ලංකාවේ බොහෝ දෙනා පැරණි කෘෂි ආර්ථිකය මගින් අපේ මුතුන් මිත්තන් ලබා තිබූ සෞභාග්‍යය ගැන මහත් ආශ්වාදයෙන් කතාකරයි. දුටුගැමුණු රුවනවැලි සෑය සෑදූවේ, මහා පරාක්‍රමබාහු පරාක්‍රම සමුද්‍රය සාදන්නට බරපැන සොයාගත්තේත් කුඹුරු ගොවිතැනින් බව විශ්වාස කරයි. ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ බවට ඇති ඉතිහාස මූලාශ්‍ර මේ සඳහා සාක්ෂිලෙස ඉදිරිපත් කරයි.
එහෙත් මේ විශ්වාසය ඇත්තක්ද?
වැව් අමුණු බැඳ මිනිස්සුන්ට කන්ඩ බත් සපයාගැනීමේන් පමණක් මහා විහාර කර්මාණ්ත කරන්නට, එමෙන්ම ඒවා හොඳින් නඩත්තු කොට පවත්වාගෙන යන්නට, දසදහස් ගණනක් පැවිදි භික්ෂූන්ට දිනපතා, තුන්සිය හැටපස් දිනකම සියල්ල නොමිලයේ සපයන්නට ගොවිතැන්බත් ආර්ථිකයක් තියෙන රටකට පුලුවන්ද?
අනුරාධපුරයේ, පොලොන්නරුවේ, රුහුණේ මාළිගාවිල වැනි ස්ථානවල ඇති විහාර කර්මාණ්ත දෙස බලනවිට ඒවා මහා දැවැන්ත ඉන්ජිනේරු ව්‍යාපෘති බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ කර්මාණ්තවලට වැයවෙන අතිමහත් බරපැන රටවැසියාට හාල් එලවලු විකුණා ලබාගන්නට රජෙකුට පුලුවන් වෙනවාද? මේ මහා වෙහෙර කර්මාණ්ත සඳහා යන ශ්‍රමය, ගොයිතැන් වැඩ ඉවරවී පැමිණෙන ගොවියන්ගේ ශ්‍රමයෙන් පමණක් ලබාගත හැකිද?
මේවායේ නිර්මාණ කටයුතුකල දහස්ගණනක් ශිල්පීන් සියල්ලන්ම වසර ගණනාවක් නොමිලයේ සිය සේවා සැපවූවා යයි සිතිය හැකිද? එසේනම් මේ සියල්ලටම ධනය සොයාගත්තේ හාල්, එළවළු වවා රටවැසියන්ටම විකුණා අමතරව මුතුමැණික් ටිකක් රෝමන්කාරයින්ට, චීනුන්ට විකුණා රජු ලබාගන්නා බදු මුදල්වලින් යයි සිටිය හැකිද?
පැරණි ලංකාව සෞභාග්‍යමත් රටක් වුනේ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් විශාල මිත්‍යාවක් වනවා පමණක් නොව, රටේ අනාගත ඉදිරිගමනට විශාල බාධාවක් වී තිබෙනවා. උගතුන්, ආචාර්යවරුන්, නායකහිමිවරුන් මෙන්ම දේශපාලන නායකයින්ද මේ මිත්‍යාව විශ්වාසකිරීම නිසා රට පස්සට යනවා මිස ඉදිරියට යන්නේ නෑ.
අනාදිමත් කාළයක සිටම ලංකාව වෙළඳ කේද්‍රස්ථානයක් බවට සාක්ෂි ඕනෑ තරම් මතුවෙමින් තියෙනවා. අනුරාධපුර යුගයේ, රුහුණු රාජ්‍යයේ, පොලොන්නරු යුගයේ මේ රටේ තිබූ සෞභාග්‍යය පැරණි ලෝකයේ නැව්මාර්ග හා සේද මාවත හරහා වැටී තිබුණා. ලංකාවේ මන්නාරම පැත්තේ, නැගෙනහිර ත්‍රිකුණාමළය පැත්තේ හා රුහුනේ හම්බන්තොට පෙදෙසේ ඉතාමත් දියුණු වරායවන් තිබූ බවටත්, එයින් සිංහල රජවරු වෙළඳුන්ට ආරක්ෂාව හා පහසුකම් සපයා බදුමුදල් රැස්කරගත් බවටත් සාක්ෂි තිබෙනවා.
