලා නම් ඔහු වෙලාව 11.14 යයි පිලිතුරු දෙනු ඇති. එවිට කැලුම් වහාම පලායායුතු වුනා.

“Hi, Kelum….its 10.14pm…..the mission is on….”

“Super!....what a relief…. :D ”

කලින් කතාකරගත් පරිදි කැලුම් ඊලඟට ගතයුතු පියවර යසිත් කැලුම්ගේ දුරකතනයට යැවුවා. ඉතා ඉක්මණින් කලයුතුවූයේ කැලුම්ට විද්‍යාගාරයට ඇතුලුවිම සඳහා ඔහු සොරා ගත් හම්වී ජීප් රථය අවසර ලැබූ රථයක් ලෙස සකස්කර ගැනීමයි. සෑම ඇමරිකන් හමුදා රථයකටම RFID නම් රේඩියෝ තරංග මගින් හඳුනාගැනීමේ චිපයන් සවිකොට ඇති අතර මෙම චිප් මගින් යැවෙන සංඥා අනුව මුරපොල වලදී රථය ස්ව‍යංක්‍රීයව හඳුනාගැනෙනවා. මුරපොලේ භටයෙකු අත ඇති ඩිවයිසයක් මගින් රථයේ චිපයෙන් දෙන දත්ත කියවන අතර එම දත්ත වයර්ලස් ජාලයක් හරහා ආරක්ෂක අංශ පරිගණක පද්ධතියට යවා රථයට ලබාදී ඇති ගමන් අවසරයන් හා එය භාවිතා කරන නිළධාරීන් පිලිබඳව තොරතුරු ලබාගන්නවා. සෑම මුරපොලකදීමේ එය පසු කරන රථවලට, බැග්‍රැම් කඳවුරේ එම පෙදෙසට ඇතුලුවීමට අවසර ඇතිදැයි පිරික්සා බැලෙන්නේ මේ අනුවයි.

කැලුම්ගේ රථයට විද්‍යාගාර පරිශ්‍රයට ඇතුලුවීමට නම් එහි චිපයේ තොරතුරු විද්‍යාගාරයට ඇතුලුවීමට අවසර ඇති වාහන ලයිස්තුවේ සටහන්වී තිබිය යුතුයි. මේ සඳහා යසිත්, කැලුම්ගේ වාහනයේ තොරතුරු ඉක්මණින් ලබාගෙන, බැග්‍රැම් ආරක්ෂක අංශ පරිගණක ජාලයට රහසින් ඇතුලුවී එහි විද්‍යාගාරයට ඇතුලුවීමට අවසර ඇති ලයිස්තුවට ඇතුලත් කලයුතු වුනා. දක්ෂයෙකු වූ යසිත්ට මිනිත්තු කිහිපයකදී මේ කටයුත්ත කල හැකි වුනත් ඒ සඳහා කැලුම් ලබා ගන්නා වාහනයේ තොරතුරු අවශ්‍ය වුනා.

මේ සඳහා මුලින්ම වාහනගේ ඇන්ජින් අංක ආදී දත්ත සටහන් කොට ඇති දත්ත තහඩුව සොයාගත යුතුවුනා. කැලුම් ඇමරිකන් යුධ වාහන ගැන නොදන්නා නිසා දත්ත තහඩුව ඇති තැන ඉක්මණින් සොයා ගැනීමට ඔහුට උදව්වීමටද යසිත්ට සිදුවුනා.

"Whts the vehicle?"

"Humvee"

"Wow...cool ride bro..wait..."යසිත් හම්වී වාහනවල දත්ත තහඩුව ඇති තැන නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් සොයන්නවුනා.

"ඩ්‍රයිවර්ගේ පැත්තේ දොර රාමුවේ පහතින් ඇති...බලන්න....ෆෝන් කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන එවන්න.....ෆ්ලෑෂ් එක වදියි බලාගෙන...ඒක ඕෆ් කරලා එවන්න.....ෆොටෝ එක කලු වුනාට කමක් නෑ...මට ඩේටා අරගන්න පුලුවන්......"

"හරි ..... ෆොටෝ එක හම්බුවුනා....විනාඩි දහයක් දෙන්න...මම GO කියලා මැසේජ් එකක් එව්වාට පස්සේ ලැබ් එකේ බැරියර් එකට යන්න..... බැරියර් එක පහුකරලා ආවාම මම ඉතුරු ටික කියන්නම්...."

අපහසුවෙන් ගතකල විනාඩි 8කින් පස්සේ යසිත්ගේ මැසේජ් එක කැලුම්ගේ දුරකතනයේ සටහන් වුනා. වාහනය පණගන්වාගෙන පාරට ගත් කැලුම් සෙමින් ගමන් කරන්නට වුනා. කඳවුර තුල වේග සීමාව පැ.සැතපුම් 15ක් වූ අතර කැලුම් එම වේගය රඳවා ගත්තා. විනාඩි 5කින් පමණ Storage Facility 17 ලෙස සටහන් කල පුවරුව අභියස තිබූ ආරක්ෂක බැරියරය ලඟ වාහනය නැවැත්වා මුර සෙබලා වාහනය වෙත එනතෙක් කැලුම් බලා සිටියා. ඔහුගේ නළලෙන් දහදිය බිඳු වැක්කෙරෙන්න වුනා.

යසිත් කියපු විධියට මුර සෙබලා අත ඇති ස්කෑනර් ඩිවයිස් එක වාහනේ චිප් එක කියවලා විනාඩි දෙකක් ඇතුලත බීප් ශබ්දයක් නිකුත්කරනවා. ඒ කියන්නේ යසිත් හොරෙන් ඇතුලු කරපු වාහන පාස් එක වැඩ කරලා. එක දිගට බීප් බීප් බීප් ශබ්දය එනවා නම් වැඩේ පත්තුවෙලා. එහෙම වුනොත් කෝල් එකක් අරගෙන කියන්න කියලයි යසිත් කිව්වේ. එයා මුර පොලට කතා කරලා අවසර ගන්න බලන්නම් කිව්වා.

නිදිබේරෙන මැදිවියේ සෙබලෙක් එක් අතක ස්කෑනරයත්, අනෙක් අතේ ටෝච් එකකුත් අරගෙන ආවා. ටෝච් එක රියදුරු අසුන ලඟ වීදුරුවෙන් කැලුම්ගේ මූණටම එල්ල කල සෙබලා ඔහුගේ මුහුණ හොඳින් නිරීක්ෂණය කලා. සැර ආලෝකය නිසා ඇස් පුංචි කරගත් කැලුම් ගැහෙන හදින් ඉදිරිය බලා සිටියා.

“Whaal what brings ya ‘ere at this time of the night….?” සෙබලා ගොරහැඩි හඬකින් ඇසුවා. කැලුම්ගේ දැනුමේ හැටියට මේ ආකාරයට මේ ආකාරයට සමහර වචන බරකරමින්, සමහර ඒවා අදිමින් කතාකරන්නේ ඇමරිකාවේ දකුණු පලාත්වල අය. කැලුම්ගේ ඇමරිකන් මිතුරන් එවැන්නන්ට කිව්වේ "Southerners"කියලයි. ඇමරිකන් සිවිල් යුද්ධයේදී දකුණේ සදනර්ස්ලා, උතුරේ නොදර්නර්ස්ලාගේ පාලනයෙන් මිදිලා වෙන්වෙන්න උත්සහ කලා. උතුරේ නායකයා වුනේ ඒබ්‍රහම් ලින්කන්. දකුණේ නායකයා වුනේ ජෙෆර්සන් ඩේවිස්. දකුණ පැරදිලා උතුර දිනුවා. ඒත් තවමත් ඒ අමිහිරි මතකයන් ඇමරිකානුවන් අතර තියෙනවා. දකුණේ ඉන්නේ කරදරකාරයින් බවයි අනෙකුත් ඇමරිකානුවන් අදහන්නේ.

කෙසේවෙතත් කැලුම් හැඳ සිටි මාස්ටර් සාජන්ට් නිළ ඇඳුම දුටු වහාම මදක් ගැස්සුනු සෙබලා සැලූට් එකක් ගැහුවා. කැලුම් හැඳිය යුත්තේ ඇමරිකන් ත්‍රිවිධ හමුදාවෙන් මොන හමුදාවේ නිළ ඇඳුමක්ද, මොන නිළයක ඇඳුමක්ද යන්න පිලිබඳව දෙදෙනා අතර දීර්ඝව කතා කෙරුනා. කැලුම් යුධ හමුදාවේ නිළ ඇඳුමක් හැඳිය යුතු බවට යසිත් යෝජනා කලේ කඳවුරේ බොහෝ මුරපොලවල් ඇමරිකන් යුධ හමුදාව පාලනය කල නිසයි. යුධ හමුදා නිළ ඇඳුමක් ඇඳීමෙන් මුර පොළවල් පසු කිරීම පහසු බව යසිත්ගේ අදහස වුනා. එහෙත් කැලුම් ඊට අකමැති වුනා.

"ආමි යුනිෆෝම් එකක් ඇන්දොත් අමාරුවේ වැටෙන්න පුලුවන්....ගාඩ්ලට මගේ හැසිරීම හමුදාවෙ කෙනෙක් ගේ නෙමයි වගේ කියලා වැටහෙන්න පුලුවන්....ඊට වඩා ලේසියි එයා ෆෝස් යුනිෆෝම් එක අඳින එක. අනවශ්‍ය ප්‍රශ්ණ වලින් ගැලවෙන්න ලේසියි.."

"හරි...අයියා එහෙම හිතනවා නම්.......මොනවගේ රෑන්ක් එකක යුනිෆෝම් එකක්ද හොඳ?"

"නිළය ටිකක් ඉහල වෙන්න ඕනෑ....සෝල්ජර් රෑන්ක් එකේ ඉන්න උන් ඔෆිසර්ලා එක්ක වැඩිය කතාවට එන්නේ නෑ.....ඒත් වැඩිය ලොකු රෑන්ක් හොඳනෑ........ඉහල නිළවල ලොක්කන් තනිවම වාහන එලවගෙන යන්නේ නෑනෙ....."කැලුම් සිය අදහස පැහැදිලි කලා.


Storage Facility 17

“I was asked to deliver this to the lab A-SAP…….. Some data sets from Langley ….arrived from stateside today…”

වාහනයේ ඉදිරිපස අසුන මත තිබූ පැකට්ටුව පෙන්වමින් කැලුම් කිව්වා. ඔහු මුරසෙබළාගේ මුහුණ නොබලා ඉදිරිය බලාගෙන හිටියා. කැලුම්ගේ මුහුණට යොමුවූ තිබූ විදුලි පන්දම ඉදිරිපස අසුන වෙත යොමුවුනා.

කැලුම් මුර සෙබලාට පැවසූ වාක්‍යය ලබා දුන්නේ යසිත්. එය එලෙසම කටපාඩම් කරගෙන කියන ලෙස කැලුම්ට උපදෙස් ලැබුණා. ඒ-සැප්, ඩේටා සෙටස්, ලැන්ග්ලි, ස්ටේට් සයිඩ් ආදී යෙදුම් ඇමරිකානුවන් නිතරම භාවිතා කරන, හැම ඇමරිකානුවෙක්ම දන්නා යෙදුම් වුනා. ඒ-සැප් ලෙස ඇමරිකානුවන් භාව්තා කරන්නේ "as soon as possible"යන වාක්‍යයේ කෙටි යෙදුමේ ඇමරිකන් උච්චාරණයයි. ඩේටා සෙට්ස් වලින් දත්ත සමූහයක් යන්න වන අතර ලැන්ග්ලි යනුවෙන් ඇමරිකානු හමුදාවලට සම්බන්ධ වූවන් අදහස් කරන්නේ වර්ජිනීයා ප්‍රාන්තයේ ලැන්ග්ලි නගරයේ පිහිටා ඇති සී.අයි.ඒ ඒජන්සියේ මූලස්ථානයයි. ස්ටේට්-සයිඩ් යනු ඇමරිකා එක්සත් ජනපදයෙන් ආවා යන්නයි. මේවා කැලුම්ට නුහුරු නිසා ඒවා නිවැරදිව කටපාඩම් කරගන්නා ලෙස යසිත් උපදෙස් දුන්නා.

අසුන ඉදිරිපිට වූ පැකට්ටුව කැලුම් විසින් සකසන ලද්දක්. එය තුල ලැප්ටොප් හාඩ් ඩිස්කයක් වූ අතර එවැනි පැකට්ටු නිතරම විද්‍යාගාරය වෙත CIA හා NSA මූලස්ථානවලින් ආවා. මේ පැකට්ටුව කැලුම්ට ලැබුණේ යසිත් ගෙන්. සමුගැනීමේ ත්‍යාගය ලෙස යසිත් රැපින් පේපර් කඩදාසියක ඔතා එය ස්ටාර්බක්ස් එකේදී "තෑගි දුන්නේ"කාටත් සැක නොසිතෙන ලෙසිනුයි.

යසිත්, කැලු ගමන් කලයුතු මාර්ග, මග සළකුණු, සිදුකලයුතු දෑ යනාදී සියල්ලම සූක්ෂම සැළසුම් කොට කැලුම්ට මතක තබාගැනීමට පහසු ලෙස සකස් කොට තිබුණා. ගණිතඥයෙකු හා පරිගණක විශේෂඥයෙකු වූ ඔහු ලබාදුන් සියලු උපදෙස් පරිගණකයකට විධාන දෙන පරිගණක වැඩසටහක් මෙන් වුනා.

"ඉස්සෙල්ලා මේක කරන්න...ඊට පස්සෙ මේ වැඩේ..... A ගැටලුවේදි මෙහෙම කරන්න...ගැටලුව B නම් මේ පියවර ගන්න...."

ලාංකිකයෙකු වූ කැලුම් තම රටේ දක්ෂ තරුණයෙකු වූ යසිත් ගැන ආඩම්බර වුනා. ඒ වගේම ඒ දක්ෂයාගේ අනාගතය විනාශකරන්නට දායකවීම ගැන දුකකුත් තිබුණා.

කැලුම්ගේ විස්තරය පිලිගත්තාක් මෙන් "ඕකේයි..."යනුවෙන් පැවසු මුරසෙබලා ස්කෑනරය ක්‍රියාත්මක කොට එය වාහනයේ බොනට්ටුව අසල එහාට මෙහාට වැනුවේ වාහනයේ සවිකොට ඇති RFID චිපයෙන් නිකුත්වන සංඥා හසුකර ගැනීමට. තත්පර 30කින් පමණ බීප් ශබ්දයක් ඇසුනු අතර සෙබලා මුර කුටිය වෙත ගොස් බැරියරය විවර කලා. සැනසුම් සුසුමක් හෙලූ කැලුම් වාහනය සෙමින් ඉදිරියට ගත්තා.

දක්වා තිබූ මාර්ගයේ ගමන්කල කැලුම් වාහනය නවතා තෙවරක් හෙඩ් ලයිට් එක ෆ්ලෑෂ් කලා. දොරක් විවර කරගෙන යසිත් එලියට පැමිණි අතර කැලුම් වාහනයෙන් බසින විට ඔහු අසලට දිව ආවා.

"ඔක්කොම හරි......ඇතුලෙ ගාඩ්ලා බිසී......ෆුට් බෝල් මැච් එකක් බලනවා....යමු..."

"කී කාඩ් කොපිකර ගත්තද?"

"ඔව්...."

"වැඩ කරයිද?"

"දන්නේ නෑ ඉතින්....තව ටිකකින් දැනගත හැකිනේ...."

"අර තියෙන්නේ ඩිරෙක්ටර්ගේ ඔෆිස් එක..."කැලුම් හතරැස් පෙට්ටියක් මෙන් තැනක් දක්වා සිටියා. එය සැබැවින්ම අනුවර්තනය කරන ලද අඩි 20 කන්ටේනර් පෙට්ටියක්. ඩිරෙක්ටර්ගේ ඔෆීසියේ වහලයෙන් ඉහලට දිවෙන විශාල වයර් බන්ඩලයක් දකින්නට තිබුණා.එය වටා කාර්යාලීය මේස පුටු ගණනාවක් තිබුණා.

ඒවා මත ලිපි ගොණු, පරිගණක හා වෙනත් කාර්යාලීය උපකරණ දකින්නට ලැබුණා.

"කෝ මේ කට්ටිය....ඔයා කිව්වා නේද පැය 24ම වැඩ කියලා?"

"කොම්පියුටර් ලැබ් එක විතරයි 24X7 වැඩ....මේ ඇඩ්මින් සෙක්ෂන් එක.."

"ඒ කියන්නේ මේ දැනුත් ලැබ් එකේ කට්ටිය ඉන්නවා?"

"ඔව්....."

"උන් එකෙක් හරි එලියට ආවොත්?"

"බය වෙන්න දෙයක් නෑ... උන් නිදි..."යසිත් සිහනවක් පෑවා.

"නිදි?? මල්ලි ඔයා ඒ මිනිස්සුන්ට මොනවා හරි කලාද?"කැලුම්ට හදිසියේම බියක් දැනුනා. යසිත් ඒ මිනිස්සුන්ව මරාදැම්මාදැයි සැකයක් ඔහුට ඇතිවුනා.අහිංසක මිනිස්සුන්ට ජීවිත අහිමිවන දෙයක් කරන්නට කැලුම් තුල කිසිම අදහසක් තිබුණේ නෑ.

“මල්ලි ඔයා මොනවද කලේ?"යසිත් කොපි කරගත් කී කාඩ් එකකින් ඩිරෙක්ටර්ගේ ඔෆීසියේ දොර විවරකරද්දී කැලුම් මදක් තදින් ඇසුවා.

"බය වෙන්න එපා අයියා... මම හොඳ බෝලයක් බැස්සුවා..."පැවසූ යසිත් අධ්‍යක්ෂකවරයාගේ අසුනේ හිඳගෙන ඔහුගේ පරිගණකය ක්‍රියාත්මක කලා.

යසිත් කිසි කළබලයක් නැතුව අධ්‍යක්ෂකවරයාගේ පරිගණකය හැක් කරමින් සිටියා. ඔහුගේ ඉරියව් ගැන සැකසිතුනු කැලුම් ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා. යසිත් වේගයෙන් යතුරු පුවරුවෙන දත්ත ඇතුලුකරමින් සිටියා.

"මල්ලි විහිලු නෙමෙයි....ඔයා මේ මිනිස්සුන්ට මොකක් හරි අණතුරක් කලාද?"

පරිගණක තිරය දෙස බලාගෙන සිය කටයුත්ත කරමින්ම යසිත්..

"නෑ අයියා...මම පව්කාර වැඩ කරන්නේ නෑ..... මම දළදා පෙරහැරේ යූ ටියුබ් වීඩියෝ එකක් ඔෆිස් එකෙයි ලැබ් එකෙයි හැමෝටම ශෙයා කරලා....පෙරහැරේ ඉතිහාසයයි, තව විස්තර ටිකකුයි කියලා පෙරහැර සෙලිබ්‍රේට් කරන්න හැමෝටම මගේ ගානේ ඩෝනට් අරන් දෙනවා කිව්වා....ඇමරිකන්කාරයෝ ඩෝනට් කන්න රුසියෝ..."

මම උදේ ශිෆ්ට් එකේ අයටත් ඩෝනටුයි කෝපියි ගෙනල්ලා දුන්නා.....හවස ෂිෆ්ට් එකේ අයටත් දුන්නා......හැබැයි හවස ෂිෆ්ට් එකේ අයගේ කෝපි වලට නිදි බෙහෙත් දැම්මා...... ලැබ් එකේ සික් රූම් එකක් තියෙනවා...ඒකේ සාමාන්‍ය හමුදා ප්‍රථමාධාර කට්ටලයි බෙහෙතුයි තියෙනවා.......එකේ තිබ්බ වැලියම් නිදි බෙහෙත් බෝතලයක් මම හොරකම් කරගෙන ඒවා කෝපි වලට දාලා දුන්නා......හැමෝම පැය 7ක් 8ක් හොඳට නිදාගෙන නැගිටියි...එච්චරයි...."යසිත් .

"එතකොට ගාඩ් රූම් එකේ ගාඩ්ලා.....ඔයා කිව්වා උන් මැච් එකක් බලනවා කියලා?"කැලුම් සැකයෙන් ඇසුවා.

"අයියා මාව විශ්වාස කරන්නේ නෑ නේද?” යසිත් පරිගණක තිරයෙන් මොහොතකට දෑස් ඉවතට ගෙන කැලුම් දෙස බැලුවා.

“......... කමක් නෑ....මට අවුලක් නෑ....මම කියන්නම්......ගාඩ්ලාට දීපු කෝපි වලට වැලියම් ඩ්‍රොප්ස් දැම්මේ නෑ.....මොකද පැය දෙකකට සැරයක් සෙකියුරිටි චෙක් එකක් වෙනවා...... එතකොට ගාඩ්ලා නිදිනම් වැඩේ බකට්.....උන් මැච් එක බල බලා ඉඳියි...අපි අපේ වැඩේ කරගෙන මාරු වෙමු....උන් කවදාක්වත් ඇතුලේ ඇවිදින්නේ නෑ..."

"සොරි යසිත්..."කැලුම් යසිත්ගේ උරහිසට සුරත තබා සමාව ඉල්ලුවා.

"නෝ ප්‍රොබ්ස් අයියා…” යසිත් පරිගණකය ක්‍රියාත්මක කරන ගමන් පැවසුවා.

"අයිගෙ සැකය ගැන මම අවුල් නෑ...ඒක හොඳයි...මම මිලිටරි නොවුනත් අවුද්දක් විතර සී.අයි.ඒ එකත් එක්ක වැඩ කරනවා...ඒ නිසා මම සැකයේ වාසිය හොඳට දන්නවා...සි.අයි.ඒ කාරයෝ අම්මා තාත්තාවත් සැක කරන්න ට්‍රේන් වුනු අය...සමහර වෙලාවට එයාලා පොඩි දේවල් පස්සේ යන විධිය හිතා ගන්නත් බෑ .....දැන් මාස තුනකට විතර කලින් බැග්‍රැම් සීනියර් මිලිටරි ඔෆිසර්ලාගේ මෙස් එකේ පාටියක් තිබුණා. ඒකට ඇෆ්ඝන් ආමි එකේ සීනියර් ඔෆිසර්ලා කිහිප දෙනෙකුට ආරාධනා කරලා තිබුණා. හොඳටම විශ්වාසවන්ත මිනිස්සු. ඒකයි මෙස් එකට ඉන්වයිට් කරලා තිබුණේ.

ඇනලිස්ට් කෙනෙක් විධියට පුහුණු වෙන තරුණ CIA ට්‍රේනි කෙනෙක් ඔය පාටි එක CCTV වලින් බලාගෙන ඉඳලා තියෙනවා. එයා දැකලා තියෙනවා එක ඇෆ්ඝන් ආමි ඔෆිසර් කෙනෙක් එයාගෙ බීම වීදුරුව වම් අතින් අල්ලගෙන බොනවා. කෙල්ලට මේක ගැන සැකයක් හිතිලා. මොකද ඇෆ්ඝන් කාරයෝ බොහොම සාම්ප්‍රදායික මිනිස්සු. එයාලා කෑම බීම වම් අතින් ගන්නේ නෑ. වම් අත කිළුටුයි කියලා ඔවුන් හිතනවා. කෙල්ල මේක එයාගෙ ට්‍රේනින් ඔෆිසර්ට පෙන්නලා. එයත් සැක හිතලා පාටිය අතරෙම මිනිහව හෙමින් පැත්තකට අරගෙන පරික්ෂාකරලා.

එතකොට දැකලා තියෙනවා මිනිහගේ දකුණු අතේ ඇඟිලිවල පිලිස්සුම් තුවාල. මිනිහා කියලා උයන්න ගිහිල්ලා පිච්චුනා කියලා. ඒකත් වෙන්න බැරි දෙයක් මොකද ඇෆ්ඝන් මිනිස්සු කුස්සියේ උයනවා නෙමෙයි පලාතක යන්නේ නෑ. ඇෆ්ඝන් සාම්ප්‍රදාය අනුව කුස්සිය ගෑණුන්ගේ තැනක් මිසක් පිරිමි අඩිය ගහන තැනක් නෙමෙයි. අනික මිනිහා තනිකඩයෙක් වුනාට ගෙදර නංගි කෙනෙක් ඉන්නවා. පස්සෙ මිනිහගෙ ගෙදර රේඩ් කරලා බැලුවම සෙරමික් තේ පෝච්චියක් ඇතුලේ සූක්ෂ්වම හයි කරපු බෝම්බයක් හොයාගෙන. මිනිහගෙ ඇඟිලි පිච්චිලා තියෙන්නේ පෝච්චිය ඇතුලේ බෝම්බේ වයර් පාස්සන්න ගිහිල්ලා. මිනිහගෙ ප්ලෑන් එක ඊලඟට මිනිහට ආරාධනා ලැබෙන උත්සවයකට ඕක අරගෙන එන්න.

සී.අයි.ඒ ට්‍රේනින් වෙන අලුත් කෙල්ලක් ඇෆ්ඝන් මිනිහෙක් වමතින් බීම වීදුරුවක් අල්ලගෙන බොන්නේ ඇයි කියලා ඇතිකරගත් සැකේ නිසා ජීවිත මහ ගොඩක් බේරුනා.....ඒක තමයි සැකයේ වාසිය....”

“වැඩේ හරි. සේප්පුව අන්ලොක් කරන්න කමාන්ඩ් එක යැවුවා..යමු..."

"සේප්පුව තියෙන්නේ මේ පැත්තේ.......අර කන්ටේනර් හතරක් එකට පූට්ටුකරලා තියෙන්නේ අපේ ලැබ් එක..."

එකට පූට්ටුකරපු අඩි 40 කන්ටේනර් 4ක ඉදිකෙරුමක් කැලුම්ට දිස්වුනා. ඒ කන්ටේනර් සුදුපැහැයෙන් වර්ණගන්වා තිබුණා. යසිත් පෙන්වූ දිශාවට සෙමින් දිවගිය ඔවුන් යකඩ කාමරයක් මෙන් පෙනුනු තැනක නැවතුනා. එහි දොරෙහි ඩිජිටල් අගුලක් සවිකර තිබෙණු කැලුම් දුටුවා.

"ඩිරෙක්ටර්ගේ කී කාඩ් එකෙන් මේකත් අරින්න පුලුවන්...මේක ඇතුලෙ තමයි සේප්පුව තියෙන්නේ...."

යසිත් කී කාඩ් එක ඇතුලු කරලා තත්පර 10කින් විතර "ක්ලික්"ශබ්දයක් ඇසුනා.යකඩ කාමරය තුල විශාල CHUBB වර්ගයේ සේප්පුවක් දිස්වුනා. සේප්පුවේ දෙපස කී කාඩ් අතුලු කල හැකි කාර්ඩ් රීඩර් දෙකක් තිබුණා. ඒ දෙක තිබුනේ එකිනෙකට අඩි 8ක් පමණ ඈතින්. ඒ කියන්නේ තනි කෙනෙකුට කාඩ් දෙකම එකවර ඇතුලු කරන්නට බැරි ලෙස එය සකසා තිබුණා. ඒ ආරක්ෂක පියවරක් ලෙසයි.

"හරි අයියා...මේ කී කාඩ් එක ඔය ස්ලොට් එකට දාන්න....දෙකම එක පාරම දාන්න ඕනෑ....එකයි..දෙකයි..තුනයි....කියලා දාමු...."යසිත් කැලුම් අතට කී කාඩ් එකක් දෙමින් උපදෙස් දුන්නා. යසිත්ගේ ගැනීම අවසන් වෙන්කොට කැලුම් කී කාඩ් එක දැම්මා. එහාපැත්තෙන් ඒ මොහොතේම යසිතුත් සිය කී කාඩ් එක ඇතුලුකලා.

"ටිකක් ඉමු..."යසිත් කිව්වා. ගතවෙන කාළය පැය ගණනාවක් වගේ කැලුම්ට දැනුනා. හරියටම තත්පර 30කට පස්සේ සේප්පුවේ දොරෙහි ඇති සංකීර්ණ ලොකින් යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන හඬ ඇසුනා. "ර් ර් ර්.. ක්ලැක්....ර් ර් ර්...ක්ලැක්...."හඬ නගමින් අගුලු එකින් එක යන්ත්‍රාණුසාරයෙන් විවරවෙන හඬ ඇසුනා.තව තත්පර කිහිපයක් නිහඬව ගෙවුනුන් අතර එක්වරම "ඩිං"ශබ්දයක් සමග සේප්පුවේ උඩින් තිබූ කොළ පැහැති බල්බය දැල්වුනා.

"හරි සේප්පුව අන්ලොක් වුනා.......කී කාඩ් එක එහෙමම තියන්න. අපිට විනාඩි 10යි තියෙන්නේ. විනාඩි 10කින් වැහුවේ නැතිනම් සෙකියුරිටි ඇලට් එකක් යනවා.. සේප්පුව ඇරිලා කියලා...."

සේප්පුවේ දොරට සවිකර තිබූ කරත්ත රෝදයක් මෙන් පෙනුනු යකඩ රෝදය කැරකැවූ යසිත් එයින්ම ඇද සේප්පුවේ දොර විවර කලා. ඇතුලට කුඩා විදුලි බුබුළු වලින් ආලෝකමත්වී තිබුණා. සේප්පුවේ තට්ටු ගණනාවක් තිබූ අතර ඒවා මට ලිපිගොණු, හාඩ් ඩිස්ක, සී.ඩී තැටි ගොඩ ගසා තිබුණා. තවත් තට්ටුවක සංකීර්ණ පරිගණක සර්කිට් බෝඩ් මෙන් පෙනෙන පුවරු බබල් රැප් වල ඔතා ගබඩා කොට තිබුණා. ඒවගේම පැරණි පුස්කොළ පොත්, බුදු පිලිම, පැරණි අකුරු ලියූ මටි තැටි ආදී කෞතුක වස්තූන් රැසක්ද තිබුණා. ඉහලම තට්ටුවේ වීදුරු පෙට්ටියක බහාලූ රන්වන් කියුබයක් දිස්වුනා.