ලංකාවට පැමිණි ෆාහියන් අනුරාධපුර නගරය ගැන කර කෙටි විස්තරයේදී එය ඉතා මනාව සැකසූ විථි ඇති, පිරිසිදු, අලංකාර නගරයක් බවත්, එහි සුදු පිරියම්කල විශාල මන්දිරවල ධනවත් වෙළඳ සිටුවරු ජීවත් වෙන බවත් පවසා තිබෙනවා. මේ වෙළඳ සිටුවරු අතර පර්ෂියන්, අරාබි, චීන හා රෝමන් ජාතිකයින්ද සිටිබවත් ඔහු ලියා තිබෙනවා.
ඒ කියන්නේ පැරණි අනුරාධපුර, නූතනයේ දියුණු රටක නගරයක් මෙන් ධනවත් ව්‍යාපාරිකයින් ජීවත් වුනු, විවිධ රටවල ධනවතුන් නිවහන කරගත්, සමෘධිමත්, සාමකාමී නගරයක් බවයි. මේ ධනවතුන්ගේ වෙළඳාමෙන් අයකරගත් රේන්ද හා බදු බෞද්ධ රජවරු විසින් විහාරකර්මාණත කරවීමට, නඩත්තුවට හා දසදහස් ගණන් භික්ෂු පරපුරක් ඉතා පහසුවෙන් නඩත්තු කිරීමට යොදාගත්තා කියා සිතන්න පුලුවන්.
ලක් රජුන් ධනවත්කල වෙළඳාම
ලෙස්ලි ගුණවර්ධන ඉතිහාසඥයා (1938-2010) පවසන අන්දමට ලංකාවේ වාරිකර්මාණ්ත හා විහාරකර්මාණ්තවල ස්වර්ණමය යුගය, ලංකාවේ විදෙස් වෙළඳාමේ හිණිපෙත්තේ තිබූ අවධිය බව පවසනවා. මෙයට හේතුව විදෙස් වෙළඳාමෙන් රජවරුන් විශාල ආදායම් ඉපදවා ඒවා වාර්කර්මාණ්ත හා බුදුදහමේ උන්නතිය සඳහා වැයකීමට උත්සුකවීමයි.මහාවංශයේද අනුරාධපුර නගරයේ බටහිර දොරටුව ආසන්නයේ විදෙස් වෙළඳුන් සඳහා විශේෂ ප්‍රදේශයක් වෙන්කොට තිබූබව සඳහන් කරනවා.
අනුරාධපුර හා පොලොන්නරු යුගවලදී ඉතාමත් සංවිධානාත්මක වෙළඳ ව්‍යුහයක් ක්‍රියාතමක වුනු බවට වාර්තා තිබෙනවා. ධනවත් වෙළඳුන්ගේ වෙළඳ සංගම්, හා රජුගේ නිළධාරීන් එක්ව මේ වෙළඳ කටයුතු කල බවත්, පොලොන්නරු යුගයේදී රජවාසලේ ප්‍රධාන වාණිජ නිළධාරී යනුවෙන් තනතුරක් පවා තිබුණු බවත්, රජු වෙනුවෙන් සියලු වෙළඳ කටයුතු, බදු අයකිරීම්, වරාය පරිපාලනයන් මේ නිළධාරියා හරහා සිදුවූ බවත් පැවසෙනවා. මාන්තොට වරායේ බැංකු කටයුතු පවා සිදුවූ බවට සාක්ෂි තිබෙනවා.