"මේ තියෙන්නේ අපි හොයන එක....මේකට තමයි අපි මේ මැරෙන්න යන්නේ..."යසිත් වීදුරු පෙට්ටිය එලියට ගනිමින් පැවසූවා. එය කැලුම් අතට දුන් යසිත් පෙට්ටිය විවර කොට රන්වන් කියුබය එලියට ගත්තා. එය රූබික් කැටයකට වඩා මදක් විශාලයි. රන්වන් මතුපිටේ යම් ආකාරයක අකුරු රැසක් කොටා තිබෙන ආකාරය කැලුම් දුටුවා.

කියුබය අතට ගත් යසිත් සිය සාක්කුවෙන් ගත් ලේන්සුවකින් ඔතාගත්තා. කෝ දෙන්න වීදුරු පෙටිටිය මට. කියුබ් එක ඔයා ගන්න. ඒක ඔයා ලඟ තියෙන එක වඩා ආරක්ෂිතයි. කැලුම් වීදුරු පෙට්ටිය වසා යලිත් සේප්පුව තුලට දමා සේප්පුව වැහුවා.

"කී කාඩ් දෙකම එකපාර එලියට ගන්න ඕනෑ...එතකොට ඉබේම ලොක් වෙනවා....එච්චරයි...."යසිත් පැවසුවා.

සේප්පුව තිබූ යකඩ කාමරයද ඉක්මණින් වසා දැමූ කැලුම් කී කාඩ් එක එලියට ගනිද්දී කැලුම් වටපිට විමසිලිවත්ව නිරීක්ෂණය කලා.

"යමු වාහනේට..."දොරවසා අවසන් වෙද්දී කැලුම් කිව්වා.

"නෑ නෑ...ඔයාගෙ ජීප් එකේ මාත් එලියට ගියොත් ගාඩ්ලා සැක කරනවා....එලියට යනකොටත් ටැග් රීඩින් එක ගන්නවා. වාහනේ ඉන්න අයගැනත් සටහන් කරනවා. මේ රෑ ලැබ් සේවකයෙක් වාහනයකින් එලියට ගියා කියන එක සැක සහිත බව අනිවාර්යයෙන් වාර්තා වෙනවාමයි. මම රෑට කෝපි බොන්න පයින් එන්නෙත් ලැබ් එකේ ගාඩ් රූම් එකට කියලා, එයාලා ලව්වා එලියේ ගාඩ් රූම් එකට දන්වලා අවසර අරගෙන.

"මතකද මම කිව්වා හදිසියකදී ලැබ් එකේ උපකරණයි වැඩකරන අයයි ඉවත්කර ගන්න ප්ලේන් එකක් ලෑස්ති කරලා තියෙනවා කියලා. අපි යන්නේ ඒ හදිසි ඉවත්වීමේ මාර්ගයෙන්. මේ ලැබ් එකේ ඉඳන් ලොකු ටනල් එකක් තියෙනවා ධාවන පථය ලඟ හැඟර් එකකට. එතනට ගේන ප්ලේන් එකකින් ඉවත් වෙන්න තමයි හදිසි සැලසුම් සකස්කරලා තියෙන්නේ...ඒ හැඟර් එක Lockheed Martin කියන ලොකු ඩෙෆෙන්ස් රීසර්ච් සමාගමට බදු දීපු හැඟර් එකක්. එතන සමාගමේ පර්යේෂණ හා තාක්ෂණ සේවකයින් තමයි වැඩ කරන්නේ….මගෙ පස්සෙන් එන්න...ඉක්මණට යමු"

මංජුසාව ජැකට්ටුවේ අතුලු සාක්කුවේ දමාගත් කැලුම් යසිත් පසුපසින් දිවගියා. දොරවල් කිහිපයකින් පිටවුනු ඔවුන් විනාඩි කිහිපයකින් මද ආලෝකයෙන් යුතු උමගට පිවිසුනා. උමගේ බිම යකඩ තහඩු දමා තිබූ අතර බිත්ති කොන්ක්‍රීට් වලින් සකසා තිබුණා.

"මේක කොච්චර දිගද?"

"කිලෝමීටර් දෙකහමාරක් විතර.....ඒකට ටිකක් ඈතින් USAF එයා මෙටීරියල් කමාන්ඩ් එකේ හැඟර් එකයි එයාලගෙ ගුවන්යානා පාර්ක් කරන ඒරියා එකයි තියෙනවා."

"හැඟර් එකේ මේවෙලාවේ කවුරුවත් නැද්ද?"

"රෑට වැඩ නෑ කියලා තමයි ආරංචිය...බැග්‍රැම් බේස් එක මැද්දේ තියෙන හින්දා ගාඩ්ලා නෑ. ..හැබයි මෙටීරියල් කමාන්ඩ් එක පැය 24ම වැඩ"

"ඔයා කොහොමද මේ පාරවල් දන්නේ..."කැලුම් විමසුවා.

“එක පාරක් අපිව හදිසි අවස්ථා ප්‍රතිචාර පුහුණුවකදී මේ ටනල් එකයි හැඟර් එකයි පෙන්නන්න ගෙනවා. ඒ මතකෙන් තමයි මේ යන්නේ…”

බැග්‍රැම් ගුවන් කඳවුර - නිරිතදිග අන්තය


Lockheed Martin Research Facility (a.k.a Area 52) | ලොක්හීඩ් මාටින් සමාගමේ පර්යේෂණාගාරය (අන්වර්ත නාමය - ඒරියා 52)

උමග කෙළවර යකඩ තරප්පු පෙලක් තිබූ අතර එය දොරකින් අවසන් වුනා. යසිත් දොර විවරකල අතර එය අඳුරින් වැසුනු අතිවිශාල ගුවන්යානා හැඟරයකට විවෘතවුනා. දොර ඉදිරියෙන්ම, ඇතුලුවන්නන්ගේ ගමන්මග අවුරන්නට මෙන් විශාල නිවේදන පුවරුවක් සවිකොට තිබුණා.

“You have entered a Lockheed Martin Aeronautics Corporation facility. Any person without US Department of Defense (DOD) Level 5 Security Clearance will be allowed to proceed beyond this point. Please report to security office and present your credentials.”

[ඔබ පිවිසෙන්නේ ලොක්හීඩ් මාටින් ගගනවිද්‍යා සමාගමට අයත් පරිශ්‍රයක් වෙතයි. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත්කල 5වැනි තලයේ ආරක්ෂක අවසරයක් නොමැති කිසිවෙකුට මේ ස්ථානයෙන් ඉදිරියට ගමන්කිරීමට අවසර නැත. කරුණාකර ආරක්ෂක කාර්යාලයට වාර්තාකොට ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට සහයවන්න.]

“DOD Level 5 කියන්නේ ගොඩක් ඉහල ආරක්ෂක අවසරයක්"පුවරුව කියවමින් සිටි කැලුම් දෙස බලමින් යසිත් පැවසුවා.

"ඔයාගෙ සෙකියුරිටි ක්ලියරන්ස් එක ලෙවල් කීයද?"කැලුම් යසිත් ගෙන් ඇසුවා.

“Level 5…” යසිත් ආඩම්බරෙන් කියමින් ඔහුගේ ආරක්ෂක අවසර පත්‍රය පෙන්වූවා.. "හරිනම් මට විතරයි මෙතනින් ඉස්සරහට යන්න පුලුවන්"

“නියමයි...අපිව අහුවුනාම ඕක පෙන්නන්න...දැන් යමු..."කැලුම් මදසිනා පාමින් පැවසූවා. යසිත්ටත් සිනහගියා.

හැඟරය මැදින් ඉදිරියට යද්දී විශාල ටාපොලින් ආවරණ වලින් වසා ඇති කුඩා යානා කිහිපයක් දුටු කැලුම්ගේ කුතුහලය ඇවිස්සුනා.

'මොනවද මේ වහලා තියෙන්නේ....ඩ්‍රෝන්ද?"

"ඔව්...ඕවා නිසා තමයි බැග්‍රැම් වලට Area 52 කියන නම වැටිලා තියෙන්නේ....ඕවා කෘත්‍රිම බුද්ධි AI stealth ඩ්‍රෝන්. කිසිම කෙනෙක්ගේ පාලනයක් නැතුව තනිවම ගුවන්ගත වෙලා මිෂන් එක කරලා තනිවම ලෑන්ඩ් කරන්න පුලුවන්. ඒවගේම ෆයිටර් ජෙට් එක්ක එකට පියාසර කරලා මිනිස් පයිලට්ලා පදවන ෆයිටර් ජෙට් අරක්ෂාකරන්න, සතුරු මිසයිල ප්‍රහාර තමන්වෙත ඇදගන්නත් ඒවාට පුලුවන්... සතුරු ජෙට් යානා එක්ක සටන් කරන්න අවිආයුධත් තියෙනවා..."

"මටත් තිබුණේ මේ ක්වන්ටම් කොම්පියුටින් ෆීල්ඩ් එක අල්ල ගන්නේ නැතුව AI ෆීල්ඩ් එකට යන්න...."

"හොඳ වෙලාවට එහෙම නොවුනේ....ඔයා AI ෆීල්ඩ් එකේ හිටියානම් අපි ඔක්කොටම කෙලවන්න පුලුවන් ටර්මිනෙටර් වගේ රොබෝ කෙනෙක් හදයි...."කැලුම් යසිත් අවුස්සන අදහසින් කිව්වා.

"හ්ම්ම්..ඇත්තටම....."යසිත් සිනාසුනා.

අතිවිශාල හැඟරයේ අනෙක් කෙළවරට යන්නට විනාඩි 10ක් පමණ ගතවුනා. ටාපොලින් වලින් වැසූ ඩ්‍රෝන 3කට අමතරව කුඩා භාණ්ඩ ප්‍රවාහණ යානයකුත් තවත් ප්‍රහාරක ජෙට් යානා කිහිපයකුත් තිබුණා. ජෙට් ප්‍රහාරක යානා දෙස උනන්දුවෙන් බැලූ කැලුම්ට ඒවා පුහුණු පංතිවලදී විස්තරකර දුන් F-16 ෆයිටින් ෆැල්කන් ප්‍රහාරක යානා බව මතක්වුනා. ප්‍රහාරක යානා හඳුනාගත්තත් ප්‍රවාහන යානාව හඳුනාගැනීමට ඔහුට නොහැකිවුනා.

"ඇයි මෙතන F-16 ජෙට්? මේක ප්‍රයිවෙට් කොම්පැණියක හැඟර් එකක් නේද?"

“මේවා එයාෆෝස් එකෙන් රිටරයර් කරපුවා. ලොක් හීඩ් මාටින් සමාගම මේවා AI ඩ්‍රෝන් බවට පරිවර්තනය කරනවා කියලයි ආරංචිය…එයාලගෙ ප්ලෑන් එක AI ස්ටෙල්ත් ඩ්‍රෝන් එක්ක AI වලින් කොන්ට්‍රෝල් කරන F-16 ෆයිටින් ෆැල්කන් යානා පුහුණු සටන් වලට යවන්න. AI ස්ටෙල්ත් ඩ්‍රෝන් වලට සතුරු යානා එක්ක ගුවන් සටන් කරන හැටි පුහුණු කරවන්නෙ මේ ප්‍රොජෙක්ට් එකෙන් කියලයි ආරංචිය….මේ ඔක්කොම ප්‍රොජෙක්ට් යන්නේ දවසකට මළමිණී දෙතුන්දාහක් ගොඩගැහෙන ඇෆ්ඝනිස්තානෙ.....මේ යුද්ධෙ මුන්ට නියම බිස්නස් එකක් අයියෙ....”

හැකිතාක් පහත් හඬින් කතාකරමින්, ඉක්මණ් ගමණින් පැමිණි ඔවුන් හැඟරයේ අනෙක් පස දොරටුව, එනම් ධාවන පථය දෙසට විවරවන දොරටුව වෙත ආවා.

"අරින්නද?"යසිත් විමසුවා.

"එපා...ආයෙ ප්ලෑන් එක රිපීට් කරමුද?"

"හරි....මේ දොර ඇරියහම රන්වේ එකේ ඒප්‍රන් ඒරියා එක. ටිකක් එහායින් පොඩි කාගෝ ප්ලේන් පාක් කරන හරිය. වම් පැත්තේ තියෙන්නේ එයා මෙටීරියල් කමාන්ඩ් (USAF Air Material Command) එකේ බ්‍රැගැම් මෙහෙයුම් මධ්‍යස්ථානය. එයාෆෝස් එකටයි, ආමි එකටයි ප්‍රවාහන හා සැපයුම් භාරව ඉන්නේ මෙටීරියල් කමාන්ඩ් එක.

"මට දැනගන්න පුලුවන් වුනු විදියට අද රෑ 12.55ට මෙටීරියල් කමාන්ඩ් එකේ හැඟර් එකෙන් කාගෝ ප්ලේන් එකක් පිටත් වෙනවා...දැන් වෙලාව...?"

"11.50..."කැලුම් පිලිතුරු දුන්නා.

"විනාඩි 65ක් තියෙනවා ෆ්ලයිට් එක පිටත්වෙන්න ඒත් ඇත්තටම අපිට තියෙන්නේ විනාඩි 35ක් විතර. පිටත් වෙන්න විනාඩි 30කට විතර කලින් ප්ලේන් එකේ දොරවල් සීල් කරලා පයිලට්ලා pre-flight checks පටන්ගන්නවා. ඊළඟ විනාඩි 35 ඇතුලත මෙටීරියල් කමාන්ඩ් හැඟර් එකට රිංගලා ප්ලේන් එක ඇතුලට පැනගන්න උත්සහ කරන්න ඕනෑ..."

“හරි යසිත් දොර අරින්න..."

කැලුම් සාක්කුවෙන් තවත් කී කාඩ් එකක් එලියට අරගෙන ලොක් එකේ කාඩ් රීඩරේට ඇතුලුකලා.

"උඹේ සාක්කුවේ කී-කාඩ් කීයක් විතර තියෙනවද බන්?"කැලුම් විශ්මයෙන් ඇසුවා. යසිත් හිකි හිකි ගා සිනාසෙද්දී "ක්ලික්"ශබ්දයෙන් දොරේ යාන්ත්‍රික අගුල විවරවුනා.


Capture

ප්‍රවේසමෙන් දොර විවරකල ඔවුන්ට මීටර් 50ක් පමණ ඈතින් නවත්වා තිබූ ට්‍රක් රථ පෙලක් දිස්වුනා. ඒවා වල ගුවන් හමුදා මෙටීරියල් කමාන්ඩ් එකේ ලාංඡනය ගසා තිබුණා. ඔවුන් සිටි ප්‍රදේශය මදක් කලුවර වුනත් ධාවන පථය පෙදෙස දීප්තිමත් විදුලිපහන් වලින් ආලෝකමත්වී තිබුණා.

"අර තියෙන්නේ මෙටීරියල් කමාන්ඩ් එකේ හැඟර් එක..."යසිත් වම්පස ඈතින් ඇති හැඟරයක් දක්වා සිටියා. කැලුම් එදෙස බලන්නට හිස හරවද්දී ඔහුගේ ඇස් කොනට ට්‍රක් රථයක් අසලින් යමෙකු එහා මෙහා වෙනවා මෙන් පෙනුනා. අණතුරක සේයාව දැනුනත් ඔහුට ප්‍රතික්‍රියා කරන්නට ඉඩක් නොතබා ට්‍රක් රථයක් තුලින් ප්‍රභල ආලෝක ධාරාවක් ඔවුන්වෙත එල්ලවුනා. හිරු මෙන් දීප්තිමත්වුනු ඒ ආලෝක ධාරාවෙන් බේරෙන්න මුහුණු වසාගන්නට සිද්ධවුනා.

"ෂිට්...."යසිත්ට කියවුනා

“Don't move or we will shoot to kill…repeat….we will shoot to kill”
“On your knees with hands in the air….”
“On your knees now….hands in the air….”

ශබ්ද විකාෂණ යන්ත්‍රයකින් දැඩි ලෙස අණතුරු ඇඟවූවා.

"කොටුවුනා මල්ලි…......"කැලුම් බිඳුනු හඬින් කිව්වා.

සන්නද්ධ සෙබළුන් සය දෙනෙකු තුවක්කු අමෝරාගෙන ඔවුන් වෙත එන්නට වුනා. දෑත් අහසට ඔසවාගත් කැලුම් හා යසිත් දණගසා ගත්තා. ආලෝක ධාරාව තවමත් ඔවුන්ගේ මුහුණට එල්ලවී තිබුණත් තමන්වෙත එන සෙබලුන්ගේ සිරුරු වලට මුවාවීම නිසා යම් ඉස්පාසුවක් දැනුනා. සන්නද්ධ සෙබලුන් මදක් ඈතින් නැවතුනා. ඔවුන්ගේ ස්වයංක්‍රීය රයිෆල් කැලුම් හා යසිත් වෙත එල්ලවී තිබුණා. ඔවුන් පිටුපසින් සිටි, හමුදා නිළ ඇඳුමින් සැරසුනු සිහින් සිරුරක් සෙබළුන් පසුකොට ඉදිරියට එන්නට පටන් ගත්තා. ඇය කලිසම හා බූට් සපත්තු ඇතුලු පූර්ණ ගුවන් හමුදා නිළ ඇඳුමකින් සැරසී සිටියා.

"සැලී...."කැලුම්ගේ හඬෙහි තිබුණේ දැඩි වෛරයක්

“මම කිව්වේ…. ඔය සී.අයි.ඒ බැල්ලී ඔයාට ගේම දෙන්නයි එන්නේ කියලා....”

“Hey boys!!………..where are u running?............…?” සැලී උපහාසයෙන් ඇසුවා.

දණගසා දෑත් ඔසවාගෙන සිටි කැලුම් සැලීට මුහුණ නොදී බිම බලද්දී ඔහුගේ ලයේ වම් පැත්තේ හරියටම හදවත තිබෙන තැන රතු ලේසර් ඩොට් තුනක් දුටුවා. යසිත් දෙස බැලූ ඔහුට යසිත්ගේ ලය මතත් ලේසර් ඩොට් වැටී ඇති ආකාරය දුටුවා.

“Where is it?...............” සැලීට පිටුපසින් ආ සෙබලෙකු කැලුම්ව නැගිට්ටුවා ඔහුගේ ඇඟ පරීක්ෂා කලා. කලිසම් සාක්කුවේ ලේන්සුවේ ඔතා තබාගත් මංජුසාව ඔහුට අසුවුනා. ඔහු එය සැලී අතට පත්කලා. ලේන්සුව ගලවා පරීක්ෂාකල සැලී එය ඇය උරහිසේ රඳවාගෙන සිටි අත්බෑගයක් වැනි යමකට දමාගත්තා.

“Okey….let’s wrap this up…..bundle them to the Humvees and follow my vehicle…” [හරි දැන් මේක අවසන් කරමු.....මෙයාලව හම්වි එකකට දාගෙන මගේ වාහනේ පස්සෙන් එන්න..]

සැලී සෙබළුන්ට විධාන කලා. එක් සෙබලෙක් ඔවුන්ගේ දෑත් පිටුපසට කොට කේබල් ටයි ලෙස හැඳින්වෙන ප්ලාස්ටික් රඳවන අත්වලට දමා තදකලා. ඔවුන්ව ඇදගෙන මෙන් ගිය සෙබලුන් හම්වී ජීප් රථයකට නගිනලෙස විධාන කලා. ඔවුන් දෙදෙනා දෙපසින් සන්නද්ධ සෙබලුන් දෙදෙනෙකු නැගගත්තා. ඉදිරිපස ගරු අසුනට නිළධාරියෙක් මෙන් පෙනුනු පුද්ගලයෙකු නැග්ගා. ඉතිරි අය පසුපසින් තිබූ හම්වී එකට නැග්ගා.

"Follow the company lady’s vehicle..."නිළධාරියා රියදුරු අසුනේ සිටි සෙබලාට විධානකලා.

"කොම්පැණි ලේඩි..."යන්න ඇසුනු විට කැලුම් යසිත් දෙස බැලුවා.

"ඇමරිකන් හමුදාවල අය කොම්පැණිය කියලා කියන්නේ සී.අයි.ඒ එකට..."යසිත් කිව්වා.

"සමාවෙයන් මල්ලී හොඳට හිටපු උඹව මේ අමාරුවේ දැම්මට........දැන් ඉතින් උඹත් විනාසයි මම නිසා..."

"එහෙම කියන්න එපා අයියෙ....මම බබෙක් නෙමෙයිනෙ රැවටෙන්න......මම හොඳටම දැනගෙනයි මේ වැඩේට බැස්සේ....මට දුකක් නෑ....."

"කොහෙද දන්නේ නෑ අපිව ගෙනයන්නේ......"කැලුම් යසිත්ගෙන ඇසුවේ පිලිතුරක් බලාපොරොත්තුවෙන්ම නෙමයි.

"බේස් එකේ ඈත උතුරු කෙළවරේ සී.අයි.ඒ එක පවත්වගෙන යන රහස් හයි සිකුරිටි හිර ගෙයක් තියෙනවා කියලා ආරංචියි. හරියටම විස්තර දන්න කෙනෙක් නෑ හැබැයි......අල්ල ගන්න ISIS, තලේබාන් ලොක්කෝ ගෙනියන්නේ එතනට....එහෙට ගෙනියන අය ගොඩක් ආපහු එන්නේ නෑ....ඒ පැත්තේ ගොඩක් තියෙන්නේ CIA, NSA, DIA වගේ ඔත්තු සේවාවල ගොඩනැගිලි. හමුදාව ඒ පැත්තේ නෑ…..සාමාන්‍යයෙන් ISIS කාරයෝ තලේබාන් කරයෝ අල්ලගත්තම හොඳට නෙළලා ගම්මිරිස් කුඩු තියෙන බෑග් එකක් ඔලුවට දානවාලු...ලෑස්තිවෙලා ඉමු..."

“සැලීට මම රැවටුනා...ෂිහ්.මේ ගෑණි හාද වෙන්න වගේ එන්නේ හොඳකට නෙමෙයි කියලා..මට නොතේරුනු හැටි…”

"අයියාගෙ වැරැද්දක් නෑ...ඒ ගෑණි ඔත්තුකාරියක්...එයා එයාගෙ ජොබ් එක කලේ.....එයාලා වගේ ඔත්තුකාරියන්ව පුහුණු කරලා තියෙන්නේ හොඳ කෙල්ලෝ වගේ හැසිරෙන්න....හැබැයි කවදාක්වත් හොඳ කෙල්ලෝ වෙන්න නෙමෙයි.....එයාට චාන්ස් එකක් ලැබුණානම් ඔයාගෙ ඇඳටත් නගී....ආදරේ කරයි....ඒ ඔක්කොම බොරු රැවටිලි…..එච්චර දුර ගියෙ නෑනෙ ඔයා….."

සැලී ඔවුන්ව ගෙනගියේ යසිත් පැවසූ බැග්‍රැම් කඳවුරේ උතුරු පෙදෙසේ ඇතැයි කියූ වධකාගාරයකට නොව වෙනත් තැනකටයි. එතැන කුමක්දැයි යසිත් පවා දැනගෙන සිටියේ නෑ. දෑත් තදින් බැඳ තිබූ කේබල් ටයි කපා දැමූ සෙබලුන් කැලුම්ව එක් සිරගෙයකට තල්ලු කොට යසිත්ව රැගෙන ගියා. ඔහුවත් ඈතින් ඇති වෙනත් සිර කුටියකට දමන හඬ යාන්තමට මෙන් කැලුම්ට ඇසුනා.

පරාජිතවූ ඔහු බිත්තියට පිටදී දෙපා දිගුකොට බිම ඉඳගත්තා. ලොකු හුස්මක් ගෙන අනාගතයේ සිදුවිය හැකි දෑ මෙනෙහි කරන්නට පටන් ගත්තා. සී.අයි.ඒ රහස් හිර ගෙයක මැරෙන්නට සිදුවීම අනිවාර්ය බව ඔහු දන්නවා. සිවිල් නඩුකාරයින් නැති, මානව හිමිකම් නීතිඥයින් නැති, තමන්ට කියා නීතිඥ අයිතියක්වත් නැති, යුධ හමුදා අධිකරණයකින් ලැබෙන අයිතියවත් නැති සී.අයි.ඒ කැන්ගරු උසාවියකින් විත්තිකරුවන් වන ඔවුන් ජීවිතාන්තය දක්වා හිරේට නියමවන බව ඔහු මෙනෙහි කලා.

සී.අයි.ඒ එකට ඔවුන්ව කවදාක්වත් නිදහස් කරන්න බෑ. ඇමරිකන් ආණ්ඩුවේ ප්‍රධානීන් පවා නොදන්න, අතිශය රහසිගත ව්‍යාපෘති ගැන ඔවුන් දන්නා දේවල් කිසිවිටකත් පිටවිය නොහැකියි. ඒ නිසාම වැඩිකල් ජීවිතේ පවත්වාගෙන යන්නට නොහැකි, මිහිපිට අපායන් වැනි කුප්‍රකට හිරගෙයක රෝගීවීමෙන් ස්වභාවික මරණයකට පත්වන්නට ඔවුනට සිදුවෙනවා නියතයි.

කැලුම් කල්පණාවේ ගිලී සිටියදී හදිසියෙන්ම "දඩාස්"හඬින් දොර විවර වුනා. ඇතුලුවුනේ සැලී. කැලුම් අහක බලා ගත්තා.

“Kel-lom...I am sorry ……. I am doing my job…… I wanted you to be on that flight………. Believe me…………yet, you decided to work against the United States………. steal its secrets……...that’s something pretty serious…..and you dragged that young, brilliant man into this as well……… he is ruined too you know……..”

[කැලුම් මට සමාවෙන්න.......මම කරන්නේ මගේ රාජකාරිය....මම කිව්වනෙ ඔයාට ෆ්ලයිට් එකේ නැගලා යන්න කියලා.....අන්තිම මොහොතෙ හරි ඔයාගෙ හිත වෙනස්වෙයි කියලයි එහෙම කිව්වෙ……..ඇත්තමයි ..ඒත් ඔයා එක්සත් ජනපද රජයට විරුද්ධව වැඩකරන්න තීරණය කලා.....රහස් සොරකම් කරන්න හැදුවා.....ඒක කොච්චර බරපතල දෙයක්ද කියන එක ඔයා දැනගන්න ඕනෑ.....ඒ විතරක් නෙමෙයි ඔයා අර දක්ෂ කොල්ලවත් මේකට ගාව ගත්තා......එයත් විනාශයිනෙ දැන්.....]

“Sally… are a good nurse…and may be even a good girl…..I never had a thing for white women, but…you.....I really really liked you……..and I know you are extremely intelligent…..an excellent agent…and you are doing your job...you can do whatever you want with me…..but you will never ever understand why I did what I did……don’t even try to understand….so please……..get on with it……….”

[සැලී ඔයා හොඳ නර්ස් කෙනෙක් විධියට මාව බලාගත්තා....මම සුදු කෙල්ලෝ ගැන වැඩි ආසාවක් තිබුණ කෙනෙක් නෙමෙයි....ඒත් මට ඇත්තටම ඔයාගැන පැහැදීමක් තිබුණා...ඒක ඇත්ත...මම දන්නවා ඔයා බොහොම බුද්ධිමත් කෙනෙක් කියලා…..දක්ෂ ඔත්තුකාරියක්...ඒවගේම මම දන්නවා ඔයා කරන්නේ ඔයාගෙ රාජකාරිය කියලා...ඔයා කැමති දෙයක් මට කරන්න...ඒත් ඔයාට කවදාක්වත් මම මේ දේ කරේ ඇයි කියලා තේරුම් ගන්න බෑ...උත්සහ කරන්නත් එපා....ඔයාගේ රාජකාරිය කරන්න....]

කැලුම් කෙලින්ම ඇයගේ දෑස් දෙස බලාගෙන කිව්වා. ඇයත් ඔහුගේ දෑස් දෙසම බලා සිටියා....ඒ මොහොත කල්පයක් වගේ කැලුම්ට දැනුනා....කැලුම්ගේ දෑස් දෙස බලාගෙන සිටි ඇය..

"මම දන්නවා ඔයා මේ දේ කලේ ඇයි කියලා.....ඒවගේම කා වෙනුවෙන්ද කියලා..."

කැලුම්ට පැහැදිලිකිරීමක් ඉල්ලන්නට ඉස්පාසුවක් නොදුන් ඇය කාමරයෙන් ඉවත්ව දඩාස් ගා දොර වැසුවා. දොරේ අගුල වැටෙන හඬ ඔහුට ඇසුනා.

“He is Tier 1 Special Forces... black ops specialist…he can kill both of you with his bare hands…..don't leave this door…don't ever open this door for anything.. Keep your eyes open…… I will send you guys some coffee …….”

[මෙයා 1වැනි තලයේ විශේෂ බළකා කළු මෙහෙයුම් විශේෂඥයෙක්.....ආයුධයක් නැතුව නුඹලා දෙන්නවම මරාදමන්න පුලුවන් කෙනෙක්. මෙතනින් හෙල්ලෙන්න එපා….මොනම හේතුවකට වත් දොර අරින්න එපා අවධානෙන් ඉන්න...මම කෝපි ටිකක් එවන්නම්....]