ලංකාවේ මුල්ම වෙළඳාම - ලෝහ, ඛණිජ, මුතු මැණික් හා දමස්කස් වානේ
ක්‍රි.පූ 900 සිට 400 දක්වා කාළයේ ලංකාවේ වැදගත්ම අපනයනවී තිබෙන්නේ කඳුකරයේ ඇති යපස් හා වෙනත් ඛණිජ වර්ගයි. එමෙන්ම උතුරේ මුතුපරවල මුතු හා රට ඇතුලෙන් බහුලව හමුවන මැණික්ද ප්‍රධාන ආදායම් මාර්ග වුනා.
එමෙන්ම 1996දී පුරාණ ලංකාවෙ යකඩ කර්මාණතය ගැන පර්යේෂණ පත්‍රිකාවක් ලියූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජී.ජූලෙෆ්, 13 වැනි සියවසේදී කරලියට පැමිණි සුප්‍රකට දමස්කස් වානේ නිෂ්පාදනය සඳහා ලංකාවේ නිෂ්පාදනය කල වූට්ස් ස්ටීල් (Woots Steel) නම් වානේ ආනයනය කල බව පෙන්වා දෙනවා. දමස්කස් වානේ සඳහා ලංකාවේ වානේ නිෂ්පාදනාගාරයක් සමනල වැව ප්‍රදේශයේදී හමුවී තිබෙනවා. දමස්කස් වානේ, එකල වානේ තාක්ෂණයේ ඉහලම නිර්මාණය බවයි පැවසෙන්නේ.
දමස්කස් වානේ වලින් තැනූ කඩු එකල මැදපෙරදිග රණකාමීන්ගේ ප්‍රියතම අවිය වුනා. ශක්තිමත්, සැහැල්ලු මෙන්ම, නැමීගියවිට නොකැඩෙන දමස්කස් වානේ කඩු සටන්කරුවාට විශාල වාසියක් ලබාදුන් බව පැවසෙනවා.
ලංකාවේ වෙළඳාම්කල විදෙස් ව්‍යාපාරිකයින් ගැන, වෙළඳ සංගම් හෝ ගිවිසුම් ගැන යම් යම් තොරතුරු අම්පාරේ බඹරගස්තලාව සෙල් ලිපියකින්, අනුරාධපුර අලියකඩ සෙල්ලිපියකින්, කතරගම බෝවත්තගල සෙල්ලිපියෙන්, හම්බන්තොට ගෝනගලින්, මොණරාගල මඩුගස්මුල්ල සෙල්ලිපියකින් හා කුරුණෑගල විල්බා විහාරයේ සෙල්ලිපිවලින් හමුවී තිබෙනවා.
ලංකාවට වැඩියෙන්ම වෙළඳාමට ආවේ ග්‍රීක, රෝමන් හා චීන වෙළඳුන් බව රටපුරා බොහෝ පෙදෙස් වලින් හමුවී ඇති අතිවිශාල ග්‍රීක, රෝම, චීන කාසිවලින් සිතාගත හැකියි. මේ වෙළඳුන් විශාල ප්‍රමාණයක් වසර සියගණනක් තිස්සේම ලංකාවට පැමිණෙමින්, මෙහි යම් යම් කල් ජීවත් වෙමින් (සුලං හා කාළගුණය ගෝචර වෙනතෙක් විය යුතුයි) වෙළඳාම් කොට තිබෙනවා. ග්‍රීසිය, රෝමය, හා චීනය පැරණි ලෝකයේ ධනවත්ම රටවල් වූ බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.
මීට අමතරව ඉන්දියාව, ඉන්දුනීසියාව හා වියට්නාමය සමගද් පැරණි ලංකාවේ වෙළහෙළඳාම් සිදුවී තිබෙනවා.
පැරණි ලංකාවේ වාණිජ කේන්ද්‍රස්ථාන - ගොඩවාය, ගෝකන්න හා මාන්තොට
රුහුණු රාජ්‍යයේ මහා නැව් තොටුපොල වුනේ හම්බන්තොට ගොඩවාය වරායයි. රුහුණු රටේ සෞභාග්‍යය සඳහා මේ තොටුපොලෙන් සිදුවූ ආනයන, අපනයන හේතුවුනා. රුහුණේ මාළිගාවිල මහා විහාරකර්මාණ්ත, කිරිවෙහෙර විහාර කර්මාණතයට, තිස්ස්මහාරාම විහාරකර්මාණ්තයට මේ ආදායම් යෙදවෙන්නට ඇති කියා සිතන්නට පුලුවන්.
අනුරාධපුරයෙන් සිදුවන පාලනය පිලිගත්තත් රුහුණු රටේ රජවරු ධනවත්, බලසම්පන්න රජවරු බවත් අනුරාධපුරයෙන් ඔවුන්ට දැක්වූ ගරුසැලකිලිවලින් පෙනෙනවා. අනුරාදපුරේ රජකම්කල දේවානම්පියතිස්ස, තමන්ට ලැබුණු ජය ශ්‍රී මහා බෝධි අංකුරවලින් එකක් රුහුණට යවන්නේ රුහුණේ රාජ්‍යයේ මේ ශක්තිය, හා වෙළඳ බලය නිසාමයි. මේ බළයේ කේන්ද්‍රස්ථානය ගොඩවාය වරාය කියා සිතන්න පුලුවන්.
ත්‍රිකුණාමළයේ ගෝකන්න වරාය තවත් එවැනිම වාණිජ කේන්ද්‍රස්ථානයක්. බුදුන්ගෙන් කේෂධාතු ලබාගත් තපස්සු හා භල්ලුක නෞකාපති වෙළඳ සොයුරන් එම ධාතු රැගෙන ත්‍රිකුණාමළයට ආවේ නිකම් නොවන බව සිතාගන්න. ධනවත් වෙළෙන්දන් දෙදෙනෙකු, තමන්ට ලැබුණු මහානර්ඝ ධාතූන්ද රැගෙන, නොදියුණු මිනිසුන් ඉන්න රටක, පාලු වරායකට යන්නේ කුණාටුවකට අහුවුන විටක මිස වෙළඳාමට නොවේ. ඒ කියන්නේ බුදුන් වැඩවැසූ කාළයේ පවා නැගෙනහිර ලංකාවේ ගෝකන්න, ධනවත් වෙළඳුන් ආකර්ෂණය කරගත් වෙළඳ මර්මස්ථානයක් වුන නිසාමයි. මේ වරායේ ආදායම් අනුරාධපුරයේ රජවරුන් ධනවත් කල බව සිතාගත හැකියි.
මීලඟ වැදගත්ම වරාය හා වෙළඳ මධ්‍යස්ථානය වුනේ මන්නාරමේ මාන්තොට වරායයි. පර්ෂියන් බොක්ක, රතුමුහුද, නැගෙනහිර අප්‍රිකාව හා බටහිර ඉන්දියාව හා වෙළඳාම්කල ප්‍රධාන තොටුපොල බවට මාන්තොට පත්ව තිබුණා. එමෙන්ම මන්නාරමේ වටිනා මුතු අපනයනය වුනේත් මාන්තොට වරායෙනුයි. අනුරාධපුරයෙන් පාලනය වුනු මාන්තොටින්ද මහත් ධනයක් උපයාගන්නට අනුරාධපුර රාජධාණියට හැකිවෙන්නට ඇති.
පෙරදිග-අපරදිග වෙළඳාමේ කේන්ද්‍රස්ථානයවූ පැරණි ලංකාව.
පස්වැනි ශතවර්ෂය වෙනවිට ලංකාව නැගෙනහිර ලෝකය හා බටහිර ලෝකය අතර වෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ බවට සාක්ෂි තිබෙනවා.