සැලී මුර සෙබළුන් දෙදෙනාට අණතුරු අඟවමින් අණදුන් හැටි ඇසුනා.

Yes ma’am... සෙබළුන් දෙදෙනා අණ පිලිගත්තා.

මොහොතකට කලින් සැලී පැවසූ අපබ්‍රංශය කැලුම් මෙනෙහි කලා. "මම ඔයා මේ දේ කලේ ඇයි කියලා දන්නවා.........කා වෙනුවෙන්ද කියලත් දන්නවා....."

පලවෙනි කෑල්ල හිතාගන්න පුලුවන්. ගන් කැමරාවේ සටහන් වුනු වීඩියෝවේ කොපියක් සී.අයි.ඒ එකට ලැබෙන්න ඇති. සමහරවිට යසිත් ඒක එඩිට් කරපු බව අහුවෙලා එකෙන් සැකේ ඇතිවෙන්න ඇති. ඒත් දෙවෙනි කෑල්ල තේරුම් ගන්න අමාරුයි.

"කා වෙනුවෙන්ද කියලා දන්නවා කිව්වේ...?"මෙයාලා ආරංග් මුණිවරයා ගැන දන්නවාද? නැතිනම් මගේ ඔලුවට මොනවා හරි දාලා පස්සේ ප්‍රශ්ණකරද්දී කටින් අල්ලගන්න කපටි ප්ලෑනක්ද දන්නේ නෑ. සැලීගේ උගුලක් වෙන්න ඕනෑ...


Escape

"කැලුම් නැගිටින්න....කැලුම්....නැගිටින්න...."

"අහ්හ්...ම්ම්ම්....මොකක්..."වෙහෙසට දැඩි නින්දකට වැටී සිටි කැලුම් අවදිවන්න මදක් වෙලා ගියා. අපහසුවෙන් දෑස් විවරකල ඔහුට තමන් ඉදිරියේ ඇණ තියාගෙන දෙවුර සොලවන සැලී පෙනුනා. වෙන්නේ මොකක්දැයි තේරුම් ගන්නට බැරුව එකල මෙකලවී සිටි කැලුම්ගේ දෙවුර සැලී යලිත් සෙලවූවේ ඔහුව ඉක්මණින් අවදිකර ගන්නටයි.

“නැගිටින්න කැලුම් ....අපි යන්න ඕනෑ...."

නිදිමත, ව්‍යාකූලත්වය හා සැලී පෙනීයාම නිසා ක්ෂණික කෝපයට පත් කැලුම් සැලීගේ දෑත් ගසා දමා ඇයව තල්ලු කලා. ඇණතියාගෙන සිටි ඇය අනපෙක්ෂිත තල්ලුකිරීම නිසා සමබරතාවය ගිලිහී වැටෙන්නට ගියා.

“BLOODY HELL…. WE HAVE TO GO NOW!!!” තල්ලු කිරීමෙන් කෝපයට පත් සැලී කැලුම් වෙත බුරා හැලුනා. ඇය යලිත් කැලුම්ගේ අතින් ඇද්දා

“What the hell are u doing? Are you trying to get me killed?………You arrested us…….. Now you are trying to help us escape………..what the fuck Sally???”

[මොනවද තමුසේ මේ කරන්න හදන්නේ?....මට වෙඩිකාලා මැරෙන්න සෙට් කරන්නද යන්නේ?...ඉස්සෙල්ලා අපිව අල්ල ගත්ත....කූඩුවේ දැම්මා...දැන් පැනලා යන්න කතාකරනවා?....මොන මගුලක්ද සැලී මේ???]

ඒ සමගම කැලුම් විවරවී තිබූ දොර අබියස වැටී සිටි සෙබලුන් දෙදෙනා දුටුවා.

"තමුසේ මේ දෙන්නව මැරුවද?"

"පිස්සුද? මම මිනීමරුවෙක් නෙමෙයි.....මෙයාලගේ කෝපි වලට වැලියම් ඩ්‍රොප්ස් දැම්මා නින්ද යන්න.....යසිත් දැම්මෙත් ඒවා නේද? තවත් කාලෙ කන්නේ නැතුව යමු කැලුම්..."

සැලී කැලුම්ගේ බාහුවෙන් ඇද්දා. මෙවර ඔහු විරුද්ධ වුනේ නෑ.

"කෝ යසිත්?"

"එයාව ගන්න තමයි මේ යන්නේ...."

සැලී දොර විවර කරද්දී නිදි කිරා වැටෙමින් සිටි යසිත් දොර ඇරෙන සද්දෙට ඇහැරුනා.

“Ayya what is this? What is this CIA bitch doing with you?” යසිත් ඉංග්‍රීසියෙන් ඇසුවේ සැලීට තේරෙන්නත් එක්ක වෙන්න ඇති.

“Yasith please………..” කැලුම් යසිත්ගේ නපුරු කට වහන්න හැදුවා.

“This CIA bitch is the only person who can help you…….. So come with me or rot in hell….” [ඔයාලට දැන් උදව් කරන්න පුලුවන් එකම එක කෙනා මේ සී.අයි.ඒ බැල්ලි විතරයි. එනිසා එනව නම් එන්න...නැත්තම් ඔතන කුණුවෙන්න....] සැලී ආපසු හැරුනා.

“So do you trust her now?” යසිත් යලිත් ඇසුවා. ඔහු සැලීට තේරුම් යන්න ඉංග්‍රීසියෙන් කතා කිරීම කැලුම්ට වදයක් වුනා.

“Do we have a choice Yasith?” [අපිට වෙන විකල්පයක් තියෙනවද යසිත්?] කැලුම් කේන්තියෙන් ඇසුවා.

ගමන නැවැත්වූ සැලී ආපසු හැරුනා. කෝපාවිෂ්ටවී සිටි ඇයගේ දෑස් දිළිසුණා

“Listen to me you idiots…. I joined CIA while in freshman year of uni, I was just 18 when they recruited me…I gave the best 10 years of my life to the CIA……I am in line for a promotion as a black operations commander……very few women become CIA black ops commanders..But by tomorrow afternoon I will be on the CIA most wanted list…….so trust me if you want to…….”

[මේ අහගන්නවලා, මම සී.අයි.ඒ එකට බැඳුනේ අවුරුදු 18දී. විශ්විවිද්‍යාලෙ පලමුවැනි අවුරුද්දේ ඉන්නකොට තමයි සී.අයි.ඒ එකට බැඳවා ගත්තේ. මගේ ජීවිතේ හොඳම අවුරුදු 10 මම කැපකලේ සී.අයි.ඒ එකට. තව ටික දවසකින් මට කළු මෙහෙයුම් කමාන්ඩර් කෙනෙක් විධියට උසස්වීමක් ලැබෙන්න තියෙනවා. කලු මෙහෙයුම් කමාන්ඩර්ලා විධියට ගෑණුන් තේරෙන්නේ බොහොම කලාතුරකින්. ඒත් හෙට වෙනකොට ඒ ඔක්කොම ඉවරයි. හෙට හවස් වෙනකොට මම සී.අයි.ඒ most wanted ලයිස්තුවේ ඉඳියි.... ඒනිසා කැමතිනම් මාව විශ්වාස කරනවලා…]

සැලීගේ කතාවෙන් පස්සේ යසිත් නිහඬවුනා. කැලුම්ට පවා සැලී ගැන ඇතිවුනේ දුකක්. තමන් නිසා තවත් කෙනෙක් අනාගතය විනාශ කරගන්නවා කියලා ඔහුට හිතුනා... දැන් තුන්දෙනයි...

“What about the guards in the security room?” බිම වැටී නිදමින් සිටින ගාඩ්ලා දුටු යසිත් ඇසුවා.

“Sleeping….” සැලී උත්තර දුන්නා.

"ඒ කියන්නේ අපිට පැයකට අඩු කාලයක් තියෙන්නේ මෙහෙන් පැන ගන්න..."යසිත් පැවසුවා.

"ඔව් පැයකට සැරයක් ගාඩ්ලා යවන්න ඕනෑ ආරක්ෂක පණිවුඩය යැවුනේ නැතිවුනාම මෙතනට ටීම් එකක් එයි...."සැලී යසිත් සමග එකඟවුනා.

"මෙහෙන් පැන ගන්න ප්ලෑන් එකක් තියෙනවද?"ප්‍රධාන දොරටුව වෙත දිවයන අතරදී කැලුම් සැලීගෙන් විමසුවා.

"ඔව්...හෙලි පෑඩ් එකේ සී.අයි.ඒ හෙලිකොප්ටර් එකක් තියෙනවා...ඕනෑම වෙලාවක පිටත් වෙන්න ලෑස්ති කරලා…....තෙල් ගහලා තියෙන්නේ....ඒකට කොන්ට්‍රෝල් ටවර් එකෙන් කලින් ෆ්ලයිට් ක්ලියරන්ස් ඕනෑ නෑ....පිටත්වෙනවා කියලා ඒ වෙලාවෙ දැනුම් දුන්නම ඇති...."

“Who’s the pilot?” යසිත් ඇසුවා

“You are looking at her” සැලී සැරෙන් කිව්වා. ඇයට තවමත් යසිත් ගැන තරහක් තිබුණා.

"මේ මෝඩයා කට වරද්ද ගන්නවනෙ.."කැලුම් සිතුවා.

“We are all going to die in a crash…………” යසිත් ආයෙත් ගොන් කතාවක් කිව්වා.

“මොකක්ද බන් උඹට වෙලා තියෙන්නේ? මේ කෙල්ල කරන්නේ කොච්චර කැප කිරීමක්ද කියලා උඹට තේරෙන්නේ නැද්ද බන්?"කැලුම් තරහින් ඇසුවා.

"බලමුකො..."යසිත් හරහට උත්තර දුන්නා. කැලුම් නිහඬවුනා.

හම්වී එක පණගන්වාගත් සැලී වේගයෙන් යන්නට පටන් ගත්තා. පසුපස අසුනේ සිටි යසිත් යලිත් කට ඇරියා.

"හෙමින් යන් සැලී....කැමරා වලින් හයි ස්පීඩ් යන වාහන ඩිටෙක්ට් කරලා ඇලට් එකක් යනවා..."

"මොනවා?? කොහොමද ඒ?"

"ඇයි ඔයා දන්නේ නැද්ද අලුතින්ම හයිකරපු AI video surveillance system එක ගැන..?"

සැලී ක්ෂණයෙන් වේගය බාල කලා "එහෙම එකක් ගැන ඇහුවෙත් දැන්...කවුද ඕක කරන්නේ?"

"NSA එකෙන්...තවම බීටා ටෙස්ටිං කියලයි ආරංචිය. ඒත් සිස්ටම් එක හොඳට වැඩකරනවාලු...අහලවත් නැති පොඩි කොම්පැණියකින් ඩිවලොප් කරපු සිස්ටම් එකක්...හැබැයි ආරංචියෙ විධියට ඒ කොම්පැණියෙ ලොකුම ඉන්වෙස්ටර් මයික්‍රෝසොෆ්ට් කොම්පැණියලු....සිස්ටම් එක CCTV කැමරා නෙට්වර්ක් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. AI සොෆ්ට්වෙයාර් එකකින් හැම කැමරා එකකින්ම එන වීඩියෝ ෆීඩ් විශ්ලේෂණය කරනවලු. සැක කටයුතු වේගයෙන් යන වාහන...දුවගෙන යන මිනිස්සු ඩිටෙක්ට් කරලා ඇලට් එකක් යවනවලු...තත්පරයකට කැමරා 150කින් එන වීඩියෝ ෆීඩ් විශේෂණය කරන්න පුලුවන්ලු."

“One day AI is going take your job too Sally” [වැඩිකල් යන්න ඉස්සෙල්ලා කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ඔයාලගෙ ජොබ් එකත් කරන්න ගන්නවා සැලී] කැලුම් අනුමාන කලා.

“I think they have started already…” [මම හිතන්නේ දැනටමත් ඒක පටන් අරගෙන...]


18:50 Hours, 01st December 2019, Approx 70km from Samarkand, Uzbekistan | උස්බෙකිස්ථානයේ සමර්කාන්ද් නුවරට කිලෝමීටර් 70ක් පමණ ඈතින්

වෙලාව සවස 7ට කිට්ටුවී තිබුණත් යාන්තමට හිරු එලිය තිබුණා. සැලී, කැලුම් හා යසිත් ඒ වනවිට උස්බෙකිස්ථානයේ සමර්කාන්ද් නුවරට ලඟා වෙමින් සිටියා. ඔවුන් ගමන් කරමින් සිටි Mi-2 කුඩා හෙලිකොප්ටරයේ පැරණි ටර්බයින් එන්ජින් දෙකේ ශබ්දය මහත් ඝෝෂාකාරී වුනා. ඉක්මණින් යන ලෙස අණලැබූ බැවින් හෙලිකොප්ටරයේ නියමුවා හැකිතාක් වේගයෙන් එය පියාසර කරමින් සිටියා. 1980 ගණන් වලදී සෝවියට් ගුවන් හමුදාවෙන් ඉවත් කල Mi-2 මාදිලිය ඉතා පැරණි යානා මාදිලියක්. තජිකිස්තානය, උස්බෙකිස්තානය වැනි රටවල් සියල්ලම එවක සෝවියට් දේශය නම්වූ මහා රාජ්‍යයේ ප්‍රාන්ත රාජ්‍ය වූ අතර පැරණි සෝවියට් වාහන හා ගුවන්යානා තවමත් මෙම ප්‍රදේශවල බෙහෙවින් භාවිතයට ගැනුනා.

ඔවුන් ගමන්කල යානයද එවක සෝවියට් ගුවන්හමුදාවේ සේවයේ යොදවා තිබී පසුව වෙන්දේසිකර දැමූ එකක්. මේ යානය දුෂාන්බේ නගරයෙන් කුලියට ගත්තේ සැලීගේ හැඳුනුම්කමක් මතයි. දූෂාන්බේ නගරයේ සී.අයි.ඒ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සෑහෙන කාළයක් සේවයකල සැලීට එම නගරයේ විවිධ පුද්ගලයින් සමග හැඳුනුම් කම් තිබෙනවා. ඔවුන් රහසින් සී.අයි.ඒ සංවිධානයට ඔත්තු සැපයූ, සැලී විසින්ම ඇයගේ ඔත්තු ජාලය වෙත බඳවාගත් අයයි. එවැනි සමහර පුද්ගලයින්ගේ සැබෑ වතගොත සී.අයි.ඒ මූලස්ථානයට පවා වාර්තා නොකරන්නේ රහස්‍යභාවය ආරක්ෂාකර ගැනීම සඳහායි. කේස් ඔෆිසර් නිළධාරීන් සිය ඔත්තුකරුවන් තනිවම මෙහෙයවන අතර ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු පමණක් මූලස්ථානයට යවනවා. දුෂාන්බේ නගරයේ බලපුලුවන්කාර චරිතයක් මෙන්ම ධනවතෙකුදවූ යූරී ගැවිෂෙන්කෝ සී.අයි.ඒ ඔත්තුකරුවෙකුවීමට පොළඹවා ගත්තේ සැලීගේ මැදිහත්වීමෙන්. ඔහු සී.අයි.ඒ ඔත්තුකරුවෙකු බව දැනසිටියේත් සැලී පමණයි. ඔහු වැදගත් රහස් ඔත්තු පමණක් නොව, වෙනත් යුරෝපීය ඔත්තුසේවාවල තොරතුරුත් සැලීට ලබාදුන්නා. ඔත්තුසේවා සිය සතුරන් පිලිබඳව පමණක් නොව එකිනෙකා ගැනද ඔත්තු බැලීම සාමාන්‍ය දෙයක්.

ගැවිෂෙන්කෝගේ එක් ව්‍යාපාරයක්වූයේ විවිධ සමාගම් සඳහා කුළියට හෙලිකොප්ටර් යා කුඩා ප්‍රවාහණ ගුවන්යානා සැපයිමයි. සැලීගේ හිතේශිවන්තයෙකු වූ ඔහු ඇයගේ ඉල්ලීම මත හෙලිකොප්ටරයක් ලබාදුන්නා. සාමාන්‍යයෙන් දේශසීමා හරහා පියාසරකරන විට ලබාගත යුතු අවසරයන් කිසිවක් ලබාගෙන නොතිබුණත් යානා අයිතිකරු මෙන්ම නියමුවාද එවැනි දෑ ගැන සැළකිල්ලක් නොදැක්වූවේ විශාල ජන ශූන්‍ය කාන්තාර වන් මුඩුබිම් ප්‍රදේශ වන මේ රටවල්වල දේශසීමා ගුවන් කලාප නිරීක්ෂණ රේඩාර් මධ්‍යස්ථානවල සේවකයින් ගැවිෂෙන්කෝ වැනි ජාවාරම් කරුවන්ගේ අල්ලසට යටවී සිටි නිසයි. සී.අයි.ඒ ඔත්තුසේවය මෙන්ම බ්‍රිතාන්‍ය MI-5 ඔත්තු සේවයත්, ප්‍රංශ DGSE හා ජර්මන් BND ඔත්තුසේවාත් ගැවිෂෙන්කෝගේ යානා උස්බෙස්කිස්තානය හා තජිකිස්තානය අතර ගමන්බිමන් සඳහා යොදාගත් අතර ගැවිෂෙන්කෝ එමගින් විශාල මුදලක් උපයාගත්තා. ඒ වගේම ඒ ගමන්බිමන් වල තොරතුරු සියල්ලම සී.අයි.ඒ වෙත සැලී හරහා ලබාදෙන්නටත් ගැවිෂෙන්කෝ ක්‍රියාකලා.

ගැවිෂෙන්කෝගේ හෙලිකොප්ටර් යානා ටෂ්කන්ට්, දූෂාන්බේ හා සමර්කාන්ද් නගර අතර නිරන්තරයෙන් පියාසර කල අතර ඔහුගේ සබඳකම් මත කිසිදු බාධාවකින් තොරව මේ ගමන් සිදුවුනා. කෙසේ වෙතත් තජික් හා උස්බෙක් ගුවන් හමුදා මගින් මෙහෙයවන ගුවන් ආරක්ෂක රේඩාර් ජාලය, ඉහලින් යන යානා නිරීක්ෂණය කලවිට ඒවා ගැන සෙවීමට මුර සංචාරක ජෙට් එවන බැවින් එම රේඩාර් වලින් සැඟවී යාමට නියමුවා හෙලිකොප්ටරය ඉතා පහලින් පියාසර කලා. පහතින් යන කුඩා යානා පිලිබඳව ආරක්ෂක හමුදාවන් එතරම් සැළකිල්ලක් දැක්වූයේ නෑ.

උපරිම වේගයෙන් ක්‍රියාත්මකවූ යානයේ ටර්බයින් එන්ජින් දෙකේ ඝෝෂාව හා දෙදරුම් කෑම නිසා යානය තුලදී කතාබස් කිරීම ඉතා පහසු වුනා. සියලුදෙනාම හෙඩ්ෆෝන් පැළඳ සිටියත් අපහසුවෙන් ඉංග්‍රීසි කතාකල නියමුවා විටින් විට කියූදෑවත් හරිහැරි ඇසුනේ නෑ. ඒ නිසාම යානය තුල සිටි සැලී මෙන්ම කැලුම් හා යසිත් කිසිවක් කතාකරන්නට උනන්දුවුනේ නෑ. කුඩා ජනේලයෙන් එලිය බලාසිටි කැලුම් කල්පණා ලෝකයේ ගිලීගියා.

ඔවුන්ව අත් අඩංගුවට ගත් සැලීම නොසිතූලෙස ඔවුන්ව නිදහස් කරගත් අතර ඇය ආරංග් භික්ෂූන්වහන්සේ හමුවී තිබෙන බව පැවසුවත් ඒ ගැන වැඩි විස්තර අසන්නට ඉස්පාසුවක් තිබුනේ නෑ. කොහොම වුනත් සැලීගේ මේ හදිසි වෙස් පෙරලිය ගැන යසිත් සිටියේ දැඩි සැකයෙන්. සැලී සී.අයි.ඒ ඔත්තුසේවයේ ඇෆ්ඝන් මෙහෙයුම් කළාපය තුල විශාල තැනක් හදාගෙන සිටින, දක්ෂ ක්ශේෂ්ත්‍ර මෙහෙයුම් (case officer) නිළධාරිනියක් බව ඔහු කලින් සිටම දැනසිටියා. දූෂාන්බේ, ටෂ්කන්ට්, සමර්කාන්ද් නගරවලත්, පාකිස්ථානයේ ලාහෝර් නගරයේත් සැලී විසින්ම බඳවාගත්, ඇය හා පමණක් සබඳකම් පවත්වන සී.අයි.ඒ ඔත්තුකරුවන් සිටියා. ඒ අනුව ඇෆ්ඝනිස්ථානය අවට රටවල සිදුවන දෑ පිලිබඳව රහස් තොරතුරු අවැසිවිට සී.අයි.ඒ ප්‍රධානීන් මෙන්ම ඇෆ්ඝන් හමුදා මෙහෙයුම් ප්‍රධානීන්ටද ඇය නැතුවම බැරිවුනා.

සැලී කලින් සැලසුම් කොට තිබුනේ ඔනෑම හදිසි වෙලාවක ගුවන්ගත වීමට සූදානම් කොට තිබූ සී.අයි.ඒ විශේෂ හෙලිකොප්ටරය රැගෙන පලා යාමටයි. එහෙත් අවසාන මොහොතේ එය වෙනස්ව තිබුණේ හෙලිකොප්ටරය තිබූ අංගනයේ මුර භටයන් රඳවා තිබූ නිසයි.බැග්‍රැම් කඳවුරේ මෙහෙයුම් ගැන හොඳ අවබෝධයක් තිබූ සැලී පැන ගැනීම සඳහා විකල්ප සැලැස්මක්ද සකස්කොට තිබූ බව කැලුම් යා යසිත් දැනගත්තේ සී.අයි.ඒ හෙලිකොප්ටරය පෙනෙන මානයට පැමිණි පසුවයි. එතැන සිටින මුරභටයන් අඩපන කොට යානය රැගෙන වැඩිදුර යන්නට නොලැබෙන බව සියලුදෙනාටම අවබෝධවුන නිසා සැලී සිය දෙවැනි සැලස්ම හෙලි කරා.

“මළා! දැන් මොකද කරන්නේ? මෙතන විසිපහකට වැඩිය ඉන්නවනෙ..?"

"සාමාන්‍යයෙන් මෙතනට ගාඩ් එකක් දාන්නේ නෑ........"සැලී හිස කැසුවා.

"දැන් මොකද කරන්නේ?"කැලුම් ඇසුවේ රියැදුරු අසුනේ සිටි සැලී දෙස බලමින්. තවමත් ඇයගේ තීක්ෂ්ණ දෑස් මීටර් 500ක් පමණ ඈතින් ඇති හෙලිකොප්ටරය වෙත යොමුවී තිබුණා.

“කොෆින් ෆ්ලයිට් එකට කොහොම හරි රිංගමු...."විනාඩි කිහිපයක් නිහඬව සිටි සැලී පැවසුවා

"කොෆින් ෆ්ලයිට්?"කැලුම් වික්ෂිප්තව ඇසුවා

"ඔය කියන්නේ, සතියකට සැරයක් මෙහෙන් මිනී ගෙනියන C-17 ෆ්ලයිට් එක ගැනද?"පිටුපස සිටි යසිත් ඇසුවා.

"ඔව්"සැලී හිසවැනුවා.

"ඇෆ්ඝනිස්තානේ මැරෙන හැම හමුදාවකම අයගෙ මිනී ගේන තැනක් තියෙනවා. ඒකට කියන්නේ Hanger Thirteen කියලා. එතන මිනී එම්බාම් කරලා එයා අයිති රටේ හමුදාවේ යුනිෆෝම් එක අන්දලා පෙට්ටිවල දාලා සතියකට සැරයක් දූෂාන්බේ වලට C-17 ෆ්ලයිට් එකක ගෙනියනවා. ඒ ෆ්ලයිට් එකට කියන්නේ coffin flight (මිනීපෙට්ටි ෆ්ලයිට්) එක කියලා. දූෂාන්බේ වලින් වෙන රටවලට යන පෙට්ටි බාලා ඇමරිකන් අයගෙ පෙට්ටිත් එක්ක ප්ලේන් එක කෙලින්ම ජපානෙ කැඩේනා කියන ඇමරිකන් එයාෆෝස් බේස් (Kadena AFB) එකට යනවා. එතනින් වෙන ෆ්ලයිට් එකක ඇමරිකාවට යවනවා...හරිද සැලී?"යසිත් විස්තර කලා.

"ඔව්....ඒ ෆ්ලයිට් එක පිටත් වෙන්නේ පාන්දර එකට.......... දැන් වෙලාව?"සැලී කැලුම්ගේ මූන බැලුවා.

"එකොලහයි හතලිස් තුනයි...."යසිත් පිලිතුරු දුන්නා.

"ඒ කියන්නේ ඔයා තව ප්ලෑන් එකක් හදාගෙන හිටියද?"කැලුම් සැලීගේ මුහුණ දෙස එක එල්ලේ බලා ඇසුවා.

"කැලුම්...... ඔයා මාව විශ්වාස නොකලට කමක් නෑ.........හැබැයි ඔයා හිතනවානම් මම හැම වෙලාවෙම එකම ප්ලෑනක් ගැන විශ්වාස කරලා ඉන්නවා කියලා ඒක වැරදියි.........මට හැමවෙලාවෙම ප්ලෑන් B විතරක් නෙමෙයි ප්ලෑන් C එකකුත් තියෙනවා........"සැලී තරහෙන් කියා වේගයෙන් ජීප් එක හැරෙව්වා.

පිටිපස්සේ ඉඳන් හීනියට විසිල් පාරක් ගහපු යසිත් "අයියෙ...කෙල්ලට මළ පැනලා......"කියා සිංහලෙන් කිව්වා.

“Don’t be an ass, talk in English…” සැලී යලිත් තරහෙන් කිව්වා.

"සමාවෙන්න සැලී..........හෙමින් යං.......කැමරාවලට අහුවෙයි........."යසිත් කියද්දී සැලී වෙගය බාල කලා. කිසිවක් කියාගත නොහැකිවූ කැලුම් ඔහේ බලා සිටියා.

Hanger Thirteen ගුවන් යානා හැඟරය වෙත යනවිට වෙලාව 12.20 පමණ වුනා. ඒ වනවිට ලොක්හීඩ් C-17 ග්ලෝබ්මාස්ටර් ප්‍රවාහන යානයට එම්බාම් කල මිනී පෙට්ටි පටවා අවසන්ව තිබුණ අතර යානයේ නියමු කුටියේ ගුවන් නියමුවන් සිටින බව පෙනෙන්නට තිබුණා. ඔවුන් පෙර පියාසැරි පරීක්ෂාකිරීම් (pre-flight checks) වල නිරතව සිටියා. ගුවන් හමුදා ලුතිනන් කර්නල් නිළ ඇඳුමක් පැළඳසිටි සැලී හැඟරය වෙත යනවිට එහි සිටි ගුවන් හමුදා සෙබලුන් ඇයට ආචාර කලා. ඇමරිකන් ගුවන් හමුදා ආචාරයෙන් නිවැරදි ලෙස ප්‍රති ආචාරකල සැලී කෙලින්ම ගුවන් යානය වෙත ගියේ එහි මෙහෙයුම් භාර නිළධාරියා පිලිබඳව අසාගෙනයි.

යානය ඉවතට ගැනීමට හැඟරයේ විශාල දොරටු විවරකොට තිබූ අතර යානයට අවට සිටි සියල්ලන්ම ඉවත්ව ගොස් තිබුණා. යානය හැඟරයෙන් ඉවතට ඇදගෙන යාම සඳහා tow truck රථයක් යානයේ ඉදිරිපසට අමුණා තිබුණා. මිනීපෙට්ටි පටවා අවසන්ව තිබූ නිසා හැඟරය හිස්ව තිබුණා. එහි සේවකයන් හැකි ඉක්මණින් දවසේ සේවා මුරය නිමවා සිය බැරැක්කවලට යාමට යුහුසුලු වෙමින් සිටි නිසා සැලී ගැන හෝ, සැලී පසුපසින් ගුවන් හමුදා මේජර් නිළඇඳුමකින් සැරසී සිටි කැලුම් හා සිවිල් ඇඳුමින් සිටි යසිත් ගැන කිසිවෙකුත් එතරම් අවධානයක් දුන්නේ නෑ.

C17 යානයට රහසින් ඇතුලුවූ ස්ථානය

හැඟර් තර්ටීන් වෙත එන අතරමග දී සැලී, යානයට නැග ගන්නේ කෙසේදැයි විස්තර කලා. C-17 යානය යුධ භාණ්ඩ ප්‍රවාහණ යානාවක් නිසා එහි රෝද සාමාන්‍ය ගුවන් යානා වලට වඩා ඉතා පහතින් පිහිටා තිබුනා. බඩු පැටවීම හා බෑම පහසු වීම සඳහා මෙලෙස ඉතා පහතින් රෝද තිබූ අතර එනිසාම සැලීගේ උපදෙස් අනුව යානය තුලට කිසිවෙකුට නොපෙනී නැග ගැනීමට හැකිවුනා. යානයේ පසුපස රෝද ඇති "wheel well"කොටසේ ඉවත්කල හැකි පැනලයක් ගැන සැලී විස්තර කලා. එම පැනලය සකසා ඇත්තේ යානය ගොඩබැස්වීමට එනවිට හදිසියේ හයිඩ්‍රොලික් ක්‍රියා විරහිත වීමකින් රෝද පහත්කර ගත නොහැකිවූවොත් අතින් රෝද පහත් කරන ලීවරයේ ආධාරයෙන් රෝද පහත් කර, ඒවා නිවැරදිව පහත්වී, ලොක්වී ඇතිදැයි නියමුවෙකුට නිරීක්ෂණය කිරීම සඳහායි. යානය ඇතුලතින් මෙන්ම පිටතින්ද විවර කල හැකි ලෙස මේ පැනලය සකස්කොට තිබුණා.

ගුවන් ගතවීම සඳහා පෙර සූදානම් කටයුතුවල නිරතවී සිටි යානයේ නියමුවන්ට හා හැඟරයේ සිටියවුන්ට නොපෙනී යානය තුලට රිංගා ගැනීම එතරම් අපහසු නොවූවත්, ඒ මිනිත්තු කිහිපයේ ආතතිය යසිත්ව දහදියෙන් තෙත් කිරීමට සමත් වුනා. සැලීගේ උපදෙස් පරිදි කැලුම් emergency wheel access පැනලය ඉවත්කල අතර ඒ සිදුරෙන් යානය තුලට ඇතුලුවුනා. යසිත් ඇතුලට රිංගද්දී සැලී කිසිවෙකුහෝ පැමිණෙන්නේදැයි පරීක්ෂාවෙන් සිටියේ යමෙක් පැමිණියහොත් ඒ අවස්ථාවේ පිලිගත හැකි පිලිතුරක් දිය හැකි එකම කෙනා ඇමරිකන් ජාතිකයෙකු වූ ඇය නිසයි. මද වේලාවකින් සැලීගේ හිස පැනල් සිදුරෙන් මතුවූ අතර කැලුම් සැලීට ඇතුලට නැගීමට උදව්කලා. පැනලය වසා දැමූ ඔවුන් සියයකට අධික මිනීපෙට්ටි එකපිට අසුරා තිබූ යානයේ බඳට ඇතුලුවූවා.

"පයිලට්ලා මෙහාට එයිද?"

"නෑ එන එකක් නෑ....."සැලී කිව්වා

ඔවුන් යානයට නැග ගන්නා විට රාත්‍රී 12.30 පමණ වී තිබූ අතර හරියටම 12.45 යානය එක්වරම ගැස්සුනා.

"ටෝ ට්‍රක් එකෙන් අදිනවා වගේ..."යසිත් මිමිණුවා

"මේක උඩ නැග්ගට පස්සේ අපිට ඔක්සිජන් තියෙයිද?"කැලුම් ඇසුවා.

"බය වෙන්න එපා, C-17 යානාවල කාගෝ හොල්ඩ් එක ප්‍රෙෂරයිස් කරලා තියෙන්නේ…."සැලී කැලුම්ව අස්වැසුවා

"දූෂාන්බේ වලට කොච්චර වෙලා යයිද?"යානය ධාවන පථයෙන් ඉස්සෙන විට යසිත් විමසුවා.

"පැය දෙකක් විතර යයි. පාන්දර 3.00ට ලෑන්ඩ්කරයි". සැලී පිලිතුරු දුන්නා.

"දූෂාන්බේ වල ලෑන්ඩ් කරාට පස්සේ කොහොමද පැන ගන්නේ? කොටුවෙයිද දන්නේ නෑ."යසිත් ඇසූ විටයි කැලුම්ටත් එය මතක් වුනේ.

"ඇත්තටම සැලී කොහොමද මේකෙන් අහු නොවී එලියට පැන ගන්නේ?"කැලුම් ඇසුවා.

"ලැන්ඩ් කරන්නේ පාන්දර තුනටනේ. මේක ලෑන්ඩ් කරපු ගමන් මිනී පෙට්ටි බාන එකක් නෑ. මිනිස්සු වැඩට එන්නෙ උදේනෙ. අපි මේක හැන්ගර් එකේ පාර්ක් කරලා නිසොල්මන් වුනාම නැගපු විධියටම බැහැගෙන හෙමින් මාරු වෙමු. දූෂාන්බේ කියන්නේ මම හොඳට දන්න නගරයක්. මම එහෙ සී.අයි.ඒ ස්ටේෂන් එකේ කේස් ඔෆිසර් කෙනෙක් විධියට කාලයක් හිටියා. එහෙ විශ්වාසවන්ත මිනිස්සු ටික දෙනෙක් මම දන්නවා..."


19:20 Hours, 01st December 2019, Approx 40km from Samarkand, Uzbekistan

මොකක් හරි සද්දයක් ඇහෙනවද? එන්ජිමේ ඝෝෂාව අතරින් කැලුම් උස් හඬින් විමසා සිටියා. මේ වනවිට ඔවුන්ගේ හෙලිකොප්ටරය උස්බෙකිස්ථාන් දේශසීමාවට කිලෝමීටර් කිහිපයක් ඈතින් පියාසර කරමින් තිබුණා. එම ප්‍රදේශය වැළි කඳුවලින් හා කුඩා පඳුරුවලින් ගහන අර්ධ ශුෂ්ක කලාපයක්.

නෑ… වටපිට බැලූ සැලී නළල රැළිකරගෙන කිව්වා

ඒත් එක්කම ඔවුන්ගේ යානය අසලින්ම විශාල හෙලිකොප්ටරයක් පියාසර කලා. එය කොතරම් ලඟින් පියාසර කලාද කිවහොත් එහි අවර පෙත්තේ හුලං පහරට කුඩා Mi-2 යානය සෙළවුනා. ඒත් එක්කම යානය පැදවූ නියමුවා රුසියානු භාශාවෙන් මොනවාදෝ කියමින් කෑගසන්නට වූවා.

“That’s a Mi-24…..!!!” කැලුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සතුව තිබෙන භයානක රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටරය හඳුනාගත්තා. පියාඹන යුධ ටැංකිය යන විරුදාවලි ලබා තිබූ Mi-24 යානය සැබැවින්ම බියකරු යානයක්.

“Why the hell is that Hind doing here buzzing us?” ඇමරිකානුවන් හයින්ඩ් ලෙස හැඳින්වූ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටරය කොහේ සිට ආවාද? මොන රටකට අයිතිදැයි සළකුණක් තිබුණේ නෑ. ඉදිරියට පියාසර කල එය ආයෙත් හරවනවා මෙන් පෙනුනා.

“It's turning….!!!!” කැලුම් කෑගැසුවා. මේ වන විට රුසියානු ගුවන් නියමුවා හොඳටම බියපත්ව සිටි අතර ඔහුට යානය පාලනය කරගන්නට පවා සිහියක් නැති බව පෙනුනා.

“That does not look friendly……….....shit……………….get down!!! get down!!!…..” කෑගසමින් ක්ෂණයකින් ක්‍රියාත්මකවූ කැලුම් සැලී හා යසිත් දෙදෙනාම ඇදගෙන යානයේ අසුන ඉදිරියේ පහත්වුනා. ඒත් සමගම හයින්ඩ් ප්‍රහාරක හෙලික්කොප්ටරයේ ප්‍රධාන මැෂින් තුවක්කුව බිහිසුණු හඬින් ක්‍රියාත්මක වුනා. සතරවැනි ඊලාම් යුද්ධයේදී කැළුම් හා සගයින් වෙඩි හා මෝටාර් වරුසාවලට කොටුවී ඉදිරියට යා ගන්නට නොහැකිව ලතවෙන බොහෝ අවස්ථාවල අහසින් එන දෙවියෙක් මෙන් පිහිට වුනේ ගුවන් හමුදාවේ එම්.අයි.24 යානා.

පට.....පට....පට.....පට හඬින් එම්.අයි.24 පියාඹන යුධ ටැංකිවල ගැට්ලිං තුවක්කු අහසේ ක්‍රියාත්මක වෙද්දී “අහසේ දෙයියෝ වැඩ පටන් ගත්තා!!! ....වරෙල්ලා!!! ” යනුවෙන් ගුගුරමින් සගයින්ට ගැම්ම දුන් ආකරය කැලුම්ට මතක් වුනා. දැන් ඒ දෙයියෝ කෝප වෙලා වගේ....

පට.....පට....පට.....පට....පට.....පට....සතුරු යානයේ මිලිමීටර් දොලහ ගැට්ලිං මැෂින් තුවක්කුව නොකඩවා ගිණිගුළි විදිද්දී කැලුම්ලාගේ යානයේ ප්ලෙක්සි-ග්ලාස් වීදුරු පුපුරා හැලුනා. ඒ සමගම යානයේ නියමුවාගේ ලේ වතුර කරවන මරලතෝනිය ඇසුනු අතර යානය පාලනයෙන් ගිලිහී කැරකෙන්නට වුනා. එන්ජින් වලට වෙඩි වැදී යානය දුමෙන් පිරී ගියා. ඒ සමගම වෙඩි ප්‍රහාරය නතර වුනා.තත්පර 30කටත් අඩු කාලයක් පැවති ඒ ප්‍රහාරය පැය ගණනාවක් මෙන් දැනුනා. හුස්ම හිරකරවන කලු දුම් රොටු යාන වෙලා ගනිද්දී….

“Are you guys OK??.....We are losing altitude ……” කැලුම් කෑගැසුවා

නිමේෂයකින් නැගීසිටි සැලී වෙඩි ප්‍රහාරයෙන් දෙකඩවී ගිය නියමුවාගේ කවන්ධ සිරුර උඩින් පහත්වී යානයේ පාලන යෂ්ඨිය අල්ලා ගත්තා.

“Kelum!!..Yasith!!. lose the pilot ….. I need to work the pedals…..”සැලී කෑ ගැසුවා. සිවිල් වැසියෙකුවූ යසිත් බියපත්ව ගල්ගැසී සිටියත් දරුණු සටන් බිම්වල පන්නරය ලබා සිටි කැලුම් ක්ෂණයකින් ක්‍රියාත්මක වුනා. ලේ විලක්ව තිබූ නියමු අසුනේ ආරක්ෂක පටිවලට තවමත් බැඳී තිබූ නියමුවාගේ දෙකඩවූ සිරුර තත්පර කිහිපයකින් ගලවා එලියට තල්ලු කිරීමට කැලුම් සමත් වෙද්දි යානය වේගයෙන් කරකැවෙමින් කඩාවැටෙමින් තිබුණා. මොහොතකින් කැලුම්ගේ උදව්වෙන් නියමු අසුනට පැනගත් සැලී යානයේ පැඩල් ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තා. හොඳටම අබලන් වී තිබුණත් සැලීගේ පළපුරුදු විධාන වලට අවනතවූ යානය නැවතත් කෙඳිරිගාමින් ඉහලට එසවුනා.

“Where’s that fucking Hind?....” සිහි එලවාගත් යසිත් කෝපයෙන් අසද්දි ඔහුගේ සිරුර කම්පණයෙන් ගැහෙමින් තිබුණා.

“I can't keep this flying for more than a few more minutes….. You need to jump…..!!”

“No Sally you can land this…..” කැලුම් ආවේගයෙන් පැවසුවේ තමන් පැන ගන්නාතෙක් යානය අහසේ තබාගෙන සිටියහොත් එය කඩාවැටීමට පෙර සැලීට පැනගන්නට අවස්ථාවක් නොලැබෙන බව අවබෝධවීමෙන්.

“NO I CAN'T………….GRAB YASITH AND.JUMP!!”

“Sally please…” කැලුම් බැගෑපත් වුනා

“GET THE FUCK OUT KELUM!!!!!.....” ගිගුරූ සැලී යානයේ පාලන යෂ්ඨිය අවනත කරගැනීමට දඟලන අතරම මොහොතකට හැරී කැලුම් දෙස බැලුවා. කම්පණ ආවේගයත්, කෝපයත් නිසා ඇයගේ දෑස් ගිණිගුලි මෙන් දිලිසුනා. ඒ වන විට හෙලිකොප්ටරය පොලොවට අඩි 50ක් තරම් ලංවී සිටි අතර සැලී යානයේ පාලන යෂ්ඨිය සමග පොරබදමින් ආයාසයෙන් යානය තව තත්පර කිහිපයක් අහසේ රඳවාගෙන තබාගන්නට වෙර දැරුවා. තව දුරටත් බලා සිටීමේ තේරුමක් නොමැති බව වටහාගත් කැළුම් යසිත්ගේ වම් බාහුවෙන් තදින් අල්ලාගෙන ඔහුත් ඇදගෙන යානයෙන් පැන්නා. තත්පර කිහිපයකින් ඔවුන් දෙදෙනා උස්බෙකිස්තාන් ශුෂ්ක වැළිකතරේ වැළිකඳු අතර පතිතවුනා. සැලී රැගත් හෙලිකොප්ටරය ඝණදුමාරයක් සමග ගිණිදළු විහිදුවමින් ඈතට ඇදී ගියා.

බිමට පතිතවී මොහොතකින් සිහි එලවාගත් කැළුම් වටපිට බැලුවේ යසිත් කොහිදැයි සොයමින්. මදක් ඈතින් මුණින් අතට වැටී සිටි යසිත් දුටු කැළුම් හැකිතාක් වේගයෙන් ඔහු වෙත දිවගියේ වැල්ලට මුහුණ තදවී ඔහුගේ හුස්ම හිරවේයයි බියෙන්.

"යසිත්!! යසිත්!! නැගිටපන්.... නැගිටපන්..."කියමින් ඔහුගේ කම්මුලට පහර කිහිපයක් ගසද්දි යසිත් දෑස් විවරකලා. එවිටම ඈතින් දඩාං!!! යන හඬින් කඩා වැටුනු හෙලිකොප්ටරය පුපුරා යන හඬ ඇසුනා. ඒ අත බැලූ දෙදෙනාට කිලෝමීටරයක් පමණ ඈතින් දුම් රොටු ඉහලට යන ආකාරය දකින්නට ලැබුනා. විනාඩි කිහිපයක් නිසොල්මන්ව ගෙවුනා. අහසට නගින දුම් කඳ දෙස බලාසිටි යසිත්ගේ දෙනෙතින් කඳුළු රූරා වැටෙන්නට වුනා. කැළුම්ගේ දෑස්ද තෙත්වී තිබුනත් ඔහු යසිත් ගේ කරවටා අතක් දමාගෙන ඔහු සනසන්න උත්සහ කලා.

"දන් මොකද අයියෙ අපි කරන්නේ?"කඳුලු පිස දමමින් යසිත් ඇසුවා."

"අපි ඉක්මණට යං හෙලිකොප්ටරේ ලඟට. ඔයාට ඇවිදින්න අමාරුවක් නෑනෙ?"

"නෑ."

"කිලෝමීටර් එකහමාරක් විතර ඇති මං හිතන්නේ. අපි ගිහිල්ලා සැලීව බලන්න ඕනෑ.. මංජුසාව තියෙන බෑග් එක එයාගෙ කරේ තිබුණෙ. ඒක හොයාගෙන, මංජුසාව විනාශ වෙලා නැතිනම් කොහොම හරි ඒක විනාසකරන්න ඕනෑ. නැතිනම් සැලීගේ කැපකිරීම වතුරේ යනවා..."

"සැලී කොහොම හරි පැනගන්න ඇති නේද අයියෙ....?"

"හ්ම්ම්ම්.........බලමු..."


19:45 Hours

වැලිකඳුවල එරෙමින් ලහි ලහියේ ගිණිගන්නා හෙලිකොප්ටරය වෙත යමින් සිටි කැලුම්, යසිත් දෙදෙනාගෙම සිතේ තිබූ එකම බලාපොරොත්තුව සැලී කෙසේ හෝ පැනගන්නට ඇතයි යන්නයි. වෘත්තියෙන්ම ඔත්තුකාරියක මෙන්ම ඔත්තු මෙහෙයුම් සැළසුම්කල නායිකාවකද වුවත් හරි හැටි අඳුනන්නේත් නැති ලාංකික කොල්ලන් දෙදෙනෙකුගේ දිවි බේරන්නට ඇය මෙතරම් කැපකිරීමක් කලේ ඇයිදැයි යන්න යසිත්ට සිතාගත නොහැකිවුනා. මංජුසාවද ඇය සතුව තිබූ නිසා "උඹලා ඕනෑ එකක් කරගනිල්ලා, මං යනවා... කියා යානයෙන් පැන ගන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණත්, එයාට ඕනෑ වුනේ මාවයි කැලුම් අයියවයි බේරන්න…” යසිත් කම්පා වුනා.

තවමත් ගිණිගනිමින් තිබූ පොඩිපට්ටම් වූ යානය දුටු දෙදෙනාගේම හදවත් කිඳා බැස්සා. ගිණි රස්ණය හා දුමාරය නිසා එයට ලංවන්නට වත් හැකියාවක් තිබුණේ නෑ. මුල සිටම සැලීව අවිශ්වාස කල යසිත් දැඩි සිත් වේදනාවෙන් සිටියා. ඇයව අවිශ්වාස කිරීම ගැන ඔහුට තිබුනේ කිව නොහැකි පසුතැවීමක්. ගිණි ගන්නා යානය අසල දණින් වැටුනු යසිත් "....මට සමාවෙන්න සැලී අක්කේ.....මට ඔයා වගේ අක්කා කෙනෙක් හිටියානම්...."කියමින් හදෙහි උතුරායන වේදනාවෙන් මුමුණන්න වුනා. ඔහුට ඉධංමේ ඥාතී ගාථාව මතක්වුනා...

"ඒයි!! අර බලපන්....!!!"

"මොකක්ද??"යසිත් නින්දෙන් කීද්දුවාක්මෙන් ඇසුවා. ඔහුගේ දෑස් කඳුලින් බොරපැහැවී තිබුණා.

"අර සැලී!!! ....... එයා පැනගෙන........!!!"

යානය තිබූ තැනට කිලෝමීටරයක් පමණ ඈතින් තමන් වෙත දෑත් වනන සැලී දුටු යසිත් ප්‍රීතියෙන් ඉපිලුනා. කැලුම් ඒ වනවිටත් ඇය සිටි දෙසට දුවයමින් සිටියා.

"අයියටත් සෙට් වුනේ මාර කෑල්ලක් තමයි…….....මේකිගෙ තාත්තා සාතන්ද කොහෙද…………..ඇෆ්ගන් අපායෙදිමනෙ සෙට්වුනේ….වෙඩින් එක ගිණි කන්දක ගමුද?."දැඩි සතුටින් ඉපිලී සිටි යසිත් විකාර කියවන්න වුනා.

"ඕක එයාට ඇහෙන්ඩ කියහං බලන්ඩ.........උඹව හක්කෙ තියල සෙම අරියි."


06:55 Hours, 03 December 2019, Surkhandarya Province, Near Uzbek-Tajik-Afghan Border | ඇෆ්ඝනිස්ථාන්, තජිකිස්තාන්, උස්බෙකිස්තාන් දේශසීමා අසල, සුර්කන්දාර්යා පලාත


උස්බෙක් හමුදාව සතු අවි හොර පාරෙන් ඇෆ්ඝන් සටන්කාමීන් වෙත විකුණන ජාවාරම් කරුවන්ට උස්බෙක් හමුදාවේ ප්‍රාදේශීය අංශවලින් ආරක්ෂාව ලැබෙන බව සැලී මුලසිටම සැක කරපු දෙයක්. උස්බෙකිස්තාන්-තජිකිස්ථාන්-ඇෆ්ඝන් දේශසීමා හමුවෙන ප්‍රදේශයේ සිට බර අවි, පතොරොම් හා රොකට් විශාල වශයෙන් ඇෆ්ඝනිස්ථානයට එන බව සැලීගේ ඔත්තුකරුවන් සැළකොට සිටියත් සී.අයි.ඒ ප්‍රධානීන් එය විශාල තර්ජනයක් ලෙස සැලකුවේ නෑ. කසුන්, සැලී හා යසිත් ජාවාරම් කාරයින්ගේ ග්‍රහණයෙන් මිදී අවි ගැටුමක් පටන්ගත් වහාම උස්බෙක් හමුදාව පැමිණීමෙන් මේ ජාවාරම් කඳවුර අසලම උස්බෙක් හමුදා කඳවුරකුත් ඇති බව තහවුරු වුනා.

ජාවාරමට සම්බන්ධ උස්බෙක් හමුදාවේ ලොකු ලොක්කන් යුද්දෙට සහයදෙන මුවාවෙන් ඇමරිකාවෙන් ලොකු කුට්ටි කඩාගන්න ගමන් අනෙක් පැත්තෙන් ත්‍රස්තයන්ට පණපොවන අරාබි තෙල් සල්ලිවලට ආයුධ විකුණනවා.සී.අයි.ඒ එකේ සමහර ලොක්කන් ඒක නොදන්නවා වගේ ඔවුන්ගේ හොර ව්‍යාපෘතිවලට සැපයුම් මාර්ග ලෙස උස්බෙක් හමුදාවේ දූෂිතයින් මෙන්ම මේ ජාවාරම් කාරයින්වම භාවිතා කරනවා. සැලී ඇතුලු පිරිස රඳවාගෙන ඉන්න ඔවුන් ජාවාරම්කරුවන්ව යෙදෙව්වේ ඒ සම්බන්ධය උඩ බව සැලීට විශ්වාසයි.

කැලුම් ඇතුලු පිරිසට එම්.අයි.24 ප්‍රහාරය මෙහෙයවූයේ සී.අයි.ඒ එක ඇතුලේ රහස් කණ්ඩායමකින් බව සැලීගේ අනුමානය වුනා. සී.අයි.ඒ ඒජන්සිය ඇතුලේ විවිධ රහස් කණ්ඩායම් ක්‍රියාත්මකවුනේ එය ආරම්භ කරපු කාළයේ ඉඳන්. සී.අයි.ඒ පූර්වප්‍රාප්තිකයා වූ OSS සංවිධානයේත් විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වුනා. ඒ කණ්ඩායම් බොහොමයක් සී.අයි.ඒ ප්‍රධානියාටත් රහසිනුයි ක්‍රියාත්මක වුනේ. එවැනි දෑ නැවැත්වීමේ හැකියාවක් තිබුණේ නෑ.

සමහර කණ්ඩායම් ක්‍රියාත්මක වුනේ කෙලින්ම ආරක්ෂක ලේකම්වරයාගේ හා ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන්. මෙවැනි මෙහෙයුම් බොහොමයක් ජාත්‍යන්තර නීතියට පමණක් නොව ඇමරිකන් නීතියටත් පටහැනි ඒවා වුනා.සමහරවිට සී.අයි.ඒ අධ්‍යක්ෂකවරයා පවා නොදැනුවත්ව. අධ්‍යක්ෂකවරයා නොදැනුවත්ව සිදුවන දෑට ඔහුට වගවෙන්නට බැරිය යන පදනම මත ඔහුව ආරක්ෂාකිරීමටත් මෙවැනි ක්‍රියාමාර්ග ගැනුනා.

එහෙත් සමහර කණ්ඩායම් ක්‍රියාත්මක වුනේ වෙනත් බලවේගවල මෙහෙයවීමෙන්. ඔවුන් මෙහෙයවූ බලසම්පන්න පුද්ගලයින් දේශපාලන හා ආරක්ෂක අංශවල ඉහලම තනතුරු හෙබවූ, ලෙහෙසියෙන් වට්ටන්නට බැරි අය. ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මරාදමන්නටත් මෙවැනි කණ්ඩායමක් ක්‍රියාකල බවයි කියැවෙන්නේ.

ඇෆ්ඝනිස්ථානය ඇතුලු ආසන්න රටවල් අයත්වන රන් අඩසඳ හෙවත් ලෝකයේ හොඳම ඔපියම් නිෂ්පාදන ප්‍රදේශයේ ඔපියම් ඇමරිකාවට හා යුරෝපයට ගෙනියන ජාවාරමක ඉහලම නායකයින් කිහිප දෙනෙකුත් සී.අයි.ඒ එකේ සිටියා. ඒ පිලිබඳව අභ්‍යන්තර විමර්ෂන සිදුවුනා. එහෙත් සාක්ෂි නැති නිසා ඒවා නැවතුනා. ඔවුන් කවුරුන්දැයි කිසිවෙකුත් දැනගෙන සිටියේ නෑ. විවිධ ප්‍රහාරක ඒකක හා ඔත්තු ඒකක ක්‍රියාත්මක වන නිසා සිදුවන සියලුම දෑ මූලස්ථානවලට පවා වාර්තාවෙන්නේ නෑ.

මේ කණ්ඩායම් වල මෙහෙයවීමෙන් ත්‍රස්තයන්ට දෙන අවිවලට ගාස්තු ලෙස ඔපියම් හුවමාරු වුනා. මේ ඔපියම් ඇෆ්ඝනිස්ථාන දේශසීමාවෙන් පිටතට ගෙනයන්නේ උස්බෙක් හමුදාවේ අනුග්‍රහයෙන්. උස්බෙකිස්ථානයෙන් ඒවා යුරෝපයට හා ආසියාව හරහා ඇමරිකාවට ගෙනියන්න සී.අයි.ඒ කණ්ඩායම් පහසුකම් සැපයූවා. සී.අයි.ඒ හඳුනාගැනීමේ කේත භාවිතාකරන ගුවන්යානා වලට පරීක්ෂාවකින් තොරව ලෝකයේ බොහෝ ගුවන්සීමා පසුකරයාමේ හැකියාව ප්‍රයෝජනයට ගෙනයි මේවා සිදුවුනේ. ඔපියම් ගෙනියන්න සී.අයි.ඒ එකට අයිති ගුවන්යානා භාවිතාවුනේ නෑ. ඔවුන් කලේ ඔපියම් ගෙනියන ජාවාරම්කරුවන්ගේ ගුවන්යානාවලට සී.අයි.ඒ හඳුනාගැනීමේ කේත ලබාදී ඒවාට ගුවන්සීමා පසුකරන්නට උපකාරී කිරීමයි. මේ ඔපියම් මියන්මාරය, ලාඕසය වගේ රටවල්වලට ගෙනිහින් ඒවායේ ඇති නිෂ්පාදනාගාර වල හෙරොයින් බවට පරිවර්තනය කරලා තමයි ලෝකය පුරා බෙදාහැරුනේ.