චිනයෙන් සේද රෙදි හා චීන පිඟන් භාණ්ඩ, ඉන්දියාවෙන් රත්‍රන්, මුතු, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු හා කපු රෙදිද, ඊජිප්තුවෙන් හා පර්සියාවෙන් අශ්වයින්, වයින්, වීදුරු හා සුවඳ විලවුන්ද, සුප්‍රකට පර්සියානු බුමුතුරුණුද ලොව පුරාවටම යැවීමේ මධ්‍යස්ථානයක් බවට 7,8,9 ශතවර්ෂය වෙනවිට ලංකාව පත්ව තිබුණා.
චෝල ආක්‍රමණ නිසා වෙළඳාම බොහෝ සෙයින් අඩපණවුවද යලිත් විජයබාහු I (1055-1110) හා පරාක්‍රමබාහු I (1132-1153) රජවරුන්ගේ කාළයේ ඉතා සීග්‍රයෙන් වෙළඳාම වැඩිව්වුනා.
පොලොන්නරු යුගයේ අවසානයත් සමග වෙළහෙළඳාම් කෙමෙන් කෙමෙන් අඩුවුනා. සතුරු ආක්‍රමණ නිසා රාජධාණි රට අභ්‍යන්තරයට ගෙනයන්නට සිදුවුනු නිසා වෙළඳ මර්මස්ථාන වූ වරායයන් කෙමෙන් කෙමෙන් අභ්‍යාවයට යාම හා විදෙස් නාවිකයින් ලංකාවේ වරායන් මගහරිමින් ගමන් කරන්නට පටන් ගත්තා.
එහෙත් යාපහුවේ පලවැනි බුවනෙකබාහු (1272-1284) මිසර රාජධානිය සමග වෙළඳ ගණුදෙනු ඇතිකරගැනීම සඳහා දූතපිරිසක් යැවූ බව වාර්තාවෙනවා. අනර්ඝ මුතු, විවිධ මැණික්, අලිඇතුන්, කපුරෙදි, වටිනා දැව හා ශක්තිමත් හෙල්ලයන් සෑදීමට අවශ්‍ය ලී සැපයිය හැකි බව ඔහු සිය දූතයන් අතර විස්තර යවා තිබෙනවා. එමෙන්ම වසරකට නැව් 20ක සරිලන සැපයුම් එවිය හැකි බවද ඔහු දන්වා යවා තිබෙනවා.
එමෙන්ම මෑතකදී සෝමාලියාවෙ මොගඩිෂු නුවර කැණීම්වලින් හමුවූ කාසි අතර පලමුවැනි බුවනෙකබාහු රජුගේ රාජකීය මුද්‍රාව සහිත කාසි හමුවී තිබෙනවා. අද සෝමාලියාව යුධගැටුම් පිරි දුප්පත් රටක් වුනත්, මධ්‍යතන යුගයේදී මොගඩිෂු වරාය අප්‍රිකාවේ පිවිසුම් දොරටවක්වූ, ඉතා කාර්යබහුළ වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පැවසෙනවා.
තුන්වන ශතවර්ෂයේ ග්‍රීක ඉතිහාසකරුවෙකු වූ මෙගස්තීනස්ගේ ලියවිලිවල ලංකාවේ අලිඇතුන් වර්ණනාකොට තිබෙනවා. ඉතා ශක්තිමත් හා පහසුවෙන් පුහුණුකලහැකි අලි ඇතුන් ලැබෙන්නේ ලංකාවෙන් බව ඔහු කියා තිබෙනවා.
http://www.island.lk/2005/09/05/features6.html
http://lakdiva.org/muse04/exhibit/start.html
http://adsabs.harvard.edu/abs/1996Natur.379...60J
https://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .POSTED BY : Terence Kahapola Arachchi .AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com.GOOGLE + : About Me .FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________