ඒ වුනත් මේ ගණුදෙන අතර ඩබල් ගේම් ගොඩාක් සිදුවුනා. ත්‍රස්තයින්ට අවි විකුණන උස්බෙක් හමුදා ලොක්කන් ඒ ආයුධ ෂිප්මන්ට් වල තොරතුරු සී.අයි.ඒ ප්‍රහාරක ඒකකවලට ලබා දුන්නේ ඔවුන් හා ජාවාරම් කරන සී.අයි.ඒ කණ්ඩායම් හරහා. සමහර වෙලාවට ඒ ආයුධ පෙට්ටිවලට සී.අයි.ඒ එකෙන් ලබාදෙන ට්‍රැකින් ඩිවයිසස් හයිකරන එකත් උස්බෙක් හමුදාවෙන්ම කරන බව උස්බෙක් ඔත්තුකරුවන් වාර්තාකරලා තිබුණා. එතකොට ඩ්‍රෝන් වලට ඒවා ඉලක්ක කරගන්න පහසුයි. ඒ ෂිප්මන්ට් ඇෆ්ඝනිස්ථානය ඇතුලට ආවාම ඇමරිකන් ඩ්‍රෝන් වලින් පහරදෙනවා. හැමෝම හොඳට හම්බකරගනිද්දී දෙපැත්තෙම මිනිස්සු මැරෙනවා. මේ අතරේ ඇෆ්ඝනිස්ථානයේ වැවෙන හොඳම ඔපියම් වලින් හදන හෙරොයින් ලෝකය පුරාම අලෙවි වෙනවා.


~~~


හෙලිකොප්ටරය කඩා වැටුනට පස්සේ යලිත් එක්වුනු කැලුම්, සැලී, යසිත් තුන්දෙනා ඒ ලඟින් දිවයන මහා මාර්ගයේ ගමන්කරන ලොරියක් හෝ වෙනත් වාහනයක් පැහැර ගැනීමේ සැලැස්මක් කතාකර ගත්තා. යසිත්ගේ ප්ලෑන අනුව සැලීව පාර මැද්දට යවලා ඩ්‍රයිවර්ව රවටලා බඩුගෙනියන ලොරියක් නවත්වා ගත්තත් වැඩිදුර යන්න ලැබුනේ නෑ. කිලෝමීටර් 50ක් විතර යනකොට ඔවුන් සිටිනා තැන උස්බෙක් හමුදා හෙලිකොප්ටරයක් සොයා ගත්තා. සී.අයි.ඒ ඩ්‍රෝන් එකක් හෙලිකොප්ටරය කඩාවැටුන ප්‍රදේශය ඉහලින් ගැවසෙමින් ඔවුන් සොයමින් සිටිබව ඉන් තහවුරු වුනා. නැතිනම් ජනශූන්‍ය ශුෂ්ක ප්‍රදේශයක රාත්‍රියේදී ඔවුන්ව ඉක්මණින් සොයා ගන්න තරම් තාක්ෂණයක් උස්බෙක් හමුදාව සතුව තිබුණේ නෑ.

ඔවුන්ගේ ලොරියට ප්‍රභල ආලෝක ධාරාවක් එල්ලකොට වටේටම වෙඩිතැබූ උස්බෙක් හෙලිකොප්ටරය එමගින් පලා යන්නට උත්සහ කලහොත් මරාදමන බවට සංඥා කලා. විනාඩි කිහිපයකින් හෙලිකොප්ටරයෙන් පැනගත් උස්බෙක් සෙබළු ලොරිය වටකලා. අත්පා බැඳදමා හෙලිකොප්ටරයට පටවාගත් ඔවුන් ගෙනයන්නේ කොහේදැයි ඇසූවිට පිලිතුරු ලැබුනේ නෑ.

හෙලිකොප්ටරය ඉහල නැගෙනකොටම ඔවුන් ගිය ලොරිය ගිණිගන්නා බව පෙනුනා. "සාක්ෂි නැති කරන්න ලොරියට ගිණි තියලා..."කැලුම්ට සිතුනා.

"ඔයාගෙ යාළුවා ගැවිෂෙන්කෝ අපිව පාවා දුන්නා මම හිතන්නේ......."කැලුම් සැලී දෙස බලමින් පැවසුවා. දෑත් පිටුපසට වන්නට තදින් බැඳතිබූ නිසා ඇය පසුවූයේ වේදනාවෙන්.

"නෑ...මම හිතන්නේ නෑ.....එයා මට අණතුරු ඇඟෙව්වා....කොටින්ම එයා මාව දැක්කම හොඳටම කළබල වුනා. ගැවිෂෙන්කෝ වගේ මිනිහෙක් ලේසියෙන් කළබල නෑ. එයා හිටපු ස්පෙට්ස්නාස් කැප්ටන් කෙනෙක්, චෙච්නියවේ දරුණු සටන්වලට හවුල්වුනු හොඳ පන්නරයක් තියෙන කෙනෙක්....ඒත් මාව දැක්කම එයා සැලුනා. එතකොටත් එයා දැනගෙන හිටියා මම සී.අයි.ඒ එකෙන් පැනලා දැන් මාව හොයනවා කියලා. ….අපි තුන්දෙනාටම capture or terminate නියෝගයක් තියෙන බව එයා මට කිව්වා…අපිව හොයන අය සී.අයි.ඒ එක ඇතුලේ ක්‍රියාත්මක වෙන බළසම්පන්න රහස් කණ්ඩායමක් බව එයා දැනගෙන හිටියා...සාමාන්‍යයෙන් සී.අයි.ඒ එකෙන් පැනපු අයට terminate නියෝග නිකුත්වෙන්නේ නෑ. සී.අයි.ඒ එකට, ඇමරිකන් ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකුට නැතිනම්, ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට හරි බරපතල හානියක් කරන්න පුලුවන් තොරතුරු තියෙන, ඉක්මණින්ම නිහඬකලයුතු ඉතා අණතුරුදායක පුද්ගලයින්ට විතරයි terminate orders නිකුත්කරන්නේ.….ගැවිෂෙන්කෝ මට උදව්කලේ ලොකු අවදානමක් අරගෙන …”

"ඉතින් එහෙනම් කාගෙන්ද ඔත්තුව ගියේ?"දෑත් තදින් බැඳදැමීම නිසා අපහසුවෙන් ඇඹරෙමින් සිටි යසිත් විමසුවා.

“CIA කියන්නේ ඔත්තු සේවයක්නෙ යසිත්...එයාලට ඕනෑ තරම් ඔත්තුකාරයෝ ඉන්නවා. සමහරවිට ගැවිෂෙන්කෝගේ ගෝලයෙක් එයාට හොරෙන් ඔත්තුව දුන්නාද දන්නේ නෑ. සමහරවිට අපි ගිය හෙලිකොප්ටරේ පයිලට් ඔත්තුව දුන්නද දන්නෙත් නෑ. මිනිහා හයින්ඩ් එක දැකපු ගමන් හොඳටම බයවෙලා කෑගැහුවේ ඒ නිසා වෙන්න ඇති…”

පැයක් පමණ පියාසරකල ඔවුන් රැගත් හෙලිකොප්ටරය කඳවුරකට පහත්කලා. එය ඇෆ්ඝන්, උස්බෙක්, තජිකිස්තාන් දේශසීමා එකට හමුවෙන සුර්කන්ධාර්යා ප්‍රදේශයේ තිබූ බව උස්බෙක් භාශාව යාන්තමින් දැන සිටි සැලී හෙලිකොප්ටර් නියමුවන්ගේ කතාබහෙන් අවබෝධකර ගත්තා. ඔවුන්ව යලිත් සී.අයි.ඒ එකට භාරදීම අරමුණ බව සියල්ලන්ටම වැටහුනා.

"සී.අයි.ඒ එකට අහුවෙනවාට වඩා හොඳයි මැරෙන එක..."යසිත් කිව්වේ ආවේගයෙන්.

"කළබල නැතුව ඉන්න මල්ලි....අපි බලමු මොකද වෙන්නේ කියලා..."

හෙලිකොප්ටරයෙන් බස්වාගත් ඔවුන් තාවකාලික ගොඩනැගිලි තිබුණු ජාවාරම්කාරයින්ගේ තිප්පොලක් බවට පෙණුනු එම කඳවුරේ ප්‍රධාන කාර්යාලය ලෙස පෙණුනු තැනකට ගෙනිච්චා. එහි සිටි උස්බෙක් කපිතාන් වරයෙක් තර්ජනාත්මකව සැලීව ඇමතුවා. ගොරෝසු රුසියානු උච්චාරණයකින් කතාකරමින් අමාරුවෙන් ඉංග්‍රීසි ගැටගසාගත් ඔහු’

"Our CIA friends will send a helicopter in the morning to take you. Until then stay without giving us trouble...or else I will shoot all of you for trying to escape..." [අපේ සී.අයි.ඒ යාලුවෝ තමුසෙලව ගෙනියන්න උදේට හෙලිකොප්ටරයක් එවයි. එතකන් දඟලන්නේ නැතුව ඉන්නවා. නැතිනම් පැනලා යන්න හැදුවා කියලා උඹලා ඔක්කොටම වෙඩි තියෙනවා..]

උස්බෙක් කැප්ටන්කාරයා පිටවගියාට පස්සේ හෙලිකොප්ටරය ආයෙත් ගුවන්ගත වෙන හඬ ඇසුනා.

"මිනිහා හෙලිකොප්ටරයෙන් ගියාද දන්නේ නෑ...."කැලුම් අනුමාන කලා

"යන්ඩ ඇති, මේ වගේ ජරා තැන්වල රෑ නවතින්න උන් කැමතිනෑ...අනිත් එක මම සී.අයි.ඒ ඔෆිසර් කෙනෙක් නිසා මාව උස්බෙක් හමුදාවෙන් නීති විරෝධීව හිරකරගෙන ඉන්නවා කියන එක බරපතල කේස් එකක් වෙන්ඩ පුලුවන් කියලා උන් දන්නවා. ඒ නිසා තමයි ජාවාරම්කාරයින්ට අපිව බාරදීලා මාරු වුනේ..."

තුන්දෙනාගෙම දෑත් බැඳතිබූ බැමි එසේම තිබියදී ඔවුන්ව කාමරයක ගාල් කලා. සැලී සී.අයි.ඒ බව උස්බෙක් කපිතාන් දැන සිටිය බව පෙනුනත්, ඇයගේ තනතුර පිලිබඳව හෝ කැලුම් හා යසිත් පිලිබඳව අවබෝධයක් ඔවුනට නොතිබූ බව පෙනුනා.අනවශ්‍ය තොරතුරු නොදී ඉන්නට සී.අයි.ඒ කුමණ්ත්‍රණ කණ්ඩායම පරෙස්සම්වෙලා තිබුණා. කැලුම් විශේෂ බළකා පුහුණුව ඇත්තෙක් බවත්, සැලී සී.අයි.ඒ සටන් පුහුණුව ලැබූ කෙනෙකු බවත් ඔවුන් නොදත් බව තිදෙනාම එකම කාමරයක දැමීමෙන් පෙනුනා.

උස්බෙක් හමුදා හෙලිකොප්ටරය පිටත්වී පැයක් පමණ වේලා කල්බැලූ කැලුම් දෑත් පිටුපසට කොට බැඳතැබූ නයිලෝන් ලණුව කාමරයේ තිබූ ස්ලොටඩ් ඇන්ගල් යකඩ පටි වලින් තැනූ රාක්කයක අතුල්ලන්න පටන් ගත්තා. සැලීත් ඔහුව අනුගමනය කරන්නට හැදුවත් හදිසියේ රැකවලෙක් කාමරයට පැමිණිය හොත් සියල්ලන් හසුවෙන නිසා තමන් ලණුව කපා ගන්නා තෙක් අවධානයෙන් ඉන්නා ලෙස පැවසූවා. විනාඩි විස්සකින් පමණ බැමිවලින් මිදුනු කැළුම් කාමරයේ තිබූ බෝතලයක් හඬ නොනැගෙන ලෙස කඩා එයින් සැලීගේ හා යසිත්ගේ බැමි කපා දැම්මා.

“What time is it?”

“3.30AM…”

“How do we get out?” [කොහොමද පැන ගන්නේ?]

“There are no windows….and the roof is too high…” [ජනේල නෑ....වහලේ උස වැඩියි]

“Only way is the door then…” [දොරෙන් තමයි]

“Yeah...:”

“The door is locked…”

“Obviously…if it is left unlocked then it is a trap for sure…” [අනිවාර්යයෙන්ම දොර ලොක් කරලා තියෙන්න ඕනෑ....නැතිනම් උගුලක්]

“I can pick the lock if you want..?” [ඔයාලට ඕනෙ නම් මට අගුල පන්නන්න පුලුවන්]

“What do you mean if we want Yasith?........ Pick it..!!” [මොනවද යසිත් අපිට ඕනෙ නම් කියන්නේ?.....පන්නනවා අගුල!]

“Yes Ma’am….”

“Are you sure Yasith?”

“Yes ayya….i need a hair pin or a wire...” [ඔව් අයියෙ.......වයර් කෑල්ලක් හරි කොණ්ඩ කට්ටක් හරි ඕනෑ...]

පැය භාගයක් පමණ වෙහසූ යසිත් සීරුවෙන් අගුල පන්නා ගත්තා. දොර විවරවූ වහාම කළබළවූ රැකවලා මතට පැනගත් කැලුම් ඔහුට කෑගසන්නට ඉඩ නොදී කට තද කරගෙන යටි බඩට මරුපහරක් එල්ලකොට බිම පෙරලාගත්තා. පහරින් රැකවලා මදක් අඩපන වෙද්දී සැලී ඔහුගේ රයිෆලය උදුරා ගත්තා. කැලුම් එක් අතකින් ඔහුගේ මුහුණ තදකරගෙන අනෙක් අත මිටමොළවා ඔහුගේ ඇලපතට පහරපිට පහර දුන්නා. දරුණු පහරවලින් වේදනාවෙන් දඟලන රැකවලා මුණින් අතට පෙරලා ගත් කැලුම් ඔහුගේ හිස දඬු අඬුවකින් මෙන් අල්ලාගෙන මුළු වැර යොදා කැරකෙව්වා. "ජරස්...!!"යන හඬින් ඔහුගේ උගුරුදණ්ඩ බිඳී කටින්, නාසයෙන් හා කන්වලින් ලේ වැක්කෙරෙන්න ගත්තා. යසිත්ගේ ඇඟ කිළිපොලා ගිහින් ඔක්කාරෙට ආවා. උගුරු දණ්ඩ කැඩුණු රැකවලා දෑතින් බෙල්ල අල්ලාගෙන ගොර ගොර ගාමින් දඟලද්දී සැලී කිසි පැකිලීමක් නැතුව ඔහු ඇඳගෙන සිටි පතොරොම් මැගසින් රඳවනය ගලවාගත්තා.

සැලී රයිෆලය හා පතරොම් රඳවන කැලුම් වෙත විසි කල අතර එය අල්ලාගත් ඔහු සෙමින් ඉදිරියට දිවගියා. සැලී යසිත්වත් ඇදගෙන පසුපසින් වැටුනා. මොහොතකින් ඔවුන් තවත් රැකවලුන් පිරිසක් රැඳී සිටි කාමරයක් අසලට පැමිණියා. එහි නිදාවැටෙමින් සිටි අවිගත් උස්බෙක් ජාතිකයින් පහක් පමණ වූ අතර රේඩියෝ යන්ත්‍රයක්ද තිබුණු දුටුවා. සැලීට හා යසිත්ට අතින් සන්කල කැලුම් එක්වරම ඒ කාමරය තුලට වැදී හතර අතට වෙඩි තිබ්බා. මොහොතකින් එහි සිටි පස්දෙනාම් මැරී වැටුනු අතර එහි තිබූ AK-107 රයිෆල් දෙකක්, පතරොම් මැගසින් හා සබ්-මැෂින් තුවක්කුවක් ඔවුන් අතට පත්වුනා.

කොහෙන්දෝ එක්වරම වෙඩි ප්‍රහාරයක් එල්ලවුනා. කැලුම් මුවා වූ අතර සැලී යසිත්වත් පෙරලාගෙන බිම දිගාවුනා. වෙඩි පහර එල්ලවුනු දෙසට වෙඩිතබන්නට පටන්ගත් කැලුම් වෙඩිතබන ගමන් සැලීට සංඥා කලා. ඒ ඉස්පාසුවෙන් සැලී හා යසිත් කැලුම් අසලට පැනගෙන මුවාවුනා. ඒ සමගම කඳවුර ඇවිස්සුනා. කඳවුරේ සිටි ජාවාරම් කරුවන් යුධ පුහුණුව නොලැබූ අවිගත් මැරයින් නිසා ඔවුන් මගහරිමින් ඉදිරියට යන්නට සමත්වුනත් විනාඩි පහලොවක් යන්නට පෙර UAZ වර්ගයේ උස්බෙක් හමුදා ජීප් රථ දෙකක් ඇතුලු වෙන බව ඈතින් පෙනුනා. ඉදිරියෙන් ආ ජීප් රථයේ පිටුපස බර මැෂින් තුවක්කුවක් සවිකොට තිබුණා.

We need that jeep… that's our way out! [අපිට අර ජීප් එක අල්ලගන්න ඕනෙ!]

Kelum! are you freakin crazy? [කැලුම් ඔයාට පිස්සුද?]

Right now I am fucking crazy….I need cover fire …[වෙන්න පුලුවන්....මට ආවරණ වෙඩි ප්‍රහාර ඕනෑ]

NO!!! NO!! Dont…!! [නෑ!! නෑ!! එපා!!]

සැලී කැලුම්ව වලක්වන්න හැදුවත් හරිගියේ නෑ. තිදෙනා මුවා වී සිටි තහඩු මඩුවෙන් මෑත්වී පහත්වෙමින් ඔහු ඉදිරියට දිව ගියා. ඔහුගේ ඉලක්කය වුනේ ඉදිරියෙන් ආ මැෂින් තුවක්කු ජීප් රියයි. එහි සන්නද්ධ උස්බෙක් භටයින් පස් දෙනෙකු සිටි අතර එකෙක් ජීප් රියේ පිටුපස සවිකල රුසියාවේ නිෂ්පාදිත Kord 6P50 වර්ගයේ බර මැෂින් තුවක්කුව මානාගෙන සිටගෙන සිටියා. සැලී ඇය අත තිබූ Kalashnikov AK-107 ඇසෝල්ට් රයිෆලය ජීප් රියේ මැෂින් තුවක්කු සෙබලාට ඉලක්ක කරගෙන සිටියා. කැලුම්ට වැඩිම අණතුර ඔහුගෙන්. කැලුම් යලිත් මුවාවෙලා කල් බැලුවා. ජීප් රිය හැකිතාක් ලඟට එනතෙක් බලා සිටින බව පෙනුනා. ඔහු අත තිබූ AK-107 තුවක්කුවකින් මීටර් අටසීයක් පමණ ඈතට වෙඩි තැබිය හැකි නමුත් මාරක ප්‍රහාරයක් එල්ලකරන්නට නම් ඉලක්කය මීටර් පන්සීයකට වඩා ලංවිය යුතුයි.

යසිත් අත රැඳුනු PPSh-41 සබ්මැෂින් තුවක්කුව දෙස සැලී නෙත් යොමුකලේ සැකෙන් වගේ. පතොරොම් හැත්තෑ එකක් රඳවාගන්නා ඩ්‍රම් මැගසිනයක් සවිකල එය ආසන්න ඉලක්කයකට බලවත් හානියක් කල හැකි වුනා. යසිත් වැනි ආයුධවලට ආධුනිකයෙකු අතට එවැනි බලවත් අවියක් දීමට කැලුම් පවා අකමැති වුනත් කලහැකි දෙයක් තිබුණේ නෑ.

“Let me show you….it’s easy….this is the fire selector. It is on safety now, that means the gun will not fire if you press the trigger. Move it to fire position, point at them and pull the trigger…” [මම කියලා දෙන්නම්....] මුවාවී සිටින ගමන් සැලී යසිත්ට වෙඩි තබන හැටි ඉගැන්වූවා. [ මේ තියෙන්නේ ෆයර් සිලෙක්ටර් එක. දැන් තියෙන්නේ සේෆ්ටි එකේ. එතකොට ට්‍රිගර් එක ඇද්දට පත්තුවෙන්නේ නෑ. සිලෙක්ටර් එක ෆයර් පොසිෂන් එකට කරකවන්න. අරුන් ඉන්න පැත්තට හරවලා කොකා ගස්සන්න...]

ජීප් රථය මීටර් 300ක් පමණ ලංවෙන විට එක්වරම ඉදිරියට දිවගොස් පහත්වී දණහිසක් බිම තබාගත් කැළුම් එහි ඉදිරිපස ගමන්කලවුන් ඉලක්කර කරගෙන වෙඩි තබන්නට පටන් ගත්තා. ඒත් සමගම සැලී එහි සිටගෙන ගමන්කල මැෂින් තුවක්කු කාරයාව ඉලක්ක කරගත් අතර යසිත්ද ජීප් එක දෙසට නොකඩවා වෙඩි තියන්න ගත්තා.

විනාඩියක් ගතවෙන්නටත් පෙර ජීප් රිය පාලනයෙන් මිදී ගොස් කණුවක වැදී නතරවූ අතර එහි සිටි සියල්ලන් තැන තැන වැටී සිටියා. ඒ වනවිටත් කැලුම් ජීප් එක වෙත දිවගොස් සිටි අතර ඔහු ජීප් රථය පණගන්වන්න හදනවා වෙනුවට එහි පිටුපසට පැන ගෙන මැෂින් තුවක්කුව කරකවා සෙබලුන් පුරවාගත් අනෙක් ජීප් එකට වෙඩි තබන්නට ගත්තා. සැලී ඒ දෙසට දිවයද්දී යසිත් ඇය පසුපසින් වැටුනා.

කැලුම් එල්ලකල මැෂින් තුවක්කු ප්‍රහාරය ඉලක්කයටම වැදුනු නිසා නිසා ජීප් රථයේ වින්ඩ්ස්ක්‍රීනය හා රේඩියේටරය පුපුරා ගිය අතර ඉදිරි අසුන්වල සිටි රියදුරා ඇතුලු පිරිස කිසිදු අවස්ථාවක් ලැබුණේ නෑ. පිටුපස සිටි සෙබලුන් එලියට පණිමින් දිවයන අයුරු දිස්වුනා. ප්‍රතිප්‍රහාර දෙනවාට වඩා පැනයන්නට ඔවුනට උවමනාව තිබූ බව යසිත්ට පෙනුනා.

කඳවුරේ හතරවටින් වෙඩි එල්ලවෙද්දී ජීප් රියේ රියැදුරු අසුනට පැනගත් සැලී එය පණගන්වා රිවර්ස් කොට හරවාගත්තා. යසිත් පසුපසින් එල්ලුනේ කැලුම්ට රීලෝඩ් කරන්නට අවශ්‍යවුවහොත් උදව් කරන්නට සිතාගෙන. "පාත්වෙලා හයියෙන් අල්ලගනින් මල්ලී..."කියූ කැලුම් නොකඩවා හතර අතර වෙඩි තබද්දී සැලී වෙඩි පුපුරණ හඬටත් වඩා උස් හඬින්;

"Which way Kelum??” [කොයිපැත්තටද?]

"Through the main gate!” [ප්‍රධාන ගේට්ටුවෙන් එලියට!!]

"Are you sure? [ෂුවර්ද?]

“DRIVE” [පලයාන්...!!]

"ජරබරාස්!!!"හඬින් ගියරය මාරුකොට එන්ජිම සැරදැමූ සැලී “OK through main gate …..see you in hell boys….!!” කියා වේගයෙන් ප්‍රධාන දොරටුව දෙසට ධාවනය කරන්නට ගත්තා. "මුන් දෙන්න නම් මාරම යක්කු දෙන්නෙක්...."හතරවටින් එල්ලවන වෙඩි පහරවල් වලින් ඔලුව බේරාගන්නට පහත්වී, කොයි වෙලේ වෙඩි පාරක් වදීදැයි බියෙන් ගැහෙමින් හිටි යසිත්ට සිතුනා. සැලී ඇක්සලරේටරය ලෑල්ලටම පාගද්දී ජීප් එක මොරදීගෙන, විදගෙන ඉදිරියට ගියා. කැලුම් තුවක්කුව වටේටම කරකවමින් ජාවාරමුන්ගේ තිප්පොල කැලිබර් 50 මැෂින් තුවක්කු උණ්ඩවලින් රේක්ක කරා.


14.39 Hours, 4th December 2019, Surkhandarya-Samarkand Highway (M39) | සුර්කන්දාර්යා-සමර්කාන්ද් (M39) මාර්ගය

පිටුපස අසුනේ සිටි යසිත්ට හොඳටම නින්ද ගොස් තිබුණා. කැලුම් රියැදුරු අසුනේ සිටි අතර ඉදිරිපස ගරු අසුනේ සිටි සැලී කලු පීත්ත පටියක් මෙන් අනන්තය තෙක් ඉදිරියට දිවෙන මාර්ගය දෙස බලා සිටිනු පෙනුනා.

"සැලී මම දෙයක් අහන්නද?"

"...ඔව් අහන්න..."ඇය කැලුම් දෙස නෙත් යොමමින් පැවසුවා

“ඔයා අර හිර ගෙදරට ආපු වෙලාවෙ කියපු දෙයක් ගැනයි අහන්න ඕනෑ..."

"හ්ම්ම්ම්....?"සැලි ගුවන්විදුලි යන්ත්‍රයේ හඬ අඩුකලා.

"ඔයා කිව්වා නේද ඔයා අපි මේ වැඩේට පොලඹවපු කෙනාව දන්නවා කියලා?"

"ඔව්.."

"ඒ කවුරුයි කියලද ඔයා කියන්නේ?"

"වයසක පූජනීය මනුස්සයෙක්.......බෞද්ධ භික්ශුවක් මම හිතන්නේ..."

"කොහොමද එයාව හමුවුනේ?"

"අප්පා ඒක නම්..... දිග කතාවක්....."

"තව කිලෝමීටර් 300ක් විතර යන්න තියෙනවා...."මාර්ගය අයිනේ තිබූ සමර්කාන්ද් නුවරට ඇති දුර කියැවෙන පුවරුවක් දක්වමින් කැලුම් පිලිතුරු දුන්නා.

“එහෙනම් කියන්නම්....කතාව දිගයි .... ඈනුම් අරින්න විතරක් එපා........2017 අවුරුද්දේ ජනවාරි මාසයේ මම ඇෆ්ඝනිස්ථානේ කන්දහාර්වල සී.අයි.ඒ යුනිට් එකේ හිටියා. මම එහෙ ගියේ අබ්දුල් හකීම් මුජාහිඩ් කියන ත්‍රස්ත නායකයා ගැන තොරතුරු හොයාගෙන. මම අවුරුදු හතරක් තිස්සේ මිනිහා පස්සේ පන්න පන්නයි හිටියේ. මිනිහා තෙහ්රීක් -අයි-තලෙබාන් කියන පාකිස්ථාන් තලේබාන් සංවිධානයේ චීෆ් ස්ට්‍රැටෙජිස්ට් (උපායමාර්ගික ප්‍රධානියා) විධියටයි හිටියේ. තනතුර ඒක වුනාට තෙහ්රීක්-අයි-තලේබාන් සංවිධානය වැඩකලේ මිනිහාට ඕනෑ විධියට. ඒ කියන්නේ තිරය පිටුපස නායකයා.

මම දන්න දහස් ගණනක් ත්‍රස්තවාදීන් අතරිනුත් මහා කුරිරුම, ජරාම සතෙක් තමයි අබ්දුල් හකීම් මුජහිඩ්. මිනිහා ගෑණු දරුවන් ඉගෙන ගන්න පාසැල් ළමයි එක්කම පුපුරවලා හැරලා තියෙනවා ගෑණු ළමයින්ට ඉගෙන ගන්න එක තහනම් කියලා, ජනාකීර්ණ වෙළඳපොලවල්වල විතරක් නෙමෙයි මුස්ලිම් පල්ලිවලටත් බෝම්බ තියෙලා සිය ගණන් මරාදාලා තියෙනවා. මිනිහා සම්බන්ධ ජනඝාතන ලැයිතුව පිටු දෙක තුනක් දිගයි. අබ්දුල් හකීම් මුජාහිඩ් කුරිරුයි වගේම බොහොම කපටියි. මිනිහා ගැන තොරතුරු හොයාගන්න බොහොම අමාරුයි. මමයි මගේ ටීම් එකයි අවුරුදු හතරක් මිනිහා ගැන හෙව්වා, ඒ විතරක් නෙමෙයි, අපේ NSA එක, බ්‍රිතාන්‍ය MI5 ඔත්තුසේවය, ජර්මනියේ DGSE එකත් මිනිහා ගැන නිරන්තර සෙවිල්ලෙන් හිටියා. ඒ තොරතුරු හුවමාරුකර ගත්තා. අපි කාටවත් හරියටම අබ්දුල් හකීම් මුජාහිඩ් ඉන්න තැනක් හොයාගන්න බැරුවයි හිටියේ.

හැබැයි අපිත් අත ඇරියේ නෑ. දිගටම තොරතුරු හෙව්වා. හැසිරීම් රටා විශ්ලේෂණය කලා. සමානකම් හෙවුවා. හැසිරීම් රටාවලින් තමයි බුද්ධි අංශ සැඟවිලා ඉන්න මිනිස්සු හොයාගන්නේ. හැම මනුස්සයෙකුට හැසිරීම් රටා තියෙනවා. නිතරම කරන දේවල් තියෙනවා. යන එන තැන්, හමුවන පුද්ගලයින් සිටිනවා. කන්න කැමති කෑම තියෙනවා. ඇසුරු කරන කාන්තාවන් ඉන්නවා. නිතරම බෙහෙත් ගන්න විශ්වාසවන්ත වෛද්‍යවරු ඉන්නවා. ටෙලිෆෝන් කෝල් දීලා නිතර සම්බන්ධතා පවත්වන අය ඉන්නවා. ඒවගේම ඔවුන්ට වියදමට සල්ලි එන මාර්ග තියෙනවා. මේ හැම දෙයක්ම හැසිරීම් රටා මවනවා. ඒ රටා තේරුම් අරගෙන, ඒවා පිටිපස්සෙන් ඉන්න අයව හඳුනාගන්න උත්සහ කරනවා. ඒ මාර්ග ඔස්සේ සල්ලි යන්නෙ කොහාටද, වියදම් කරලා තියෙන්නේ මොනවටද කියලා විශ්ලේෂණය කලවිටත් රටා හමුවෙනවා.

අබ්දුල් හකීම් මුජාහිඩ් ගෑවෙන හැම තොරතුරක්ම හොයලා බැලුවම අපිට එක් රටාවක් පේන්න තිබුණා. ඒ තමයි මිනිහා ඉන්නවා කියල සැක කෙරෙන ප්‍රදේශවලට ඉන්සියුලින් කියන බේත ගිහින් තියෙනවා කියන එක. ඉන්සියුලින් කියන්නේ මිළ අධික දියවැඩියා ප්‍රබේධයකට ගන්න හෝමෝනයක්. ඉතින් මගේ කණ්ඩායම විතරක් නෙමෙයි අපි හොයාගත්ත තොරතුරු වෙනම විශ්ලේෂණය කරපු තවත් කණ්ඩායමකුත් නිගමනය කලා අබ්දුල් හකීම් මුජාහිඩ් දියවැඩියා රෝගියෙක් විය යුතුයි කියන එක. ඒ කියන්නේ මිනිහා කොහෙ හිටියත් එතන ඉන්සියුලින් සැපයුමක් තිබිය යුතුයි කියන එක. නැතිනම් මිනිහා ඉන්න තැන්වලට නිතරම ඉන්සියුලින් ගෙන ආ යුතුයි.

අබ්දුල් හකීම් මුජාහිඩ් බොහෝවිට හිටියේ ඇෆ්ඝනිස්ථානයේ. මොකද අපි ඇමරිකන් ආණ්ඩුව හරහා පකිස්ථානෙට දැඩි පීඩනයක් ඇතිකරමින් සිටියා අබ්දුල් හකීම් මුජාහිඩ් වගේ ත්‍රස්තවාදීන්ට පාකිස්තාන් Inter-Services Intelligence (ISI) බුද්ධි අංශයෙන් තියෙන සහයෝගය නැවැත්විය යුතුයි කියලා. ඒ නිසා තෙහ්රීක්-අයි-තලේබාන් සංවිධානයේ නායකයෝ බොහොම දෙනෙක් ඇෆ්ඝනිස්තානයට හරි නැතිනම් පාකිස්ථාන් ආණ්ඩුවට පාලනයක් නැති පාකිස්ථාන්-ඇෆ්ඝන් දේශසීමාවේ තිබුණ North West Frontier පලාතට පැනවිත් තිබුණා.

ඇෆ්ඝනිස්තානෙට පාකිස්ථානෙන් හොරබඩු, බේත්, අවිආයුධ එන්නේ නෝර්ත් වෙස්ට් ෆ්‍රන්ටියර් පලාත හරහා. ඉතින් අපි අපේ ඔත්තුකාරයින් යොමුකලා නෝර්ත් වෙස්ට් ෆ්‍රන්ටියර් පලාතට එන ඉන්සියුලින් යන්නේ කොහාටද, තොග පිටින් ඇනවුම් කරන්නේ කවුද කියලා වාර්තා කරන්න. මාස හයක් විතර හෙව්වට පස්සේ අපිට විවිධ තැන්වලට ඉන්සියුලින් ගෙනියන පුද්ගලයෙක් හඳුනාගන්න පුලුවන් වුනා. ඔසාමා බින් ලාඩන් ඉන්න තැන හොයාගත්තෙත් මේ විධියටම නිතර යන එන පණිවුඩ කාරයෙක් පිටිපස්සෙන් ඉඳගෙන බොහෝ කාලයක් ඔත්තු බලලා. මේ මිනිහා ඉන්සියුලින් ඩිලිවරි කරන බොහෝ තැන්වල අබ්දුල් හකීම් මුජාහිඩ් හිටියා කියලා බුද්ධි තොරතුරු ලැබිලා තිබුණා.

හොඳටම තහවුරු වුනාට පස්සේ සී.අයි.ඒ Special Operations Group (SOG) කළු මෙහෙයුම් අංශය කොමාණ්ඩෝ ප්‍රහාරයක් සැලසුම් කලා අබ්දුල් හකීම් මුජාහිඩ් පණපිටින් අල්ලා ගන්න. මටයි මගේ ටීම් එකටයි ඕනෑ වුනේ ඩ්‍රෝන් ස්ට්‍රයික් එකකින් ඒ පාපතරයාව මරලා දාන්න. ඒත් ඉහලින් නියෝග ආවා පණපිටින් අල්ලා ගන්න උත්සහ කරන්න කියලා. හේතු විධියට දුන්නේ පාකිස්ථාන් තලේබාන් සංවිධානයේ කොඳුනාරටිය වගේ ඉන්න මිනිහාගෙන් ඒ සංවිධානයේ අනෙක් නායකයෝ හා ඒකට සල්ලි දෙන රහස් අනුග්‍රහයකයින්ව හඳුනාගන්න පුලුවන් වෙයි කියන එක. අනිත් එක CIA එකට දැඩි උවමනාවක් තිබුණා පාකිස්ථාන් ISI එකට කණේ පාරක් දෙනවා වගේ එයාලා කිරි පොවලා හදාගත්ත නයෙක්ව බොටුවෙන් අල්ලගෙන ඔක්කෝම වමාරවගන්න.

අබ්දුල් හකීම් මුජාහිඩ් මෙහෙයුමට SOG එකෙන් ආමි ඩෙල්ටා ෆෝස් කොමාන්ඩෝ ටීම් එකක් සූදානම් කරමින් සිටියා. මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වුනා ටීම් එකත් එක්ක ගිහිල්ලා මිනිහාව අඳුනගන්න. ඩෙල්ටා ටීම් එකේ එකොලොස් දෙනයි මමයි මිෂන් එකට සති තුනක් ට්‍රේන් වුනා. අපි පැරිෂූට් පැනීම් 15ක් විතර කලා. විවිධ හදිසි අවස්ථා වගේම හදිසි සැළසුම් වෙනස්වීම් අවස්ථා ගණනාවකදීම ක්‍රියාත්මක විය යුතු ආකාරය නැවත නැවත පුහුණු වුනා. මෙහෙයුම ක්‍රියාත්මක වුනේ කන්දහාර් එයාෆෝස් බේස් එකේ ඉඳලා.

මෙහෙයුම යෙදිලා තිබුණ දවසට කලින් දවසේ හවස මට බේස් සිකියුරිටි එකෙන් කෝල් එකක් ආවා. බේස් එක ලඟ අධි ආරක්ෂිත කළාපයේ සැක කටයුතු විධියට ගැවසුනු වයසක මනුස්සයෙක්ව අල්ලගෙන ප්‍රශ්ණ කලාම මිනිහා මගේ නම කියලා මාව හම්බුවෙන්න ඕනෑ කිව්වලු. මට දෙන්න බොහොම වැදගත් තොරතුරක් තියෙනවා කිව්වලු. එයා පෂ්ටුන් භාශාවෙන් කතාකරලා තියෙන නිසා මම ගියා අපේ පෂ්ටුන් පරිවර්තකයෙකුත් එක්ක එයාව බලන්න. බොහොම වයසක, දුර්වල පෙනුමක් තිබුණු, සාම්ප්‍රදායික ඇෆ්ඝන් සල්වාර් එකක් ඇඳගෙන හිටියා. ඒත් එයාව පරීක්ෂාකරපු ගාඩ්ලා කිව්වේ මිනිහා සල්වාර් එකට යටින් තද කහට පාට රෙද්දක් පෙරවගෙන ඉන්නවා කියලා. පෙනුම දුර්වලවුනාට කටහඬ හරිම ජවසම්පන්නයි, සෞම්‍යයි වගේම ගාම්භීරයි කියලයි මට දැනුනේ. මගේ නම කොහොමද දන්නේ කියලා ඇහුවම, එයා ගෙ උත්තරේ ගුප්තයි.

"ඔබ හෙට යන්න ඉන්න තැන මම දන්නවා වගේම මම ඔබේ නමත් දන්නවා..."

"හරි එහෙනම් කියනවා බලන්න මම හෙට කොහෙ යන්නද ඉන්නේ කියලා?"

"ගියොත් ආපහු එන්න වෙන්නෙ නැති තැනකට........."

මිලිටරි බේස් එකක හැමදෑම මෙහෙයුම් සිදුවෙනවා. ගිය අය පෙට්ටිවලින් එනවා. ඒක අලුත් දෙයක් නෙමෙයිනෙ. මම හිතුවේ මිනිහා මේ සල්ලි කඩාගන්න මොකක් හරි දොඩවනවා කියලා. මට එහෙම හිතෙන කොටම එයා...

"නාකි මෝඩයෙක් වගේ පේන මම කියනදේ ඔබ පිලිගන්නේ නැති බව මම දන්නවා. ඒත් ඔබට ඔය ගමන යන්න ඉඩ දෙන්න බෑ…....මම ඔබේ ගමන නවත්වනවා……. ඒක කියලා යන්නයි ආවේ…..."කියලා මිනිහා නැගිටලා යන්න වගේ හැදුවා. මට තරහා ගියා.

"පුලුවන් නම් මාව නවත්තලා පෙන්නන්න.......මම මිෂන් එක ඉවරවෙලා තමුසෙව හම්බුවෙන්න එන්නම්..."

"හෙට හවස් වෙනකන් මෙයාව වෙන්කරලා අයිසොලේෂන් සෙල් එකක දාලා තියන්න...මම ඕඩර් කරනකන් යන්න දෙන්න එපා.."අණකරලා මම ආපහු ගියා.

මිෂන් එක නිසා අපි හවස 6ට විතර කෑම ගත්තා. කෑමෙන් පස්සේ පැයක් යනකොට මට අප්පිරියාවක් එක්ක ඔක්කාරයක් එන්න ගත්තා. අප්පිරියාව එන්න එන්නම වැඩිවෙලා වමනෙ යන්න පටන් ගත්තා. මෙහෙයුමට පිටත්වෙන්න තිබුනේ පාන්දර 3ට. අන්තිම මිෂන් බ්‍රීෆ් එක පාන්දර 2කට. පාන්දර 1කට SOG mission-prep ඒරියා එකට රිපෝට් කරන්න නියෝග ලැබිලා තිබුණා. රෑ දහය වෙනකොටත් වමනෙ නැවතිලා තිබුනෙ නැති නිසා මම සික් රූම් එකට ගියා බේතක් ඉල්ල ගන්න. වමනෙ නැවතුනේම නෑ. එකොලහ වෙනකොට මට නැගිටගන්නත් බෑ. මාව වාට්ටුවට දාපු ඩොක්ටර්ස් ලා මාව මිෂන් එකට එවන්න බෑ කියල SOG කමාන්ඩර්ට දැනුම් දුන්නා.

මමයි, මිෂන් ටීම් එකේ ඩෙල්ටා ෆෝස් කොල්ලෝ එකොලොස් දෙනයි, SOG බ්ලැක් ඔප්ස් කමාන්ඩරුයි, මිෂන් එකට අපිත් එක්කම ට්‍රේනින් ගත්ත හෙලිකොප්ටර් පයිලට්ලා හතර දෙනයි කෑම කෑවේ එකට. කෑම අජීර්ණවුනේ මට විතරයි. වෙන කාටවත් ප්‍රශ්ණයක් තිබුණේ නෑ. ස්ට්‍රයික් ටීම් එක මම නැතුව පාන්දර 3ට ගියා. එයාලාව ඩ්‍රොප් ඒරියා එකට දාපු හෙලිකොප්ටර් දෙක එයාලාව ආපහු ගන්න නියමිත ටයිම් එකට ඉවැක් ඒරියා එකට ගියා. කිසි කෙනෙක් ආපහු ඇවිල්ලා හිටියේ නෑ. හෙලිකොප්ටර් දෙක නිකන් ආවා. සතියකට පස්සේ තලෙබාන් යූටියුබ් චැනල් එකේ ඩෙල්ටා ෆෝස් කොල්ලෝ 4 දෙනෙකුගේ හිස ගසා දාන හැටි පෙන්නුවා. අනෙක් උන් ෆයිට් එකේදි මැරිලා.

පස්සේ ලැබුණු බුද්ධි තොරතුරු වලින් තහවුරු වුනා අබ්දුල් හකීම් මුජාහිඩ් දියවැඩියා කාරයෙක් නෙමෙයි කියලා. මිනිහා ඉන්සියුලින් අරගෙන තියෙන්නෙම අපිව නොමග යවන්න.

හෙලිකොප්ටර් දෙක හිස් අතින් එන බව ආරංචිවුන ගමන් මම අර මනුස්සයාව රඳවාගෙන ඉන්න රැඳවුම් ඒකකයට ගියා. එතන අය උඩ බිම බැලුවා. ගේට් සිකියුරිටි එකෙන් එහෙම මිනිහෙක් එවුවේ නෑ කිව්වා. ගේට් සිකුරිටි ඩියුටි හිටපු ආමි කොල්ලන්ටත් හරියට මතක නෑ වගේ. ගේට් කැමරා වීඩියෝ බැලුවම පෙනුනා මම ගියාට පස්සේ එයාලා ඒ මනුස්සයාට යන්න දෙනවා. ඇයි මිනිහට යන්න දුන්නේ කියලා ඇහුවම හරි උත්තරයක් නෑ. මම මිනිහව රඳවගන්න උපදෙස් දීපු බව මාත් එක්ක හිටපු භාෂා පරිවර්තකයා තහවුරුකලා. ඒත් ගේට් සිකුරිටි එක්කෙනෙකුටවත් මතකනෑ හරියටම මොකද වුනේ කියලා.

"අබ්දුල් හකීම් තාම පණ පිටින්ද?"කැලුම් ඇහුවේ ආරංග් යතිවරයාගේ බලය ඔහුට විශ්මයට කරුණක් නොවූ නිසා.

"නෑ...අපි වැඩේ දුන්නා......අපිට විශ්වාසවන්ත ආරංචියක් ආවා මිනිහයි, තව ගෝලයෝ ටිකකුයි, අපේ ටීම් එක මැරුවාට පස්සේ කන්දහාර් කඳුකරයේ ගල්ගුහා සංකීර්ණයක තියෙන තිප්පොලක වහන්වෙලා ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් එහෙම තමයි. ලොකු වැඩක් කරාට පස්සේ මාසයක් දෙකක් නොපෙනී ඉන්න බලනවා රස්නෙ අඩුවෙනකම්.......මෙදා සැරේ අපි ස්ට්‍රයික් ටීම් එකක් යවන්න කරදර වුනේ නෑ...එකක TNT මෙට්‍රික් ටොන් එකොලහක් තියෙන, පොලවට අඩි 50ක් විතර උසකින් එයා බර්ස්ට් විධියට පුපුරලා යන MOAB බෝම්බ දෙකක්ම දැම්මා හැඳිගෑවිලා පලයන් කියලා. භූමිකම්පාවක් වගේ ඒ පලාතෙ කඳුකඩා වැටිලා, නාය ගිහින් මුලු ගුහා සංකීර්ණයම යටවෙලා කියලා ගුවන් ඡායාරූප වලින් තහවුරු වුනා. මිනිහා දැන් එයාලගෙ ස්වර්ගේ ඇති….”

“හොඳ වැඩේ පරයට....කන්‍යාවියෝ හත්දෙනාම ලැබුණද දෙන්නේ නෑ සුවර්ගෙදි..."

“යසිත් වෙනස් කරපු ඩ්‍රෝන් කැමරා ටේප් එකේ ඔරිජිනල් එකේ කොපියක් මටත් ලැබුණා. ඒක බලපු ගමන් මම ඔය භික්ෂුව හඳුනාගත්තා. අසනීප කරලා මාව බේරා ගත්තා වගේම ගිණිගන්න හෙලිකොප්ටරයක් ඇතුලට රිංගලා ඔයාවත් බේරා ගත්තා. ඊට පස්සේ තමයි මම රහසින් ඔයා ගැනයි යසිත් ගැනයි ඇහ ගහගෙන ඉන්න පටන් ගත්තේ. කොහොමවුනත් සී.අයි.ඒ එක ඔයා ගැන දැඩි සැකයකින් තොරතුරු හොයන ගමන් හිටියේ. මම පෞද්ගලිකවම ඔයාට හිතවත් වෙන්න හිතුවේ ඔය ටේප් එක දැක්කට පස්සෙයි. ඒකට මට ස්ටේෂන් චීෆ් ගෙන් අවසර ලැබුණා. ඒ අනුව තමයි මම ඔයාගෙ නර්ස් වුනේ. මට තේරුණා ඔයාලා මිෂන් එකකට ලෑස්ති වෙනවා කියලා. මොකක්ද මිෂන් එක කියලා මට අවබෝධවුනේ ටිකක් පහුවෙලා…”

කැලුම් සිනාසුනා.

"එතකොට කොයි මොහොතෙද හිතුනේ අපිට උදව්කරලා අනාගතය විනාශකර ගන්න?"

සැලී කැලුම් දෙස කවට බැල්මක් හෙලුවා.

"පිස්සු මෝඩයෝ දෙන්නා හොරකම් කරන්න යන්නේ මොකක්ද කියලා තේරුම් ගියාට පස්සේ..."

"ඇත්තට?"

"ඔව් ඇත්තට...අන්තිම මොහොතේ හරි ඔයා හිත වෙනස් කරගනී කියලා මට හිතුනා.......කරන්න යන වැඩේ බරපතල කම ගැන ඔයාලට අවබෝධයක් නෑ කියලයි මට හිතුනේ.......ඒකයි මම ඔයාව අන්තිමට හමුවුනු වෙලාවේ ෆ්ලයිට් එකට නැගලා යන්න කියලා කිව්වේ.....මම හිතුවා මම ව්‍යංගයෙන් කියපුදේ ඔයාට තේරුම් යයි කියලා…..ඔයාවයි යසිත්වයි අහුවෙලා මරලා දායි කියලා මට ලොකු බයක් තිබුණා...."

"ඉතින් ඇයි අපිව ඇරස්ට් කරලා ලොකු සීන් එකක් කලේ? අපිට පැනලා යන්න උදව් කරන තිබුණානේ....?"

"යසිත් වෙනස් කරපු වීඩියෝ එකේ ඔරිජිනල් එක දැක්කේ මම විතරක් නෙමෙයි....සී.අයි.ඒ එකේ ලොකුම තැන් වලින් ලොකු බලපෑමක් ආවා යසිත්ව අත් අඩංගුවට ගන්න කියලා...මම තමයි ඒක නවත්ත ගත්තේ මොකද කරන්න යන්නේ කියලා බලාගෙන ඉමු කියලා...ඒ වෙනකොට ඔයාට මම කිට්ටුවෙලා හිටපු බව ලොක්කෝ දන්නවා....එයාලා කොහොමටවත් ඔයා හෙලිකොප්ටර් අණතුරෙන් ජීවිතේ බේර ගත්ත විධිය වගේම ඔයා ඇෆ්ඝනිස්ථානේ මැද්දෙන් කිලෝමීටර් පන්සීයක් පයින් ආවා කියන එකත් විශ්වාසකරේ නෑ ...."

“මම කිලෝමීටර් 500ම පයින් තමයි ආවේ සැලී..”

"මම දන්නවා කැලුම්....මට සැකයක් නෑ...

“මම ඔයාලව අත් අඩංගුවට ගත්තේ ආපහු ලැබ් එකට යන්න පොටක් පාදගන්න....නැතිනම් ඔයාලා පැනලා ගියාට පස්සේ මට ඔයාලා පස්සේ පන්නන බව පෙන්වනවා මිසක් ලැබ් එකට යන්න පොටක් පාදගන්න බෑ.....ඔයාලව අල්ලගෙන හිරකරලා, විමර්ෂණයක් කරන්න යනවා කියලයි මම ලැබ් එකට ගියේ....එතකොටත් මම නාපාම් ග්‍රෙනේඩ් එකට ටයිමර් එක හයිකරලා ලෑස්තිකරගෙන හිටියේ. මට ඕනෑ වුනේ යසිත්ගේ කොම්පියුටර් ලැබ් එක විනාශ කරන්න....භික්ෂූන් වහන්සේගේ අරමුණට උපකාරයක් වෙන්නයි මම ඒ දේ කලේ. එයා නැතිනම් මම අද ජීවතුන් අතර නෑ......."

“මොනවා? ඔයා ලැබ් එක විනාශ කලා?”

“ඔව්.....ටයිමර් එකක් හයිකරපු නාපාම් ගිණි බෝම්බයක් තියලා කාටවත් ඇතුලට යන්න බැරි වෙන්න ලොක් කරලා, ලොක් එක අරින කී කාඩ් එක උඩට සුපර් ග්ලූ ටියුබ් එකක්ම මිරිකලා ඒ කාඩ් එක ස්ලොට් එකට දැම්මා ගලවන්න බැරිවෙන්න.....…මම දැනගෙන හිටියේ නෑ යසිත් ඩේටා ඔක්කෝම එන්ක්‍රිප්ට් කලා කියලා....මට ඕනෑ වුනේ කොහොම හරි ප්‍රොජෙක්ට් එක අවුරුද්දක් දෙකක් හරි ප්‍රමාද කරන්න........දැන් ඒවා ඔක්කොම ඉතිහාසෙට අයිති දේවල්...කවදාක්වත් නොලියවෙන ඉතිහාසයකට....”

"හ්ම්ම්ම්……......ඔව් සැලී......ඒක ඇත්ත....."

"ඒක නෙමෙයි...සැලී ඔයාට හිතෙන්නේ නැද්ද උස්බෙක් කාරයෝ අපිව අල්ලගත්ත ගමන් මංජුසාව ගැන ඇහුවේවත්, හෙව්වේවත් නැත්තේ ඇයි කියලා?....අනික මම හිතුවේ සී.අයි.ඒ එකෙන් රෑම ටීම් එකක් එවයි කියලා අපිව ගෙනියන්න...."

"ඔවුන්ට එච්චර හදිස්සියක් තිබිලා නෑ....අපිව කොහොම හරි අල්ලගන්න එක විතරයි ඕනෑ වෙලා තියෙන්නේ....එයාලට මංජුසාව නැතුව වැඩ ඉදිරියට ගෙනියන්න පුලුවන් කියන උපකල්පණය මත තමයි එහෙම කරන්න ඇත්තේ...ඔවුන් උපකල්පණය කරන්න ඇති අපි මංජුසාව විනාශකලා කියලා ….ඒකයි උස්බෙක් කාරයෝ ලව්වා හෙව්වේ නැත්තේ....."

"කොහොමද මංජුසාව නැතුව වැඩ ඉදිරියට ගෙනියන්නේ?"කැලුම් ව්‍යාකූල බවෙන් ඇහුවා.

"ඔයා මට තවත් හංගන මොනවා හරි තියෙනවද?"

"කැලුම් ප්ලීස්.....ඔහොම කතාකරන්න එපා......මම දන්න ඔක්කොම ඔයාට කියන්න අපිට කතාබස් කරන්න වෙලාවක්, ඉස්පාසුවක් තිබුණද?.....ඔයයි මමයි එකට ඉඳගෙන කතාකරන පලවෙනි අවස්තාව මේක නේද? ඉතින් ඔයා නොදන්න, මම දන්න-මම කරපු දේවල් තියෙන්න ඕනෙ නේද?"

“සමාවෙන්න සැලී...."

“ඔවුන්ට මංජුසාව අවශ්‍ය නෑ....අපිවයි ඕනෑ....නැතිනම් අපි ලොරියක යන බව හොයාගත්තම එවන්න තිබ්බේ හෙලිකොප්ටර් එකක් නෙමෙයි.....හෙල්ෆයර් මිසයිල් එකක්.....එහෙනම් අපි මැරිලා......මැරිච්ච අපෙන් එයාලට වැඩක් නෑ....අපිව පණ පිටිනුයි ඕනෑ..."

"හෝව් පොඩ්ඩක්.....ඔය තරමටම අපිව පණපිටින් ඕනෑ නම් ඇයි අර Mi 24ක් එවලා අපිව මරවන්න හැදුවේ....?"

“ඇත්ත ඔයා කියන එක හරි...මාත් ඕක ගැන හිතුවා....මට හිතෙන එකම දේ තමයි ලැබ් එක පුපුරවලා මාත් ඔයාලා එක්ක පැනලා ගියාට පස්සේ කවුරුහරි ලොක්කෙකුට හොඳටම තරහා ගිහිල්ලා අපිව ඉවරයක් කරලා දාන්න ඕඩරේ දෙන්න ඇති...පස්සේ දැන ගන්න ඇති යසිත් බැක්-අප් ඩේටා ඔක්කෝම එන්ක්‍රිප්ට් කරලා, ඒවායින් වැඩක් ගන්න බැරි තත්වෙට පත්කරලා කියලා....ඒ නිසා අඩියක් පස්සට අරගෙන අපිව අල්ලගන්න තීරණය කරන්න ඇති....අපි නැතුව බැරි බව තේරුම් ගන්න ඇති.."

එයාලා දන්නවා අපෙන් තොරතුරු ගන්න එච්චර කලබල වෙන්න ඕනෑ නෑ කියලා. අපිව අල්ලගෙන, ඔයා හරි යසිත් හරි ඉස්සරහා මට වද දුන්නානම් ඔයාලා ඕන දෙයක් කරන බව එයාලා දන්නවා....පිරිමි ඉස්සරහා ගෑණියෙකුට වද දෙන එක, ඒ පිරිමි ලවා ඕනෑම දෙයක් කරගන්න ලේසිම ක්‍රමේ.....ඔයාලා ඉස්සරහා මගේ දතක් දෙකක් ගැලෙව්වා නම්, නැතිනම් මගේ ඇඟිලිවල නියපොතු එකින් එක ගලවන්න පටන් ගත්තානම්......."

"සැලී ප්ලීස් නවත්තන්න...."

"මම කියන්නේ එයාලා කරන දේවල්.....ඔය උපක්‍රම මමත් පාවිච්චිකරලා තියෙනවා......එකපාරක් දෙපාරක් නෙමෙයි......බොහෝ වාරයක්....………….ඊට වඩා දරුණු දේවලුත් මගේ උපදෙස් මත වෙලා තියෙනවා කැලුම්...."

"කරන්න දෙයක් නෑ.....ඒක ඔයාගේ රස්සාව…අනික අහිංසක, නිරායුධ මිනිස්සුන්ට එහෙම කලා නෙමෙයිනෙ.....මමත් එහෙමනෙ....මම මිනිස්සු කීයක් මරලා තියෙනවද කියලා මමවත් දන්නේ නෑ..ලංකාවෙ යුද්දේ තියෙන කාලේ අපි කරපු මිෂන් ගාණවත් මට මතක නෑ. ඒතරමට ඇටෑක් මිෂන්ස් තිබුණා......කොච්චර ත්‍රස්තවාදීන් මැරුවාද කියලා ගණන් හිලව් නෑ…., මෙහෙ ආවට පස්සේ…….ඒත් එහෙමයි... ...උස්බෙක් ජාවාරමුන්ගේ තිප්පොලේ කීදෙනෙක්ද? උස්බෙක් ආමිකාරයෝ කීදෙනෙක්ද?.....ඕවා ගැන හිතන්න ගියොත් ජීවත්වෙන්න හම්බුවෙන්නේ නෑ සැලී...........”

"ඒක ඇත්ත කැලුම්......"සැලී ඈනුමක් ඇරියා.

“ඔන්න මට ඈනුම් අරින්න එපා කියලා සද්දෙ දාලා දැන් කවුද ඈනුම් අරින්නේ......?”

“මගේ ඇස් බරයි..........”

"ඔයාට මහන්සියි........ටිකක් ඇස් පියාගන්න..."කැලුම් සැලීගේ හිස අතගාමින් කිව්වා. සැලී කැලුම්ගේ අත අරගෙන ඔඩොක්කුවේ තියාගෙන දෑස් පියා ගත්තා. යසිත් තවමත් පිටුපස අසුනේ නිදි.

කැලුම් සිතුවිලි සයුරේ ගිලුනා. ගතවූ පැය පැය ගණනාවේ සිදුවූ සිදුවීම් ආවර්ජනය වුනා.



~~~



හතර වටේට වෙඩිතබාගෙන ජාවාරම්කරුවන්ගේ කඳවුරෙන් එලියට පැනගත් ඔවුන් හැකි උපරිම වේගයෙන් මාර්ගය වෙත ගියා. කොයි මොහොතේ හෝ උස්බෙක් හමුදා කඳවුරෙන් සහයක බල ඇණි හෝ ඔවුන්ගේ හෙලිකොප්ටරය තමන් පහර දෙතැයි සිතුවත් එවැන්නක් සිදුවුනේ නෑ. කොහොම වුනත් එය දැන් දැන් පෙනී සිටියි යන බිය නිසාම ජීප් රථයේ වැඩි දුර නොගොස් එය විශාල ගස් ගොන්නකින් ආවර්ණය වූ කැලෑ බද තැනක සඟවා දමා කැලෑව තුලින් පයින් යාමට ඔවුන් තීරණය කලේ ඉතා ඉක්මණින්ම සී.අයි.ඒ එකට පණිවුඩය ගොස් ඔවුන්ගේ ඩ්‍රෝනයක් හෝ ප්‍රහාරක යානයක් තමන්ව සොයා ගනීවී යන බියෙන්.

ඉතා ඈත පිටිසර උස්බෙක්-තජික්-ඇෆ්ගන් මායිම් ප්‍රදේශයක පිහිටි එම කඳවුර කුඩා, එතරම් පිරිස් බලයක් හෝ ආයුධ බලයක් නොමැති එකක් කියලා සැලී කිව්වේ ප්‍රදේශයේ උස්බෙක් ආරක්ෂක හමුදා කඳුවුරු පිලිබඳව ඇස සතු තොරතුරු අනුවයි. එමෙන්ම කෙලින්ම ඇෆ්ඝනිස්තානයට තහනම් භාණ්ඩ සැපයිමේ ජාවාරමකට හවුල්වී සිටින මේ දූෂිත උස්බෙක් හමුදා නිළධාරීන්, තමන් සෙවීමට විශාල සෝදිසි මෙහෙයුමක් දියත් නොකරනු ඇතැයි සැලී අනුමාන කලා. එවැනි විශාල සෝදිසි මෙහෙයුමක් සිදුකල හොත් කලහොත් ටෂ්කන්ට් අගනුවර හමුදා මූලස්ථානයට එය පිලිබඳව තොරතුරු ලැබී සිදුවන්නේ කුමක්දැයි සෙවීමට විමර්ශකයින් එවයි යන බියෙන් ඔවුන් කිසිවක් සිදුනොවූ සේ සිටීමට බොහෝ ඉඩ ඇති බවයි සැලී අනුමාන කලේ.

සැලීගේ ඒ අනුමානය හරිගියා පමණක් නොව පසුව ලැබුණු ආරංචි අනුව උස්බෙක් හමුදාව ඒ ජාවාරම් කාරයින්ගේ තිප්පොලට පහරදීමක් සිදුකරලා. තමන්ගේ මියගිය සෙබලුන්ගේ මරණ වහන් කරන්නට හොර ජාවාරම් කරනවා යයි චෝදනා කරමින් ඔවුන් ජාවාරම් කරුවන්ට පහරදීලා කඳවුර විනාශකල බවට තොරතුරු ලැබුනා.

කඳුගැට වලින් ගහන කැලෑබද පෙදෙස ඇතුලටම විහිදී ගිය ඔවුන් ගස් මුදුන්වලින් ආවර්ණය වූ පෙදෙස් භාවිතා කරමින් ඉහලින් යන ඩ්‍රෝන යානාවලට නොපෙනෙන ලෙස ගමන්කලා. හැකිතාක් කැලය තුලින් කිලෝමීටර් 50ක් වත් ගමන් කොට පසුව මහා මාර්ගයට පැමිණ තවත් වාහනයක් අත්පත් කරගැනීමයි ඔවුන්ගේ උපාය වුනේ. එමගින් සී.අයි.ඒ ඩ්‍රෝන මගහැරීමට පුලුවන් බව සැලී පැවසුවා.

"කිලෝමීටර් 50ක් පයින්? අපි කොහොමද එච්චර දුර පයින් යන්නේ?"හති දමමින් පැමිණි යසිත් කෙඳිරි ගෑවා.

"මම දවස් අටකින් කිලෝමීටර් පන්සීයක් ඇවිද්දා...ඉතින් පනහ මොකක්ද යසිත්?"

කැලෑබද පෙදෙස තුලින් යන අතරමග කුඩා හේන් වැනි වගාවන් හමුවූ අතර ඒවායින් කඩාගත් කොමඩු හා ඉරිඟුබඩ ඔවුන්ගේ සාගින්න හා පිපාසාව සන්සිඳෙව්වා. දිවාකාලය පුරාම ගමන්කල ඔවුන් අඳුර වැටුනු පසු පැය කිහිපයක් විඩා හැරියා. යසිත් හා සැලී නින්දට වැටුනත් කැලුම් නිදිවර්ජිතව ගත කලේ සියල්ලන්ගේම ආරක්ෂාවට. රාත්‍රී දහය වෙද්දී අවදිවී ප්‍රධාන මාර්ගය වෙත ගමන්කලා.

"කැලුම් ඔයා නිදා ගත්තේ නෑ නේද?"

"කමක් නෑ...අපි වාහනයක් අල්ලගෙන ටිකක් දුර ගියාම ඔයාට දීලා මම ඇහැ පියා ගන්නම්..."

රාත්‍රී එකොලහට පමණ ඈතින් එන ටොයෝටා හයිලක්ස් පිකප් රථයක් නෙත ගැටුනු නිසා එය පැහැර ගැනීමට සූදානම් වුනා. ගිය සැරේ රියදුරා රැවටීමට සැලීව යෙදෙව්වත් මෙවර ඇය අකමැතිවුනා. ඒ නිසා වාහනය ලඟටම එනවිට තිදෙනාම එක්වර පාරට පැන රියදුරා අන්දමන්ද කල අතර වාහනය නැවතුන වහාම එයවෙත දිව ගිය කැලුම් හොඳටම කළබලවී සිටි රියදුරාව වාහනයෙන් එලියට ඇද පහර කීපයක් ගැසුවා. එසේ කලේ ඔහුව හැකිතාක් බියපත් කොට පන්නා දැමීමටයි. ඔහුට හැකිතාක් ඈතට කැලය දෙසට දුවයන ලෙස තර්ජනාත්මකව පැවසූ සැලී ඔහු පණ බේරාගෙන දිව යනවිට ඇය අත තිබූ පිස්තෝලයෙන් අහසට වෙඩි කිහිපයක් තිබ්බා.

"අපි සමර්කාන්ද් වලට ගියාම මොකක්ද කරන්නේ?"වාහනය අල්ලාගෙන පැයක් පමණ ගියවිට යසිත් ඇසුවා. ඒ වනවිටත් කැලුම් ඉදිරිපස ගරු අසුනේ නින්දට වැටී සිටියා.

“සමර්කාන්ද් නගරය අද්දර මම දන්න තැනක් තියෙනවා. ඒක අතහැරලා දාපු වානේ කම්හලක් ලඟ තියෙන පොඩි ගබඩාවක්. මම දූෂාන්බේ සී.අයි.ඒ ස්ටේෂන් එකේ ඉන්නකාලේ සේෆ් හවුස් එකක් විධියට පාවිච්චි කරන්න හිතාගෙන ගත්ත එකක්. ඒක ගැවිෂෙන්කෝ දන්න සමර්කාන්ද් වල ඉන්න කොන්ත්‍රාත් කාරයෙකුට කියලා මට ඕනෑ විධියට ඇතුල හදාගත්තා.එලියෙන් බැලුවාම අතහැරලා දාලා වගේ, ඒත් ඇතුලේ කාමර 4ක්, කුස්සියක්, නාන කාමර, ගරාජ් එකක් එහෙම තියෙනවා. වාහනේකුත් තියෙනවා. මේක එතන දාලා ඊලඟට යන තැනට ඒ වාහනෙන් යන්න පුලුවන්. ජෙනරේටර් එකකින් කරන්ට් ගන්නේ. මම ලීටර් 200ක පෙට්‍රෝල් ඩ්‍රම් එකකුයි, ඩීසල් ඩ්‍රම් එකකුයි ගෙනත් දැම්මා. ඒක මගේ ප්‍රයිවට් සේෆ් හවුස් එක. මගේම සල්ලිවලින් හදා ගත්තේ. සී.අයි.ඒ එක දන්නේ නෑ. නීත්‍යානුකූල අයිතිය මැරිච්ච උස්බෙක් මනුස්සයෙක්ගේ ඒකටත් මට ගැවිෂෙන්කෝගේ මිනිහෙක් උදව්කලා. අපිට සතියක් දෙකක් වුනත් එලියට යන්නේ නැතුව ඇතුලෙ හැංගිලා ඉන්න පුලුවන්. කොහෙන් හරි උයන්න බඩු ටිකක් අරගෙන ගියාම හරි. ඒ අතරේ ඊලඟට කරන්නේ මොනවද කියලා හිතමු.

නිවසට ඇතුලුවූ වහාම සැලී හා කැලුම් ආයුධ අතැතිව නිවස සිසාරා ගොස් එය ආරක්ෂිත බව තහවුරු කරගත්තා. සැලී පසුගිය දින කිහිපයේ CCTV ආරක්ෂක කැමරා දර්ශණ නරඹන අතරේ යසිත් කුස්සියට වැදී මගදී පොඩි කඩයකින් ගත් පැස්ටා පැකට්ටුවක් හා මස් ටින් එකක් කඩාගෙන පැස්ටා එකක් හදන්න පටන්ගත්තේ හැමෝගේම බඩගිණ්න නිවන්න හිතාගෙන. සෑහෙන කාලයක් ඇමරිකාවේ තනියම නැවතී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ නිසා කෑමක් හදාගැනීමේ හැකියාව ඔහුට තිබුණා.

තිදෙනාම අධික ලෙස වෙහෙසට පත්ව සිටි නිසා ඉක්මණින් නිදාගන්නට තීරණය කලත් ඇඳන්වල නිදා නොගන්නා ලෙස කැලුම් උපදෙස් දුන්නා. හදිසි ප්‍රහරයක් එල්ලවුනහොත් ප්‍රහාරකයින් මුලින්ම වෙඩි තබන්නේ ඇඳන්වලට. ඒ නිසා වෙනත් තැන් වල නිදාගන්නා ලෙස ඔහු උපදෙස් දුන්නා. සැලීට හා යසිත්ට ආරක්ෂිත තැන්වල නිදාගන්නට සැලැස්සූ කැලුම් සාලයේ සෙටියක් අඳුරු කොනකට ඇදගෙන ඉඳගත්තේ සැලීගේ කුඩා ආයුධ සේප්පුවෙන් රුසියානු ස්පෙට්ස්නාස් වීශේෂ බළකා භාවිතාකරන නවීන Vityaz-SN සබ්මැෂින් තුවක්කුවක් අතැතිවයි. එවැනි සබ්මැෂින් තුවක්කු සතරක් සැලීගේ ගබඩාවේ තිබුණා. ඒවා කොහෙන් හොයාගත්තාදැයි අසන්නට කරදර නොවූ කැලුම් උණ්ඩ පිරැවූ තවත් එකක් සැලී අතට දුන්නේ කෝකටත් ලඟ තියාගෙන නිදාගන්න කියමින්.


6th December 2019, Launsdorf, Austria |
ලෝන්ස්ඩෝර්ෆ්, ඔස්ට්‍රියාව
8.20 Hours in Austria, 12.20 Hours in Uzbekistan

මෙහෙයුම් මැදිරියේ ඇති විශාල තිරය දෙස නෙත් යොමාගෙන සිටි සැලීට හා කැලුම්ට, උස්බෙකිස්ථානයේ තැනක ගිණිගෙන සම්පූර්ණයෙන්ම දැවීගොස් තිබූ ලොරි රථය පරීක්ෂාකරණ කණ්ඩායමේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කලා. යසිත් ඩ්‍රෝනයේ නියමුවා අසල අසුන්ගෙන එහි ක්‍රියාකාරිත්වය පිලිබඳව තොරතුරු විමසමින් සිටියා. සැලීගේ උපදෙස් මත තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායම දැවී ගිය ට්‍රක් රථයේ ඉන්ධන ටැංකිය ප්‍රවේසමෙන් ඉවත් කරමින් සිටියා. Mi24 ප්‍රහාරයෙන් දිවි ගලවාගැනීමෙන් පසු ප්‍රධාන මාර්ගයට පිවිසුනු ඔවුන් සැලී යොදාගෙන කරන ලද ප්‍රයෝගයකින් රැවටුනු ලොරි රථ රියැදුරෙකු බියවද්දා පලවා හැර ඔහුගේ ලොරිය පැහැර ගත්තා. ඔහු සතුව තිබූ ජංගම දුරකථනයද උදුරාගත්තේ ගත්තේ පැහැර ගැනීම පිලිබඳව ඉක්මණින් පණිවුඩයක් දීමට ඔහුට නොහැකිවන පරිද්දෙන්.

ප්‍රහාරයෙන් පසු සැලීගේ දැඩි උවමනාව වූයේ ඇය සතුව තිබූ මංජුසාව සැඟවීමයි. ලොරි රථ රියදුරා යම් ආකාරයකින් පොලිසිය හෝ ආරක්ෂක අංශ දැනුවත් කොට ඉදිරියේදී අත් අඩංගුවට පත්වීමක් හෝ වෙනත් ආකාරයකට රැඳවීමකට බඳුන් වුවහොත්, මෙතරම් කැපකිරීමක් කොට ලබාගත් කෞතුක වස්තුව යලිත් අහිමිවේ යයි ඇය බියවුනා. කෙසේ වෙතත් එය භූමියේ යම් ස්ථානයක සැඟවීම නුවනට හුරු නොවුනේ එය තිබෙන තැන නිසැකවම සළකුණු කොට පසුව තැන හඳුනාගැනීමේ හැකියාවක් නොතිබූ හෙයින්. අණතුරේදී ඔවුන් සතුව තිබූ ගැවිෂෙන්කෝගෙන් ලැබුණු ජී.පී.එස් යන්ත්‍රයද අහිමිවූ නිසා සඟවන තැන නිශ්චිතව සටහන්කර ගැනීමේ ක්‍රමයක් තිබුණේ නෑ.

"ලොරියෙ කොහෙ හරි හංගමුද?"කැලුම් ඇසුවා.

"බෑ...මේකෙ කොහෙ හැංගුවත් හොයනකොට හම්බුවෙනවානෙ..."

"කවුරුවත් බලන්නෙ නැති, ලේසියෙන් රෙපයාර් එකකටවත් ගලවන්නේ නැති තැනක් තියෙනවා..."යසිත් සිය ගණදෙවි නුවණ මෙහෙයවා තිබුණා.

"කොහෙද බං?"

"ඩීසල් ටැංකියට දාමු..."

"ආ.........???"

"ඔය මංජුසාව ඩීසල් ටැංකියට දාමු..."

"මේ ට්‍රක්වල ඩීසල් ටැංකියෙ ලීටර් 300ක් විතර අල්ලනවා. මූඩිය ඇරලා ඇතුලට දාලා වහමු... කවුරුවත් සැක කරන්නේ නෑ...අපි තුන්දෙනා විතරයි දන්නේ….....මාසයක් දෙකක් වුනත් ඔහේ තියෙයි. අපිට මතක තියාගන්න තියෙන්නේ වාහනේ අංකය හා හැඩරුව විතරයි."

දැවී පිලිස්සී ගිය ට්‍රක් රථය වෙත කණ්ඩායමක් යවන්නට සිදුවූයේ රථය දැවීයාමෙන් පසුවත් ඉන්ධන ටැංකියේ මංජුසාව නිරුපද්‍රිතව තිබුනේ නම් එය ලබාගෙන සංවිධානය වෙත ගෙන ඒමටයි. ඒ සඳහා සන්නද්ධ කුලීහේවායින් කණ්ඩායමක් යොදවන්නට ඔවුන් ක්‍රියාකලා. උස්බෙකිස්ථානයේ විවිධ මෙහෙයුම් කොට අත්දැකීම් තිබූ මේ කණ්ඩායම සිවිල් වැසියන් මෙන් පෙනීසිටිමින් සිය මෙහෙයුම් සිදුකිරීමට දක්ෂයන් බවයි පැවසුනේ.

සාමාන්‍යයෙන් රථයක් පිලිස්සෙන විට එය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 800ක් තරම් අධික උෂ්ණත්වයකින් දැවෙන අතර ඉතා ශක්තිමත් වානේ වලින් සාදන ඉන්ධන ටැංකිය පුපුරා යාමක් බොහෝ විට සිදුවන්නේ නෑ. ඒ වෙනුවට ඉන්ධන ගෙන යන බට සිදුරුවී ඉන්ධන වෑස්සෙමින් ගින්න වඩාත් තදින් ඇවිලෙනවා. අධික උෂ්ණත්වයකි දැවෙමින් නටන ඩීසල් තුල තිබූ මංජුසාව නැවත කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි අන්දමින් විනාශවී ගොස් තිබිය යුතුයි යන්න සියල්ලන්ගේම පැතුම වූවා.

කුළීහේවා කණ්ඩායම ඉතා සැළකිල්ලෙන් රථයේ ඉන්ධන ටැංකිය ගලවා ඉවත් කරගෙන එහි උඩ කොටස කපා දමමින් සිටියා. කෙසේ වෙතත් ආරංග් ස්වාමී වහන්සේ එය විනාශවී ගොස් ඇතැයි අනාවැකිය පල කලේ මීට දින දෙකකටත් කලින්.

සැලීගේ ආරක්ෂිත නිවසේ සැඟවීගත් ඔවුන් කොතරම් වේලා නිදාගත්තාදැයි කාටවත් නිනව්වක් තිබුනේ නෑ. දැඩි නින්දකින් පසු සෙමින් දෑස් අවදිකරමින් වටපිට බැලූ කැලුම්ට දකින්නට ලැබුනේ නෙත් අදහාගත නොහැකි දසුනක්.

ඔහු ඉදිරියේ ඈතින් බිම එරමිණියා ගොතාගෙන භාවනායෝගීව වැඩ සිටින ආරංග් ස්වාමීන් වහන්සේ දැකීමෙන් විස්මයටත්, කළබළයටත් පත්වූ කැලුම් හුන් අසුනෙන් වැටෙන්නට ගියා. වහා අසුනෙන් නැගිටගත් කැලුම් ඉදිරියට ගොස් වැඳවැටුනා.

"ඔබ වහන්සේ මෙහෙ? කොහොමද ඇතුලට ආවේ?"

"ඒකට උත්තරේ ඔබ දන්නවානේ පුතා...මට කැමති ඕනෑම තැනකට ඇතුලුවෙන්න මට පුලුවන්..."

"මම ආවේ ඔබට වැදගත් පණිවුඩයක් දෙන්නත් එක්ක...අර වාහනයේ ගින්නෙන් මංජුසාව සම්පූර්ණයෙන්ම දැවී විනාශවෙලා කියලා මට මගේ ජින් ආත්ම දන්වා සිටිනවා....මහා අශෝක අධිරාජ්‍යයාගේ අණින් මා ඔබට පැවරූ රාජකාරිය ඔබ අකුරටම ඉටුකර තිබෙනවා....."

"යාන්තම් ඇති......."

"ඔබ බොහෝ දුක් කම්කටොලු වින්දත්...ඔබට දැඩි ලෙස හිතවත් සහෘදයන් දෙදෙනෙකු දිනාගැනීමටත් ඔබ සමත්වෙලා තියෙන බව පේනවා..."

"ඔව් ස්වාමීනී යසිත්ගෙයි සැලීගෙයි උදව් නැතිනම් මට කවදාක්වත් මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නෑ....."

"ඔබ වහන්සේ සැලීව මීට කලින් හමුවී තිබෙනවා කිය ඇය කීවා..."

"ඔව් මා වරක් ඇගේ දිවි බේරා ගත්තා.....ඇයට අනාගතයේ යම් භාරදූර කාර්යයකට උර දෙන්නට නියමවී තිබෙන බව මට පෙනුනා....”

"ඔවුන් මා සමගම සිටීද ස්වාමීනී?.....මට මේ ලෝකයේම ඉතිරිවී ඇත්තේ ඒ දෙදෙනා විතරයි. අනෙක් හැමෝම මට අහිමිවෙලා. මට කවදාක්වත් මගේ අම්මා බලන්නවත් යන්න බැරිවෙයි..."

"පුතා මට සෑමවිටම අනාගතය කියන්න බෑ......අනාගතය කියන්නේ බාගෙට ලියැවුනු පොතක් වගේ…..සමහර දේවල් පැහැදිලියි, අණාවැකි කියන්න පුලුවන්……..ඒත් හිස් තැන් ගොඩක් තියෙනවා…ඒ හිස්තැන් වල ලියවෙන්න පුලුවන් දේවල් මොහොතින් මොහොත වෙනස් වෙනවා....මම හොඳින් දැන සිටියා ඔබ මේ මංජුසාව විනාශ කරන්න හැම උත්සහයක්ම දරනවා කියලා. ඒත් අවසාන මොහොත වෙනතෙක්ම ඔබගේ ඒ උත්සාහය සාර්ථකවේද අසාර්ථකවේදැයි කිසිවෙකුටත් කියන්නට පුලුවන්කමක් තිබුණේ නෑ.…..”
“මනුෂ්‍යයාගේ ස්වච්ඡන්දතාව (free will) ඉතාමත් බලවත්. ඒ නිසා බොහෝදෑ වෙනස් වෙන්න පුලුවන්. ……...ඒත් සංසාර බැඳීම ඊටත් වඩා බලවත් වෙනවා. මේ දරුවන් සංසාරය පුරා යහපත් බැඳීමකින් එනවානම් ඒ බැඳීම මත එකිනෙකා හැර යන්නට හිතෙන්නේ නෑ. කොතරම් ඈත දේශවල ඉපදුනත් දෛවය ඔවුන් මහා අපූරු ලෙස එක මගකට යොමුකරනවා. එසේ එක්වූවිට වෙන්වීම දුකක් වන නිසා එකට සිටින්නටයි සෑම විටම බලන්නේ. ඒ නිසා මම සිතනවා සුදු ගැහැණු දරුවාත්, ඔබ දේශයේ පිරිමි දරුවාත් ඔබ හැර නොයනු ඇතැයි කියා. ඒ ගැහැණු දරුවා ඥාණාන්විතයි, එමෙන්ම එඩිතරයි. යමක් අරමුණු කරගත් විට එහිම එල්බ සිටින්නට අධිෂ්ඨාන ශක්තියක් ඇත්තියක්. එමෙන්ම ඇය ඔබට බොහෝ ලැදියි. එය සසර පුරුද්දක් විය යුතුයි………….පිරිමි දරුවාත් ඉතාමත් ඥාණාන්විතයි. එහෙත් ආවේගශීලීයි. මිතුරන්ට බොහෝ හිතවත්. ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් තැනැත්තෙක්. ඔබ වැනි අවංක මිතුරෙකුගේ මග පෙන්වීම, හිතවත්කම ඔහුට ඉතා වැදගත්…..”

"....ඒ කොහොම උනත් අපිට කොතෙක් කල් ජීවත් වෙන්න වෙයිද දන්නේ නෑ උතුමානෙනි………...අපිට දැන් යන්න තැනක් නෑ.........අපි බොහෝ බිහිසුණු සතුරන් නිර්මාණය කරගෙනයි සිටින්නේ.........වැඩිකල් නොගොස් ඔවුන් අප තිදෙනාවම මරා දමාවි......"

"ඔව් මම දන්නවා.......ඒ නිසා තමයි මම මේ අවස්ථාවේ මෙතනට ආවේ............ඔබ තිදෙනා ආරක්ෂාකිරීම මාගේ වගකීමක්.......ඔබට උදව්කල හැකි පිරිසක් මා හඳුනාගෙන තිබෙනවා........මා දන්නා පරිදි ඔවුන් විශ්වාසවන්තයි......ඔවුන්ගේ අරමුණු පිරිසිදුයි......ඔබ සූදානම් වූවිට ඔවුන් මෙතනට පැමිණෙයි…”

"ඔවුන් එන තෙක් ඔබ රැඳී සිටිනවාද ස්වාමීනී?"

"ඔව්....මා මෙතන සිටින තෙක් ඔබගේ ආරක්ෂාව තහවුරුයි.......ඒ ගැන කරදර වෙන්න එපා........ඔවුන් මෙහි එන තෙක් මා රැඳී සිටිනවා පමණක් නොවේ ඔබ සමග යන්නටද මා පැමිණෙනවා........"

~~~


"සමාවෙන්න බාධා කරනවාට.......විතානගේ මහත්මා.....හෝකින්ස් මෙනෙවිය..... මහා ආදිපාද ලූටන්බර්ග් සාමිවරයා ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා........කරුණාකර මා සමග එන්න....."

සහායිකාව ඔවුන්ව විශාල ඕක් දොරටුවකින් ඇතුලු කල අතර එහි අනෙක් පසවූ සුවිසල් කාමරයේ විල්ලුද පලසක් මත මහා ආදිපාද ලූටන්බර්ග් සාමිවරයා එරමිණියා ගොතාගෙන ඉඳගෙන සිටියා. ඒ අසලින්ම ආරංග් යතිවරයාණන්ද එරමිණියා ගොතාගෙන වැඩසිටියා.

“Welcome Mr. Wita-na-ge…. Welcome Miss. Hawkins…”

ලූටන්බර්ග් සාමිවරයාට ආචාර කිරීමෙන් පසු කැලුම් යතිවරයාණන් වෙත ගොස් පසඟ පිහිටුවා වැන්දා. ඔහු අනුගමනය කරමින් එලෙසම උන්වහන්සේට පසඟ පිහිටුවා වැන්ද සැලී "Thank you for saving my life on that day holy master…."යයි පැවසූවා. ඇයගේ හිස පිරිමැද ආශීර්වාද කල මුණිතුමා ඔවුන් අසලින් හිඳගන්නා ලෙස දැක්වූවා.

වයස හෑත්තෑව ඉක්මවූ පවක් පෙන්වූ ලූටන්බර්ග් සාමිවරයාවෙතින් ප්‍රභාවන්ත පෙනුමක් තිබුණා. වයස්ගත වුවද ඉතා ක්‍රියාශීලී ජීවිතයක් ගතකරන බව ඔවුගේ ගතින් දිස්වූවා. රළු, ජර්මන් උරුවක් ඇති ඉංග්‍රීසියෙන් කතාකල ලූටන්බර්ග්ට බොහෝ සංයමයෙන්, ඉතා ප්‍රවේසමෙන් වචන තෝරා බේරාගෙන කතාකලා.

“බොහෝම ස්තූතියි ඔබ තිදෙනා සිදුකල විශාල කැපකිරීම් වලට. ඔබ තිදෙනා කල සේවය පිලිබඳව මුණිතුමා මා දැනුවත් කලා. මම ඔබට මුලු හදින්ම ස්තූතිවන්ත වනවා ලෝකයටම මහත් තර්ජනයක් විය හැකිව තිබූ, භගවත් ගෞතමයාණන් වහන්සේ තහනම් ඥාණය ලෙස හඳුන්වාතිබූ එය විනාශ කිරීම ගැන. අපගෙන් කිසිම උදව්වක් නැතුව, ඔබලාට ජිවිතය විසින් දායාද කොට තිබූ සියල්ලම කැපකරලයි ඔබලා මේ දේ සිදුකලේ. අපට අවශ්‍ය වන්නේ එවැනි කැපවීමක් ඇති ක්‍රියාකාරීන්.”

සැලී තමන්ට යමක් කියන්නට අවශ්‍ය බව හැඟෙව්වා.

"ඔව් මිස් හෝකින්ස්.....?"

"මට සැලී කියා අමතනවට මා කැමතියි...."

"හරි.....මිස් සැලී.....කියන්න?"

"මහා ආදිපාද ලූටන්බර්ග් සාමිවරයාණෙනි..."

"සමාවෙන්න....මටත් බාධා කිරීමක් කරන්න ඕනෑ....මට ෆ්‍රෑන්ස් කියා අමතන්න.....මගේ මුල් නම ෆ්‍රෑන්ස්....... නම්බුනාම වලින් ඇමතීම ප්‍රසිද්ධ අවස්ථාවලදී සිදුවුනාම ඇති...."

"ෆ්‍රෑන්ස් මහතාණෙනි...අපි ඔබතුමාගේ මූලස්ථානය වන මේ බළකොටුවට රැගෙන ආවේ අපේ මුණිතුමා....එතුමා දැන්වූවා අපට මෙහි ආරක්ෂාව තියෙනවා කියලා.....ඒවගේම ඔබතුමා හා ඔබතුමා මෙහෙයවන සංවිධානය විශ්වාසකල හැකි බවත් කීවා....ඒත් අපි දැන ගන්න ඕනෑ ඔබේ සංවිධානය කුමක්ද? එහි දැක්ම හා මෙහෙවර ඉලක්ක මොනවාද? ඔබ වැනි පෞද්ගලික සංවිධානයකට අතිනවීන ග්ලෝබල් හෝක් අන්තර්-මහද්වීපික ඩ්‍රෝන් යානා වැනි සම්පත් තිබෙන්නේ කොහොමද? සන්නද්ධ කණ්ඩායම් වෙනත් රටවලට යවන්න හැකියාව, අවසරය තියෙන්නේ කොහොමද? මේවාට සම්පත් හා මූල්‍ය ශක්තිය ලැබෙන්නේ කොහොමද වැනි වැදගත් කරුණු...."

"ඔව් සැලී...බොහොම සාධාරණ හා වැදගත් පැන. මම සියල්ලටම පිලිතුරු දෙන්නම්. ඔබට වගේම කැලුම්ටත්, යසිත්ටත් මේ තොරතුරු නොවලහා පැවසීම මගේ යුතුකම.....පලමුවෙන්ම මා ගැන විස්තරයක් කරලා ඉන්නම්"

“මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ මානව විද්‍යාඥයෙක් වෙන්න. ඒවගේම මම ඉතිහාසය හා පුරාවිද්‍යාවත් හැදෑරුවා. මට පුරාවිද්‍යාව හා ඉතිහාසය පිලිබඳව ආචාර්ය උපාධියක් තිබෙනවා. ඒවගේම ව්‍යාපාර කළමණාකරණය පිලිබඳව පස්චාත් උපාධියකුත් තියෙනවා. මගේ පවුල හා ව්‍යාපාරික පසුබිම ගැන කියනවානම් මගේ ඥාති පරම්පරාව පැරණි ඔස්ටියානු අධිරාජ්‍යයේ රජ පරම්පරාවයි. ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරාවන කාර්ල් ෆොන් හැබ්ස්බර්ග් නෑකමින් මට බෑනා වෙනවා. බොහෝ ඔස්ට්‍රියානුවන් වගේම මගේ පරම්පරාවත් ජර්මන් සම්භවයක් ඇති, පුරාණ ජර්මැනික් ගෝත්‍රයකින් පැවත එන්නන්. අප පරම්පරාව එන්ගලන්තයේ, ස්කොට්ලන්තයේ, ජර්මනියේ, ඕලන්දයේ හා ස්වීඩනයේ රජ පවුල්වලට සමීප ඥාති සබඳතා තිබෙනවා.

ඒනිසා තමයි මට මහා ආදිපාද කියන රාජකීය නම්බුනාමය ලැබිලා තියෙන්නේ. ඔස්ට්‍රියාව අද ප්‍රජාතාන්ත්‍රවාදී ජනරජයක් නිසා අපේ පරම්පරාවට රට පාලනය කිරීමේ බලතල ඇත්තේ නෑ. එහෙත් අප ඉතාමත් ගෞරවාන්විතව, බොහොම බලසම්පන්නව රටේ දේශපාලනයට වගේම මුලු යුරෝපයේම ව්‍යාපාරික මෙහෙයුම් වලටත් දැඩි සබඳකම් ඇතුව සිටිනවා.

අප පවුල ඔස්ට්‍රියාවේ ධනවත්ම පවුල වන අතර යුරෝපයේ ධනවත්ම පවුල් දහය අතර ඉහලින්ම සිටිනවා. යුරෝපයේ වගේම ඇමරිකාවේ, චීනයේ, ජපානයේ හා කොරියාවේ විශාල බහුජාතික සමාගම් බොහොමයක කොටස් අප සතුව තිබෙනවා. මට ජර්මනයේ මර්සඩීස් බෙන්ස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය තිබෙනවා. අප එහි විශාලතම කොටස් හිමින් අතරට වැටෙනවා. ඒ වගේම අපේ පවුල යුරෝපීය එයාබස් ගුවන්යානා නිෂ්පාදන සමාගමේ විශාලම කොටස් හිමියාද වනවා. අපගේ කොටස් හිමිකම් අප පවුල සතු ආයෝජන අරමුදලක් මගින් පාලනය වෙනවා.

අපගේ පවුල සතු විශාල ධනය නිසා මෙවැනි රහසිගත සංවිධානයක් පවත්වාගෙන යාමට අපට හැකියාව තිබෙනවා. ඔස්ට්‍රියානු රජයේ ඉහලම තලවල නිළධාරීන් හා දේශපාලකයින් හා අප පවුල අතර ඇති දැඩි සබඳතා නිසා අපගේ මෙහෙයුම් පවත්වාගෙන යාමේ හැකියාව ලැබී තිබෙනවා.

මේ රහසිගත සංවිධානය ආරම්භකලේ මාගේ සීයා විසින්. එහෙත් මෙහිදී මා ඉතාමත් ලැජ්ජාවෙන් හා කණගාටුවෙන් ප්‍රකශකල යුතුයි අපගේ සීයා මේ සංවිධානය ආරම්භකලේ 1930දී නට්සි ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර් හා ඔහුගේ සමීපතම උපදේශකයින් කල ඉල්ලීමක් අනුව බව. හිට්ලර් හා ඔහුගේ සමීපතමයින් බොහෝ දෙනෙක් ඉපැරණි හා දැන් වැළලීගිය දියුණු ආර්ය ශිෂ්ඨාචාරයක් පිලිබඳව දැඩි ලෙස විශ්වාස කල අතර එම ශිෂ්ඨාචාරය මගින් ඉතිරි කොට ගිය ගුප්ත දැනුම ගවේශණය කිරීමට හා ඒවා ලබාගෙන එයින් ආර්ය-ජර්මන් නට්සි රයිකය බලගත කරගැනීම ඔවුන්ගේ අභිලාශය වුනා. මාගේ සීයා මෙය ආරභ කලේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි.

නට්සීන්ගේ පරාජයෙන් පසු මේ සංවිධානය විසුරුවා හැර ඔවුන් රහසින් එක් රැස් කරගත් දැනුම හා කෞතුක වස්තූන් ඉතාමත් ආරක්ෂිතව දකුණු ඇමරිකාවේ ගබඩා කරන්නට කටයුතු කර තිබුණා. 1951දී සංවිධානය නැවත ආරම්භ කලේ මගේ පියා විසින්. උරුමයෙන් ඔහුට දකුණු ඇමරිකාවේ ගබඩාකොට තිබූ රහස් ලේඛණ හා කෞතුක වස්තූන් අයිතිවූනා. ඒවා අධ්‍යයනය කිරීමෙන් පසු, ඒවා තුල තිබූ ඉපැරණි ඥාණයන් හා ගුප්ත තාක්ෂණයන් විනාශකර යුතු යයි ඔහුට ඒත්තු ගියා. ඔබලා විසින් විනාශකරන ලද වස්තුව මෙන්ම බලසම්පන්න දැනුම හා තාක්ෂණයන් පිලිබඳ තොරතුරු මේ කෞතුක භාණ්ඩ අතර තිබී මාගේ පියාට හමුවී තිබුණා. මෙවැනි ගුප්ත දැනුම හා තාක්ෂණයන්, ඒවා නිර්මාණය කරගත් ඉපැරණි ශිෂ්ඨාචාරවලට සිදුකර ඇති හානිය නිසා, අපගේ නූතන ශිෂ්ඨාචාරය මේ තහනම් ඥාණයන්ගෙන් ආරක්ෂාකර ගැනීමේ අරමුණිනුයි මේ සංවිධානයේ පුනරුප්පත්තිය සිදුකලේ.

ඉතිහාසඥයෙකු හා මානව විද්‍යාඥයෙකු ලෙස මට ඔබට ඉතා විශ්වාසයෙන් පැවසිය හැකි දෙයක් වන්නේ දැන් මිනිස් ඉතිහාසය ලෙස අප දන්නා / අපට උගන්වන ඉතිහාසය ඉතාමත් අසම්පූර්ණ ඉතිහාසයක් බවයි. නූතන හෝමෝ සැපියන් මානවයා ලොව පහලවී දැනට වසර 300,000-500,000ත් අතර කාලයක් බවයි බොහෝ පුරාවිද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. ඒවගේම ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් ඔබට කියාවි මානවයින් නූතන ශිෂ්ඨාචාරයන් ගොඩ නගන්නට පටන් ගත්තේ මීට වසර 5000කට පමණ පෙර මෙසපොතේමියාවේ සිට බව. ඒවගේම අපගේ නූතන තාක්ෂණික යුගය ආරම්භවුනේ මීට අවරුදු 1000ක් තරම් මෑතක සිට බව.

එහෙත් අපවැනි මානවවිද්‍යාඥයින් බොහෝම සුලු පිරිසක් මේ ප්‍රස්තූතය පිලිගන්නට මැළිවෙනවා.

ටිකක් කල්පණාකර බලන්න. වසර ලක්ෂ තුනකට පෙර ජීවත්වූ නූතන මානවයා කියන්නේත් අප වගේම බුද්ධිමත්, අපට හැම අතින්ම සමාන අප වැනිම දියුණු මනසක් තිබූ මානවයින්ට. ඒත් එතරම් දියුණු මානවයා ශිෂ්ඨාචාරයක් ගොඩනගන්නේ අවරුදු 5000ක් තරම් මෑතකදී. ඒ කියන්න බිහිවීමෙන් අවුරුදු 295,000ක්ම ඔවුන් ගත කරලා තියෙන්නේ ගල් කැබැලි උල් කරමින්, සතුන් දඩයම් කරමින්, ගඩාගෙඩි කඩාගෙන කමින්. ඒවගේම අවුරුදු 295,000ක් යන තෙක්ම ඔවුන් ඉගෙන තියෙන වැදගත්ම දෙය තමයි කාලා ඉතිරිවෙන ඇට ටිකක් විසිකරලා තව ගස් ටිකක් හදාගන්න පුලුවන් කියන එක. ඒ කියන්නේ ගොවිතැනේ ආරම්භය.

සැලී, කැලුම් ඔබ දෙදෙනාම තේරුම් ගන්න ඕනෑ, මේ කල්පිතය වැරදිබව. දියුණු මානව තාක්ෂණය හා ශිෂ්ඨාචාරය අපට උගන්වනවාට වඩා බොහෝම පැරණියි. මීට වසර 100,000කට පෙරත් අතිශය දියුණු මානව ශිෂ්ඨාචාර තිබිලා තියෙනවා. ඒ සඳහා අපට සාක්ෂි ලැබීලා තියෙනවා. ඒත් ඒ සාක්ෂි නූතන විද්‍යාඥ-ප්‍රජාව හා පර්යේෂක-ප්‍රජාව පිලිගන්නේ නෑ. ශිෂ්ඨාචාර බිහිවෙලා දියුණුවේ හිණිපෙත්තටම ගිහිල්ලා පසුව ඔවුන් අරගත් යම් වැරදී තීන්දු හෝ වෙනයම් හේතුවක් නිසා විනාශවී අභාවයට ගිහින් තියෙනවා. මෙවැනි ශිෂ්ඨාචාරයේ නැගීම් හා බැසීම් වට කිහිපයක්ම සිදුවෙලා තියෙනවා. මෙවැනි නැගීම් හා බැසීම් වලට දෙන්න පුලුවන් ආසන්නම උදාහරණ තමයි මහා භාරතය හා චීනය හා ලංකාව, කම්පූචියාව, ලාඕසය වගේ ආශ්‍රිත රටවල්.

ක්‍රි.ව 1500 වෙනතෙක් ලෝකයේ දියුණුම හා ධනවත්ම රාජ්‍යයන් වුනේ මහා භාරතය හා චීනය. ඒක පුද්ගල ආදායම ගත්තොත් ක්‍රි.ව. 1500දී චීනයේ ඒකපුද්ගල ආදයම ඩොලර් 600ක්. මහා භාරතයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 550ක්. ඇමරිකා එක්සත් ජනපදයේ ඒකපුද්ගල ආදායම ක්‍රි.ව. 1500දී ඩොලර් 400යි. ඒ කාළයේ ඇමරිකාව, ඉන්දියාව හා චීනයට සාපේක්ෂව දුප්පත් රටක්. ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතයක් බිහිකලේ මේ රාජ්‍ය දෙක. විද්‍යාව, කලාව, දර්ශණවේදය, ගණිතය ආදී දැනුම ඔවුන් විශාල වශයෙන් බිහිකලා. ඒත් 1900 පහුවෙන කොට චීනය හා භාරතය ලෝකයේ දුප්පත්ම, දුර්භික්ෂ වලින් ලක්ෂ ගණන් මිය යන රාජ්‍ය බවට පිරිහිලා තිබුණා.

ක්‍රි.ව 1800 වනකොට ඇමරිකා එක්සත් ජනපදය ඒකපුද්ගල ආදායම ඩොලර් 1200ක් වෙනකන් තුන්ගුණයකින් වැඩිකරගෙන තිබුණා. ඒත් චීනය හා භාරතය යන රටවල් දෙකටම ක්‍රි.ව. 1500දී තිබුණු ඒක පුද්ගල ආදායම අවුරුදු 300ක් ගතවෙලත් වැඩිකර ගන්න පුලුවන් වුනේ නෑ. ඒ කියන්නේ ඇමරිකාව ඇතුලු බටහිර රටවල් සීග්‍රයෙන් දියුණු වෙද්දි භාරතය, චීනය වගේ ධනවත් රටවල් කඩා වැටෙන්න ගත්තා කියන එක. මේ නැගීම හා බැසීම අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ චක්‍රීයව වෙන දෙයක්. ඒ සඳහා විවිධ දේවල් හේතුවෙනවා. සතුරු ආක්‍රමණ, මහා දේශගුණ විපර්යාස ආහාර නිෂ්පාදනය කඩා වැටීම, සුනාමි වැනි මහා විපත්, මහාමාරිය වැනි බෝවෙන රෝග හේතුවෙනවා. ඒවගේම පාලනයකින් තොරව දියුණු වෙන තාක්ෂණයෙන්ද මහා විනාශ සිද්ද වෙන්න පුලුවන්.

අප ප්‍රවේසම් නොවුව හොත් ඉදිරි වසර 100තුල බිහිවන හෝ වැලලී ගොස් සිට යලිත් සොයා ගන්නා භයාණක තාක්ෂණයක් නිසා මානව සංහතිය යලිත් ගල් යුගයට යන්න පුලුවන්. ඔබ තිදෙනා විනාශකල කෞතුක වස්තුවේ තිබූ සූත්‍ර පෘථිවිය හා වෙනත් ලෝක අතර දොරටු විවර කල හැකි තරම් බලවත්. අප නොදැනුවත්වම එවැනි දොරටුවක් විවර කරගත්තොත්, ඒ ලෝකවල සිටින භයානක සුපිරි ජීවීන් මෙලොවට කඩාවැදී අප විනාශ කරන්නට හෝ අපව වසර දස දහස් ගණනක් යන තෙක් වහලුන් ලෙස තබාගන්නට පුලුවන්.

මේ වැළලීගිය ශිෂ්ඨාචාර ඈත අතීතයේදී විද්‍යාඥයින්, ශාස්ත්‍රඥයින්, ගණිතඥයින්, ඉන්ජිනේරුවන් බිහිකරන්නට ඇති. අසම-අසම සුපිරි ඥාණයක් ඇති ගෞතම බුදුන් වැනි පුද්ගලයින් බිහිකරන්නට ඇති. ජෙසුස් ක්‍රිස්තූස් වහන්සේ වැනි අපූර්ව චෛතිසිකමය බලයන් ඇති, ඉතා දියුණු මනසකින් යුතු පුද්ගලයින්ද බිහිකරන්නට ඇති. මෙවැනි පුද්ගලයින් බිහිකල ඥාණය සමහර අවස්ථාවලදී අපගේ ශිෂ්ඨාචාරය පවතින මට්ටම වඩා බොහෝ ඉහල තලයක ඒවා. එවැනි තාක්ෂණයන් බොහොමයක් දැන් වැළලීගොසින්. කොහොම වුනත් කාලයෙන් කාලයට මේ තාක්ෂණයන් අහම්බෙන් හෝ සැළසුම් සහගත ගවේෂණයන් නිසා කළ එළි බහිනවා. අපගේ සංවිධානයේ ඒකායන අරමුණ මේ තාක්ෂණයන් විනාශකර දැමීම හෝ එවැනි තාක්ෂණය දරාගැනීමට අපගේ ශිෂ්ඨාචාරය දියුණුවනතෙක් ඒවා සඟවා තබාගැනීමයි.

1951 වසරේ සිටම අප සැලසුම්සහගතවම අපගේ සංවිධානය ඉතා කුඩාවට පවත්වාගෙන ගියා. දැඩි කැපවීමක් ඇති කුඩා කණ්ඩායමක් මෙහෙයුම් සිදුකල අතර බරපතල මෙහෙයුම් සන්නද්ධ වෘත්තියමය කුලී හමුදා කණ්ඩායම් හරහා සිදුකරවා ගත්තා. අවම ජීවිත හානි මෙන්ම වෙනත් ගැටුම්වලින් තොරව මෙහෙයුම් ඉලක්ක සපුරාගැනීම ඔවුන්ගේ වගකීම වුනා. අපට එවැනි කණ්ඩායම් කිහිපයක් සිටිනවා. ඔවුන් විශේෂ බළකාවල හා බුද්ධි අංශවල හිටපු සාමාජිකයින්. මුදලට ක්‍රියාත්මක වන ඔවුන් අනවශ්‍ය ප්‍රශ්ණ අසන්නේ නෑ.

එහෙත් දැන් අපේ ක්‍රමෝපායන් වෙනස් කරනට සිදුවෙලා. සැඟවුනු තාක්ෂණය එලියට පැමිණීමේ තර්ජනය පසුගිය වසර පහතුල බෙහෙවින් වැඩිවෙලා. මෙයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ලෝකය පුරා රටවල්වල අතිශයින්ම ධනවත් තරුණ ප්‍රකෝටිපතියන් බිහිවීම. ඉතිහාසයේ කවරදාකටවත් වඩා තරුණ ප්‍රකෝටිපතියන් දැන් බිහිවී සිටිනවා. නීතිරීති, සම්ප්‍රදායන් වගේ දේවල මායිම් නොකරන, කුතුහලය නැමති සා-පිපාසාවෙන් පෙලෙන මොවුන් ඔවුන් තමුන් සන්තකයේ ඇති මහා ධනය ව්‍යාපාර කටයුතුවලින් බැහැර වෙනත් කටයුතු සඳහා යොදන්නට පටන් අරගෙන.

අපේ හිතවත් ඊලෝන් මස්ක්, ජෙෆ් බීසෝස් වගේ තරුණ ප්‍රකෝටිපතියන් සිය ධනය ලාභ රොකට් හදන, ඉලෙක්ට්‍රික් වාහන ජනප්‍රිය කරන ව්‍යාපෘති වලට යොදාගෙන තියෙනවා. මාගේ පෞද්ගලික මිතුරෙක් වන බිල් ගේට්ස් මහතා සිය ධනය යොදවන්නේ අප්‍රිකානු මහද්වීපයේ කුසගිණ්න හා මන්දපෝෂණය නැති කරන්න. ඒත් හැමෝම එහෙම නෑ. සමහර තරුණ සුපිරි ධනවතුන් සිය ධනය සැඟව ඇති දෑ සොයන්නට යොදන්නට පටන් අරගෙන. ඔවුන් විවිධාකාරයේ සැඟවුනු දැනුම සොයන ගවේෂණ, පර්යේෂණ ව්‍යාපෘති වගේ දේවල්වලට මුදල් විශාල ලෙස යොදවනවා. ඇෆ්ඝනිස්ථානයේ බැග්‍රැම්වල රහස් විද්‍යාගාරයේ බරපැන විශාල ප්‍රමාණයක් දරලා තියෙන්නෙත් ලඟදී ධනවත්වුනු අධිතාක්ෂණික සමාගමක වැඩිම කොටස් අයිති තැනැත්තෙක්.

"ඒ කවුද කියලා කියන්න පුලුවන්ද?"කැලුම් සැලී දෙස බලමින් ඇසුවා.

“සමාවෙන්න කැලුම්, දැනට මට ඒ තොරතුර දෙන්න බෑ. අප අතර ගණුදෙනු සිදුකෙරන ආකාරය සාකච්ඡාකරලා, එකඟතාවයකට ආවට පස්සේ සියලු තොරතුරු ලබා දෙන්නම්.”

ඒත් මට කියන්න පුලුවන් ඒවගේ අය ගොඩක් දැන් ඉන්නවා කියන එක. ඔවුන් රහසිගත ගවේෂණ ව්‍යාපෘතිවලට මුදල් යොදවනවා. ලෝකයේ කෞතුකාගාරවල ගබඩාකරලා තියෙන, නිසියාකාර ලෙස අධ්‍යයනය නොකරනල ලද කෞතුක වස්තූන්, පැරණි ග්‍රන්ථ, පුස්කොළ පොත්, ලේඛන ලියූ මැටි පුවරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඒ කෞතුකාගාර ගබඩාවල ඉබියතුරු දාලා පුස් කමින් තිබුණා. එවැනි කෞතුක වස්තූන් ඉහලම තාක්ෂණය යොදාගෙන පරීක්ෂාකරන්න, අධ්‍යයනය කරන්න දැන් වැඩි වැඩියෙන් මුදල් යෙදවෙන බවයි අපිට වාර්තාවන්නේ. සමහර සුපිරි ධනවතුන් යුරෝපයේ, ආසියාවේ හා අප්‍රිකාවේ කෞතුකාගාරවල ප්‍රධාන දානපතියන් බවට පත්වෙලා. ඔවුන් පිරිනමන ධනය නිසා ඒ ආයතනවල කෞතුක වස්තූන් පිලිබඳව ඕනෑම පර්යේෂණයක් කරන්න ඔවුන් අනුග්‍රහය දක්වන පර්යේෂක කණ්ඩායම්වලට ඉඩ ලැබිලා. ඒවගේම ගැඹුරු මුහුදේ ගිලීගිය ඉපැරණි නෞකා වගේම මුහුදේ ගිලීගොස් ඇතැයි සිතෙන ශිෂ්ඨාචාර ඇති ප්‍රදේශ ගවේෂණයත් ඉහල ගිහිල්ලා.

වැඩිකල් යන්න ඉස්සෙල්ලා කවුරුහරි මේ ලෝකයට හානියක් කල හැකි ඉපැරණි ඥාණයක් හෝ තාක්ෂණයක් සොයාගන්නට තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ තර්ජනයට මුහුණ දෙන්න අපේ සංවිධානයේත් යම් යම් වෙනස්කම් කරන්න අපගේ පරිපාලන මණ්ඩලය මට අවසර දීලා තියෙනවා.

මේ වෙනස්කම් කරන්න තමයි කැලුම්, සැලී, අපට ඔබගේ උදව් අවශ්‍ය වන්නේ.

"අපෙන් ඔබට උවමනා මොන විධියේ සහයක්ද? පුලුවන් දෙයක් අපි කරන්නම්...?"සැලී කැලුම් දෙස බලමින් පැවසුවා. කැලුම් හිසවනා සැලීගේ අදහස අනුමත කලා.

ඔබ තිදෙනාම දැන් විවිධ රජයන් හා ඔත්තුසේවාවලට අවශ්‍ය පුද්ගලයින් වෙලා. සී.අයි.ඒ එක ඔබ සොයනවා. ඒවගේම ඇමරිකන් අධිකරණ දෙපාර්තමේන්තුවත්, එෆ්.බී.අයි එකටත් ඔබ තිදෙනාම අවශ්‍ය පුද්ගලයින් ලෙස දක්වා තිබෙනවා. ඒවගේම ශ්‍රී ලාංකික රජයත්, යුධ හමුදාවත් කැලුම්ව අවශ්‍ය පුද්ගලයෙක් ලෙස දක්වා තිබෙනවා. ඒ නිසා දැන් ඔබ සිටින තත්වය බොහෝම අවදානම්. ඒ නිසා ඔබේ ආරක්ෂාවත්, අපේ සංවිධානයේ අවශ්‍යතාවයත් දෙකම සළකලා අප සමග එකතුවෙන ලෙස ඔබ තිදෙනාටම ආරාධනා කරනවා. යසිත් මෙතන නැතත් ඔබලා ගන්න තීරණයට ඔහු කැමති වන බව මම විශ්වාස කරනවා.

ඔබ තිදෙනාටම ඔස්ට්‍රියානු පුරවැසිභාවය ලබාදෙන්න අපට පුලුවන්. ඒවගේම ඔබට ඔස්ට්‍රියානු රාජ්‍යතාන්ත්‍රික ගමන්බළපත්‍ර ලබා දෙන්නටත් අපට පුලුවන්. ඒවගේම ඔස්ට්‍රියානු රාජකීය පවුලට සේවය කරන ජ්‍යේෂ්ඨ නිළධාරීන් ලෙස නිළවශයෙන් පත්වන ඔබ තිදෙනාටම රාජ්‍යතාන්ත්‍රික මුක්තිය (diplomatic immunity) ලබා දෙන්නටත් අප සූදානම්. ඒ නිසා ඔබ රටෙන් පිටව යද්දී ආරක්ෂිතව ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ වරප්‍රසාද ඔබට ලබාදීම සඳහා අපගේ සංවිධානයේ පාලන මණ්ඩළය මට ලිඛිත අවසරය ලබාදී තිබෙනවා. අපගේ පාලන මණ්ඩළයේ සිටින සියලුම සාමාජිකයින් රජ පවුලේ සාමාජිකයින් වගේම ඔස්ට්‍රියානු රජයේ ඉහලම නිළතල දරන්නන් බවත් මම මේ අවස්ථාවේ කියන්නට ඕනෑ. අපගේ සංවිධානයේ මූලස්ථානය මේ බළකොටුවේ ස්ථාපනය වී තිබෙනවා. මාගේ නිළ කාර්යාලය වියෙනා නුවර පිහිටා තිබෙන අතර මසකට වරක් මා මෙහි පැමිණෙනවා.

ඔබ තිදෙනා වෙනුවෙන්ම ඉහල නිළයන් ස්ථාපනය කිරීමට අප තිරණය කොට තිබෙනවා. මේ නිළයන් පිහිටුවීම පිලිබඳ තීරණය අප අරගත්තේ දැන් කාළයකට පෙර. ඒ සඳහා සුදුසු පුදගලයින් සොයමිනුයි අප සිටියේ.

සැලී හෝකින්ස් මෙනෙවියට අප සංවිධානයේ Chief Intelligence Officer තනතුර ප්‍රදානය කිරීමටයි තිරණය වෙලා තියෙන්නේ. අප සංවිධානය සඳහා රහස් ඔත්තු ජාලයක් පිහිටුවීම, ඔත්තුකරුවන් බඳවාගැනීම, ඔවුන් මෙහෙයවීම, ලොව පුරා රහස් තාක්ෂණයන් පිලිබඳව තොරතුරු අප සංවිධානය වෙත ගලාඒම සඳහා මාර්ග ඇති කිරීම ඔබගේ ප්‍රධාන වගකීම් අතර වනවා. ඒ සඳහා ඉතා හොඳ හැකියාවක් හා පුහුණුවක් ඔබට ඇති බවයි අපගේ විශ්වාසය.

කැලුම් විතානගේ මහත්මාට අප ආයතනයේ Chief of Covert Operations and Security තනතුර ඉතාම සුදුසුයි කියා අප සිතනවා. මේ බළකොටුව හා අපගේ මූලස්ථානයේ මෙන්ම අපසතු වෙනත් ස්ථාන හා සම්පත් හා පුද්ගලයින්ගේ ආරක්ෂාව වගේම ඉපැරණි තාක්ෂණයන්, කෞතුක වස්තූන් හා වෙනත් එවැනි අත්භූත ගුණාංග ඇතුලත් දෑ අත්පත් කරගැනීමේ හෝ විනාශකීරීමේ මෙහෙයුම් සැළසුම්කිරීම, ක්‍රියාවේ යෙදවීම හා ඒවා ආරක්ෂිතව තැබීම ඔබගේ වගකීම් වනවා. ඒවගේම යසිත් සෙනෙවිරත්න මහතාට අප සංවිධානයේ Chief Technology Officer තනතුර ඉතාම සුදුසු යයි අප සිතනවා. අප ආයතනයේ අරමුණු සඳහා ඉහලම තාක්ෂණය අනුයුක්ත කරගැනීම හා ඒවා පාලනය ඔහුගේ වගකීම් වනු ඇති.

මාගේ යෝජනා ගැන ඔබලා හොඳින් සාකච්ඡාකරලා ගැටලු සහගත තැන් නිරාකරණය කරගන්න. පසුව කැමත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න. ඔබලාට තීරණයක් ගැනීමට සති හතරක කාළයක් තිබෙනවා. ඒ අතරතුර ඔබ ඔස්ට්‍රියානු රජපවුලේ ගෞරවණීය අමුත්තන් ලෙස සියලු පහසුකම් සැලසෙනු ඇති. ඉතින් ඔබ තිදෙනාම හොඳින් කල්පණා කොට තීරණ ගන්න. අපගේ යෝජනාවලට ඔබ කැමතිවනු ඇතැයි අප ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වනවා.

මා දැන් ඔබෙන් සමුගන්නට අවසර ඉල්ලනවා. මුණිතුමා සමග කතාබස් කිරීමට මට කාළය අවශ්‍යයි. එතුමා හමුවුනේ බොහෝ කාළයකින්. ඔබලා අපගේ යෝජනාවට කැමතිවන්නේනම් මුණිතුමාවත් මෙහි රඳවාගන්න අපට හැකියාව ලැබෙයි..........



THE END OF MISSION IN AFGHANISTAN



Thank you for coming this far.....

Hope You Enjoyed my Creation



Post Credit Scene - in the tradition of Marvel Pictures :D

MISSION IN TIBET



April 2021
150 Km east of Lhasa, Tibet | 2021 අප්‍රේල්, ලාසා නගරයට කිලෝමීටර් 150ක් නැගෙනහිරින්

ටිබෙටයේ පෞරාණික තාපසාරාමයේ රහස් කුටියෙන් එලියට පැමිණි කැලුම් හා ඔහුගේ මෙහෙයුම් සගයා වන රින් ලී සන්ග්, වටපිට බලා, කිසිවෙක් හෝ තමන්ව නොදුටු බව තහවුරු කරගෙන ඉක්මණ් ගමනින් පිට මළුවට පැමිණියා. තාපසාරාමයේ ලාමාවරුන් සියලු දෙන පාන්දර බුද්ධ පූජාවට සහභාගිවෙමින් සිටි නිසා කිසිවෙක් ඒ අවට නොසිටි අතර, තවමත් දැඩි ශීතලක් ඇති පාන්දර ජාමය නිසා වන්දනාමාන සඳහා බැතිමතුන් පැමිණ සිටියේත් නෑ.

ටිබෙට් ගැමියන් මෙන් වෙස්වලාගෙන ඉතාමත් රහසින් සිදුකල මෙහෙයුම ගැන දැන සිටියේ කිහිපදෙනෙකු පමණයි. ටිබෙටයේ සිදුවන සියලුම දෑ ගැන ඇසගසාගෙන සිටින චීන M.S.S බුද්ධි අංශයට හොරා මෙහෙයුම සිදුවිය යුතු බැවින් මෙහෙයුමට පෙර දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කොට තිබුණා.

යසිත් හා සැලී ඔස්ට්‍රියාවේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට ක්‍රියාන්විතය සජීවී ඩ්‍රෝන් වීඩියෝ ධාරාවක් ඔස්සේ නරඹමින් සිටියා. චීන යටත් විජිතයක් වන ටිබෙට් දේශයේ ගුවන් සීමාවට සංවිධානයේ ග්ලෝබල් හෝක් ඩ්‍රෝනය ඇතුලුකල නොහැකි නිසා, කැලුම් හා රින් මෙහෙයුමට යනවිට, කුඩා එහෙත් බල සම්පන්න වීඩියෝ ඩ්‍රෝනයක් රැගෙන ගියා. එය ටිබෙටය වෙත රැගෙන ගියේත් කුඩා කැබලි ගණනාවකට ගලවා, මෙහෙයුමට කලින් එම කොටස් වෙන වෙනම කිහිප වතාවකදී, ඔස්ට්‍රියානු තානාපති සේවාවේ රාජ්‍යතාන්ත්‍රික ලිපිමලු වල සඟවමිනුයි.

යසිත්ගේ මගපෙන්වීමෙන් මෙහෙයුමට දිනකට පෙර නැවතී සිටි හෝටල් කාමරයේදී එකලස් කරගත් ඩ්‍රෝනය රින් විසින් ගුවන් ගත කල පසු එහි පාලනය භාරගෙන පියාසර කරවූයේ ඔස්ට්‍රියන් මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඩ්‍රෝන් නියමුවා විසින්.

"කැලුම්! රින්! වැඩේ හරිද?"

"හරි සැලී, හොයපු දේ හම්බුවුනා."

"ඉක්මණට රෙන්ඩෙවූ පොයින්ට් එකට යන්න, මම හෙලිකොප්ටර් එක එවන්නම්."

"ඒ මොකක්ද ඒ?"

"වෙඩි සද්ද!!!"

"කව්ද වෙඩි තියෙන්නේ??"

වෙඩි හඬ ඇසෙන විටත් කැලුම් හා රින් මුවා වී සිටියා. සිංගප්පූරු විශේෂ බළකා සෙබලෙකු වූ රින් සිය පිස්තෝලය රැගෙන ඉලක්ක සොයමින් සිටියා. කැලුම් වෙඩි පහර කිහිපයක් එල්ල කරන බව සජීවීව ලැබෙන ඩ්‍රෝන් වීඩියෝවේ පෙනුනා. 

"Sally!! Chinese Intelligence is on our tail...!!" [සැලී චීන බුද්ධි අංශය අපේ පස්සෙන් එලවනවා]

"Fuck!!! Damn it!! How did they know???" [මුං කොහොමද දැන ගත්තේ?]

"කැලුම්! රින්!! දෙන්නා දෙපැත්තකට යන්න. මම පාර කියන්නම්. මට දෙන්නවම පේනවා."

"කැලුම් ඔතනින් දකුණට හැරිලා දුවන්න"

"රින් ඔයා කෙලින්ම යන්න"

"යසිත් උන් ඩ්‍රෝන් එකට වෙඩි තියයි, නැතිනම් සිග්නල් එක අවුල් කරන්න බලයි. ඒක වෙන්න දෙන්න එපා!"

"හරි සැලී..."

"කැලුම් ඔතනින් වමට දුවලා, ඔය පේන පඩි පෙලෙන් උඩට නගින්න..."

"රින් ඉස්සරහහින් වමට තියෙන පටු පාරට ඇතුලු වෙන්න..."













__________________________________________________________________________
__________________________________________________________________________

Viewing all articles
Browse latest Browse all 1214

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>